Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Sep 19, 2011

හමුවුණා..... අනේ හමුවුණා 9 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8

*******************************************************

සෙනසුරාදා වෙනකන් හිත තිබුණේ කියාගන්න බැරි හදිස්සියකින් ගැහෙමින්. මම දන්නවා මම කියන්න යන දේ ඉරුදිකාගේ හිත දන්නවා කියලා. ඒත් ඒක නියම විදියට නොකිව්වොත් ආදරේ කරන මේ හිතට අසාධාරණයක් වෙයි කියලා හිතන නිසා මේක කියන්න හොඳම අවස්ථාව ඇවිත් කියලා හිත කියනවා. ආදරේ කියන දේ හිතේ උපදින්නේ අහම්බෙන්.අහම්බෙන් උපදින ඒ සිතුවිල්ල කූටප්ප්‍රාප්තියට ආවම ආදරේ අග්‍රඵලය විඳින්න හිත කියාගන්න බැරි තරමක ලෝබකමක් විඳිනවා.
  ජීවිතේ ආදරේ හොඳම සිදුවීමක් විඳින්න පැමිණෙන මොහොතක ඒ සිදුවීමට හිත සූදානම් කරගන්න දවස් ගාණක් ගියා. ඒත් සෙනසුරාදට දවස් කීපයක් කලින් ඉරුදිකාගේ දුරකතනයට ඇමතුම් කීපයක් ගත්තත් දුරකතනය ක්‍රියාවිරහිතකර ඇති බව සුපුරුදු සුකුමක කටහඬකින් කිව්වා. කෙටි පණිවුඩ කීපයක්ම යැව්වත් එකක් වත් ගියබවට සලකුණක් ලැබුණේ නෑ. හිත අනියත බියකින් වෙලෙන්නට පටන් ගත්තා. ඉරුදිකාට කරදරයක්වත්ද? නෑ එහෙම වෙන්න විදියක් නෑ..එහෙමනම් මට දැනේවි..ඒත් ඇයි මෙහෙම එයාගෙන් කිසිම ආරංචියක් නැත්තේ.
  හිත ඉවසගන්න බැරි පාළුවකින් දුකකින් පෙලෙද්දි යන්තම් සිකුරාදා උදේ ඉරුදිකාගේ දුරකතනය නාදවෙන්න පටන් ගත්තා. දුරකතනයේ ටීක්..ටීක් හඬටත් වඩා වේගයෙන් හිත ගැහෙන්න පටන් ගත්තා..
..හෙලෝ....
මගේ සවන් ආසම කරන ඒ හඬ ඇහුණා..පුරුදු විදියටම පුරුදු ස්වරයෙන්ම.
...නංගා..ඇයි මේ?...
ඉරූ අහන්න ඕන ප්‍රශ්නය ඇහුවේ මමයි.
..ඇයි අයියේ එහෙම අහන්නේ...
ඉරුදිකාගේ හඬ බිඳිලා වගේ දැනුනා. මටත් කතාකරගන්න තරම් වචන ආවෙත් නෑ. හිතට දැනෙන්නේ දුකක්ද සතුටක්ද කියලවත් වෙන්කරලා අඳුනගන්න පුළුවන් පැහැදිලි බවක් හිතේ තිබුණේ නෑ.
..ඇයි නංගා ෆෝන් එක ඔෆ් පහුගිය ටිකේම. මුකුත් කරදරයක්ද?..
ඉරූ මගේ වෙනස් ස්වරයට වික්ෂිප්ත වෙලා වගේ උත්තරයක් දුන්නෙත් නෑ හරියටම. ඒත් ටිකකින් හඬ අවදි කලා.
...නෑ අයියා පහුගිය ටිකේ වැඩ ගොඩක් තිබුණා..ඒකයි...
දුරකතනය නිවා තබන්න කාර්ය බහුලත්වය එක හේතුවක් විතරයි කියලා මම තරම් හොඳින් දන්න කෙනෙක් නැතුව ඇති. ඒත් ඉරුදිකාගේ ස්වරයේ සහ ස්වභාවයේ වෙනස මගේ හිතට පුදුමාකාර වදයක් දුන්නා. මගේ විකාර කවි හිත ගොඩක් අසරණ වුණා.
..හෙට 4 ට එනවද නංගා...
ටික වෙලාවක් නිහඬතාවයක් තිබුණා. මට ටිකකට හිතුණා හෙට හමුවීම සිදු නොවෙයිදෝත් කියලා.
..එනවා අයියා..හැබැයි ගොඩක් වෙලා ඉන්න බෑ..
ඒ වචන ටිකත් එක්ක හිතේ තිබුණු බර ගහගෙන ගියා වගේ දැනුණා. හිතුවෙම මේ සොඳුරු හමුවීම වෙන එකක් නෑ කියලා.
...හොඳයි නංගා..එහෙනම් හෙට මීට් වෙමු..පරිස්සමින් ඉන්න..
වැඩිවෙලා කතාකලොත් කෙල්ල බෑ කියයි කියලා හිතුනු බයට ද මන්දා දුරකතනය තියන්න හිතුනා.
..අයියත් පරිස්සමින් ඉන්න..බුදු සරණයි..
..බුදු සරණයි නංගා...
දුරකතනයත් එක්ක හදවතත් ටිකකට විසන්ධි වුණා.
******************************************************
 සෙනසුරාදා වරුවක් වැඩ කරලා ගෙදර ගිහින් ෆිල්ම් එකක් බලන එක හරි නැත්නම් එහා ගෙදර මල්ලිලා දෙන්නා එක්ක ක්‍රිකට් සෙල්ලම් කරන එක හරි පුරුද්දක් විදියට සිදුවුණා. ඒත් අද විශේෂ දවසක්. මේ සෙනසුරාදාව එනකං හිත කොච්චර බලං හිටියද.

