Jun 16, 2011

Twilight Tubelight හෙවත් පමාවී වැටහුණු පෙම..

මේක කියෙව්වට පස්සේ ඔයගොල්ලන්ට හිතේවි මෙහෙම පොරවල් තාමත් මේ ලෝකෙ ඉන්නවද කියලා. ඉන්නවා..ඒකට මම සාක්ෂි. මේක මරු කතාවක් වගේම අන්තිමට ඛේදාන්තයක් වෙන්න ගිහින් නූලෙන් බේරිච්ච සිදුවීමක්. සමහර විට ‍ඒ සමාජ ක්‍රමේ වැරැද්ද නිසා වෙන්න පුළුවන් නැත්නම් අපේ එකාගේ වැරැද්ද නිසා වෙන්නත් පුළුවන්.

  කතානායකයා පසන්. මගේ අතිජාත මිත්‍රයෙක්.මිනිහා ටිකක් අමුතු පොරක් කෙල්ලෝ ගැන දැක්වුවේ ටිකක් ස්වාධීන මත. පොදු මතේට ලව් කිරිල්ල මිනිහා ප්‍රතික්ෂේප කරා. ඒ දවස්වල නිකමට වගේ මිනිහා මාතර සුප්‍රසිද්ධ සුද්දන්ගේ කාලේ හදාපු බාලිකාවක කෙල්ලෙක්ට ට්‍රයි කලා. ඒත් ඒක නිකං නමට වගේ. මොකද පසන්ගේ ආකල්ප ටිකක් පරස්පර විරෝධී වැඩියි. ඔන්න ඔය දවස්වල තමයි Twilight චිත්‍රපටයේ පලවෙනි කොටස ලෝකේ පුරා නැගලා යන්න පටන් ගත්තේ. මගේ යාළුවෙක් බලලා මටත් වරුණෙ කිව්වා විතරයි මටත් බලන්න හිතුනා. 

අතින් ඇල්ලීම නොහොත් අතගත් කිරිල්ලී

මේ සිදුවීම වෙලා එච්චර කාලයක් නෑ සරසවි ජීවිතයේ මම විඳපු සුන්දර වගේම විනෝදජනක අත්දැකීමක් විදියට මැරෙනකම් මේක අමතක වෙන එකක් නෑ. ඉතිං මේ සිදුවීමට සම්බන්ධ ගෑණු ළමයා අදටත් මට ගොඩක් ළඟ කෙනෙක් නිසා මේ සිදුවීමේ සැර බාල කරලා තමයි කියන්න වෙන්නේ. ඉතිං අපේ සහෝදරවරුත් මේ ගෑණු ළමයට මොකුත් කියන්න එපා හොඳද. මොකද මේ සිදුවීම මට සුන්දර අත්දැකීමක් වුණාට ඒ කෙලි පොඩ්ඩට තවත් මලපැනීමේ සිදුවීමක් වුණාද දන්නේ නෑනේ.

Jun 15, 2011

සක්කිලින්ද සිටිති...සිංහල බ්ලොග්කරුවනි මෙන්න එක සක්කිලියෙක් ගැන

මගේ සාමාන්‍ය පුරුද්ද උදෑසනම අන්තර්ජාලය හරහා මා නිතර පිවිසෙන වෙබ් හා බ්ලොග් අඩවි තුලට පිවිසී පුවත් හා විවිධ දේ කියවා උදෑසනින්ම ලෝකය ගැන ලංකාව ගැන දැනුමින් සන්නද්ධ වීමයි. ලංකාවේ දිවයින පත්තරේ සිට ලන්ඩන් ටෙලිග්‍රාෆ් පුවත්පත දක්වාත්.අදදෙරණ වෙබ් අඩවියේ සිට බී.බී.සී පුවත් අඩවිය දක්වාත්. බ්ලෝග් අවකාශයේ නිතර යන එන තැන් වලට පිවිස උදෙන්ම ඇගට අමුතු පණක් ලබාගැනීම පුරුද්ද වී ඇත. අදත් උදෑසනම ඒ වෙබ් අතර සැරිසරන විට අහම්බෙන් දුටු ලින්ක් එකකින් ගිය මට ලිපියක් කියන්නට ලැබුණි.

