Apr 29, 2014

“සුනිල් අයියා“ ගේ සටන් ජවනිකාව - Review of an expected movie


සුනිල් අයියා අපේ ගමට සිටි වීරයාය. ගමේ ඕනෑම ආරවුලකදී නිතැතින්ම සිහිවන චරිතය සුනිල් අයියාය. ඔහුට ගම්මුන් බොහෝ දෙනෙක් ගෞරව කලේ ගමතුල නිල නොලත් පොලිස්කාරයාගේ භූමිකාව ඔහුගෙන් ඉටුවන බව ගම්මුන් බහුතරයක් විශ්වාස කල නිසාවෙනි. වැඩුණු දේහදාරී ශරීරයත්, ගැඹුරු හඬත් නිසාවෙන් ඔහු පිළිබඳ මතය සත්‍යාපනය කිරීමට එයම සාධයකයක් විය. ගමේ එකෙක් කොහේදී හෝ ගුටි කෑවත් මතක් වූයේ “සුනිල් හිටියනම් ඕක වෙන්නේ නෑ“ යන යෙදුම් වලින්ය. එබැවින් සුනිල් යන සාධකය කොතරම් දුරට ගමේ පොදු ධාරාව තුල නිදන්ගතව තිබෙන්නක්ද යන්න ඔබට වටහාගත හැකිවනු ඇත.

එකල හින්දි සිනමාව සහ සිංහල සිනමාවේ සටන් ජවනිකා දැඩි ලෙස ගැමි ජනතාවගේ සිත් තුල වීරත්වයක් බිහිකල සමයක් විය. හින්දි සිනමාවේ සටන් ජවනිකා රූපවාහිනියෙන් නැරඹූ අපි චිත්‍රපටයේ වීරයා පිළබඳ ඇතිකරගත් “මහා පොර“ සංකල්පය හිතේ තබාගෙන ජීවිත්විය. සිංහල චිත්‍රපට තුලද මහා පොරවල් බිහිවන සටන් ජවනිකා තිබුණද ඒවාටත් වඩා හින්දි චිත්‍රපටවල නළුවන් අපිට පොරවල් විය. සුනිල් අයියාද අපට පෙනුනේ පියවි ඇසින් දැකිය හැකි එවැනි පොරක් ලෙසය. හින්දි චිත්‍රපටවල රූපරාමුවල දකින නළුවාගේ වීර භූමිකාව අප දුටුවේ සුනිල් අයියා තුලින්ය. සුනිල් අයියා පාරේ යනවිට ඔහුගේ ක්‍රියාකාරකම් දැකීමෙන් අප එහි සමාන අසමානකම් පිරික්සන්නටද විය. ඒ හැම කරුණකින්ම සුනිල් අයියා යන වීර චරිතය හුදෙක්ම හින්දි චිත්‍රපටවල හෝ සිංහල චිත්‍රපටවල වීරයාගේ චරිතයට එහාගිය සජීවීබවකින් අත්විඳින්නට අපට හැකිවිය.

Apr 26, 2014

සංකලනී - 11 වැනි කොටස


සංකලනී පසුගිය කොටස් මෙතනින් කියවන්න......

“මොන රෙද්දක්ද බං...දෙයක් කිව්වම අහං ඉඳපං..“

සිසුරු කාමරේට ඇවිත් පිස්සු කියවද්දි මිතුල කෑ ගැහුවා. ඒත් සිසුරුවා නෙවෙයි නතර වුනේ. ඌ කියන්නෙම සංකලනි ගැන හිතේ තියනවනම් දැන්ම ඒ ගැන ඒකිට කියන්න කියලා. ඒත් යන්තම් යකඩයක් වගේ හිටපු සංකලනී ගිනියම් වෙලා මෙලෙක් වෙන්න පටන් ගත්තා විතරයි. ආයෙත් පොඩිහරි දෙයක් වෙලා ආයෙත් යකඩයක්ම වුනොත් ජීවිතේට සංකිට ලංවෙන්න බැරිවෙයි කියලා මිතුල හොඳටම දැනගෙන හිටියා. ඒක නිසා බොහොම සීරුවට වැඩේ කරගෙන යන්න ඕන කියලා මිතුල හිතුවා. 

