Apr 27, 2016

පුර අටවක - දෙවනි කොටස



කස්සප හාමුදුරුවන්ට අවශ්‍යවූයේ ලඟම තැනකට ගොස් මේ අනාරාධිත මුස්ලිම් ජාතිකයා කියන කතාවේ ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමටය. රැළියේ මතකය මුළුමනින්ම හිතෙන් තුරන්වී ගොස් අවසන්ය. හිතේ මතුව තිබූ ආගන්තුක හැඟීම් සමුදාය සමග පොරබදමින් සිටි කස්සප හිමියන්ගේ පසුපසින් වචනයකුදු නොදොඩා මුස්ලිම් ජාතිකයා ගමන් කරමින් සිටියහ. සුදු පැහැයෙන් සැරසුණු තරුණ ආරක්ෂකයන් කිහිපදෙනෙක්ම හිමියෙන් ඉදිරිපසින් සහ පිටුපසින් ගමන්කරමින් සිටියහ. නුගේගොඩ වෙළඳ සංකීර්ණයේ කඩයක් පවත්වාගෙන යන කස්සප හිමියන් හොඳින් හඳුනන ව්‍යාපාරිකයෙක්ගේ සාප්පුවක් පැත්තට උන්වහන්සේගේ පය එසවුණේ එතරම්ම අවබෝධයකින් නොවේය.

මීට සුළු මොහොතකට කලින් යකඩ කටින් හඬ ඇසුණු කස්සප හිමියන් නොසිතූ මොහොතක තමන්ගේ සාප්පුව පැත්තට පැමිණෙන බව දුටු කඩ හිමියා දැඩි විමතියකට පත්විය. එහෙත් පැමිණෙන පිරිසගේ මුහුණුවල ඇති අවිනිශ්චිතතාව නිසාවෙන් කුමක් හෝ ප්‍රශ්නයක් පැන නැගී ඇතිබව ව්‍යාපාරිකයා ඉක්මණින්ම තේරුම්ගත්හ. සාප්පුව තුළට පැමිණෙන ලෙසට හාමුදුරුවන් ඇතුළු පිරිසට ආරාධනා කර දඩිබිඩියේම සාප්පුවේ පිටිපස්සේ කොටසට ගොස් සුදු ඇතිරිල්ලක් ගෙනැවිත් හොඳම පුටුව තෝරාගෙන එහි අතුරා කස්සප හාමුදුරුවන් හට අසුන්ගන්නට ඉඩ සලසා දී දණ ගසා වැඳ ආචාර කල ව්‍යාපාරිකයා හාමුදුරුවන් ආමන්ත්‍රණය කරන්නට විය.


“අපේ හාමුදුරුවනේ මොකුත් කරදරයක්වත්ද?“

“නෑ මහත්තයෝ පොඩි කාරණාවක් සාකච්ඡා කරන්න මේ මහත්තයා එක්ක මෙතනට ආවා..පොඩි වෙලාවක් දෙන්න පුළුවන්ද අපිට?“

හිස නමා එය පිළිගත් ව්‍යාපාරිකයා සැණකින් සාප්පුවේ ඉදිරිපස දොර වසාදමා හාමුදුරුවන් ඇතුළු පිරිසට නිදහසේ කතා කරන්නට ඉඩදී පිටිපස කොටසට ගියහ. කස්සප හාමුදුරුවන්ට අවශ්‍යවුනේ ආරක්ෂකයන්ද නොමැතිව නිදහසේ මේ අවුල ලෙහාගන්නට වුනත් ආරක්ෂකයන් එතැනින් පිටවන බවක් පෙනෙන්නට නොතිබිණි.

“ඔයගොල්ලොත් ටිකක් එළියට යනවද, මට මෙතන ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ. මේ මහත්තයාගෙන් කරදයක් නෑ කාටවත්“

කස්සප හිමියන් ඉස්ලාම් ජාතිකයා කුමක්හෝ හේතුවක් මත දැඩිසේ විශ්වාසකරන බව පෙනෙන්නට විය. ආරක්ෂකයින් කිහිප දෙනා මුහුණට මුහුණබලා අවසානයේ එතනින් පිටත්විය. ඒ සියළු දේ අවසන්වන තුරු නිහඬවම බලාසිටි ඉස්ලාම් ජාතිකයා අවසානයේ හාමුදුරුවන්ට කතා කරන්නට විය.

