Sep 25, 2022

සර්ප්‍රයිස් පාර්ටි එක - පූස් කොලම 1

 


පෝය දවසේ රෑ අනුරාධපුරේ හදපු අලුත් චෛත්‍යය ‘සඳහිරු සෑය’ දැකපු වෙලාවේ ඉඳන් නෝනා ආවේසවෙලා වගේ ආණ්ඩුවට බැණ බැණ ඉන්නවා. නෝනාගේ කතාවේ වරදකුත් නෑ, රටට මෙච්චර අමාරු වෙලාවක මිනිස්සුන්ට හරියට කන්න අඳින්නවත් නැතිව නන්නත්තාර වෙලා හිටිද්දි වියදම් කරලා චෛත්‍යය විවෘත කරන්න තරම් ආණ්ඩුව මුග්ධද කියලා නෝනා ප්‍රශ්න කරනවා. කුස්සියේ විනාඩි දෙක තුනක් උයනවා හැන්ද අරගෙන සාලෙට ඇවිත් ඇහෙන ඇහෙන නිව්ස් එකක් ගානේ ආණ්ඩුවට බනිනවා.

‘මම නම් ඔය සෑය විවෘත කරපු එකේ වැරැද්දක් දකින්නේ නෑ. මොකද දැන් ඕක හදලත් සෑහෙන්න කාලයක් වෙනවනේ. අනිත් එක මහින්ද මහත්තයා ඉන්න වයසත් එක්ක ඕක දැන්ම ඉවරකලේ නැත්තනම් උන්දැට ඕක බලන්නවත් වෙයිද දන්නේ නෑ.. අන්තිමට ඉතින් සද්ධාතිස්ස කුමාරයා කලා වගේ සෑයට සුදු රෙදි ගහලා තමයි වැඩ ඉවරයි කියලා පෙන්නන්න වෙන්නේ’ 

මම කතාව ෂේප් කරන්න කියලා හිතාගෙන එහෙම කිව්වම නෝනා ආයෙත් කුස්සියේ ඉඳන් දුවගෙන ආවා.

‘එහෙමනම් ඉතින් සුදු රෙදි ගහලා පෙන්නන්න තිබුණනේ..මෙයාකාර වියදම් කරලා මිනිස්සු ගෙන්නවලා චැනල් ගානේ ඇඩ් දාගෙන පෙන්නන්න දෙයක් නෑනේ..ඔය තරම් සල්ලි කන්දරාවක් නාස්ති කරන එකේ බදු ටිකක් අඩුකරලා මිනිස්සුන්ට සහනයක් දෙන්න තිබුණනේ..අනිත් එක උපන්දිනේ දවසෙ..අනේ අපි නොදන්න නල්ලමලේ සහෝදර සමාගම’

බිරිඳගේ කතාව සහතික ඇත්ත නිසා කට වහගෙන නිශ්ශබ්ද වෙනවා ඇරෙන්න විකල්පයක් තිබුණේ නෑ. ඒ වෙලාවේ කොහේදෝ ඉඳන් තෙමීගෙන ආපු පූසා සාලේ මැද්ද්ට වෙලා ඇඟපත පිහදානවා. පූසටත් මේ කතාව ඇහිලා මාතෘකාව මැද්දට පැන්නා.

‘මම නම් කීයටවත් හිතන්නේ නෑ මහින්ද මහත්තයා මේ වෙලාවේ ඔය වගේ වියදමක් කරලා චෛත්‍යයක් විවෘත කරන්න කැමතිවුණා කියලා..’

පූසා කියපු කතාවට මගේ වගේම බිරිඳගෙත් ඇස්දෙක උඩගියා. මොකද මාළු ගණන් ගියපු දවසේ ඉඳන් ආණ්ඩුව සම්බන්ධයෙන් කිසිම යහපත් ඇගයීමක් නොකරපු පූසා මේ සිද්ධියේදි විතරක් මහින්ද මහත්තයා ගැන මෙච්චර විශ්වාසයෙන් කතාකරන එක ගැන පුදුම වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද.