  ඇල්ටො පොඩ්ඩත් අරගෙන පුඩ් සිටි එකට ගිහින් ආදරේ සංකේතයක් විදියට චොකලට් එකක් ගත්තේ දෙන්න වෙන දෙයක් හිතුණේ නැති නිසා. 

  ඇවිත් වාහනේට නගිද්දිම වෙලාව හතරට කාලයි. දුරකතන ඇමතුමක් ගත්තේ ඉරුදිකා කොහේද බලන්න.

...හෙලෝ නංගා ඔයා කොහේද?...

ඇගේ පැත්තෙන් ඇහුණු සද්දෙත් එක්ක එයා බස් එකේ බව දැනුනා.

..මම ස්ටෑන්ඩ් එක ලඟ..අයියා දැන්ම එනවද..

හිතේ මලක් පිපුණා වගේ දැනුනා. එහෙනම් ඉරූ මේ ආදරේ පිළිගන්න මගේ නෙත් මානෙටම ඇවිත්. අදනම් මාතර මල් සැණකෙලියක් වගේ දැනුනා. හරියට මට මාතර ටවුන් එක පෙනුනේ නිල්වලා හරසර ප්‍රදර්ශනේ දවස්වල රෑ වගේ.

...මම සෙන්තෝමස් එක ලඟ ඉන්නේ ..විනාඩියෙන් එනවා...ඔයා කොතනද ඉන්නේ..

...මම එස්.කේ එකට එහා කධිර කැෆේ එක හරියෙන් ඉන්නම් අයියා...

...හොඳයි නංගා...

දුරකතනය විසන්ධි වුණ ගමන් එන්ජිම පණ ගැන්වුණා. බස් ස්ටෑන්ඩ් එක හරියටම යනකං මම ගියේ හීනෙන් වගේ. ඉරූ හිටියා වෙරළට හැරෙන වංගුවෙම. පුංචි මල් කුඩයක් දාගෙන. මල් මල් ගවුමක් ඇඳගෙන. ගවුමට ඉරූ ඉස්කෝලේ යන පුංචි කෙල්ලෙක් වගේ. දැක්ක ගමන් ඒකයි හිතුනේ. මම වාහනේ ඉරූ ලග නතර කරලා දොර ඇරියා. ඉරූ යන්තම් හිනාවෙලා ගොඩවුණා..