“මට සමාවෙන්න හාමුදුරුවනේ මේ වගේ වෙලාවක ඔබ වහන්සේ හමුවෙන්න ආපු එකට“

“ඒකට කමක් නෑ..ඒත් මට කරුණාකරලා කියන්න මහත්තයා කියපු කතාවේ ඇත්ත නැත්ත, මොකද ඒක මහ බරපතල කතාවක්“

වේදිකාවේ තිබූ ගාම්බීර, රළු සහ ආවේගශීලී කථන ස්වභාවය වෙනුවට ඒ මොහොතේ කස්සප හිමියන් කතාකලේ ඉතාමත් සංවේදීව හා ඉවසීමෙන් යුතුවය. එය වනාහි වසර ගණනක් මුළුල්ලේම කස්සප හිමියන්ගෙන් නොදුටු ස්වභාවයක්විය. එයම කස්සප හාමුදුරුවන්ටද දැඩි පීඩනයක් බවට මේ මොහොතේ පත්ව තිබිණි.

“හාමුදුරුවනේ මම ඒ කියපු කතාව සහතික ඇත්ත, අල්ලා දෙවියන්ගේ නාමෙන් මම කියන්නේ ඇත්ත.. ඔබ වහන්සේ නෑකමට මගේ එක්කුස උපන් සහෝදරයා..ඇත්තම කිව්වොත් මගේ බාල මල්ලි වෙන්නේ“

ඒ වචන විසින් කස්සප හිමියන් මොහොතකට හිස් අවකාශය තුල කරකවා අතහැරිය හැඟීමකට පාර කපා තිබිණි. නමුත් ඉස්ලාම් ජාතිකයා නොනවත්වාම කතාව දිගහරින්නට විය.

“මම මින්හර් ලුහුර්දීන්, අවුරුදු ගාණක් මිඩිල් ඊස්ට්වල රස්සාව කරලා මම මීට මාස කීපෙකට කලින් ලංකාවට ආවේ. මම දික්වැල්ලේ, පොල්ගහමුල්ලේ ඉපදුණේ. මගේ තාත්තා ෂියාම් ලුහුර්දීන් තංගල්ලේ රෙදි බිස්නස් කලේ. ඔබ වහන්සේගේ තාත්තා, ඒ කියන්නේ සමරතුංග කියන්නේ මගේ තාත්තා එක්ක එකට බිස්නස් කරපු හොඳම යාළුවා. ඒ දෙන්නට ජාති භේද ආගම් භේද තිබුණේ නෑ. සහෝදරයෝ වගේ කාලා බීලා ජීවත්වුණා. මට අවුරුදු පහේදී තමයි අම්මට ඔබ වහන්සේ ලැබුණේ. නිස්වි ලුහුර්දීන් තමයි ඔබ වහන්සේට තියපු නම. ඒත් මාස පහකට පස්සේ අම්මා හදිස්සියෙම සෙංගමාලේ හැදිලා මැරුණා. ඒකෙන් තාත්තා ගොඩක් කඩාගෙන වැටුණා. බිස්නස් එහෙමත් වැටුණා. තාත්තා ගොඩක් බොන්න පුරුදු වුණා. ඒත සමරතුංග මාමා කවදාවත් තාත්තව දාලා ගියේ නෑ. සමරතුංග මාමටයි, නැන්දටයි දරුවෝ හිටියේ නෑ. ඒ කාලේ තාත්තා හාර්ට් ඇටෑක් එකක් නිසා අමාරුවෙලා කරාපිටියේ නැවැත්තුවා. තාත්තා අමාරුවෙද්දි සමරතුංග මාමාගෙන් ඉල්ලලා තියනවා අපි දෙන්නව බලාගෙන්න කියලා.“

හැම වචනයක්ම ගානේ කස්සප හිමියන් මින්හර්ගේ දෑස්දෙස සෘජුවම බලාසිටියා මිස කිසිඳු අතුරු ප්‍රශ්නයක් නැගුවේ නැත. සමරතුංග යනු කස්සප හාමුදුරුවන් තමන්ගේ තාත්තා යැයි දැන සිටි පරවාහැර ඇටඹගහහේනේ ජීවත්වුණු අහිංසක මනුස්සයාය. ඒත් මේ කිසිඳු තොරතුරක් කිසි දිනක කස්සප හිමියන්ගේ සවනත වැකී නැත.