‘ඒ මොකෝ එහෙම කියන්නේ.. ඔය යස අගේට ගිහින් විවෘත කරේ මල් වට්ටි බදාගෙන..’

බිරිඳ පූසටත් ගෝරනාඩු කරන්න පටන්ගත්තා. ඒත් පූසා දශමයක්වත් හෙලවෙන්නේ නැතිව තමන්ගේ මතේම හිටියා.

‘ඒ උනාට මමනම් ඕක කීයටවත් විශ්වාස කරන්නේ නෑ..’

පූසාගේ ස්ථාවරය වෙනසක් නෑ. ඒත් නෝනා පූසටත් වදින්න එක්කම තව තව ආණ්ඩුවට බනිනවා. පූසා ගාණක් නැතිව තාමත් තමන්ගේ තෙමිච්චි කකුල් ලෙවකාලා වතුර පිහදාගන්නවා.

‘හරි දැන් මොන පදනමකින්ද කියන්නේ මහින්ද මහත්තයා කවදාවත් ඔහොම කරන්නේ නෑ කියලා..’

බලාගෙන ඉන්න බැරිම තැන මම පූසාගෙන් ඇහුවා. මොකද ආන්ඩුවක් විදිහට මේ වෙලාවේ මිනිස්සුන්ගේ ආර්ථීක බර, රෝග අවදානම ගැන දශමයක් හිතන්නේ නැතිව උපන්දිනේ දවසේ හැත්ත බුරුත්ත එක්ක සෑය විවෘත කරපු එකට මගේ හිතෙත් කැමැත්තක් තිබුණේ නෑ ඇත්තටම. කොහොමවුනත් පූසා සැදී පැහැදිලා උත්තර දෙන්න පටන්ගත්තා.

‘මෙහෙමනේ.. දැන් ඔය උපන්දිනවලට එක එක පාර්ටි තියනවනේ..ඉතින් ඒ පාර්ටි හැම එකක්ම අපිට ඕන විදිහට සිද්ධවෙන්නේ නෑ..’

‘ඒ කිව්වේ..’ නෝනා හැන්ඳ අතේ තියාගෙනම පූසාගෙන් ඇහුවා.

‘දැන් කව්ද දන්නේ උපන්දිනේ දවසේ ගෙදරට වෙලා බණක් භාවනාවක් කරගෙන හිටපු මහින්ද මහත්තයා ලඟට සිරන්ති නෝනා ගිහින්..මේ අපි කාලෙකින් අනුරාධපුරේ පැත්තේ ගියෙත් නෑනේ.. අද ගිහින් එමුද? කියලා අහලා.. බෑ කියන්න බැරි කමට බැරි බැරි ගාතේ මහින්ද මහත්තයත් ඔය චොපර් එකට නැගලා අනුරාධපුරේට ගියාද කියලා’

‘ඉතින්’ පූසාගේ හතරබීරි කතාවට මමත් බිරිඳත් දෙන්නම පූර්ණ අවධානයෙන් හිටියා.

‘ඉතින් එහෙම ගිහින්.. ඔය අටමස්ථාන පැත්තේ යන ගමන් එක පාරටම මහින්ද මහත්තයාට ඇස්දෙක වහගන්න කියලා, සඳහිරු සෑය ලඟට එක්කගෙන ගිහින්..සර්ප්‍රායිස්.. කියලා අළුතෙන් හදපු චෛත්‍යය පෙන්නුවද දන්නේ නෑනේ..ඉතින් උපන්දිනේ දවසට එහෙම සර්ප්‍රයිස් එකක් කරලා කේක් ගෙඩියක් දැක්කත් සර්ප්‍රායිස් වෙන අපිට උපන්දිනේට චෛත්‍යයක් සර්ප්‍රායිස් එකට ලැබෙද්දි කව්ද අනේ සර්ප්‍රායිස් නොවෙන්නේ..’

පූසා එහෙම කියලා කුස්සිය පැත්තට ගියා. මමයි බිරිඳයි මූණට මූණ බලාගත්තා. ඇයි ඇත්තටම එහෙම වෙන්න බැරිද.


පූස් කොලම
2021.11.19


No comments:

Post a Comment