මෙතෙක් සියළුම කොටස් මෙතැනින් කියවන්න
දවස් කීපයක් තිස්සේ තද්ධිතට විවිධ රාජකාරී හේතු නිසා නගරයෙන් පිට යන්න සිද්ධවුණා. ඒ දවස්වල අනන්‍යාගේ සියළුම වගකීම් නැන්දා සහ රත්නේ මාමා බාරගන්න නිසාත් අවශ්‍ය ඕනෑම වෙලාවක චමීරා ඒ ආසන්නයේ රැඳෙන නිසාත් ඒ ගැන බයවෙන්න දෙයක් තිබුණේ නෑ. මැතිවරණ කටයුතු ඉලක්ක කරගෙන කරන ප්‍රසන්න සහ අප්‍රසන්න ප්‍රචාරණ යාන්ත්‍රණවලට ආයතනයක් විදිහට තද්ධිත රැකියාව කරන ආයතනය සම්බන්ධවෙලා හිටියත් බොහෝවිට තද්ධිත උත්සහකලේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් ඈත්වෙලා ඉන්න.
‘ඕක හරියන්නේ නෑ තද්ධිත.. අනික උන්ගේ දේශපාලනය අපිට වැඩක් නෑනේ..අපි
කරන්නේ බිස්නස් එක..’
දවසක් තද්ධිත තමන්ගේ අකමැත්ත සෘජුවම බොස්ට කියපු වෙලාවක බොස්ගේ
පිළිතුර බොහොම සරල වගේම සාධාරණ එකක් වුණා.
‘ඒක ඇත්ත..ඒත් නාරද ඔය සමහරක් ඒවා හිතට එකඟව කරන්න බැරි දේවල්..’
බොස් වුනත් බොහොම මිත්‍රශීලීව වගේම තද්ධිතගේ වෘත්තීය ගෞරවය ආරක්ෂාවෙන
විදිහට ආයතනයට පය තියපු දවසේ ඉඳලම වැඩකරන නිසා නාරදට සහ තද්ධිතට කතා සාකච්ඡා කරන්න
බැරි මාතෘකා තිබුණේ නෑ. නාරද තද්ධිත වාඩිවෙලා හිටපු මේසය ලඟ මේසෙක වාඩිවෙලා
කතාකරන්න පටන්ගත්තා.
‘තද්ධිත මේ ඡන්ද කැම්පේන්වල කන්සෙප්ට් ගොඩක් ඒවා ඔය අපේක්ෂකයෝ හරි
උන්ගේ මාධ්‍ය සම්බන්ධිකාරකලා හරි නැත්නම් උන්ට සපෝර්ට් කරන එවුන් හරි අරගෙන එන ඒවා..අපි
හදන ඒවා තියෙන්නේ සීයට දශම ගානයි.. මම එහෙම නොකරන්නෙම ඔය තද්ධිත හිතන තැන මමත් කාලෙකට
කලින් ඉඳන් ඉන්න නිසා..හැබැයි අපි උන්ගේ බජට් එකට සාධාරණයක් වෙන්න සර්විස් එකක්
හරි ප්‍රොඩක්ට් එකක් හරි ඩිලිවර් කරනවා.. ඒක හරියටම වින් වින් සිටුඒෂන් එකක් වගේ..
සමහර එවුන් දිනනවා..සමහර එවුන් පරදිනවා..උන්ගෙන් සමහරක් එවුන් හොඳ එවුන්..සමහරක්
එපාකරපු එවුන්..’
තද්ධිත මද සිනාවක් එක්ක නාරද දිහා බැලුවා. නාරදට බොහොම හොඳ හැකියාවක්
තියනවා තමන්ගේ ඇතුලේ තියන අදහස හෝ පණිවිඩය තවත් කෙනෙක්ට, නැත්නම් පිරිසකට
සන්නිවේදනය කරන්න. නාරදගේ බලවත් ඉල්ලීමට ඇතැම් සාකච්ඡාවලට සහ රාජකාරීවලට
සම්බන්ධවුනත් අනිත් හැම වෙලාවකම වෙනත් ප්‍රචාරණ ව්‍යාපෘතිවලට මහන්සිවෙන එක තද්ධිත
පුරුද්දක් කරගත්තා.
‘සෑහෙන්න වැඩද?’