“ඒත් අපේ නෑදෑයෝ තාත්තා මැරුණට පස්සේ මාව හදාවඩාගන්න ගත්තා. සමරතුංග මාමා තාත්තගේ වචනෙට සලකලා බලෙන්ම වගේ ඔබ වහන්සේ පුංචිම කාලේ හදාගන්න ගත්තා. දෙන්නට දරුවෝ හිටපු නැති නිසා ඔබ වහන්සේ එයාලගේ දරුවෝ වගේ හදාගන්න ගත්තා. මමත් පොඩි නිසා මට ඒ කිසිම දෙයක් තේරුණේ නෑ. පස්සේ මම හැදුනේ දෙහිවල ලොකු තාත්තා ලඟ. ලොකු වෙනකොට මල්ලි කෙනෙක් හිටියා කියන මතකේ ටිකෙන් ටික ඈත්වුණා. ඒත් ගිය අවුරුද්දේ ලොකු තාත්තා මැරෙන්න ටික දවසටක කලින් ඔබ වහන්සේගේ පොටෝ එකක් පත්තරේ තියන රූපයක් මට එවලා මේ අතීත කතාව කිව්වා. මට ඔබ වහන්සේ දැකලා කතාකරන්න පුදුම ආසාවක් ඇතිවුණා, ඔබ වහන්සේ කරගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මට කිසිම අවබෝධයක් නෑ, ඒත් මට මගේ මල්ලිව මුණගැහිලා යන්න ඕන වුණා..සමාවෙන්න අපේ හාමුදුරුවනේ මල්ලි කිව්වට..ඒත් දැන් මගේ තුන් හිතම පිරිලා..ආයෙත් මම ලබන මාසේ රට යනවා. මගේ පවුලෙම අය එහේ ඉන්නේ..ඒත් දැන් මගේ හිතට ලොකු සහනයක් දැනෙනවා..මේ කතාව දැනගත්තා කියලා ඔබ වහන්සේගේ හිතට දුකක් දැනුනනම් දෙයියන්ගේ නාමෙන් මට සමාවෙන්න හාමුදුරුවනේ..“

මින්හර් කස්සප හිමියන් ඉදිරියේ හිස නමා වැඳ වැටුණත් එවර “තෙරුවන් සරණයි“ කියන්නට තරම් මානසිකත්වයක් කස්සප හිමියන්ට නොවීය. සියලුම සිදුවීම් චිත්‍රපටයක් මෙන් තමන් ඉදිරියේ මැවෙන බව පෙනෙන්නට විය. සිදුවීම් එකකට එකක් ගලපා බලන විට ඒවා නිවැරදි නොවන බවට කස්සප හාමුදුරුවන්ට සහතික විය නොහැකිය. මීට වසර කිහිපියකට පෙර මියගිය තමන්ගේ තාත්තා ලෙස සිතූ සැබෑ ලෙසම තමන් හදා වඩාගත් තාත්තා තමන්ට නොකී කතාවේ අකුරක් නෑර අද අසන්නට ලැබුණි.

සමහරවිට මෙය තමන්ගේ සංවිධානයේ සටන අඩපණ කිරීමට කඩාකප්පල්කාරීන් යෙදූ උපක්‍රමයක් යැයි කස්සප හිමියන්ට සිතුනද එය මෙතරම් සූක්ෂමව තමන්ගේ අතීතයේ සිද්ධි සමග ගැලපෙන්නට ඉඩක් නැත. ඒ නිසාවෙන් මේ මොහොතේ කලයුතු හොඳම දෙය සිහිකල්පනාවෙන් කටයුතු කිරීම බව කස්සප හිමියන් අවබෝධකරගෙන සිටියහ.ඒ මොහොතේ මින්හර් සමුගන්නට නැගී සිටියහ.

“ඔබ වහන්සේ දකින්න ලැබුණ එක ලොකු සතුටක්. මගේ ඇඟේ දුවන ලේම තමයි ඔබ වහන්සේගේ ඇඟෙත් දුවන්නේ. ඒත් තවදුරටත් ඔබ වහන්සේ මගේ මල්ලි නෙවෙයි කියන එක මම තේරුම්ගත්තා. මොකද ඔබ වහන්සේ අද ආගම වෙනුවෙන් කැපවෙන කෙනෙක්. ආයෙත් කවදාවත් අපි හමුනොවෙන්න පුළුවන්. ඒත් ඔබ වහන්සේට අල්ලා දෙවියන්ගේ පිහිටයි“

ඒ කියූ වචන කිණිසි පහරවල් මෙන් කස්සප හාමුදුරුවන්ගේ ශරීරයට කිඳා බසින බව උන්වහන්සේට දැනෙන්නට විය. දැඩි අසරණකමක් දැනුනත් එය පිටකිරීමට මෙය සුදුසු අවස්ථාවක් නොවන බව පමණක් අවබෝධකරගෙන හිඳ සිටි අසුනේම කල්පනාවේ නිමග්නව සිටියදී මින්හර් පිටව ගියහ. ඒ යන දෙස හැඟීම් විරහිතවම බලාසිටි කස්සප හාමුදුරුවන්ට ඉන්පසු කලයුත්තේ කුමක්ද කියා අවබෝධයක් නොවීය.