   එය ලියා තිබු‍ණේ පිටරට ජීවත්වන ලාංකිකයෙක් විසින්ය. ඉංග්‍රීසි බසින් ලියාතිබුණ එම ලිපිය අඩංගු බ්ලොග් අඩවියත් ඔහුගේ බව ඔහු සඳහන් කර ඇත. එසේම එහි පලව තිබුණේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු ලිපි ගණනකි. එහි අන්තර්ගතය කියවූ මට පොසොන් දවසේ උදෑසනම ඇග රත්කර ගැනීමට හැකිවිය. මගේ ලේ ප්‍රකෝප කල ලිපියේ තොරතුරු සහෘද සිංහල බ්ලොග්කරුවන්ට මෙන්ම පාඨකයන්ටද ඉදිරිපත් කිරීම මගේ යුතුකමක් බව මා තරයේ විශ්වාස කරන අතර එම ලිපියට ලින්ක් එකක් නොදෙන්නේ අදාල ලිපිය ලියූ තැනැත්තාගේ බ්ලොග් අඩවිය හිට් කිරීම නොකලයුතු නිසාය.
  ඔහු සාරාංශගතව කියා ඇති කාරණය නම් සිංහල බ්ලොග්කරුවන් හුදෙක් කමේනට්ස් හා හිට්ස් පිටුපස දුවන්නන් මිස සාරවත් ලිපියක් ලියා පලකිරීමට උත්සහ නොදරන්නන් ලෙසය. එසේ ලිවූ සක්කිලියාගේ ඒ ලිපිය වචන 150කට පමණ සීමා වුණු අතර එහි අන්තර්ගතයේත් සාරයක් නැති බවත් ඇත්තේ උගේ බ්ලොග් එකට පාඨකයන් නොපැමිණ සිංහල බ්ලොග්කරුවන්ගේ බ්ලොග් සොයායාම නිසා ඇතිවුණු පශ්චාත්තාපය නිසා ඇතිවුණු හොටු වැගිරීමක් පමණක්ය. උගේ වැකිවලට අනුව පහත නිගමනයන් කර තිබිණි.

Jun 12, 2011

විදුලි දුම්රිය හා ආශ්චර්යය

වෙලාව හවස 3.35 මම කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය නැවතුම් පොලේ එහෙමත් නැත්නම් මධ්‍යම දුම්රිය පරිපාලන මධ්‍යස්ථානය ලඟ. කතරගම බලා යන අධිවේගී විදුලි දුම්රිය පිටවෙන්න තියෙන්නේ හරියටම 3.48 ට. මට ඒක අල්ලගන්න පුළුවන් වුනොත් හරියටම 5.10 ආසන්න වෙද්දි මාතරටත් එතනින් එහා තිබෙන වෙහෙරහේන උප දුම්රිය නැවතුමට 5.12 වෙද්දිත් යන්න පුළුවන්. මම ඉක්මනට කබා සාක්කුවට අතදාලා ජංගම අත් පරිගණකය ගත්තා. අරගෙන ඇඟිලි තුඩු ස්පර්ශ දෙකකින් www.railticks.lk වෙබ් අඩවිය වෙත ගිහින් මගේ ඇඟිලි සලකුණ තියලා පුද්ගලික ගිණුමට ඇතුල්වුණා. කතරගම යන අධිවේගී විදුලි දුම්රිය B08 හි දෙවන පංතියේ අසුන් ඉඩකඩ පරීක්ෂාකලා..හරි තවත් අසුන් 5 ක් ඉතිරියි. එකක් වෙන්කර එසැනින්ම විද්‍යුත් මුදල් කාඩ්පත් අංකය හරහා ගෙවීම් කලා රුපියල් 820 ක්. මම කඩිනමින් දුම්රිය ස්ථානයේ ස්වයංක්‍රීය වීදුරු දොරටු තුනෙන් මැද දොරෙන් ඇතුල් වුනා. එලියේ කොතරම් උණුසුම් වුනත් ඇතුල හරි සිසිලයි. ඉක්මණින් කවුන්ටරය ලගට ගිහින් එතන තියුණු ස්පර්ශ සංවේදී පරිගණක අතුරු මුහුණතේ ටිකට් වෙන්කිරීමේදී ලද අංකය සටහන් කල සැනින් ටිකට පත එලියට ආවා. එය විද්‍යුත් චුම්බක රේඛවක් අඩංගු අති නවීන කාඩ්පතක්.

Jun 11, 2011

අපේ බුලතා සහ පැදුර...

