| දෙල්ගමුව විහාරයේ පිළිමගෙය (පිවිසුම් තොරණේ සංකේතවත්වන කුරහන් ගල) |
අපේ අරමුණ වුනේ කුඩා කාලයේ අපි අසා තිබුණ වගේම අපේ මතකයේ කොතනක හෝ හොඳින් රැඳී ඇති ස්ථානයක් හොයාගෙන යාම සඳහාය. මෝටර් බයිසිකලය පැයට කිලෝමීටර 50 ක විතර වේගයෙන් ඇහැළියගොඩ නගරය පැත්තේ ඉඳගෙන පරකඩුව පහුකරගෙන කුරුවිට නගරය පැත්තට ගමන් කරමින් තිබුණි. මගේ ගමන් සහකාරිය වුනේ ජීවන සහකාරියමවීම නිසා ඒ ගමන වඩාත් තෘප්තිදායක විය. අපි ගමන් කරමින් තිබුණ ලංකා ඉතිහාසයේ සහ බෞද්ධ සාහිත්‍යයේ සුවිශේෂී ස්ථානය ගැන මගේ මතකයේ තිබුණේ අසා දැනගත් (විශේෂයෙන්ම තාත්තාගේ ඉතිහාසය සම්බන්ධ දැනුවත් කිරීම් නිසා) කරුණු කාරණා කිහිපයක් පමණි. ඒත් මගේ ගමන් සහකාරිය පුංචි කාලේ ඉස්කෝලෙන් ඒ ස්ථානයට ඇවිත් තිබුණත් ඒ සම්බන්ධව තිබුණේ ඉතා නොපැහැදිලි මතකයකි. ඒ නිසාම මේ ගමන අපිට ඉතාම වැදගත් වගේම කුතුහලය දනවන ගමනක් වීම වැලැක්වීමට නොහැකි විය. අපේ ඉලක්කය වුනේ සීතාවක රාජ්‍ය සමයේ වසර 43ක කාලයක් බුදු රජාණන් වහන්සේගේ දන්ත දාතූන් වහන්සේ කුරහන් ගල් කරඬුවක් තුල සුරක්ෂා කරගත් ඒ අසිරිමත් දෙල්ගමු විහාරයයි.