ඒ මොහොතේම තමන්ගේ සුපරි මාදිලියේ ජංගම දුරකතනයේ නාදවූ අතර එහි ඡායාරූපය සමගින් නම සඳහන්වූයේ ධම්මකිත්ති හාමුදුරුවන්ගේය. කිහිපවරක්ම නාදවීමෙන් අනතුරුව ඇමතුමට සවන්දුන් කස්සප හාමුදුරුවන් “ඔව් පොඩි හාමුදුරුවෝ“ යන්න පමණක් කීය.

“ඔබ වහන්සේ රැස්වීම පැත්තට පුළුවන් ඉක්මණින්න වඩිනවද, නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න යන්නේ..“

ඉතා කලබලයෙන් මෙන් ධම්මකිත්ති හිමියන් කියාගෙන යන්නට විය.

“ඒ මොකද ඒ?“

“ඔබ වහන්සේ මුස්ලිම් කෙනෙක් එක්ක මෙතනින් ගියේ මොකක්හරි තර්ජනයක් කරලා කියලා හිතලා මිනිස්සු මෙතන විනාසයක් කරන්න යන්නේ..කොයි වෙලාවේ පත්තු වෙයිද දන්නේ නෑ“

කස්සප හාමුදුරුවන්ට තමන් දඩිබිඩියේ ගත් තීරණයේ බරපතලකම දැනෙන්නට විය. එහෙත් මේ මොහොතේ නැවත රැළිය පැවැත්වෙන තැනට යෑමට කිසිසේත්ම හිත හදාගන්නට අසමත්වෙන තත්ත්වයක් තිබිණි.

“පොඩි හාමුදුරුවෝ මිනිස්සුන්ට කියන්න මම පුද්ගලිකව පොඩි කරදරයක් නිසා ඉක්මණට යන්න වුණා කියලා..පුළුවන් තරම් හොඳින් සන්සුන්ව මිනිස්සු පිටත් කරලා යවන්න“

ධම්මකිත්ති හිමියන්ට එයට “එහෙමයි“ කියනවා ඇරෙන්නට වෙන පිලිතුරක් නොවූයේ හොඳාකාරවම කස්සප හිමියන්ගේ තීරණ ගැන දන්නා බැවින්ය.  දුරකතනය විසන්ධිකල කස්සප හාමුදුරුවන් සාප්පුවෙන් එළියට බැස්සේ ව්‍යාපාරිකයාට ස්තූති කිරීමටද අමතක කරමින්ය. එවිටම හිමියන්ගේ සුදුපැහැති සුඛෝපභෝගී කාරය සාප්පුව ඉදිරියට පැමිණ උන්වහන්සේ අසල නතර කෙරිණි. එයට ගොඩවුණු හිමියන් කිසිවක් නොදොඩා සිටින විට ඉදිරි අසුනේ උන් ආරක්ෂක තරුණයා හාමුදුරුවන් ඇමතීය.

“රැස්වීම පැත්තට වඩිනවද හාමුදුරුවනේ?“

මොහොතක් කල්පනා කල කස්සප හාමුදුරුවෝ “ නෑ පන්සලට යමු“

පිළිතුරෙන් විශ්මයට පත්ව මුහුණට මුහුණ බලාගත් රියදුරු සහ ආරක්ෂක තරුණයා කිසිවක් නොදොඩා ඉදිරියට ඇදෙන රථයේ වේගයට සමවැදෙන්නට විය. කස්සප හිමියන් කල්පනාවේ නිමග්නව ගමන් කරන රථයේ විනිවිද පෙනෙන් වීදුරුවෙන් අවට ලෝකය දෙස බලාසිටියද උන්වහන්සේගේ නෙත් ඉදිරියේ මැවෙමින් තිබුණේ පසුගිය හෝරාව ඇතුලත සිදුවූ සිදුවීමය. හෝරාවකට පෙර තමන් සිටි මානසික තත්ත්වය සහ දැන් තත්ත්වය සංසන්දනය කිරීමේදී කොතරම් අසරණකමක් තමන්ට දැනේද යන්න පළමු වරට කස්සප හිමියන් තේරුම්ගත්හ.

- පුර අටවක මීළඟ කොටස මැයි 01 වැනි ඉරිදා -

3 comments:

  1. හපොයි පව් කස්සප උන්නනාන්සෙ..
    මට ගෝරා මතක් වුණා

    ReplyDelete
  2. නියමයි. මැයි පලවෙනිදා වෙනකම් බලන් ඉන්නවා/

    ReplyDelete