Aug 30, 2011

හමුවුණා...අනේ හමුවුණා...8 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6  7
******************************************************

වාහනය පදවමින් සිටියත් නෙතත් හිතත් රැදුනේ රුවැති ඇය ලගමයි. වෙලාවකට බයත් හිතෙනවා වා‍හනේ කොහේ ගිහින් නවතියිද කියලා. කතරගම  කොළඹ පාර නිසා වැල්ලමඩම හරියේ මුහුද තීරය ලගින් යන ප්‍රධාන පාරේ වාහන ගොඩක් ‍එහෙ මෙහේ යනවා. වා‍හනේ සුක්කානම මත රැදුනු අත දහස් වාරයක් ඒ සුදු අත්දෙක අල්ලගන්න හැදුවා..ඒත් හිත ඒකට ඉඩදුන්නෙම නෑ. මම කෑ ගහපු නිසා බයවෙලා ඉන්න කෙල්ල තවත් බයවෙයි එහෙම කලානම්. ඉරූ ඉස්සරහ බලාගෙන වාඩිවෙලා හිටියා. හොරෙන්වත් මම දිහා බැලුවේ නෑ.මම විතරයි හොරාටවත් එයා දිහා බලන්නේ. රස්සන්දෙණිය අම්බලම ඉස්සරහින් යද්දි නිකමට වගේ කාර්එකේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කලා...

මේ නිහඩබව බිදින්න
තව මොනවහරි කියන්න
ඔය නෙත්අගින් සිනාසී
මා දිහා දැන් බලන්න...

වෙලාවට ගැලපෙනම සින්දුව යද්දි මටත් ඉරූටත් එකපාරටම දෙන්නගෙම මූණු බැලුනා..එකපාරටම ලස්සන හිනාවක් ගියා ඒ මූණේ..මටත් ඒත් එක්කම හිනාවක් ගියේ හිතේ තිබුණු දුක් දොම්නස් සේරම එක්කයි..ඒ වෙනකොට අපි හිටියේ රුහුණ කැම්පස් එක ඉස්සරහා. හවස දේශන ඉවරවෙලා කඩිමුඩියේ තමන්ගේ බෝඩිං වලට තනියම යන ළමයි සහ කිසිම කලබලයක් නැතුව අත් අල්ලගෙන කතාබහේ යන යුවලවල් අතරින් අපි හිමින් සීරුවේ ආවා.


  ඉරූගේ මූණේ හීන් හීනාවක් නිතරම ඇදිලා තියෙන්නේ ඇයි කියලා මට හැමවෙලේම හිතුනා. පින් පාටට ඒ හිනාව හරියට පීක්වැල්ලෙ වෙසක් තොරණට ලයිට් දැම්මා වගේ. 

....නංගි කම්මැලි නැද්ද ගෙදරට වෙලා ඉන්න.....

කෙල්ල පුදුම වෙලා වගේ මගේ දිහා බැලුවේ අහපු ප්‍රශ්නෙ නිසා වෙන්න ඇති. කෙල්ල දන්නෙ නෑනෙ මට අහන්න දෙයක් නැති කමට සහ අහන්න ඕන දේ අහන්න බැරිකමට අහන ප්‍රශ්න කියලා.

...නෑ අයියේ ..එහෙම නෑ..ගෙදර වැඩ කරනවනේ...

කෙල්ල බේරෙන්න සිම්පල් උත්තරයක් දුන්නා. මටත් ඒවිදියට සිම්පල් ක්‍රමයකට ජීවිතය ගැන දකින්න කියලා දෙන්න කියලා කියන්න මට හිතුනා.

....ඒකත් ඇත්ත...

එළියකන්ද හන්දියෙන් කෙලින් පාරේ අපේ ගෙදර ඉස්සරහින් මාතරට යන්න පුළුවන් වුනාට මම හැමදාමත් බ්‍රවුන්ස් හිල් කන්ද මැදින් වැටුණු පාරට හරි ආසකලා. ඒ හරියෙන් මම යද්දි නිකන් මාතර නෙවෙයි වගේ මට දැනෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ. ‍ඉරූ මාත් එක්ක ඉන්න සොදුරු නිමේශෙත් මට ඒ පැත්තෙන්ම යන්න හිතුනා.

...ලස්සනයි නේද නංගි මේ හරිය....

පර්ල් ක්ලිප් හෝටලේ ඉස්සරහින් කන්ද නගිද්දි මම ඉරුදිකාගෙන් ඇහුවා. එයත් සුන්දර විදියට පහුවෙන හැමදේ දිහාම බැලුවා.

...ඔව් අයියේ...කාලෙකින් මමත් මේ පැත්තට ආවේ....

හරි සමානකමක් හැමදාම දැනුනු විදියට අදත් මට දැනෙනවා. ඒ හැමදේම තව තවත් මාව ඉරූට ලංකලා. සුන්දර මාතර මුහුදු තීරය දිගේ මාතර පැත්තට එද්දි මට හිතුණා ඉරුත් එක්ක මෙතනට කවදාහරි එන්න ඕන කියලා. 