එහෙම වැඩ රාජකාරී වැඩි දවසක හවස්වරුවේ තද්ධිත චමීරාට කෙටි පණිවිඩයක්
යැව්වා. ඒ වෙද්දි පුංචි දරුවන්ගේ පැවරුමකට අවශ්‍ය රූප කිහිපයක් හදාගන්න අවශ්‍ය පාට
කොළ කපමින් හිටපු ඇය ජංගම දුරකතනය අතට ගත්තා.
‘ටිකක්..’
ඇගේ උත්තරය තද්ධිතගේ දුරකතනයේ දිස්වුණා.
‘හෙට හවස මොකද කරන්නේ..?’
‘හවසට...ඉර බහිනවා.. එතකොට රෑ වෙනවා..’
‘ආ..ඇත්තද..ඊට පස්සේ..?’
‘ඊට පස්සේ.. නිදාගන්නවා..ආයේ උදේට නැගිටිනවා..’
‘එච්චර ඒකාකාරී ජීවන රටාවක රාමුවකට කොටුවුණූ කාන්තාවක් බවට පත්වෙලාද?’
තද්ධිතගේ වගේම චමීරාගේ මුහුණේ තියෙන්නෙත් අහිංසක හිනාවක්.
‘ඔව් ඉතින් කරන්න වැඩ අඩුවුණාම ඒකාකාරී වෙනවා.. ඒකට කමක් නෑ හෙට හවස
මොකද වෙන්නේ..?’
‘මම එනවා බීච් එක පැත්තට..එනවද ඒ පැත්තට?’
‘මම’ කියලා විශේෂීකරණය කරපු එකත් එක්කම චමීරාට දැනුනා මේක දෙන්නා
විතරක් හමුවෙන අවස්ථාවකට කරන මගපාදා ගැනීමක් කියලා. ඒ ඇරයුම බාරගන්නවාද නැද්ද කියන
සිතිවිල්ලෙන් ඇය මොහොතක් ගත කලා.
‘හා එන්නම්..’
‘මරු..’
‘මාව පැහැරගන්න එහෙම නෙවෙයි නේද?’
චමීරාට මේ සොඳුරු හැඟීම් ගනුදෙනුව මොහොතකට නතර කරන්න හිතුනේ නැති
නිසාම ඒ වගේ පණිවිඩයක් යැව්වා.
‘කව්ද ටීචර් කතා කරලා පැහැරගන්නේ..අනිත් එක පැහරගෙන තාත්තාගෙන් සල්ලි
ඉල්ලන්නද?’
‘ඇයි ඉල්ලුවොත් තාත්තා දෙන එකක් නෑ කියලද හිතන්නේ..’
‘තාත්තා කියයි.. කියන ගාණක් එවන්නම් උස්සගෙන ගියපු තැනකම තියාගන්න
කියලා..’
‘අනේ මේ..දන්න තරම තමයි..’
දෙන්නා කාලයක් තිස්සේ දන්න අඳුනන දෙන්නෙක් වගේ බොහෝ වෙලාවක් තිස්සේ
කෙටි පණිවිඩ හුවමාරු කරගත්තා. පොඩිත්තන්ගේ පැවරුමේ වැඩත් අමතකවෙලා රෑ බෝ වෙනකල්ම
චමීරා මූණේ හිනාවක් තියාගෙන කෙටි පණිවිඩ යැව්වා.
* * * * * * *
පහුවෙනිදා හවස තද්ධිත මාතර වෙරළ තීරයේ කෙළවරට වෙන්න නිදහස් තැනක බංකුවක
වාඩිවෙලා මුහුද දිහා බලාගෙන හිටියා. පුංචි කාලේ ඉඳන්ම දකින මුහුද තාම වෙනස්වෙලා නෑ
කියලා හිතුනා. සුනාමියත් එක්ක නගරයට ඇවිත් දහස් ගාණක් ජීවිත බිලිගෙන ගියාට පස්සේ
මාස ගාණක් යනකල්ම මාතර මිනිස්සු මුහුද දිහා බැලුවේ බයෙන්, නැත්නම් තරහෙන්. කාලයක්
තිස්සේ වෙරළට ගිහින් මුහුද දිහා බලන් ඉන්න පුරුද්ද මිනිස්සු අතෑරියා. ඒත් කාලයකට
පස්සේ ආයෙත් මිනිස්සු සුපුරුදු විදිහට රිදවීම් අමතක කරලා සැනසීම් එක්ක යාවෙන්න
උත්සහ කරනවා.