බුලතා කියන්නේ අපේ කැම්පස් එකේ අපේ ෆැකල්ටි එකේ අපේ බැජ් එකේම රස කොල්ලෙක්. ගම් පලාත බුලත්සිංහල. ඒකයි බුලතා කියන්නේ. බොහොම ආගමට දහමට බර පුද්ගලයෙක් වෙන අපේ බුලතා බොහොම ජොලි පොරක්. ඉතින් දැන් මාස කීපයකට කලින් අපේ ෆැකල්ටි එකේ පැදුරු පාටියක් තිබ්බා. එදාට ඉතිං ශ්‍රවණාගරේ ගාව ළමයි විතරක් නෙවෙයි ලෙක්චර්ස්ලත් තොගයයි.  ඉතිං මේ පැදුරු පාටියේ නිවේදකයා විදියට හිටියේ මම. සින්දු කියන්නවත් වාදනේවත් බැරිකමට ඉතිං නිවේදනේ බාර දුන්නා. අපේ බුලතා ඇක්ට් කලේ නූගත් හද්දා පිටිසර හේන් ගොවියෙක් ගේ චරිතය. 

  පැදුර කියන්නේ ශාස්ත්‍රීය ගීත විමානයක් කිව්වට කාට කාටත් නින්ද යන නිසාම තමයි බුලතට චරිතයක් දීලා කට්ටියට ෆන් ගන්න සෙට් කලේ. දැන් ඔන්න පැදුර යනවා. අපේ සේරම කොල්ලෝ සරම් බැනියම් ඇඳලා කෙල්ලෝ ටික රෙද්ද හැට්ටේ. පිස්සු හැදෙනවා. රෑ 9 ට විතර කස්ටියටම හොඳටම නිදිමතයි මේ නින්ද යන සිංදු අහලා. දැන් මටත් වැඩේ ඇතිවේගෙන එනවා. ඉතිං ඔය වෙලාවේ බුලතා මට අතින් සිග්නල් එකක් දාලා ස්ටේජ් එකට එන්නද ඇහුවා. මම හා කියලා ටිකක් ඉස්සරහට ගිහින් බුලතට කිව්වා "මචං මොකක්හරි පිස්සුවක් නටමුද කියලා" බුලතා බුලත් කෙල පාරක් බිමට ගහලා එළ කිව්වා.

   එතකොට වාදනය වෙමින් තිබුණු සිංදුව ඉවරවෙද්දිම සෙනග අස්සේ ඉඳන් බුලතා එනවා මට නැතිවෙන්න බැන බැන.

Jun 10, 2011

කාඩයා...කව්ද?

බුදු අම්මේ හෙණ කාලෙකට පස්සේ තමයි මගේ ඉසව්ව පැත්තේ ආවේ. ඔයාලට අපේ වුණාට මට මේක මගේනේ. ඉතිං අද මං සිතුවිලි පලස කවියක් දාන්න ගියපු වෙලාවේ තමයි මට මතක් වුණේ හත් ඉලව්වේ මට තව බ්ලොග් එකක් තිබ්බා නේද කියලා. ඉතිං විචාරයක් ගෙනාවෙත් නෑ කාලෙකින්. ඉතිං විචාර කියලා කරේ කව්රුහරි පතුරුගහපු එකනේ නැත්නම් මොකක් හරි අල්ලගෙන බැන්නා. අද පොඩ්ඩක් ඒකෙන් ඈත්වෙලා රස සිදුවීමක් කියන්න යන්නේ. ගොඩක් දෙනෙක් මේක දන්නේ නැතුව ඇති. මටත් මේක කිව්වේ අපේ තාත්තා. ලංකාවේ දේශපාලනය ගැන අත්දැකීමෙන්ම අතිවිශාල දැනුම් සම්භාරයක් තියන අපේ තාත්තා කියපු කතාවක් තමයි මේ.

   මේ සිදුවීම වෙන්නේ 70 දශකේ විතර. කොහොම හරි සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ රජය යටතේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉතාමත් ප්‍රබල මට්ටමක ඉන්න කාලේ තමයි. ඉතිං ඔය කාලේ ඔටුන්න හිමි කුමාරයා වෙලා හිටියේ දිවංගත අනුර බණ්ඩාරණායක මහත්තයනේ. ඉතිං මොකෙක්ද නරක ග්‍රහයෙක් වහලා එතුමා අම්මට විරුද්ධවෙලා ජේ. ආර් ජයවර්ධන මැතිතුමා එක්ක යූ එන් පී ගියා. ඒත් වැඩි කාලයක් හිටියේ නෑ මව් සෙනෙහේ මතක් වෙලා ආයෙත් ආණ්ඩුවට ආවා. 

May 30, 2011

සිහිනයක් අරන් එන්න...අන්තිම වතාවටත්...






