මිනිස්සුන්ගේ ජීවිතවලට එක් එක් කාලවලදි එක් එක් දේවල් වලට මුහුණදෙන්න වෙනවා. ඒ වගේම තමයි දේවල් නිසා ජීවිතේ ඇතිවෙන වෙනස්කම්වලට අනුවර්තනය වෙන්න වෙනවා. කාලෙකට ඉහත තමන් කියවපු පොතක මේ අදහස ගැබ්වෙලා තිබුණා කියලා තද්ධිතට මතකයි. ඕනම මනුස්සයෙක්ගේ ජීවිතය කියන්නේ බොහොම සරලව සුමටව ගලාගෙන යන ගඟක් නෙවෙයි කියන එක අමුතු දෙයක් නොවුණට ජීවිතේ නිදහස වගේම සැනසිල්ල අවශ්‍යම කාලයේදී ඒවා නැතිවීම මානසික තත්වයට කරන්න පුළුවන් ලොකුම බලපෑමක්.
ඔෆීස් කාමරයට වෙලා ලැප්ටොප් තිරය දිගඇරගෙන තද්ධිත බොහෝ වේලාවක්
කල්පනා කලා. තමන් ඉදිරියේ තියන වගකීම් ඔහු නොදන්නවා නෙවෙයි උනත් මොහොතකට හරි මේ
හැම වගකීමකින්ම මිදිලා කොහේ හරි නිදහස් තැනක නිදහසේ ජීවත්වෙන්න හිතුනා. ඒත් ඒ අතරේ
මතුවෙන අනන්‍යාගේ අහිංසක ඇස්දෙක නිසා ඒ හැඟීම්වලින් තද්ධිත බොහොම ඉක්මණින්ම මිදිලා
යථාර්ථයට කැඳවාගෙන එනවා.
ජීවිතේ අඩියක්වත් ඉස්සරහට තියන්න බයක් මේ වෙද්දි හිතට දැනෙමින් තිබුණ
නිසාම අතීතය ගැන වර්තමානය ගැන වගේම අනාගතය ගැනත් නිදහසේ කතාකරලා බෙදාහදාගන්න
නැත්නම් වචනයක හරි ධෛර්යයක් ගන්න තමන්ගේ පැත්තකින් කවුරුන් හෝ නැති අඩුව තද්ධිතට
දැනෙමින් තිබුණේ මීට බොහෝ කාලයකට කලින් ඉඳන්. අවුරුද්දකට විතර පැරීසියේ සීතල රාත්‍රියකදි
අනන්‍යාට හදිස්සියේම උණගනිද්දි ඇය බොහොම අපහසුවෙන් කෙඳිරිගාමින් වෙව්ලද්දි ඒ
අසරණකම ඔහු ඉතාම කටුක විදිහට අත්වින්ඳා. ඒ වෙලාවට ගැහැණියකට තියන ශක්තිය සහ දරාගැනීම
පිරිමියෙක්ට ලෙහෙසියෙන් ආරෝපණය කරගන්න බැරි බව තේරුම්ගත්තා. එදා රාත්‍රියේ දරුවෝ
රෝහල්ගතකරලා සුවවෙලා නැවත නිවසට කැඳවාගෙන එනතෙක්ම පැරීසියේ මිතුරා දේශීත සහ ඔහුගේ
බිරිඳ නොඉන්නට තමන් ඒ අත්දැකීමට කොහොම මුහුණ දෙන්නද කියන එක ගැටළුවක් වෙලා තිබුණා.
‘තාත්තී’
අනන්‍යා සෙල්ලම් කරකර ඉන්න ගමන් දාඩිය දාගෙන තද්ධිත ලඟට දුවගෙන ආවා.
තාමත් හතිදාමින් ඉන්න කෙල්ල දැක්කම දැනෙන සතුට සැනසුම හැම ප්‍රශ්නයක්ම පරාද කරනවා
කියලා තද්ධිතට හිතුනා.
‘ඇයි පුතේ..’
‘නෑ මං මේ පේන්න නැති නිසා බැලුවේ..’
කෙල්ල එහෙම කියාගෙන ආයෙත් දුවගෙන ගියේ සාමාන්‍යයෙන් අනන්‍යා පේන්න
නැතිවුණාම තද්ධිත හොයලා බලන විදිහ අනුකරණය කරමින්. ඒ සතුටු සැනසුම් අතරේ කළු වළාවක
අඳුරු පැහැය දවස් කීපයක ඉඳන් දර්ශනයවීම නිසා හිත එක පැත්තකින් නොසන්සුන් කරද්දි ඒ
දෙක අතරේ සමබරතාවය පවත්වාගන්නේ කොහොමද කියන එක ඔහු කල්පනා කරමින් හිටියා.