...නංගි මම දෙයක් කියන්නම් කලබල වෙන්න එපා...

එපා කිව්ව ගමන් කලබල වුනේ නැත්නම් ඒක ගෑණු ළමයින්ගේ ගතියට කරන අපහාසයක් නිසාද මන්දා පුරුදු විදියටම එහෙම කියපු ගමන් ඉරුදිකාත් කලබල වුනා..මූණත් රතුවෙලා දාඩියත් දැම්මා...

...මොකක්ද අයියේ?...

...ඔය ඉතිං එපා කිව්ව ගමන් කලබල වුණා. මම මේ ඔයාගෙන් ණයක් ඉල්ලන්න හදනවා නෙවෙයි නංගෝ....

මම නංගා කියලා කියන හැමවෙලේම ඉරූගේ ඇස් ‍දිලිසෙනවා. මගේ මේ හුරතල් කටේ වටිනාකම දැන් තමයි හොදටම තේරෙන්නේ.

....කියන්න අයියා...කලබල වුනේ නෑ...

...හා එහෙනම් කමක් නෑ...මම කියන්න හැදුවේ මට පුළුවන්ද වෙලාවක නංගා එක්ක ටිකක් නිවිහැනහිල්ලේ කතා කරන්න...

ඒ පාරනම් කෙල්ල ඇත්තටම කලබල වුණා. දෙන්න උත්තරයක් හිතාගන්න බැරුව කෙල්ල ලතවුනා. මටත් ඒක තේරුනා. මම ආයෙත් ඒක ඇහුවේ නෑ. කෙල්ල ඇගිල්ල කටේ ගහගෙන කල්පනා කලා..වෙලාවකට පව්කියලා හිතෙනවා කෙල්ල ගැන.

  ටිකකින් මාතර ලංවෙද්දි ඉරූ බහින්න ලෑස්ති වුණා. මම හිතුවේ එයාත් එක්ක ගෙදර ලගටම යන්න.

...ඉන්න නංගි මම තුඩාවෙන් දාන්නම් ඔයාව....

...නෑ අයියා මට පොඩි වැඩක් කරගන්නත් තියනවා...මාව ස්ටෑන්ඩ් එක ලගින් දාන්න...

මට කියන්න දෙයක් තිබුණේ නෑ. ඒක නිසා කධිර කැෆේ එක ඉස්සරහින් නැවැත්තුවා. කෙල්ල දොර ඇරලා බැස්සා

...ගොඩක් ස්තූතියි අයියා...මම යන්නම්.

...ඔයාටත් ස්තූතියි ආවට...

...ඒකට අයියා නෙවෙයිනේ ස්තූති කරන්න ඕන...

...ඒකත් ඇත්ත...කමක් නෑ කොහොමහරි

කෙල්ල යන්න යද්දි මට එකපාරටම අහපු දේ මතක් වුනේ...වාහනේ හිමින් හිමින් කෙල්ල ලගින් පදවගෙන ගියා. 

....නංගි මම අර අහපු ප්‍රශ්නෙට උත්තරේ කෝ...

කෙල්ල මාර විදියට හිරවුණා. මගේ දිහා බැලුවේ හරි අසරණ විදියට.

...හරි හරි මම යන්නම්..බුදු සරණයි...

නෝක්කාඩුවට වගේ කියාගෙන මාත් වා‍හනේ එස්.කේ එක ගාවින් හරවගෙන ගියා. කෙල්ල බෑ කිව්වවත් නම් පුළුවන් කියන තැනට හදාගන්න තිබුණා ඒත් මොකුත් නොකියම ගිය එක මාර ප්‍රශ්නයක්..එතකොටම රේඩියෝ එකේ තවත් ස්ථානෝචිත ගීතයක්..

ඇය යන්න ගියා මැකිලා
වන පියසක තුරු සෙවණැලි අතරින්..

තරහටම වගේ මම රේඩියෝ එකත් ක්‍රියා විරහිත කරලා දැම්මා
*******************************************************

    ටික දවසක් වැඩ රාජකාරි අස‍්සෙන්ම ගෙවිලා ගියා. ඉරූ මතක් නොවුණු වෙලාවක් නෑ. කෙටි පණිවුඩ හුවමාරු වුනාට වඩා වැඩිදෙයක් හුවමාරු වුනේ නෑ. ඉරූ හමුවෙන්නම ඕන කියලා හිතට දැනිලා තිබුණේ.

   දවසක් කෝල් එකක් ගත්තේ ඉරූට කටහඩ අහන්නම ඕන කියලා දැනුනු නිසා.

...හෙලෝ නංගා මොකද කරන්නේ....

...ඇයි අයියා හදිස්සියක්ද?...

පුරුදු විදියම තමයි ඉතිං මෙයානම් හදන්න බෑ. මට හිතුනේ එහෙමයි.

...අනේ නංගියේ මම දවසක් කීයක් නම් කිව්වද හදිස්සියක්නම් කතාකරන තැන් ලිස්ට් එක...අදත් කියන්නද...මාතර පොලීසිය.හොස්පිට්ල් එක..ගිනි නිවන හමුදාව...රතුකුරුසය..සාන්ත ජෝන් ගිලන් රථ....