“ඒ වුණාට මිතුලයා මොකෙක් හරි අර කැරකෙන ග්‍රහයෙක් ඕකිගේ පෘශ්ටයට පාත්වුනොත් ආයෙත් උඹ මැරෙන්නද..?“

සිසුරු කියන කතාව ඇත්ත වුනත් මිතුල තව ටිකක් හිතන්න ඕන කියලා හිතුවා.

“උඹ කියන එක ඇත්ත මචං.. ඒ වුනත් මේ වෙලාවේ හදිස්සි වෙලා බෑ..උඹත් හෙමීට  හිතපං...“

“මට ඇත්තම කියපං...උඹ අර කැත්තට පොල්ල වගේ ඉන්න සංකිට කැමති සිරාවටමද..නැත්නම් උඹ ඇරියස් එක කවර් කරන්නද ඒකි එක්ක යාළු වෙන්න හදන්නේ?“

Apr 23, 2014

සයිබර් සිහින බක්මහ උළෙලේ “නොකී කතා“...


සිංහල බ්ලොග්කරුවන් එකතුවන්නේ කිනම් අවස්ථාවකදීද, එහි සිදුවීම් නම් අඩුවක් නැතිව විඳගන්නට අවස්ථාව ලැබීම පුදුමයක් නොවේ. 2014 සයිබර් සිහින බක්මහ උළෙලටද එය එලෙසින්ම අදාලය. ඒ හා බැඳුනු බ්ලොග් ලිපිවල හැමදෙනෙක්ම පාහේ දන්නා කතා ලියා තිබුණු අතර නොදන්නා කතාද එමට ඇතිබව කිව යුතුමය. මාගේ තෙවැනි සිහින බක්මහ උළෙල නිසාවෙන් දැන් කණද මා ලෙසින්ම එවැනි “නොකී කතා“ වලට දැඩි සංවේදීතාවක් දක්වන්නට පටන්ගෙන ඇත. මෙතැන් පටන් දිගහැරෙන්නේ මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ “නොකී කතා“ කිහිපයකි.
 
ජවනිකා අංක 01
 
කොල්ලන් දෙදෙනෙක් බුද්ධදාස පිටියට පිවිසුම් දොරටුවෙන් ඇතුල්වන අතරතුර කතාබහක යෙදෙමින් සිටිති.
 
“මචං මට 12.30 ට විතර යන්න වෙනවා බං...“
 
“ඒ මොකද බං..අද යකෝ ආතල් එකක් ගන්න දවස..උඹ කොහේ කෙළවන්නද?“
 
“නෑ බං...කෑල්ල තරහවෙලා..ෆෝන් එකත් ඕෆ් කරගෙන..මගෙ බඩ බොක්ක දනවා..ඕකි මාව අතෑරියොත් මම මොනවා කරන්නද යකෝ..“
 
“හරි හරි ඉතින් දැන් උඹ දවල් කොහේද යන්න හදන්නේ..“
 
“මම යනවා බං ඒකිගේ ක්ලාස් එක ලඟට කොස්වත්තේ..වැඳලා හරි ෂේප් වෙනවා අදනම්..නෑනත් ෂේප් නිසා අවුලක් නෑ බං...“

Apr 21, 2014

සයිබර් සිහින බක්මහ උළෙලට පසුව???