සහනයකට කියලා ජීවිතයට අළුතින් යමක් එකතුවුණානම් ඒ චමීරාගේ දසුන වගේම
ඇගේ වචන කියන එක මතකයට ආවා. නොදන්නා හැඟීමකින් හරි ඉක්මණට තමන්ගේ ජීවිතේ එක්ක
දශමයක් හරි බද්ධවෙලා ඉන්න ඇය එකතුකරපු මිහිරියාවට ආදරයක් හරි වෙන මොකක්හරි නමකින්
නිර්වචනය කරලා ලඝුකරන්න පුළුවන්කමක් නෑ කියලා හිතුනා.
සති කිහිපයකට කලින් සිද්ධවුණු මුල්ම හමුවීමේ ඉඳන් මේ දක්වා දවසින්
දවස තමන් චමීරා එක්ක ඇතිකරගෙන තියන මානසික ගණුදෙනුව ටික ටික දුර යන්න පටන්ගෙන
තිබුණා. දෙන්නා අතරේ හුවමාරුවෙන පණිවිඩ ප්‍රමාණය එක්ක අදහස් ප්‍රමාණයත් වැඩිවෙමින්
තිබුණා. ඒ නිසාම එක පැත්තකින් තද්ධිතගේ ජීවිතේ තිබුණු මිත්‍ර සමාගමක අඩුපාඩුව වගේම
ස්ත්‍රී අදහස් ගොන්නකින් ජීවිතේ කියන පාළුගෙයි තැන් තැන්වල මල්පැල මතුවෙන ලස්සන
වෙන ස්වභාවයට තද්ධිත කැමැත්තෙන් හිටියා.
ඒත් චමීරාගේ පැත්තෙන් ඇය තමන්ගේ රැකියාව සහ නිදහස් ජීවිතය ගතකරගෙන
හිටිද්දි තද්ධිත එක්ක මේ කරගෙන යන අදහස් හුවමාරුව සමහර වෙලාවට ඇයගේ හිතට බරක්
එකතුකලේ තමන් ගිම්හාන්ට අසාධාරණයක් නැත්නම් බොරුවක් වංචාවක් කරනවා යන සිතිවිල්ල එක්ක.
නමුත් අනෙක් පැත්තෙන් තද්ධිත එක්ක තමන්ගේ තියන බැඳීම ආදරයක් හෝ අනියම් කියලා සමාජය
නිර්වචනය කරන ගණුදෙනුවක්වත් නෙවෙයි කියලා ඇය හොඳින්ම දන්නවා කියන උපකල්පනය එක්ක ඒ
වරදකාරී හැඟීමෙන් මිදෙන්න උත්සහ කළා.
කිසිම වෙලාවක ගිම්හාන්ට මොනම විදිහක හරි අඩුවක් කරන්න හරි වෙනසක්
කරන්න හරි කටයුතු නොකරපු චමීරාට තිබුණු එකම ගැටළුව තද්ධිත එක්ක තමන්ගේ තියන මේ
බැඳීම ගිම්හාන්ට කියන්න බැරිකම. එක පැත්තකින් ඒක කියන්න තරම් දෙයක් හරි නැත්නම් මොනවිදිහේ
සම්බන්ධයක්ද කියලා නිර්වචනය කරන්න පැහැදිලි කරන්න බැරි ප්‍රශ්නෙ ඇයට තිබුණා. ඒත්
චමීරා දැනගෙන හිටියා ගිම්හාන් කියන්නේ ඕනම දෙයක් සම්බන්ධයෙන් බොහොම හොඳ අවබෝධයෙන්
ඉන්න වගේම ඕනම දෙයක් දිහා කලබලයකින් තොරව බලලා තීරණ ගන්න කෙනෙක් කියන එකත් එක්ක මේ
ගැන කිව්වත් ඔහු වරදවා වටහාගන්න එකක් නෑ කියලා. ගිම්හාන්ගේ ඒ ගතිගුණේම තමයි මීට අවුරුදු
ගාණකට කලින් ඇයට ඔහුගේ ආදරණීය ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න බැරිවුණු හේතු අතරේ
ඉදිරියෙන්ම තිබුණෙත්.
