Nov 5, 2014

ලංකාවේ කැබිනට් එකේ සිට ඉන්දියාවේ කැබිනට් එක දිහා බැලුවෙමි


ලංකාවේ කැබිනට් එක එසේ මෙසේ කැබිනට් එකක් නොවන බව ඔබ දන්නවා ඇති. එය 2010 වර්ෂයේ ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනේ ශ්‍රී ලංකාව ලොව තුල අද්වතීය ස්ථානයකට ගෙන යමින්. ඒ ලොව විශාලතම කැබිනට් මණ්ඩලය ලෙස “ජම්බෝ කැබිනට්“ යන නාමයෙන් පවා පිදුම් ලබමින්. ව්‍යවස්ථාදායකය තුල සුවිශේෂී තත්වයක් හිමි කැබිනට් මණ්ඩලයට වර්තමානයේ සාමාජිකයන් 67 ක් එක්කර සිටී. වත්මන් කැබිනට් මණ්ඩලය පත්කරනු ලැබුවේ 2010 වර්ෂයේ අප්‍රේල් මස 23 වැනිදාය. මෙම කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම ජේෂ්ඨ ඇමතිවරු 10 දෙනෙක් සහ ඇමතිවරු 54 දෙනෙක් සහ විශේෂ ව්‍යාපෘති ඇමතිවරයෙක්ගෙන් සමන්විත වේ.

   මෙම ඇමති මණ්ඩලයේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිශ්චිත සහ නිරවද්‍ය තොරතුරු ලබාගැනීම එතරම් ලේසි පහසු කටයුත්තක් නොවේ. නමුත් දළ වශයෙන් ගත්කල මෙම කැබිනට් මණ්ඩලය තුල මහාචාර්යවරුන් දෙදෙනෙක්, ආචාර්යවරුන් 5 දෙනෙක් (සම්මාන ආචාර්ය පදවිලාභී මර්වින් සිල්වා මහතා ඇතුළුව), එක් වෛද්‍යවරයෙක් (දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න මහතා) අන්තර්ගත වේ. අනෙකුත් අති බහුතරයම දේශපාලනික අත්දැකීම් මිස අධ්‍යාපනික සුදුසුකම් මත තනතුරු දරන්නන් නොවේ. එසේම අධ්‍යාපනික සුදුසුකම් පැත්තක තබා තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයන්ට අදාල ඇමතිකම් දරන්නන් හෝ නොවන බව අධ්‍යයනය කල හැක. එහිලා ගත් කල ලංකාවේ කැබිනට් මණ්ඩලය ගැන ඔබ දරණ ආකල්පය මදක් සිහිපත් කොට බලන්න. මෙම මණ්ඩලය නඩත්තු කිරීමට විශාල මුදලක් මහජන බදු ඇතුලත් රජයේ ආදායමෙන් දරන්නට වී ඇත. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයාගේ පමණක් ගමන් විදයම් සඳහා වසරකට රුපියල් කෝටි 250 ක් දරන්නට සිදුව ඇත (2015 සඳහා ඇස්තමේන්තුගත). එහිලා බලන කල්හිදී එතරම් වියදමක් දැරීමට සුදුසු පුද්ගලයන් ඒ සඳහා තෝරා යැවීම මහජනයා සතු වගකීමකි. එසේම එසේ තෝරා යවන පුද්ගලයන් අතරින් නිවැරදිම පුද්ගලයා අදාල තනතුරුවලට පත්කිරීම රජයක ඉහල පාර්ශව සතු වගකීමකි. එය කොතරම් දුරට ඉටුව ඇත්ද යන්න සලකා බැලිය යුතුය. දැන් ලංකාවේ කැබිනට් එක දෙස බලා අවසන්ය. දැන් අවදානය යොමු කල යුත්තේ ලංකාවට අසල්වැසි රාජ්‍යය ඉන්දියාවේ කැබිනට් මණ්ඩලය දෙසය.


   ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 20.2 කි (2012 සංගණන වාර්තා අනුව).එනම් කෝටි 2කට මදක් වැඩිය. ඒ ජනගහනය පාලනයට අදාල කැබිනට්ටුව සාමාජිකයන් 67 කින් සමන්විත වේ. ඉන්දියාවේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 1,210 කි (2011 සංගණනය අනුව). එනම් කොටි 121 කට මදක් වැඩිය. එම ජනගහනය පාලනයට අදාල පත්කර ඇති කැබිනට් මණ්ඩලය 23 කි. අප දැඩිලෙස සිතා බැලිය යුතු කාරණයක් ලෙස මෙය නම්කල හැක. එසේම ඉන්දියාවේ කැබිනට් මණ්ඩලයේ අභයන්තරය දෙස මදක් අවධානය යොමුකල යුතුය.