මම පුරුදු විදියටම බලං ඉන්නවා ඉස්පිරිතාල හංදියේ නුග ගහ ලඟ
මම හැමදාමත් හිටපු තැන. එතන හරි පුරුදු තැනක් වගේ තාමත් දැනෙ‍නවා. මම දන්නෙ නෑ එතනට යන වාරයක් වාරයක් පාසා මගේ හිත කියාගන්න බැරිතරම් දේවල් කියනවා...
මේ තැන කොච්චර අපිට ලංවුණාද...
ජීවිතේ විඳගන්න අපි පටන් ගත්තු තැන...ආදරෙන් කතාකරන්න මුල පොත් තියපු තැන...ආදරෙන් අත් අල්ලගත්තු තැන...
අන්තිමට ඔයා අන්තිමම වතාවට මුණ ගැහුණු තැන...
ඒ නුග ගහ යට...ඒ තැන මම කොහොම අමතක කරන්නද...

අදටත් එතන රැඳෙන අය පුරුදු විදියට මාත් එක්ක හිනා වෙනවා
ඒ අය හිනාවෙන්නේ මගේ තනිකමටද කියලා මට වෙලාවකට හිතෙනවා...
කමක් නෑ...මම මෙතනට ආදරෙයි තාමත්...
ඔයාට තරම්ම නැතිවුණත්...මේ නුග හෙවණට මම හරි ආත්මීය 
බැඳීමකින් බැඳිලා ඉන්නවා...
ඔයයි මමයි ජීවිතේ ලොකු ගමනක් යන්න මෙතන ඉඳන් කතා කරකර
ගියාද...ඒ අතර අපි කොච්චරනම් හීන මැව්වද...
ඔයා හීන් එකින් එක ගැටගහද්දි 
එහෙමකරන්න එපා කිව්වේ මමයි...
ඒත් අද ඒ හීන සිහිකරලා දුක්වෙන්නේ මම
හීන මවපු ඔයා නැහැ....

මම ඉන්නවා...පුරුදු විදියටම...
ජීවිතේ අපිට කියලා දුන්නු හැමදේම එකට ගැටගහගෙන
ඒ අතීතේ සුවඳ අරගෙන කවදහරි
හීනයක් වෙලා හරි ඔයා එයි කියලා...
මම දන්නවා එහෙම එන්නේ නෑ කියලා
ඒත් මේ නුග හෙවණ එක්ක මං ඉන්නවා
කවදාහරි එහෙම එයි කියලා හිතාගෙනම...

May 23, 2011

ඇදුරන් වර්ජනය කරන කල සිසුන් බලා සිටිති....

දැන් සති දෙකක පටන් සරසවි ඇදුරුතුමන්ලා වර්ජනයේ නිරත වෙමින් සිටී. ඉල්ලීම වැටුප් වර්ධනය කිරීමයි. පලමු පියවර ස්වේච්ඡා තනතුරු වලින් ඉල්ලා අස්වීමයි. දෙවැනි පියවර සියලු අධ්‍යයන කටයුතු වලින්ද ඉවත් වීමයි. එය අදටත් එසේමය.උසස් අධ්‍යාපන ඇමතිතුමන්ද මේ ආරවුල ලිහන්නට මැදිහත් වන පාටක් ඇස් මානයේ නොමැත. අවුලෙන් අවුලට පත්කරනවා මිසක් තවමත් නිසි විසදුමක් නැත. මගේ මතය නම් අතීසාරයට අමුඩ ගසා වැඩක් නැත. ඒ අතර රජය මැයි මස වැඩ නොකල ආචාර්යවරුන්ට පඩි නොගෙවන බවද කියා ඇත. එසේනම් මේ මාසේ ආචාර්යවරුන් තවත් කුපිත වන බව නම් සහතිකය. එහෙත් තවමත් සංවාද මිස ක්‍රියා නැත. හරියටම කියනවානම් විසිල් පමණය...බල්ටි නැත..