ඉඳහිට මොන්ටිසෝරිය ලඟදි නැත්නම් මාතර ටවුමේ කොතනදි හරි චමිරා-තද්ධිත
මුණගැහිලා සැලකිය යුතු වෙලාවක් කතාබහ කරන්න කාලයත් එක්කම පෙළඹුනා විතරක්ම නෙවෙයි
ඒක දෙන්නටම පුරුද්දක් වුණා. බොහෝ වෙලාවට අනන්‍යත් මේ හමුවීම් අතරේ හිටපු නිසා අනන්‍යාට
චමිරා ලෙංගතුවීම සහ චමීරාට අනන්‍යා සම්බන්ධයෙන් විශේෂිත ඇල්මක් නිර්මාණය වෙමින්
තිබුණා.
‘තාත්ති..’
‘ඇයි පුතේ..’
‘අපි යමුද ආන්ටිව බලන්න..?’
‘මොන ආන්ටිද පුතේ..?’
තද්ධිත අනන්‍යාගේ ඉල්ලීම තේරුම් නොගත්තාවගේ හැසිරෙන්නේ අනන්‍යාටම
කියලා ඒ හමුවීම් ස්ථීර කරගන්න වගේම එහෙම තැනකදි අනන්‍යාගේ ඉල්ලීම නිසා චමිරා
මුනගැහෙන්න ආවා කියන සාධාරණ හේතුව ඉදිරිපත් කරන්න පුළුවන් නිසා.
‘ආන්ටිලා ගොඩක් නෑනේ තාත්ති මෙහේ මට..චමීරා ආන්ටි විතරනේ ඉන්නේ..’
‘ආ..ඒකත් ඇත්ත..හා යමුකෝ එහෙනම්..’
‘අද?’
‘බලමු ඉතින් ආන්ටිට වැඩ තියනවද දන්නේ නෑනේ..’
දවසක් තද්ධිත අනන්‍යාගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් චමිරා දැනුවත් කලාම චමීරා
දෙපාරක් නොහිත තද්ධිතට කිව්වේ අනන්‍යා එක්කගෙන බ්‍රවුන්ස්හීල් ටෙරස්හි තමන්ගේ
ගෙදරට එන්න කියලා. ඒකට තද්ධිත ටිකක් අදිමදි කලත් චමීරා ආරාධනා කරපු විදිහට
පිළිනොගෙන ඉන්නත් බැරිවුණා.
‘ඩිනර් එක මගෙන් අද..හොඳද..’
අනන්‍යා එක්ක තද්ධිත සූදානම් වෙමින් හිටිද්දි චමිරාගෙන් ඒ පණිවිඩය
ආවා. කෙල්ලට ලස්සන ගවුමක් අන්ඳගෙන තද්ධිත ටවුම පැත්තට ගිහින් අඹසෙවණ බේකරියෙන්
කේක් එකක් එහෙමත් අරගෙන තව චමීරාට පුංචි තෑග්ගකුත් අරගෙන බ්‍රවුන්ස්හිල් ටෙරස්
ගෙදරට ගියා.
චමීරාගේ තාත්තා සහ චමීරා තද්ධිතයි කෙල්ලවයි බොහොම ආදරෙන් පිළිඅරගෙන
ආගන්තුක සත්කාර ඉතාම ඉහළින් සිදුකලා. අම්මාගේ පෙනුම චමීරාට එහෙම් පිටින්ම ලැබිලා කියලා
තද්ධිතට හිතුනේ අම්මයි දුවයි එකට දැකපු පළවෙනි වතාවෙමයි. චමීරා දණහිස ගාවටවත් දිගනැති
ලස්සන ක්‍රීම්පාට ගවුමක් ඇඳලා කොණ්ඩේ ගැටගහගෙන හිටපු සරල සාමාන්‍ය විදිහට තද්ධිතගේ
හිත නතරවෙන එක වළක්වන්න සෑහෙන්න අමාරුවුණා. අනන්‍යා චමීරා එක්ක එයාගේ කාමරේ
සතුටින් ගතකරද්දි තද්ධිත චමීරාගේ තාත්තා එක්ක කතා කරමින් හිටියා.
‘පුතා ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකේ නේද වැඩකරනවා කිව්වේ..?’
‘ඔව් අංකල්..’
‘දිගටම ඒ ෆීල්ඩ් එකේද හිටියේ..?’
‘නෑ අංකල් කලින් ලංකාවේ මීඩියා ෆීල්ඩ් එකේ හිටියේ..ඊට පස්සේ ප්‍රංශෙට
ගියා..එහේදි තමයි මුලින්ම ඇඩ්වටයිසින් වැඩ කලේ..’