2014 සයිබර් සිහින බක්මහ උළෙල ඊයේ අවසන් වුණා. බොහොමයක් අලුත් මුහුණු සහ ප්‍රමාණයෙන් අඩු පැරණි මුහුණු එක්වුණු අවස්ථාවක් වුනත් හැමෝටම ඉතාම තෘප්තියෙන් කතා කරන්න පුළුවන් මොහොතක් අවසන් වුණා කියලා කියන්න පුළුවන්. පුද්ගලකිව සහභාගීවුන තුන්වෙනි සයිබර් සිහින බක්මහ උළෙල. වැල්ලවත්ත සහ මහරගම පැවති ඒවාට වඩා සාර්ථකත්වය ලෙස දකින්න පුළුවන් වෙන්නේ සහභාගිත්වය සහ දායකත්වය කියන කාරනා එක්ක. බ්ලොග් අවකාශයේ මිතුරෝ වෙනුවෙන් සංවිධාන ශක්තියට කැපවුණු කණ්ඩායම තමන්ගේ උපරිමය සිදුකරලා තිබුණා කියලා පැකිලීමකින් තොරව කියන්න පුළුවන්. ඒ වගේම අනුග්‍රහය ලබාදුන්න ඔෂනික් ගේම්ස් ආයතනයත් ඉතාමත් මිත්‍රශීලීව මේ කටයුත්තට දායක වීම අගය කල යුතුයි. හුරු පුරුදු මාධ්‍ය සගයා බස් රේඩියෝව තමන්ගේ  සුපුරුදු කාර්යය සිදුකිරීම අමතක කල නොහැක්කක්.

Apr 19, 2014

සුබ උපන් දිනයක් “අපේ ඉසව්ව“ සහ “සිතුවිලි පලස“


අප්‍රේල් 18 කියන්නේ අපේ ඉසව්ව සහ සිතුවිලි පලස කියන නිවුන් බ්ලොග් අඩවි දෙකේ සංවත්සරය සැමරෙන් දවස. හරියටම 2010 වර්ෂයේ අප්‍රේල් 18 වෙනිදා උදෑසන ගාල්ල වටරැක ප්‍රදේශයෙන් මුලින්ම අන්තර්ජාලයට එක්කල බ්ලොග් අඩවි දෙක අදවන විට සිව් වසරක කඩඉම පසුකරලා. නිරාමිස ප්‍රීතියක් විඳින්නට හැකි මට්ටමට මේ බ්ලොග් අඩවි දෙක අද පත්වෙලා. “සිව් අවුරුදු අස්වැන්න“ නෙලන මොහොතේ ඒ සතුට විඳින්නට හැකිවීම ඉතාමත් තෘප්තිජනක සිදුවීමක්.

   සිංහල සයිබර් අවකාශයට දෛනිකව එකතුවන බ්ලොග් අතරේ බොහොමයක් රසවිඳින්න අද අන්තර්ජාලයේ සිංහල වපසරිය තුල සැරිසරන හිතවතුන්ට හැකිවෙලා තියනවා. අපේ ඉසව්ව නිර්මාණය කලේ කාලීන, දේශපාලනික මති මතාන්තර ඉදිරිපත් කිරීමට සහ නව කතා, කෙටි කතා වෙනුවෙන්මයි. එහි ප්‍රතිපලයක් විදියට අපේ ඉසව්ව ප්‍රකාශන විදියට පොත් 5ක් ඉදිරිපත් කරන්නට හැකිවුනේ සිව් අවුරුදු අස්වැන්න විදියටයි. ඒ අතරේ පාඨක සිත් ඇද බැඳ තබාගත් නව කතා තුනක් සම්පූර්ණ කල අතර “සංකලනි“  නවකතාව තවමත් පලවෙමින් පවතිනවා.

Feb 26, 2014

“බිහිරි අලින් මැද වීණාව“ අපේ ඉසව්වෙන් ඔබ වෙත



වසර හතරක් පුරාවට අපේ ඉසව්ව බ්ලොග් අඩවිය හරහා මා විසින් රචනයේ යෙදුන කාලීන සහ දේශපාලනික ලිපි සියයකට අධික ප්‍රමාණයක් අතරින් තෝරාගත් ලිපි මාලාවක් අන්ර්ගත කරමින් නිර්මාණය කල “බිහිරි අලින් මැද වීණාව“ The Fiddle among Deaf Elephants මෙලෙසින් ඊ-පුස්තකයක් ලෙස ඔබට තිළිණ කරන්නට තීරණය කලා. වසර හතරක් පුරාවට අපේ ඉසව්ව සමග නිරතුරුවම රැඳෙන සහෘද පාඨකයින් වෙනුවෙන් තිළිණ කරන මේ කෘතිය මෙහිදී ඔබට භාගතකල හැකියි.