...සොරි ලේට් වුණාට නංගා...

..නෑ අයියා මමත් දැන් ආවේ...

ඉරූගේ මූණ ඇදිලා ගිහින් වගේ. ඇස්දෙකත් වෙනස් වෙලා. හරි මහන්සි පාටක් මට දැනුනේ. බලන්නත් දුකයි. ඒත් ඒ සිරියාවේ කිසිම වෙනසක් නෑ. ලැජ්ජාවත් බයත් මුසුවෙච්ච හැඟීමක් ඒ මුහුණේ දඟ කලා.

 මම අපි දෙන්නත් එක්කම ඇල්ටො පොඩ්ඩත් අරන් ගියේ වෙරළේ එහා කොණට. ලස්සන ෆයිනස් ගස් හෙවණට මම ගොඩක් ආසා කලා. කම්කරු උසාවිය ඉස්සරහා මේ ෆයිනස් හෙවනේ ඉස්සර අපි යාළුවොත් එක්ක කරපු වැඩ දැනටත් මතක් වෙද්දි හිනහයි. 

  ඉරිදා තරම් නැතිවුණත් අදත් වෙරළේ ගොඩක් සෙනග හිටියා. නිලාවේලි..ගාලු මුවදොර ඇරණම ලංකාවේ ලස්සනම වගේම දිගම වෙරළ උද්‍යානේ අසිරිය විඳින්න කැමති ගොඩක් අය ඇවිත් හිටියා.

වාහනෙන් බැහැලා ෆයිනස් ගස් හෙවණේ බංකුව ලගට ගියපු මගේ පස්සෙන් කතානොකරම ඉරූත් ආවේ ඔරුවත් එක්ක යන කොල්ලෑව වගේ. මම වාඩිවුණා..හිනාවෙලා ඉරූටත් වාඩිවෙන්න ඉඩ දුන්නා. මාතර කෙල්ලන්ගේ සුපුරුදු ආඩම්බර කමත් තුරුලු කරන් ඉරුදිකා අපිදෙන්නා අතරේ අඩියක පරතරයක් තියාගෙන වාඩිවුණා.

...නංගා තෑන්ක්ස් ආවට...

..ඒකට කමක් නෑ අයියා..මොනවද කියන්න තියනවා කිව්වේ...

හිත ඒ මහා ආදර කතාව කියන්න සූදානම් වුණා. ලොකු හුස්මක් ගත්තේ එක සැරේටම කියන්න වගේ.

..ඔයාව දැක්ක මුල්ම දවසේ ඉදන් දෙයක් මගේ හිතේ නලියනවා නංගා..ඒක කවියකින් ලියලා ඉවර කරන්නවත්..හුස්ම පොදකින් පිටකරලා හිත හදාගන්නවත් බැරි දෙයක්..ඒත් වචනෙකින් කියලා..ඇස්දෙක දිහා බලලා ජීවිතේටම තුරුලු කරලා තියාගන්න පුළුවන් දෙයක් නංගා..ඒක කියන්නයි ඔයාව මෙහෙම එක්ක ගෙන ආවේ..

ඇය ඇස් පුංචි කරන් බලන් හිටියා.

...මම ඔයාට ආදරෙයි නංගා...ගොඩක් ආදරෙයි..ජීවිතේ මගදි දාලා යන්නවත්...ඔයා වෙනස් වුණා කියලා වෙනස් වෙන්න වත් නෙවෙයි මේ ආදරේ..සදහටම ඔයා එක්ක එක තැනකම තියන්නයි..

ඉරුදිකා බිම බලාගත්තා හිතට බරක් එකතු කරලා. ඉරූ ඊලගට ලොකු හුස්මක් අරන් මගේ දිහා බැලුවා. ආයෙත් බිම බලාගත්තා. මම ටිකක් ඉරූට ලංවෙලා අර අඩියේ පරතරය තරණය කලා. වෙවුලමින් තිබුණු ඒ සුදු අත්දෙකම මගේ අත්දෙකින් අල්ලගත්තා.