‘එහෙමද..හරි ෂෝක්නේ..කොහොමද පුතා ප්‍රංශේ හොඳයිද..ලංකාවේ ගොඩක් අය
ඉන්නවා නේද?’
‘ඔව් අංකල්..මම හිටියේ පැරිස්වල..ලංකාවේ ගොඩක් අය ඉන්නවා..ටැමිල් අය
ගොඩක් මුණගැහෙනවා..’
‘ආ..එහෙමද...ඔය එල්.ටී.ටී.ඊ එකේ ඉඳලා පැනලා ගිහින් එහේ ඉන්න අයත්
සෑහෙන්න ඉන්නවලු නේද?’
‘ඒක ඇත්ත..එහෙම අය ගොඩක් හිටියා..සමහරුන්ට දැන් එල්.ටී.ටී.ඊ එක මතකත්
නෑ..ලංකාව මතකත් නෑ..සමහරු දුක් විඳිනවා රස්සාව කරගෙන එහේ රැඳිලා ඉන්න..’
‘එතකොට ඔය උද්ඝෝෂණ වලට එහෙමත් යන්නේ..?’
‘ඒ ඉතින් එහේ සංවිධාන රැකෙන්න ඕන නිසයි සිටිසන් බේරගන්නයි ඕන උනාම
තමයි අංකල්..මෙහේ වගේම තමයි වාසියට තමයි වැඩිහරියක්..’
දෙන්නා දේශපාලන කලාව සහ ආර්ථික මාතෘකා ගැන ගොඩක් වෙලා කතාකරමින්
හිටියා..ඒ අතරේ චමීරාගේ අම්මා අනන්‍යාට කෑම කවන්න සූදානම් වෙන අතරේ තාත්තා ඒකට
උදව්කලා. ඒ ලද ඇසිල්ලෙන් බොහෝ වෙලාවකට පස්සේ චමීරාට තද්ධිත එක්ක වචන කීපයක් කතා
කරන්න ඉඩක් ලැබුණා.
‘කමක් නැද්ද මන්දා මෙහෙම ආවට..’
‘ඇයි ඒ..’
‘නෑ ඉතින් අම්මයි තාත්තයි මොනවා හිතනවද දන්නේ නෑනේ..’
‘මොනවා හිතන්නද..මොකද ඔයා ප්‍රොපෝසල් එකක් අරගෙන ආවේ නෑනේ..’
චමීරා එහෙම කියද්දි එකපාරටම ආපු හිනාව තද්ධිත වගේම චමීරාත් තදකරගෙන
හිටියා. ඉස්තෝප්පුවේ කොණේ තියලා තියල මේසය වටේ පුටු හතරෙන් මුහුණට මුහුණලා තියන
පුටු දෙකක වාඩිවෙලා හිටපු තද්ධිතට චමීරාගේ දිළිසෙන ඇස්දෙක තමන්ගේ ඇස්දෙක දිහා බලාගෙන
ඉන්න එතන තිබුණු මන්දාලෝකයෙන් පවා හොඳට පෙනුනා. චමීරාට පිටුපසින් පේන්නේ මහා සාගරය
ඇහෙන්නේ හුළගෙ හඬයි රැල්ලේ හඬයි විතරමයි. විනාඩියකට පාරක් විතර දෙවුන්දර ප්‍රදීපාගාරයේ
ආලෝක කදම්බයකින් සාගර කලාපය වගේම නිවස සීමාවත් ආලෝකමත් වුණා.
‘කෙල්ල හරි සතුටින්..’
තද්ධිත එහෙම කියලා චමීරා දිහා බැලුවා. ඒ වෙද්දිත් තමන් දිහා බලාගෙන ඉන්න
බැල්ම දරාගන්න අමාරු වුණත් ඒ දිහා බලාගෙන කතාකරන්න තද්ධිතට සිද්ධවුණා. මේසය උඩ
නලියමින් තිබුණු චමීරාගේ ඇත්දල පැහැ දෑත් අල්ලගෙන කියන්න ඕන වචන ටිකක් තද්ධිතට
තිබුණා. ඒත් ඒ හැඟීම මැඩගෙන ඔහු කතාකලා.
‘තෑන්ක්ස් චමී ඔයා මේ කරන දේවල් වලට..’
‘අයියෝ ඕක මොකක්ද..අනන්‍යාට මමත් ගොඩක් කැමතියි..හරිම හුරතල්..එයා
එක්ක ඉන්නකොට මටත් පාළුවක් නෑ..’