Feb 23, 2014

මලී සහ අත්තම්මා තුලින් වන සමාජ බලපෑම


 
මලී සහ අත්තම්මා යන සිංහල මෙගා ටෙලි නාට්‍යයක පළමුවෙනි සහ දෙවැනි කොටස්ය. අනෙකුත් සිංහල මෙගා ටෙලි වලින් මලී යන යථෝක්ත කතා මාලාවේ පළමුවැන්න වෙනස්වන්නේ එය ලාංකේය ජනසමාජය තුල මුල්බැසගත් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ආශ්‍රකරගෙන ගැමි සමාජය තුල තවමත් නොනැසී පවතින් විශ්වාස වල බලපෑම විදහා දක්වන වෘත්තාන්තයක් වූ බැවින්ය. එයට ලැබුණු අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ “මලී“ නැමති පළමුවෙනි කොටසින් නොනැවතී “අත්තම්මා“ නැමති දෙවනි කොටස දක්වාද අධ්‍යක්ෂවරයා දිගුවක් ලබාගන්නේ මෙහි ඇති ලාභදායිත්වය මැනවින් විදහා දක්වමින්ය. කතානායිකාව වන ඩිංගිරි අම්මානම් වූ පාරම්පරික වෙදකම සහ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයද පරපුරෙන්ම ප්‍රගුණකල මැදිවයසේ වැන්ඳඹු කාන්තාවක් සහ ඇගේ දියනිය වටා ගෙතී ඇති මෙම කතාමාලාවේ ඔවුන්ගේ සතුරා වන්නේ ඩිංගිරිගේම ඥාතියෙක් වන යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සහ වෙදකම ප්‍රගුණ කල උක්කුවා ගුරුන්නාන්සේ වටාය. එහි දෙවන කොටස වන අත්තම්මා හි වෙනසක් වන්නේ මලී ලෙසින් හඳුන්වාසිටි ඩිංගිරිගේ දියණිය වෙනුවට ඇගේ මිණිපිරිය වන සාරධී එක්වීමය. කතා මාලාව පුරාවටම යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම්වල බලය සහ ඒවායේ විශ්මයජනක හැකියාවන් පෙන්වන අතර ඒවායින් බොහොමයක් දකුණෙන් හැදෑරු ඒවා බවද සඳහන්වේ. කෙසේ වෙතත් මෙයට ලොල්වූ රසිකයන් සත්‍ය ලෙසම රසවින්ඳනයට එම සිදුවීම් එක්කරගන්නේ තමන්ගේ යටි සිතට ලබාදෙන විධානයත් සමගය. එම විධානයනම් තමන්ටද මෙවන්වූ අකටයුතුකම්, අසරණවීම් සිදුවූ විට මෙම ගුප්ත විද්‍යා ශාස්ත්‍රයේ පිහිට ලබාගත හැකිවේය යන්නයි.