...දැනෙනවද ඉරූ මේ ආදරේ...

ඉරූ කඳුලු පිරුණු ඇස්දෙකත් එක්ක මගේ දිහා බැලුවා. මට හිතාගන්න බැරිවුණා ඒ ඇස්දෙකේ තිබුණේ මොනවද කියලා...

...දැනෙනවා අයියා...දැනෙනවා...ඒත් ප්ලීස් මට ආදරේ කරන්න එපා...ප්ලීස්

ඒ වචන ටික කඩුපාරවල් වගේ පපුව පලාගෙන ඇඟ ඇතුලට බැස්සා. ඇයි මම ඔයාට ආදරේ කරන එක නවත්තන්නේ. බෑ කවදාවත් බෑ.

...ඇයි නංගා එහෙම කියන්නේ...ඔයා කාටවත් ආදරේ කරනවද?..

ඉරූ මගේ අත්දෙකෙන් ඒ සුදු අත්දෙක මුදාගත්තා. හරියට හිතට දුන්නු ආදරයක් ආයෙත් උදුරලා ගන්නවා වගේ.

...ප්ලීස් අයියා මගෙන් මොකතු අහන්න එපා මේ ගැන...මට ආදරේ කරන්න එපා..ඒකෙන් ඔයාට ලැබෙන දෙයක් නෑ..මට මෙහෙම ඉන්න දෙන්න..මට ඔයාගෙ ආදරේ එපා..මම ඔයාට බෑ කියන්න බැරි කමටයි ආවේ...

ඒ වචන මම කවදාවත් බලාපොරොත්තු වුණු වචන නෙවෙයි. ඉරූට දෙන්න ගත්තු චොකලට් එකත් තාම වාහනේ. ඒක අතට ගන්න වෙලාවේවත් මෙහෙම දෙයක් දැනුනානම්.මෙතනට එන්නේ හිත හදාගෙනයි..

...ප්ලීස් එකපාරක් හිතන්න..

ඉකිගහමින් හිටපු ඉරූට මම කිව්වා.

..අනේ අයියා මම යන්න ඕන..ප්ලීස් මාත් එක්ක තරහ වෙන්න එපා. අයිය හොඳින් ඉන්න.

ඉරූ බෑග් එකත් අරගෙන යන්න නැගිට්ටා. මට කරන්න කියන්න දෙයක් හිතාගන්න බැරිවුණා. මුළු මාතරම මම වටේ කැරකෙනවා වගේ දැනුනා. ලොකු සුසුම් ගණනාවක් පිටවුණා. ඉරූ මගේ ලගින් ගියා කියලවත් මට දැනුනේ නෑ. මම බලද්දි ඉරූ ටික දුරක පයින් ඇවිදගෙන යනවා. මම දුවගෙන ගියා ඉරූ ලගට.

...ඉන්න ඉරූ..මම ඔයාව දාන්නම්..

කෙල්ල මුකුත්ම නොකිය නැවතුනේ තවත් මගේ හිත රිද්දන්න බැරි නිසාම වෙන්න ඇති. මම වාහනේ අරගෙන එතනට ආවා. ඉරූ මොකුත්ම නොකිය නැගලා බිම බලාගෙන හිටියා. අපි අතර එක වචනයක් වත් හුවමාරු වුනේ නෑ. කදුලු පිහිදගෙන ඉරූ ඉස්සරහ බලාගත්තා.

  ස්ටෑන්ඩ් එක ගාවින් ඉරූ බැස්සේ මගේ හිත පුදුම විදියට අසරණ කරලා. 

..පරිස්සමින් යන්න නංගා...

ඔලුව වනලා ඉරූ ස්ටෑන්ඩ් එක ඇතුලට ගියා. හැඟුම් විරහිතවුනු මම කොහේදෝ යන්න ගියා.

*****************************************************

....ඔන්න ඕකයි වුනේ බං...

නිසල්ගේ ගෙදර කාමරේ ඇද උඩ වාඩිවෙලා මම කතාව අවසන් කලා. නිසල් කට ඇරගෙන මම කියන දේ අහගෙන හිටියා.