ඇය එහෙම කිව්වේ අවංකවමයි කියලා තද්ධිත දන්නවා.
‘ඒක ඇත්ත...ඒ වුනත් අම්මත් නැතිව ජීවිතේ අඩියෙන් අඩිය හුදෙකලාව එක්ක ඉස්සරහට
යන පුංචි කෙල්ලෙක්ට ඔයාගේ ඇසුර ලොකු හයියක්..’
ඒකට මොනවගේ උත්තරයක් දෙන්න ඕනද කියලා නොදැන චමීරා මොහොතක් කල්පනා
කලා. මෙච්චර කාලයක් තමන්ගේ හිතට වදදෙන අනන්‍යාගේ අම්මා සම්බන්ධ කුතුහලය මුසු පැනය
තද්ධිත ඉදිරියෙන් තියන්න මේක හොඳම වෙලාවද කියලා ඇය කල්පනා කලා. ඒත් එහෙම දෙයක් කරන
එකේ ප්‍රතිඵලය ගැන ඇයට හිතාගන්න බැරිවුණු නිසා ඇය ඒ ප්‍රශ්නය හිරකරගෙන හිටියා.
‘මම දන්නවා ඔයා හිතන දේ?’
‘මොනවද ඔයා දන්නේ ඉතින්?’
චමීරා තව ටිකක් ලංවෙලා ඒ කියපු විදිහට තද්ධිතගේ හිතේ ඇයගැන තිබුණු
ලෙංගතුකම තවත් වැඩිවුණා. මේ මාතර තමන්ගේ කියලා හිටපු ගොඩක් දෙනෙක් දුරස්වෙලා ඉන්න
කාලෙක කවමදාකවත් හඳුනගෙන නොහිටපු ඇය මේ විදිහට තමන්ගේ ජීවිතේ එක් අන්තයක ඉඳන්
උණුහුමක් වගේම සැනසිල්ලක් දෙන්නේ කොහොමද කියන එක තද්ධිතට හීනයක් වගේ.
‘මම දන්නවා අනන්‍යාගේ අම්මා ගැන..ඔයා හිතනවා ඇති කියලා..’
චමීරා ලොකු හුස්මක් අරගෙන ඔළුව වනලා ඒක ඇත්ත කියලා තද්ධිතට දැන්නුවා.
දෙන්නා අතරේ මේ වෙලාවේ තිබුණු සොඳුරු වාතාවරණය එක්ක ඒ වගේ දෙයක් බෙදාගන්න වෙලාව
මේක නොවන බව තද්ධිතත් තේරුම්ගෙන තිබුණා.
‘මම හිතන්නේ මම ඒ හැමදේම ඔයාට කියන්න ඕන..’
‘එහෙම නෑ තද්ධිත..ඇත්තටම එහෙම ජීවිත හාරලා ඒවා ඇතුලේ තියන රස නොරස
කතා අහන එක මගේ පුරුද්දක් නෙවෙයි..’
‘ඒක මම දන්නවා චමී..ඒත් එක පැත්තකින් මගේ හිතට නිදහසක් දැනෙන්නත් එක්ක
මම ඒ කතාව ඔයා එක්ක බෙදාගන්න ඕන..’
‘ෂුවර්..’ තද්ධිත දිහා බලාගෙන හිටපු චමීරා බොහොම හෘදයාංගමව කිව්වා.
‘අපි නිදහසේ වෙලාවක මුණගැහෙමු..එතකොට මම කියන්නම් හැමදේම..’
Came here today, 8 and 1 done 6 to go, will be back soon (Wijebahu)
ReplyDeleteThanks buddy
Deleteo mi gud englis rytin sar wijebahu cam hiyar. reedin sinhala istories veri gud sar. veri gud.
Deleteනිවිහැනහිල්ලේ හමුවෙලා කතා කරමුකෝ ඒ ගැන එහෙනං..
ReplyDeleteඉස්සරහ එච්චර හොඳ නෑ පුතා
Deleteඅදමයි ආවේ. එක දිගට අටම කියවන් ගියා. අමුතුම දේවල් ටිකක් දැනුණේ.
ReplyDeleteඒක නෙවෙයි. අද ජූලි 3. කෝ 9වෙනි කොටස?
අද දැම්මා 09 වැනි කොටස..මේකේ යටින්ම තියන ලින්ක් එකෙන් කියවන්න පුළුවන්..
Delete