  අගමැති නරේන්ද්‍ර මෝඩි දිල්ලි සහ ගුජරාති විශ්වවිද්‍යාලවල දේශපාලන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිලාභියෙකි. අමාත්‍යවරු පස්දෙනෙක්ම ඉන්දියානු විශ්වවිද්‍යාල එකක් හෝ කීපයක ගෞරව උපාධිලාභීන්ය, ඉන් දෙදෙනෙක් ආචාර්ය උපාධිලාභීන්ය. ඉතිරි 17 දෙනාගෙන් අති බහුතරයක්ම රටතුල පිළිගත් වෘත්තීයවේදීන් සහ ප්‍රභූන්ය. ලාබාලතම කැබිනට් ඇමතිනිය වන්නේ ස්ම්‍රිති සුබේයින් ඉරානිය. නොඑසේනම් ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන “තුල්සි ආන්ටිය“. ඇය මේ වනවිට භාරතීය ජනතා පක්ෂයේ උප සභාපතිවරියකි. එසේම පිළිගත් සමාජ සේවිකාවකි.

  ප්‍රධානතම කාරණය වන්නේ මෙම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ගේ වියදම් රටාවන් සහ ඔවුන් සතු බලතලයි. අධිකරණයේ තීරණවලට මොවුන් සියල්ල යටත්ය, ඉතා අඩු ප්‍රතිපාදන ප්‍රමාණයක් මොවුන්ගේ තනතුර හා බැඳුනු වියදම් සඳහා අදාලවේ. බොහොමයක් ඇමතිවරු ස්වදේශීය ප්‍රතිපත්ති මුල්කොට සලකන පුද්ගලික ප්‍රතිපත්ති ඉන් අනතුරුව සලකා බලන පිරිසකි. විශේෂයෙන්ම පසුගිය කැබිනට් මණ්ඩලවල ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි ප්‍රනාබ් මුකර්ජි මහතා ඉන්දියානු ජනපති පදවියට පත්කිරීමෙන් පවා පෙන්වන්නේ එරට කැබිනට් මණ්ඩලය තුලට පුද්ගලයින් පත්කිරීමේදී සලකා බලන කරුණු ඉතා ප්‍රබල බවයි. මෙම සියලුම ඇමතිවරුන් තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍ර හෝ අධ්‍යයන ක්ෂේත්‍රවලට අදාල අමාත්‍යධූර හෙබවීම ඉතාමත් වැදගත් කාරණයක් ලෙස ගෙනහැර දැක්විය යුතුය.

   ලංකාව සහ ඉන්දියාව අතර ඇත්තේ ඉතා පටු මුහුදු තීරයක වෙනස පමණක් බව භූගෝලියව සලකා බැලීමේදී දැකිය හැක. නමුත් දේශපාලනික සහ රාජ්‍ය පාලන මෙන්ම රාජතාන්ත්‍රික ක්‍රියාදාමයන්හීදී කාටයුතු කරන ආකාරවල ඇති විෂමතාවයන් අවබෝධ කරගැනීමේදී අප සිටින්නේ කොතනද යන්න සිතාබැලිය යුතුය. විශේෂයෙන්ම මැතිවරණයක් ආසන්න තිබියදී ඉතාම වැදගත් ලෙස සිතාබැලිය යුතුය.
   

4 comments:

  1. ආචාර්යවරුන් 5 දෙනෙක් (සම්මාන ආචාර්ය පදවිලාභී මර්වින් සිල්වා මහතා ඇතුළුව), .

    ඇයි බං මේ මෝඩ මූසලයාවත් මේ ගොඩට දැම්මේ.
    මෝඩ මූසලයා

    ReplyDelete
    Replies
    1. ඇයි බං දෝත පුරවලා අර උන්නාන්සේ කෙනෙක් විශ්වවිද්‍යාලෙටම වඩම්මවලා දුන්නේ ආචාර්ය උපාධිය..මර්වින් උන්නැහේට ආචාර්ය පට්ටම දුන්නට පස්සේ අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු 18 දෙනෙක් ආචාර්ය පදවිය නම එක්ක පාවිච්චි කරන එක නැවැත්තුවා

      Delete
  2. ලංකාවෙ දේශපාලනේ යන්නෙ පිය පුතු උරුමයෙන් නෙහ්..:D

    ReplyDelete
    Replies
    1. බොහොම වැදගත් සහ වැඩදායී පියවරුන් වගේම පුත්‍රයන් සහ දියණියන් දේශපාලනයට ඇවිත් ඉන්නවා..එත් අති බහුතරයක් මී හරක්

      Delete