  පසුගිය වසර ගණනාවක් තුල සරසවි සිසුන් ඉහේ කෙස් ගණනට පිකටින් කලහ. සත්‍යග්‍රහ කලහ.පන්ති වර්ජන විභාග වර්ජන කලහ. ඒ සිසු අයිතිවාසිකම් දිනාගන්නා අටියෙනි. පුරුද්දක් ලෙස ඔවුන් එම සියලු ක්‍රියාමාර්ග ගැනීමට පෙර ආචාර්යවරුන්ද දැනුවත් කලහ. බහුතරයක් ආචාර්යවරුන් පවසා තිබුණේ හරියට ඉගන්ගත්තොත් ඉබේම අයිතිවාසිකම් ලැබෙන බවත් පිස්සු නටන්නේ නැතිව ඉගන් ගනිල්ලා යන්නත්ය. සරසවි සිසුන් කරබාගෙන යන්නට ඇත. පුරුදු පරිදිම තම අයිතීන් වෙනුවෙන් දේශපාලන අතකොලු ලෙස හෝ ස්වාධීන මතාධාරීන් ලෙස වර්ජන හෝ උද්ඝෝෂණ කරන්නට ඇත. ආචාර්යවරුන් දේශනශාලාවලට පැමිණ ළමයි නොමැති බැවින් විසිල් පාරකුත් ගසාගෙන කැන්ටිම දෙසට හෝ තම කැබින් එකට යන්නට ඇත. එසේ ගොස් වාර්තා පොතේ තඩි අකුරින් මේසේ ලියන්නට ඇත "සිසුන් දේශනයට සහභාගී නොවුණු බැවින් දේශනය නොපැවැත්වුණි" එසේ ලියා පාඩුවේ ඉන්නට ඇත.

May 19, 2011

වේදනාත්මක සමුගැනීම....සමුගනිමු ඉලංන්දාරියා

  ඉලංදාරියා නොහොත් දිලුම් මා පුද්ගලිකව හදුනන්නා වූ චරිතයක් නොවේ එනමුත් මා බෙහෙවින් ඇලුම්කරන චරිතයක් ලෙස හැදින්වීම වඩාත් වටී. මා සිංහල බ්ලොග් අවකාශයට එක්වන්නේ 2009 වර්ෂයේ අගභාගයේදීය. සිංහල බ්ලොග් කලාවේ හය හතර ඉගනගත් දා පටන් මම ඉලංදාරියාගේ  අදහස් කියෙව්වේමි රස වින්දෙමි. ඒ ආර වෙනස් ආරකි. ඒ දිලුම්ගේ ආරය. එය ඔහු ජන්මයෙන් ලද පරිත්‍යාගයක් ලෙස හැදින්වීම යෝග්‍යවේ.
  දිලුම් වෙනුවෙන් කෙරුණු කර්තව්‍යයට අල්පමාත්‍රහෝ දායකත්වයක් දීමට ලැබීම මා බෙහෙවින් සතුටු වන කාරණයකි. ඔහු මෙරටට අවශ්‍ය තාරුණ්‍යයේ සැබෑ ලකුණකි. අදහස් හා මනුෂ්‍යත්වය නැමති ඵලින් බර වෘක්ෂය කඩා වැටීම අපට සැබවින්ම මහත් පාඩුවකි. එහෙත් සසර එලෙසය. දිලුම් සහෘදයා මතක පමණක් අපවෙත තබා ගොස් අවසන්ය. මෙ මොහොතේ සිහිවන්නේ එක් පද පෙලකි
    ඉක්මණින්ම යලිත් එතොත් මළවුණ‍්ගේ අවුරුදුදා
    මටත් නැවත එන්නට හැකි
    මළගිය ඇත්තන් කැටුවම
ජීවත් වන්නාවූ මළ මිනී මැද නොමියෙන මිනිසෙක් ලෙස ජීවත් වීමම පමණක් ඇති දිලුම් පිළිබද අපට ආදර්ශ සපයන්නට. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක අපි විදිති. එහෙත් අප දන්නා දහම අනුව මේ සසර කෙළවර කරගන්නට දිලුම්ට වරම් ලැබේවායි මගේ පැතුමයි!
  ඔබට අජරාමර නිවන් සුව!

Apr 20, 2011

සියලු ධර්මයන්ට එහා ගිය ධර්මයක්.....කොහේද?

     පසුගිය දිනක හෙළබිමින් බිහිවූ කාදිනල්තුමන් අපූරැ ප්‍රකාශයක් කර තිබිණි. එම ප්‍රකාශයනම් කතෝලික උත්සව සමයන්හි පවා මත්පැන්.දුම්වැටි.මස් මාංශ වලින් තොරව සැමරීම කිරීම සුදුසු බවයි. එම ප්‍රකාශය වැදගත් ප්‍රකාශයකි එයට අපි සම්පූර්ණයෙන්ම එකග වෙමු. නමුත් කාදිනල්තුමන් තවත් අරැම පුදුම ප්‍රකාශයක්ද එය සමගින් කරතිබිණි. එය නම්..සියලු ධර්මයන්ට එහා ගිය ධර්මයක් සියලු ලක්වැසියන් ඇදහිය යුතු බවය...