Feb 22, 2014

සංකලනී - 10 වැනි කොටස



පසුගිය කොටස් 1 2 3 4 5 6 7 8 9 
සිසුරුගේ කෑගැහිල්ලට ඊට ඉස්සරහ පිටබැද්දර ගෙදර දුමින්ද අයියා නාන්න යන ගමන්ද කොහොද බාල්දියත් අතේ අරගෙනම එළියට ආවා. ගුණසිරි අංකල්ගේ හාමිනේ විතරක් නෙවෙයි තව අහල පහල කීපදෙනෙක්ම ගෙවල් වලින් එළියට ඇවිත් සිද්ධිය බලාගෙන හිටියා. කට්ටිය එහෙන් මෙහෙන් වට වෙනකොටත් සිසුරු කෑගහනවා.
“අයියෝ බං මිතුලයා..උඹ මෙහෙම හදිසි අනතුරකින් මැරෙන්න හිටපු එකෙක් නෙවෙයි බං..ඊටත් වඩා මේ හරියට පයින් යන්නවත් බැරි කෙල්ලෙක්ගේ බයික් එකට යටවෙලා මැරෙන්න හිටපු එකෙක් නෙවෙයි බං..මොනතරම් නින්දාවක්ද බං උඹට මේ වුනේ..අනේ අයියෝ “
කට්ටිය එහෙන් මෙහෙන් මතුවෙද්දි සංකලනි ස්කූටියේ ස්ටෑන්ඩ් එකවත් ගහන්නේ නැතුව බයක් එක බිම අතෑරලා මිතුල වැටිලා හිටපු තැනට ආවා. කෙල්ල බය වෙච්ච තරමට දාඩිය බේරෙනවා, ඉකි ගහ ගහ ඇඬෙනවා..කොච්චර තද හිතක් තියන කෙල්ලෙක් වුනත් අනුන් වැරදි කරාම කඩු පොලු උස්සගෙන ගියාට තමන් වැරැද්දක් කරාට පස්සේ පූස් පැටියෙක් වගේ අඬන එකනම් කෙල්ලන්ටම පොදු අනන්‍යතාවක්. කට්ටිය වැඩිවෙද්දි මෙච්චර වෙලා බොරු එහෙත් සාර්ථක රංඟනයක නිරතවෙලා හිටපු මිතුලගේ බාගෙට වහගෙන හිටපු ඇස්දෙකට වැඩිවෙන සෙනග පෙනුනා. තවත් රංගනේ නිරතවුනොත් මේ පාරත් ඇණගන්නේ තමන්මයි කියලා තේරුම්ගත්ත මිතුල හෙමින් සිසුරුට පයින් ඇන්නා. එතකොටම නිකන් සේරම තේරුණා වගේ සිසුරුත් තමන්ගේ අඳෝනාව නවත්ත ගත්තා. මිතුල ඇස් ඇරලා අමාරුවෙන් වගේ බිම වාඩිවුණා. පස්සේ අතපයේ වැලි පිහිදාගත්තා. මිතුලගේ වැලමිට තුවලා වෙලා ටිකක් ලේත් ඇවිත්. 

Feb 14, 2014

සමුගන්නට අවසරයි..


 
මේ ආදරෙන් මම ඈතට ගියේ ඔයාගේ හොඳට..ඇය අකුරු කලා. නිහඬතාවයේ කෙළවර ඔහුද අකුරු කලා.
 
ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු දේ නැතිවුණාම තවත් වෙන හොඳක් කොහෙද නංගි..
 
ඔහු සංවේගය කැටිවුණු අකුරුවලට චිත්තස්වරයේ කම්පිත රාවය යාන්තමට එක්කලා.
 
ඔයාට තේරෙන්නේ නෑ අයියේ..
 
වෙන්න ඇති..නොතේරුන හැමදේම කවදාහරි තේරේවි..ඒත් එදාට තවත් නැතිවෙන් දෙයක් නැතිවෙයි..
 
තවත් නිහඬතාවයක් සංවාදයට එක්කලා. අකුරුවලින් ඔබ්බට ගිහින් හඬින් හඬ එකට හමුවෙන තැනකට. ඒත් නිහඬතාවය එහෙම්ම ඉතිරිවුණා.
 
මට ඔයාට ලංවෙන්න බෑ..ඒ බව ඔයා දන්නවා..
 
ඇය කිව්වා. ඒත් ඔහු දැනන් හිටියා ඇයට ලංවෙන්න බැරි තමන්ට විතරක්ම වග. ඒ සිතුවිල්ල විසින් ඔහුව ආත්මානුකම්පාව නැමති දැලෙහි පතුලටම සිරකර බැඳ දැමුවා.

Feb 13, 2014

ඇමතිතුමාට අමුතුම ලෙඩක් !