ටික වෙලාවකින් චමීරා පාර මාරුවෙලා තමන් ඉන්න දිහාවට එනවා තද්ධිත
දැක්කා. හීනි හිනාවක් එක්ක ටිකක් ලැජ්ජාවෙන් වගේ පැමිණෙන ඈ දිහා තද්ධිත බලාගෙන
හිටියේ හිතපුරා දුවන ආශාවක් එක්ක. ඒ තුරුණු සිරුරේ ලාලිත්‍ය එක්ක, ඒ මුහුණේ ඇස්වල
තියන ප්‍රේමණීය බව එක්ක තමන්ගේ හැඟීම්වල හැරෙන්නවත් බෑ කියලා ඔහුට හිතුනා. තමන්
අවුරුදු ගාණක් ජිවිතේ ආපස්සට යනවා කියලා තද්ධිතට නැවත නැවතත් දැනෙන්න පටන්ගත්තා.
‘ගොඩක් වෙලාද ඇවිත්?’
‘නෑ චමී..ටික වෙලාවයි..’
තද්ධිත වාඩිවෙලා හිටපු බංකුවේ අඩියක් විතර මෙපිටින් ඇය අසුන්ගත්තා.
මොහොතක් බෙල්ලත් ඇල කරගෙන මුහුද දිහා බලාගෙන හිටියා.
‘ඉතින්..ඇයි එන්න කිව්වේ..?’
‘ආ..එන්න කිව්වේ ටීචර්ට කියලා පාඩමක් ඉගනගන්න..’
‘ටීචර්ට කොහොමත් පාඩමක් ඉගනගන්න වෙනවා මේ තැන තැන රස්තියාදු ගහලා..’
‘කමක් නෑනේ..ඒක හොඳ පාඩමක්නේ.’
තද්ධිත සහ චමීරා මොහොතක් හිනාවෙන් ගතකලා. තද්ධිත මේ මොහොත වෙනකල්
දවස් ගාණක් තිස්සේ බලාගෙන හිටියා. තමන්ට කිසිම ඥාතිත්වයක් හරි ශාරීරික බැඳීමක් හරි
නැති මේ කෙල්ල එක්ක ජීවිතේ සෑහෙන්න කාලයක් තමන්ට වදදෙන හැඟීම් තොගයක් එක මොහොතකින්
දිගඇරලා හතිඅරන්නින තිබුණු වුවමනාව එක්ක තද්ධිත පසුවුණා.
‘චමී...මට දේවල් ටිකක් කියන්න තියනවා..’
‘හ්ම්..’
‘මම එදා කිව්වා වගේම ඔයාගෙත් හිතට වදදෙන..මගෙත් හිතට වදදෙන මේ දේවල්
ටික කියලා එක පැත්තකින් මට මගේ හිත නිදහස් කරගන්න ඕන..’
තද්ධිත බොහොම හැඟීම්බරව කියන මේ කතාව දිහා චමීරා මොහොතක් අහගෙන
හිටියා. ඊට පස්සේ තද්ධිතගේ ඇස් දෙක දිහා බලාගෙන ඇය කතාකලා.
‘ඒ දේවල් අහලා මගේ හිත බරවෙන එකක් එහෙම නෑ නේද?’
ඇය කිව්ව ඒ කතාවේ ගොඩක් දේවල් ගැබ්වෙලා තියනවා කියලා ඒ වචන මාත්‍රයේ
වගේම ඇගේ ඇස්දෙකේ තිබුණු හැඟීම් ධාරාව එක්ක තද්ධිත අවබෝධකරගත්තා. මොහොතකට හීන්
හිනාවක් එක්ක ඇය දිහා බැලුවා.
‘එහෙම බරවුනොත් සැහැල්ලු කරගමුකෝ..’
ඇය හිනාවෙලා ඔහු දිහා බැලුවා. තද්ධිත මේ සූදානම් වෙන්නේ මොනවිදිහේ
කතාවක් කියන්නද කියලා ඇයට අවබෝධයක් තිබුණේ නෑ ඒත් ඒ කතාව සාවදානව අහගෙන ඉන්න එකෙන්
තද්ධිතගේ හිතට මොකක්මහරි සහනයක් ලැබෙයි කියන සිතිවිල්ල එක්ක ඇය හැම හැඟීමක්ම
පැත්තකින් තියලා මේ ගමන එන්නත් මේ කතාව අහන්නත් කලින්ම තීරණය කරලා තිබුණා.
