Apr 17, 2016

හැංඟි හැංඟි එබිකම් කලා - හොරැහින් ඔබේ හිත අස්සේ..


දැන් කොරියන් කතා හිස්ටීරියා තත්ත්වය කෙමෙන් මැකී යමින් පවතින අතර නැවතත් සුප්‍රසිද්ධ ඉන්දියානු කතා ප්‍රේමීත්වය මතුවෙමින් ඇත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව සමග ඔරොප්පුවී ඉන්දියානු කලා ආනයනයන්ට සත්තමක් දමන්නට කටයුතු කල කාලයේ ඇතැම් නාලිකාවල පැය භාගය හමාර කළුපාට විතරක් දක්නට ලැබුණේ කාලයක් පත්තරවල ඡේද පිටින් “බලධාරියා විසින් කපා හරින ලදි“ යනුවෙන් තිබූ පරිද්දෙන්මය. 

ඒත් ඉන්දියානු මෙගා ටෙලි වලට සහ ෆිල්ම් වලට බකට් වැටුණද කොරියානු ආදේශකය සාර්ථක බව මුලින්ම පෙන්වා දුන්නේ ස්වාධීන් රූපවාහිනියේ “ෆුල් හවුස්“ කතාවත් එක්කය. සුප්‍රසිද්ධ කොරියන් පොප් ගායන තරුවක් සහ සුරූපි නිළියක් චරිතවලට පණ පෙවූ එම කතාවෙන් ලංකාවේ චැනල්වල කොරියන් බෙල්ට් එක පාඩු නැතිබව පෙන්වා දෙන්නට විය. ඊට පස්සේ ජාතික රූපවාහිනිය “සුජාත දියණිය“ “අභීත දියණිය“ වැනි කතා පෝලිම් ගස්සවද්දි අනිත් නාලිකාද නිකං සිටියේ නැත. ඉන්දියානු මෙගා බල්ලට දමා කොරියාවේ කුණු බක්කිවල තිබුණ ඩී.වී.ඩී තැටි පවා උස්සගෙන ඇවිත් චැනල්වල පෙන්වන්නට විය. දැන් ඒ අසනීපයද අවසන්වී ඇත. නැවත ඉන්දියානු මෙගාවාදිත්වය මතුවෙමින් ඇත.


“මේ ආදරයයි“ පටන් “සදහටම ඔබ මගේ“ දක්වා ඇත්තේ නැවත මතුවූ ඒ අසනීපයයි. කොහොමටත් කොරියානු කතාවලට වඩා, ජපන් කතා වලට වඩා ඉන්දියානු මෙගාවලට ලංකාවේ ප්‍රේක්ෂකයා වැඩි වැඩියෙන් කෙළ හලන බව නොරහසකි. වර්තමාන ආණ්ඩුවත් ඇමරිකාව සහ ඇමරිකාවේ දකුණු ආසියානු නියෝජනය වන ඉන්දියාවත් සමග ඇති ඇයි හොඳැයිය නිසා ඉන්දියානු මෙගා ලංකාවේ චැනල්වල ආයෙත් වැහි වැස්සාට කමක් නැත. එහෙත් පුංචිම පුංචි ගැටළුවක් (එහි ප්‍රාමාණිකත්වය තීරණය වන්නේ එක් එක් පුද්ගලයා අනුවය) ලෙස ගත හැක්කේ ලංකාවේ ටෙලි නිර්මාණ කෙමෙන් කෙමෙන් වල පල්ලට යමින් තිබීමය. අඩුම ගානේ හරියට ජනප්‍රියවන කසිකබල් මෙගා ටෙලියක්වත්  දැන් නැත.

“දඬුබස්නාමානය“ “වෙදහාමිනේ“ හෝ “බෝඩිම“ “කීටයා“ වැනි මාදිලියේ ටෙලියක්වත් දැන් විකාශනය වන්නේ නැත. මීට වසර කිහිපයකට පෙර “ස්වයංජාත“ “කළුවර ගෙදර“ “සඳගලතැන්න“ වැනි යම්තාක් දුරට සැනසුම් සුසුම් හෙළිය හැකි මට්ටමේ නිර්මාණ බිහිවූවද දැන් එයද නැවතී ගොසින්ය. ඉතින් දැන් ඉන්දියානු මෙගාවල තාලයට නටනු විනා ලංකාවේ අපිට අපේ කියා කටක් ඇර කියන්නට දෙයක් නැතිකම සංවේගයෙන් යුතුව වුවද දැනුම් දිය යුතුය.

2 comments:

  1. මෙහෙමයි............

    ඇත්තට ම අපේ හිත්වලට පුරුදු කරලා තියෙන විදිහද මන්දා අපිට නං ඔය විකාර නාට්‍ය දැක්කාමත් අවුල්. ඒවා ඇත්තට ම විකාර. කිසිම දෙයක් නැති විකාර. ඒත් තාමත් ලංකාවේ ටෙලිනාට්‍ය කලාව හරි ම දියුණුයි. උදාහරණයකට මෙහෙම කියන්නම්. රූපවාහිනියේ රූ 8.30 නාට්‍ය කවදාවත් විකාරයක් වෙන්නේ නැහැ. තවත් දෙයක් කිව්වොත් සෙනසුරාදා යන ගොලුතාත්තා, මීදුම් අම්මා වගේ නාට්‍ය ගත්තා ම ඒවා හරිම දියුණු කලා හැකියාවක් පෙන්වන ඉන්දියාවට විතරක් නෙමෙයි මුළු ලෝකයට ම අභියෝග කරන්න හැකි නාට්‍යය.

    වෙනස ඇති විය යුත්තේ රටේ මිනිස්සුන්ගේ හිත්වලයි. දෙකයි පහේ නාට්‍ය වලින් තෘප්තවීම වෙනුවට උසස් රසවින්දනයකට හුරු වෙනවානං ඔය කසිකබල් නාට්‍ය ගෙන්වලා ඇඩ් මැදින් නාට්‍ය කෑලි පෙන්නන උන්ට ඕවා කරන්න වෙන්නෑ.

    ReplyDelete
  2. උරුමක්කාර ෙයා් කියලා ලස්සන එකක් යනවා දැන් හිරු හැමදාම

    ReplyDelete