...අපෝ ඇති ඇති ලිස්ට් එක...නෑ මම හිතුවේ හදිස්සියෙම කෝල් කරපු නිසා....

කෙල්ල හිනාව තද කරගෙන කිව්වා.

... හදිස්සියකට නෙවෙයි දරුවෝ ඔයාගේ කටහඩ අහන්න ඕනම කියලා කෙනෙක් කිව්වා...

කෙල්ලගේ කටහඩ නැවතුනා.

...කව්ද ඒ?....

...මගේ දගකාර හිත...

ආයෙත් කෙල්ල නිහඩවුනා. මොනවහරි කියලා බැන්නනම් ඒත් සතුටුයි ඒත් මේ නිහඩබවනම් දරාගන්න හරිම අමාරුයි..

...නංගා මම කිව්ව එකට හා ද? බෑ ද?...

...මොකකටද අයියා...

...මම කිව්වේ මීට් වෙන්න ඕන කියලා...

ආයෙත් කෙල්ල නිහඩවුනා. ඒත් මගේ හදගැස්මනම් නතර වුනේ නෑ.

...මම ඔයාට බලකරන්නේ නෑ නංගා...

නිහඩව හිටපු ඉරූ දෙයක් කියන්න ගත්තා.

...අපි මොනවා කතාකරන්නද අයියා?...

කෙල්ල ඕනවට එපාවට කියද්දිනම් මට ටිකක් තරහ යනවා. තරහ අමතක කරලා ආයෙත් කතාකරා.

...මට දෙයක් කියන්න තියනවා...

..මොනවද අයියා.?

..මෙහෙම කියන්න පුළුවන්නම් එන්න කියනවද නංගෝ...

කෙල්ල මොකුත්ම නොකිය අහගෙන හිටියා. මමනම් සටන අත අරින්නෙම නෑ.

...එනවද කියන්න...

...හ්ම්ම්...

අන්තිමේදි අකමැත්තෙන් වුනත් මම කැමතිම වචනේ කෙල්ල කිව්වා.

..එළකිරි..එහෙනම් එනවා නේද ඔයා..

..හරි අයියා..ඒත් පොඩි වෙලාවකට..මම එහෙ මෙහෙ වැඩිය යනවට අම්මවත්..අයියවත් කැමති නෑ....

..හරි හරි නංගා..මට ඕන විනාඩි ගාණයි....

..හරි අයියා...

..එහෙනම් ලබන සෙනසුරාදා මම ඇවිත් ඔයාව ගන්නද?..

..නෑ අයියා මම එන්නම ටවුන් එකට...

...හරි නංගි එහෙනම් හවස 4 ට...

...හරි අයියේ..එහෙනම් මම තියන්නම්..බුදු සරණයි..

...බුදු සරණයි...

මම ‍දුරකතනේ විසන්ධි කලේ රටක් රාජ්ජයක් දිනුවා වගේ...ඉරූ මාව මීට් වෙන්න එනෝ...මාරයි...



6 comments:

  1. අපූරු කතාවක් යාළුවා.. මග ඇරුන කොටස් ටිකත් ඉක්මනින් කියවලා එන්නම්...

    ReplyDelete
  2. සේරම ටික කියෙව්වා යාලු..ලස්සන කතාවක්..

    ජය..

    ReplyDelete
  3. ඇත්ත... බ්‍රවුන්ස් හිල් පාරෙන් යන්න දෙවාස් නුත් ගොඩක් ආසයි... කිව්වා වගේ හරිම අමුතු හැගීමක් දැනෙන්නේ... හ්ම්ම්... දැන් කතාව හරි තැනට යනවා වගේ... හැබැයි කවද හරි එන්න හිතුණු මුහුදු වෙරළට නම් පළවෙනි හමුවීම තියා ගන්න එපා...

    දේව්දාස්...

    ReplyDelete
  4. අනේ අනේ මේ කෙල්ලත් අරන් කොහෙ යන්න හදනවද?? පව් අහිංසක කෙල්ල. :D ලස්සනයි කතාව. මම ගොඩක් දවස් ඉඳන් බැලුවා ඇයි තාමත් කතාව නැත්තෙ කියලා.

    ReplyDelete
  5. කතාව නම් නියමයි අයියේ...දිගටම ලියන්න..ඒක හුස්මට කියවන්න පුළුවන්...
    @ දේවදාස් - ඇයි මුහුදුවෙරලේ පළමු හමුවීම තියාගන්න එපා කිව්වේ???
    O.o

    ReplyDelete
  6. ගිනි කුරුල්ලා - මාතර අය නම් දන්නවා ඇයිද කියලා... සමහර ටික දෙනෙක් හැසිරෙන විදිය නිසා ඒ වගේ තැනකට පළමු හමුවීම තිබ්බොත්, අන්තිම හමුවීමත් ඒකම වෙයි... මොකද ගෑණු ළමයි හිතන්නේ අමුතු විදියටනේ... හි හි හි...

    දේව්දාස්...

    ReplyDelete