‘මීට අවුරුදු හතකට කලින් තමයි මම ප්‍රංශෙට යන්නේ.. ඒ යන්නේ ඒ වෙද්දි මට
ලංකාවේ ඉන්න බැරිවෙන තත්වයක් ඇතිවෙලා තිබුණ නිසා. එක පැත්තකින් ඒ ගමන ජීවිතේ බේරගන්න
ගියපු ගමනක්, අනිත් පැත්තෙන් ඒක ජීවිත ගණනාවක් බේරගන්න ගියපු ගමනක්..’
‘ඒ කිව්වේ..’
චමීරාට ඒ කතාවේ නොතේරුණු තැන් තේරුම්කරගන්න ඇය තද්ධිතගෙන් විමසුවා.
‘මම ඒ කාලේ වැඩකලේ මැගසින් එකක. ඒ ලෙවල් කරලා මීඩියා වැඩ වගේම එක එක
කෝසස් කාලයක් තිස්සේ කරලා මම මුලින්ම කම්පියුටර් මැගසින් එකක වැඩකලා..පස්සේ ඒ
එක්ස්පීරියන්ස් එක්කම මට ඇරෝ මැගසින් එකට සම්බන්ධවෙන්න ලැබුණා..ඔයා අහලා තියනවද
ඇරෝ මැගසින් එක ගැන..’
චමීරා තමන්ගේ මතකය අවදිකරන්න උත්සහ කලා. මීට කාලයකට ඉහතදී මේ නම නිතර
නිතරම ටී.වී එකේ රේඩියෝ එකේ වගේම මගතොට කතාබහ අතරේ ඇහුණා කියන මතකය විතරක් ඇයගේ
මනසේ තිබුණා.
‘මට නම හොඳට මතකයි..මොකක්හරි ලොකු ප්‍රශ්නයක් වුනා නේද?’
‘හරියට හරි.. ඒ කාලේ ඇරෝ මැගසින් එක තමයි ලංකාවේ පුවත් සහ කාලීන
කැටගරි එකේ නැගලම ගියපු මැගසින් එක.. මොකද මිනිස්සුන්ට හොයාගන්න අමාරු දේශපාලන ප්‍රශ්න..දූෂණ..වංචා
ගොඩක් එළීයට දැම්මේ මැගසින් එකෙන්..ඒ නිසා මිනිස්සු පුරුද්දක් විදිහට මැගසින් එක
බැලුවා..පත්තර නොබලන අය පවා ඇරෝ බලන්න පුරුදුවුණා..’
තද්ධිත මුහුද දිහා බලාගෙන තමන්ගේ අතීත කතාව දිගහරිමින් හිටියා.
‘ඒ දවස්වල ලංකාවේ ඕනම අස්සක මුල්ලක තොරතුරු මැගසින් එකට ආවා.. ගොඩක්
ඒවා මිනිස්සු එවනවා.. තවත් ඒවා අපේ මාධ්‍යවේදියෝ හොයාගන්න දේවල්..මමත් බොහොම
ඉක්මණට මැගසින් එකේ ට්‍රැක් එකට වැටුණා..ඒ කාලේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතාකරපු නිසා
මැගසින් එකට පිංදෙන හැටි දැකලා අපි අපේ උපරිම මහන්සියෙන් මැගසින් එක වෙනුවෙන් වැඩ
කලා..’
තද්ධිත තත්පර කිහිපයක් නිහඬව හිටියා. චමීරා බොහොම සාවධානව කතාව අහගෙන
ඉන්නවා.
‘ඒ කාලේ ආණ්ඩුවලින් මැගසින් එකට එච්චර හොඳ ප්‍රතිචාර තිබුණේ නෑ..මොකද
ආණ්ඩුවේ මැති ඇමතිවරු ලොකු ලොකු තැන්වල ප්‍රශ්න ගණනාවක්ම තොරතුරු එක්කම මැගසින්
එකෙන් එළියට දාපු නිසා එඩිටර්ට ගොඩක් වෙලාවට ප්‍රශ්න ආවා..සමහර කාලෙට එක දිගට සති
ගණන් සී.අයි.ඩී එකේ.. නැත්නම් එක දිගටම කෝල් එනවා මරණ තර්ජන එක්ක..ඒත් ආණ්ඩු විපක්ෂ
භේදයක් නැතිව අල්ලස්..දූෂණ..වංචා විතරක් නෙවෙයි රේප් කේස් ගණනාවක් ගැනත් මැගසින්
එක තොරතුරු එළියට දැම්මා..මැගසින් එක තොග පිටින් විකිණුනාට ඒකත් එක්ක අපි හැමෝගෙම
ජීවිතවලට ලොකු අවදානමක් එකතුවුණා..’