...ඇයි බං ඒ...

නිසල් ඇහුව ප්‍රශ්නෙට උත්තරේ මමත් තාම හොයනවා කියලා එයා දන්නෑ.

..මම දන්නෑ බං..මගෙත් ඔලුව අවුල් වුනා..කරන්න දෙයක් හිතාගන්න බෑ..

මම ඇත්තම කිව්වා. කොච්චර වුනත් මගේ දුක නිසා නිසල් පවා කම්පනයෙන් හිටියේ.

..ආයෙත් කෙල්ලට කතාකරන්න බැරිවෙයිද බං..

නිසල් ඇහුවා.

...මම හිතන්නනෑ බං ඒකි ආයෙත් කතා කරයි කියලා..කියන්න පුළුවන් සේරම කියලා ඉවර කරලනේ ගියේ...

හිතේ දුකටයි වේගෙටයි මට කියවුණා. ඒත් හිතේ තිබුණේ මේකෙ කෙලවරක් දැනගන්න වුවමනාවයි.

..දැන් උඹ මොකක්ද කරන්න හදන්නේ...

නිසල් මගේ ලග ප්‍රශ්නාර්ථයක් තිබ්බා. මම ටිකක් කල්පනාකරලා තීරණේකට ඇවිත් නිසල් දිහා බැලුවා.

...මම ඉරුදිකාලගේ ගෙදර ගිහින් ගෙදර අයගෙන් කෙලින්ම අහනවා බං...

තීරණාත්මක තීරණය මම මුලින්ම නිසලයට කිව්වා.

...ඔව් බං ඒක කෝකටත් හොඳයි...මොකද උඹට එහෙම ගිහිල්ලා අහන්න බැරිකම්ක් නෑ..මොනවද උඹේ අඩු...

නිසල් මගේ තීරණය ස්ථීර කරා..ආදර කතාවේ වැදගත් සංධිස්ථානෙකට ඇවිත්. මටම දැනුණා ඒ දේ..


    

10 comments:

  1. මොකද අෆ්ෆා මේ කොටස දාන්න මෙච්චර කල් ගියේ අයියේ

    ReplyDelete
  2. අනේ මන්දා බයේ බෑ මොකක් වෙයිද කියලා ඊළඟට...

    ReplyDelete
  3. මේ මොකද බං උනේ.. හැහ්

    ReplyDelete
  4. ස්තූතියි යාළුවනේ...ඔහොම තමයි..ආදරේ ලැබෙනවා නැතිවෙනවා..මේ අද ලඟ ඉන්න අය හෙට මූණවත් නොබලා යනවා

    ReplyDelete
  5. අපි හිතන විදිහට හැමදාමත් ආදරේ ලැබෙන්නෙ නෑ. කොහොම උනත් කතාව ලස්සනයි. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න.

    ReplyDelete
  6. යාළුවා මොකද මෙච්චර කල් ගත්තේ මේ කොටස දාන්න.. අනිත් කොටස ඉක්මනින් දාන්න...

    ReplyDelete
  7. දැන් නම් හිතාගන්න බෑ මොනා වෙයිද කියලා. ඉරූ නොකියන දේ අසනීපයක්වත්ද.

    ReplyDelete
  8. ස්තූතියි යාළුවනේ..ප්‍රමාදවුනේ අධික වැඩ රාජකාරි නිසයි..ඊළග කොටස ඉක්මණටම දානවා

    ReplyDelete
  9. මම නම් මැද දිම හිතුවා ඕක ටිකක් ට්‍රැජඩියක් වෙයි කියලා... කථාව ලස්සනයි සහෝ... කොටස් 2-3 ක් මග ඇරිලා තිබිලා අද තමයි කියෙව්වේ... !

    මට විතරක් හොරෙන් කියනවද... (ඉරූට තියෙන අසනීපේ !!!)

    ReplyDelete
  10. ඊ ලඟ කොටස පෝස්ට් කරනකන් බලන් ඉන්නවා.

    ReplyDelete