 
ඇමතිතුමාලා ගැන කතා කරන්න බොහෝ දේ තියනවා. ඒ බොහෝ දේ ලියන්න පටන්ගන්න කොට ලියලා ඉවරකරන්න බැරි තරමට රසබර සිදුවීම් එහෙමත් තියනවා. මේකත් එහෙම සිදුවීමක් කියලා ගත්තට කිසි තරහක් නෑ ආයුබෝන්. ඔන්න යටගියදවස බරණැස බ්‍රහ්මදත්ත කියලා නිරිඳෙක් දසරජ ධම් අනුව රාජ්‍ය කරන කාලයට වසර තුන්දහසකට විතර පස්සේ කාලෙක එක්තරා රටක එක්තරා දුරබැහැර පළාතක එක්තරා ඉස්කෝලයක් තිබුණා. සාමාන්‍ය පාසල් දිනයක් නිසා එදත් පුරුදු විදියට දරුවන් පාසල් භූමියේ ඉගනීම් කටයුතු, ක්‍රීඩා කටයුතු, කෙලිකවටකම් වගේ බොහොමයක් දේවල් කර කර හිටපු වෙලාවක්.
 
එතකොටම ඉහල අහසේ මහ සද්දයක් ඇති කරමින් හෙලිකොප්ටරයක් විද්‍යාල භූමියේ පැත්තක තිබුණ පිට්ටනියට පහත් කරන්න පටන්ගත්තා. ජීවිතේ පලමුවෙනි වතාවට සද්දන්ත හෙලිකොප්ටරයක් අහසේ යනවා දැක්කට මෙහෙම ඇස්මානෙට දැකලා නැති දරු දැරියෝ විතරක් නෙවෙයි පිටිසර පාසලේ ගුරුභවතුන් පවා පිටිය වටේට එකතුවුණා. මහ දූවිලි වලාවක් අතරින් හෙලිකොප්ටරය පහත් කරද්දිම ආරක්ෂක හමුදා සහ පොලීසියේ වාහන ගණනාවක් ඇවිත් පිටිය වටකරලා සන්නද්ධ ආරක්ෂාව දෙන අතරේ හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම බිමට බාලා නතර කරා. දරුවෝ ටික බොහොම උනන්දුවෙන් සහ සතුටෙන් එකිනෙකාට මත පලකරමින් සද්දන්ත යන්තරේ දිහා බලන් ඉන්න අතරේ පිටියේ එක් පසකින් විශාල කන්ටේනරයක් පිටිය මැදිට ආවා. ඒකේ අලුත්ම පාටට දිලිසෙන කාර් දෙකක්ම රැගෙන ආවා. ඇසිල්ලකින් එක කාර් දෙකම කන්ටේනරයෙන් බිමට බැහැලා හෙලිකොප්ටරය ලඟට අවා. දැඩි ආරක්ෂාව මැද්දේ හෙලිකොප්ටරයෙන් එලියට බැස්සේ ළමයි හොඳට ටෙලිවිෂන් එකෙන් දැකලා පුරුදු ඇමතිතුමෙක්. තමන්ගේ කරේ දාගෙන හිටපු දිග රෙදි කඩකින් දාඩිය පිහිදාගත්ත එතුමා පිළිගන්න හෙලිකොප්ටරය ලඟටම පළාතේ දේශපාලන ප්‍රධානියත් තමන්ගේ සුඛෝපභෝගී වාහනයෙන් ඇවිත් හිටියා. ඇමතිතුමා අත් අල්ලලා පිළිගත්ත මෙහොතෙම අඩියක් දෙකක් තියලා අර කන්ටේනරේ ගෙනාපු කාර් එකට ඇමතිතුමා නැග්ගා. විදුලි වේගයෙන් දූවිල් වලා මැද්දේ ගෙනාපු කාර් දෙකයි, පළාත් ප්‍රධානියාගේ වාහනෙයි, ආරක්ෂාවට ආපු වාහන තොගයයි සේරම ගියා. ඒත් හෙලිකොප්ටරය පැත්තටවත් කාටවත් යන්න බැරිවෙන්න ආරක්ෂාවට සෙබළු හිටියා. දැන් පාසලේ දරුවන්ට ප්‍රශ්න ගණනාවක් හිතට මතුවෙලා තිබුණා.