තද්ධිතගේ ඇස් ඉස්සරහා ඒ අතීත දවස් මැවෙමින් තිබුණා. බොක්සර් බයික්
එකේ නැගලා කොළඹ වටේ හැම තැනම ගියපු හැටි..රෑ නිදිමරාගෙන තොරතුරු එකතුකරගන්න එක එක පුද්ගලයෝ
හමුවෙන්න ගියපු හැටි..කෝච්චියේ රස්තියාදුවෙවී පිට පළාත්වල සිද්ධි හොයන්න ගියපු
හැටි..බෑග් එකේ කැමරාව හංගඟෙන පොටෝ ගත්ත හැටි තද්ධිතට චිත්‍රපටියක් වගේ
සිහිපත්වුණා.
‘එහෙම තර්ජන තියන කාලෙක මම කරපු ඉන්වෙස්ටිගේටිව් ආර්ටිකල් සීරීස්
එකක් නිසා පොලීසියට පවා ලොකු ප්‍රශ්නයක් වුණා...ඇත්තටම ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගේ ලොකු
වංචාවක් ගැන තමයි ඒ සීරිස් එක ලිව්වේ..ඒ වෙද්දි මැගසින් එක හොඳටම විකිණෙනවා..මිනිස්සු
ඒ ආර්ටිකල් සීරිස් එක නිසා සෑහෙන්න කුලප්පු වුණා.. ඇමතිට ආපු බලපෑම් එක්ක මිනිහට
ආණ්ඩුව ඇතුලෙන් පවා ප්‍රශ්න එන්න ගත්තා..මිනිහා පත්තරේට සෑහෙන්න තර්ජන දැම්මා..මැගසින්
එකේ ආර්ටිකල් පලකරන එකවත් නවත්තපු නැති තැන මිනිහා සල්ලි දීලා වැඩේ වහන්න
හැදුවා..ඒකත් අපි එළියිට දැම්මා..මිනිහා ඒ කාලේ හිටියේ වෙඩි කාපු ඌරා වගේ..’
කතාවේ ත්‍රාස්‍ය ජනකම කොටස එද්දි චමීරා බොහොම උනන්දුවෙන් වගේම මුහුණේ
තිගැස්මක් ඇතිව මේ කතාන්දරය අහගෙන හිටියා.
‘ඉතින්..’
‘මිනිහාට කොහමහරි තොරතුරු ගිහින් තියනවා මට ඒ ආර්ටිකල් සීරීස් එකට
විස්තර දීපු කෙනා ගැන.. දවසක් මම ඒ කෙනා දෙහිවල ස්ටේෂන් එක ලඟ අතුරු පාරකදි මුණගැහෙන්න
ගියා..ඒ යන අතරමගදි මට නිව්ස් එක ආවා ඒ මිනිහා ඊට ටිකකට කලින් මරලා දාලා කියලා..ඒ
කාලේ මාත් එක්ක මැගසින් එකේම එකට වැඩකරපු ප්‍රමින්ද කියලා යාළුවෙක් තමයි මට විස්තරේ
දුන්නේ..නැත්නම් මම එතනට ගියානම් ඊළඟ ෂොට් එක මටවෙන්න ඉඩ තිබ්බා..’
කතාවේ සමහර සිද්ධි චමීරා හිතින් මවාගන්න උත්සහ කලා. ඒ රස්සාවේ තියන
අවදානම සහ බරපතලකම තේරුම්ගන්න ඇය සෑහේන මහන්සිගත්තා.
‘ඒ වෙද්දි වටින් පිටින් මට දැනගන්න ලැබුණා මගේ පස්සෙන් කට්ටිය දාලා
ඉන්නේ කියලා.. මම ඒක ගැන හිතුවේ නෑ එච්චර..ඒත් දවසක් මම බුහාරි එකේ කෑම කකා ඉන්න
වෙලාවක මම දැක්කා ඈත ටේබල් එකක වාඩිවෙලා හිටපු උස මහත කොල්ලෙක් මගේ දිහා හොඳින්
බලාගෙන ඉන්නවා..මට ඒක නුපුරුදු හින්ඳා මම එළියට ඇවිත් බයික් එකෙන් බොරැල්ල පැත්තට
යන්න ආවා.. එතකොට මට තේරුනා මගේ පස්සෙන් එළවනවා කියලා..
ඒ විදිහට දවස් ගාණක් මරණ තර්ජන පස්සෙන් එළවද්දි මම ඒවා එක්ක වෙට්ටු
දාමින් හිටියා.. එක්කෝ මගේ පස්සෙන් පැන්නුවේ මාව මරන්න..නැත්නම් තොරතුරු තියනවනම්
ඒ ටික නැති කරන්න කියලා මම දැනන් හිටියා.. මම ඒ සේරම අස්සේ තව ආර්ටිකල් එකක්
ලිව්වා ඒ ඇමති ගැනම..ඒ වෙද්දි මම කඩවත යාළුවෙක්ගේ ගෙදරක නැවතිලා හිටියේ..මොකද කොළඹ
මම හිටපු බෝඩිමට ඒ වෙද්දිත් දෙතුන් පාරක් එක එක කණ්ඩායම් මාව හොයාගෙන ඇවිත් තිබුණා..
ඒ අතරේ දවසක තමයි මැගසින් එකේ ඔෆීස් එකට බෝම්බයක් ගැහුවේ..’
‘බෝම්බයක්..!’ චමීරා ඒ වචනය නැවත උච්ඡාරණය කලා.
‘ඔව් බෝම්බයක්.. ඒ වෙද්දි මැගසින් ඔෆීස් එකේ කීපදෙනෙක් විතරයි ඉඳලා
තිබුණේ..ඒ අයට සුළු තුවාල විතරයි..ඒත් ඒ එක්කම ඔෆීස් එකට ගිනිතියලා තිබුණා..අන්න ඒකේ
විස්තර තමයි සෑහෙන්න ටී.වී රේඩියෝවල ගියේ..’
චමීරාට ඒකත් එක්කම අතීතයේ ඇරෝ සඟරාව සම්බන්ධයෙන් තමන්ගේ තිබුණු මතකය
අවදිවුණා. තමන් උසස්පෙල කරමින් හිටපු ඒ කාලේ මේ සිද්ධිය ගැන නිව්ස් එක දැකලා ඇය
තමන්ගේ පන්තියේ යෙහෙළියකට කියපු කතාවක් මතක්වුණා.
‘අපරාදේ..නිකන් මැරෙන්න හදනවා..’
ඇත්තටම ඒ කතාවේ දිගක් පළලක් එදා නොතේරුනාට ජීවිතේ කවදහරි දවසක ඒ ප්‍රවෘත්තියට
ප්‍රධාන සම්බන්ධයක් තියන කෙනෙක් මේ විදිහට තමන්ගේ ඉස්සරහා ඒ කතාව ආයෙත් සිහපත්කරාවි
කියන එකම තවත් පැත්තකින් ඇයට හීනයක් වගේ.
‘මැගසින් එකට දිගින් දිගටම ප්‍රශ්න වෙද්දි කරගෙන යන්නත් අමාරුවුණා.. තව
ආර්ටිකල් එකකින් පොලීසියේ ලොකු තනතුරක් දරපු කෙනෙක්ගේ ඩීල් එකක් එළියට දැම්මාට පස්සේ
දවසේ රෑ එඩිටර්ගේ වාහනේ හැප්පුවා..දශමෙන් ජීවිතේ බේරුනේ..මේ සේරම ඒකක මැගසින් එකේ
වැඩකරපු අපි එක එක තැන්වල තමයි හිටියේ..හැමදේම කරන්න ජීවිතේ බේරිලා තියෙන්න ඕන
කියන එක ඔළුවේ තිබ්බත් තරුණකම එක්කම අපේ ඇඟේ තිබ්බ මාධ්‍ය උණ නිසා මිනිස්සුන්ට ඇත්ත
කියලා මැරිල ගියත් කමක් නෑ කියලා හිතන තැනට අපේ ඔළු වෙනස්වෙලා තිබුණා..ඒ කාලේ
දිගටම මගේ යාළුවා ප්‍රමින්ද මාත් එක්ක හිටියා..ඒත් ඒ හැමදේම එක තැනකදි වෙනස්වුණා..’
‘ඒ මොකක්ද?’
චමීරා බොහොම උනන්දුවෙන් ඇහුවා.
අනිවා කම්බායක් හම්බෙන්න ඇති :D
ReplyDeleteමාසයක් ගිහින්නේ... කෝ 10?
ReplyDeleteකෝ අනේ 10?
ReplyDeleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDelete