Nov 5, 2017

සක්මන් යාගය - 2 වැනි කොටස


පළමු කොටස මෙතැනින්


අඩ හෝරාවක් වත් ගතවෙන්න පෙර ඔහු සහ ඇය සිටි වාට්ටුව සොයා ගැනීමට නිත්‍යා සමත්විය. වාට්ටුවේ ඇඳක් ඇඳක් පාසා කලබලයෙන් සොයාබැලූ නිත්‍යාට අවසානයේ ඇය ලඟින් ඔහු සිටි තැන සොයාගැනීමට ද හැකිවිය. දුර සිටම කලබලයෙන් දිව එන ඩෙනිමකින් සහ සරල ටී ෂර්ට් එකකින් සැරසී එන නිත්‍යා අඳුනාගැනීමට ඔහුට ටිකක් වේලා ගතවිය.

ඔහු හිතන්නට ඇත්තේ නළලේ තිලක තියාගෙන, පා සලඹේ “චල් චල්“ හඬ “චලස් චලස්“ අනුසාරයෙන් දිව එන, සල්වාර් ඇඳුමකින් සැරසී බිම බලාගෙන එන නිත්‍යා කෙනෙකි. ඔහු එතැනින් අසමත් ය.

“මයි ගෝඩ්...ප්‍රශී ප්‍රශී..ඔයාට කොහොමද?“

ලඟ සිටි ඔහු දෙසද නොබලා නිත්‍යා ඇයගේ දුක්සැප විමසන්නට විය. ඇත්තටම ඔහු ඇයගෙන් මීට වඩා පිළිගැනීමක් බලාපොරොත්තු විය. නිත්‍යාගේ යෙහෙළියගේ සුවය වෙනුවෙන් මෙතරම් කට්ටක් කන තමන්ව අඩුම තරමින් අගයාවි කියා හෝ සිතා සිටිය නමුත් නිත්‍යාට ඒ ගැන නිනව්වක් නැත. මේකි නම් පුදුම ඩයල් එකක්..ෂික්..ඔහුට දැන් නිත්‍යා ගැන පුංචි අමනාපයක් ඇත.


“දැන් එච්චර අවුලක් නෑ...ඔයා නිත්‍යා නේද?“

එසේ කියද්දීත් නිත්‍යා සිටියේ “ප්‍රශී“ ගේ හිස අතගාන ගමන්ය. තත්පර කිහිපයකින් ඇය ඔහු දෙස බැලීය. ඇසක් අග බිමට වැටෙන්නට ඔන්න මෙන්න තියා ඇති කඳුළ ඔහු දකින්නට ඇත. ඒ නිසාම කලින් නිත්‍යා ගැන හිතේ මතුවූ අමනාපයද සැඩරළට අසුව ගසාගෙන ගිය කදුරු ගෙඩියක් බවට පත්විය.

ඒ ඇස්වල තිබුණු පුදුමාකාර අසරණකමට ඔහු ඇත්තටම මෙල්ලවිය. සුදුත් නැති කළුත් නැති පැහැපත් ඇය ඒ අසරණකම නිසාම සුදුමැලිවී ඇත. අවසානයේ ඇය පිළිතුරක් දුනි.

“ඔව්..ඔයා කව්ද?“

“මම මිත්‍ර..නයිස් ටු මීට් යූ..“

“නයිස් ටු මිට් යූ..ඔයා ප්‍රශීගේ ඔෆීස් එකේ කෙනෙක්ද?..ඇයි මට කිව්වේ නැත්තේ එයාට මෙච්චර තුවාල වෙලා කියලා“

ඔහු ලඟ පළමු ප්‍රශ්නයට පිළිතුරක් තිබුණු නමුත් දෙවැන්නට පිළිතුරක් නොවූ නිසා ඔහු දඩිබිඩියේ පිළිතුරු සොයන්නට වෙහෙසුනි.

“මම මෙයාගේ ඔෆීස් එකේ නෙවෙයි..මෙයාට මෙච්චර තුවාල වෙලා කියලා නොකිව්වේ මට තවත් ගෑණු ළමයෙක් ඉස්පිරිතාලෙට ඇතුල් කරලා ලඟ රකින්න බැරි නිසා..“

ඒ කතාව එක පාරට නොතේරුණ නිසා නිත්‍යා ඇස් දෙක ලොකු කර මිත්‍ර දිහා බැලුවා. මිත්‍ර සිහින් සිනාවකින් සංග්‍රහ කලා.

“ඒ කිව්වේ..මට තේරුණේ නෑ“

“ඒ කිව්වේ..මෙයාට තුවාලයි කියලා කිව්වම ඔයාටත් එතනම කලන්තේ දාලා වැටුනොත් කියලා නොකිව්වේ..අනික මට ඇවිත් ඔයාව එක්කන් එන්න ඇම්බියුලන්ස් එකක් හොයාගන්නත් අමාරුයි අද..“

ඒ වචනවලට පළමු වතාවට නිත්‍යාගේ මුහුණේ සිනා රැල්ලක් මතුවිය.

                                             * * * * *

තවත් ටික වේලාවකින් ප්‍රශංසා ට කතාබහ කල හැකි මට්ටමට සුවයක් ලැබී තිබුණි. ඇයට රෝහලෙන් පිටව යන්නට ලැබුණේ ඊටත් බොහෝ වෙලාවකට පසුවය.

නිත්‍යාගේ පැමිණීම මිත්‍රට විශාල සහනයක් විය. නැතිනම් මේ සියලු දේ කරන්නට වෙන්නේ තනියමය. ඒ ඇරත් කෙල්ලෙක්ගේ තනියට කෙල්ලෙක්ම ඉන්න එක වඩාත් හොඳයි කියා මිත්‍රට පැහැදිලි විය.

“ඔයාට ගොඩක් පිං මම වෙනුවෙන් මහන්සි වුණාට..“

“අම්මෝ ඔහොම පිං දෙන්න එපා..යනකොට මම රහත් වුනොත්..හෙට වැඩ තොගයයි..“

නිත්‍යා සිටියේ ප්‍රශංසාගේ බෑගයත් අරගෙන ඇයට පිටුපසිනි. ප්‍රශංසාට තවමත් තුවාලය නිසා යම්කිසි කම්පනයක් ඇතිබව නිත්‍යාට දැනුන නිසාදෝ ඕනෑම මොහොතක ඇය වත්තන් කරගත හැකි තැනකින් සිටින්නට පරිස්සම් වුනාය.

“අදත් වැඩ මිස් වෙන්න ඇති නේද..කොහෙද ඔයා වැඩ කරන්නේ“

“මම රෝයල් පැලස් හෝටලේ ටෙක්නීෂියන් කෙනෙක්.. වැඩනම් මිස් වුනා තමයි..ඒත් ඔයාට බැටන් පාර වැදුනේ මට උදව් කරන්න ඇවිත්..එහෙව් එකේ මට පාඩුවේ ඉන්නත් බෑ..අනිත් එක උන් ගැහුවේ මහ සක්කිලි විදිහට..නිකන් සත්තුන්ට ගහන්න වගේ“

ප්‍රශංසා එය අනුමත කලේ ලොකු හුස්මකිනි. නිත්‍යා ද හිස වනා එය සනාථකරේ ඒ පහරදීම ඇය රූපවාහිනියෙන් හෝ දකින්නට ඇති නිසාය.

“ඒක ඇත්ත මිත්‍ර..අපි ගියේ අපේ වෘත්තීය සමිති එක්ක..පැන්ෂන් එක විතරයි කවදහරි අපිට ඉතුරු වෙන්නේ..ඒකත් මුන් විනාස කරලා දාන්න හදනවා..අන්තිමට අපිට තමයි වහ බොන්න වෙන්නේ..“

නොපෙනෙන ඉසව්වක් දෙස බලා ප්‍රශංසා කියූ ඒ කතාව මේ දින කිහිපයට කිහිප දෙනෙක්ගේම මුවින් මිත්‍ර අසා තිබුණි. ඒක තමන්ට දැනෙන ප්‍රශ්නයක් නොවුණත් කොතැනක හෝ බරපතල අවුලක් ඇතිබව මිත්‍ර ද විශ්වාස කලහ.

“ඉන්න මම ටැක්සි එකක් කතා කරගෙන එන්නම්..“

නිත්‍යා එතැනින් පිටව ගියේ ප්‍රශංසා සහ මිත්‍ර එතැන තනිකරමින්ය, තවත් ලොකු හුස්මකට පසුව ප්‍රශංසා මිත්‍ර දෙස බලා සිනාසුනි. මොහොතකට ඇයට සිහිවුණේ දහවල් සිදුවීම් පෙලය. චිත්‍රපටයක ජවනිකාවක් පරිද්දෙන් හැම සිදුවීමක්ම ඇය ඉදිරිපිට මැවෙන්නට විය.

“ඔයා කොහොද වැඩ ප්‍රශී..“

“ප්‍රශී..?? නොදන්න කෙනෙක් ඒ නම කියනකොට හරි අමුතුයි..“

“හරි හරි..ප්‍රශංසා මිස් කොහෙද ඉතින් රැකියාව කරන්නේ?“

“නෑ නෑ එහෙම කියන්න ඕන නෑ අනේ...මම පළාත් පාලන අමාත්‍යංශයේ..“

“කීර්තිමත් රාජ්‍ය සේවකයෝ එහෙනම් පාරවල් ගානේ රජයට විරුද්ධව කැරලි ගහන්න හොඳ නෑ.. තව ඩිංගෙන් ඔයාව හිරේ දානවා රැජිනට එරෙහිව කැරළි ගැහුවා කියලා..“

“ඒවා කොහෙද දැන්..ඒ 72 ට කලින්..දැන් ලංකාව යටත් විජිතයක් නෙවෙයිනේ..“

“එහෙම තමයි ඉතින් අපි හිතාගෙන ඉන්නේ..“

දෙදෙනාම අමාරු අමතක කල මොහොතක් සිනාසුනි. නිත්‍යා ආවේ ටැක්සියක්ද කතාකරගෙනය. නිතර මුහුණට වැටෙන කෙහෙරැල්ලක් කණ පිටුපස සුරැකිව තැබූ ප්‍රශංසා ටැක්සිය දෙසට ගමන් කලේ නිත්‍යාගේ වාරුවෙන්ය. 

“ඔයත් එන්න..අපි කොටහේන පැත්තට යනනේ..“

ප්‍රශංසාගේ ආරාධනාවට මිත්‍ර සිනහවකින් පිළිතුරු සැපයීය.

“ඔයාලා යන්න දරුවෝ..මම බම්බලපිටිය පැත්තට යන්නේ..“

සිනහා ගණනාවක් හුවමාරුවීමෙන් අනතුරුව නිත්‍යා සහ ප්‍රශංසා එතැනින් පිටව ගියහ. නැවත වතාවක් හමුවේදෝ නොවේදෝ අවබෝධයක් නැතිවම ඒ ගමන සිදුවිය.

                                               * * * * *

දෙවනි වර ඒ හමුවීම සිදුවුණේ මිත්‍ර කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අවස්ථාවකය. එදා චිත්‍රපට සංස්ථාවේ තරංගනී තියටර් එකේ කළුවර දවසකි. කළුවර මැද්දේ තිරයේ ධාවනය වෙමින් තිබුණේ “ටුවෙල් ඇන්ග්‍ර මෙන්“ චිත්‍රපටයයි. 

රසවින්ඳනයේ උපරිම තැනකදී මේ කළුසුදු සිතුවම් පටය නිමාවට පත්වේ. තරංගනී එකේ කළුවරෙන් මිදී එළියට ඇවිත් බෑග් එක කරේ දාගත්තා පමණි.

“චිත්‍රපටිත් බලනවා එහෙනම්..“

පුරුදු කටහඬක් ඇසුන නිසා අපසු හැරී බැලූ මිත්‍ර දැක්කේ මහා සෙනග අතරින් ඉදිරියට එන ප්‍රශංසා සහ නිත්‍යාය.

“ඔව් ඉතින් නිකන් පෙන්නන නිසා බලනවා..ඒත් ඇයි මේ නෝනලා දෙන්නා..“

“අපිනම් ආවේ වෙනසකටත් එක්ක කරන්න දෙයක් නැති නිසා..“

ප්‍රශංසාගේ ඊළඟට කතාවට අඩුපාඩු එක්කලේ නිත්‍යාය.

“කොහොම වුනත් මරු ෆිල්ම් එක..ඉවර වෙනකල් හුස්ම ගන්නේ නැතුව බලන්න පුළුවන්“

ටුවෙල් ඇන්ග්‍ර මැන් රසාස්වාදනයේ ඉහළම තැන සිටි නිත්‍යා ඒ මොහොතෙත් සිහිකරමින් සිටියේ ජූරියේ දොළොස් වැනියාත් සැකකාර කොළුවා නිවැරදිකරු බව කියා ඒකමතික තීන්දුවක් දෙන ජවනිකාවයි.

“ඒක ඇත්ත නිතී..එපා නොවෙන ෆිල්ම් එකක්..“

“මොකක්..නිතී??? ඒ මොන නමක්ද..“

නිත්‍යා ඇස් ලොකුකරගෙන එලෙස විමසන විට ප්‍රශංසා අතින් කටවසාගෙන සිනාසුනේ මිත්‍රගේ රටාව ටික ටික තේරුම් ගනිමින් වන්නට ඇත.

“ඇයි ඉතින් ඔයාට ප්‍රශංසා ප්‍රශී නම්, නිත්‍යා නිතී වෙන්න එපායැ..“

“හා හා..ඒකත් මරු නම..මම රෙජිස්ටර් කරගන්නම්කෝ“

“දාගන්න ඒක අයි.ඩී එකේ වෙනත් නම් යටතට“

තුන්දෙනා කතාකරමින් චිත්‍රපට සංස්ථා ගොඩනැගිල්ල පසුකරමින් බෞද්ධාලෝක මාවත දිහාවට ගමන් කරමින් සිටිද්දී ඒ මග අසල තරුණයන් කිහිප දෙනෙක් පිරිසට අත් පත්‍රිකා බෙදමින් සිටියහ. ඔවුන් යුහුසුළුව සහ නිශ්ශබ්දවම සිය කාර්යය කරන බව පෙනෙන්නට තිබුනි. තිදෙනා අතටද ඒ පත්‍රිකා ලැබුණි.

“මව්බිම වෙනුවෙන් පෙළගැසෙන්න ඉරිදා විහාර මහා දේවි එකට එන්න - සුමිතුරෝ“

කෙටි අත්පත්‍රිකාව පරිස්සමින් කියවා බැලුවත් ඊට වඩා යමක් හොයා ගැනීමට මිත්‍ර සමත් නොවීය.

“අනේ මන්දා..එක එක සංවිධාන හැදෙනවා..උතුරේ එක යුද්ධයක්..ඒ අතරේ දකුණත් පිපිරෙන්න ඔන්න මෙන්න..මේක ඒ දෙකෙන් මොන එකකට අයිති එකක්ද දන්නේ නෑ?“

මිත්‍ර කියූ දෙයට සවන් දුන් ප්‍රශංසාටද කියන්නට බොහෝ දේ තිබුණි.

“ඒක ඇත්ත..මේවා අතට ගන්නත් බයයි මිත්‍ර.. අපේ ගම කුරුවිට පැත්තේ මේ දවස්වල මේ වගේ එක චිට් එකෙන් කඩ වැහෙන්න පටන් අරගෙන..ආණ්ඩුවට රිද්දවන්න කියලා කරන වැඩවලින් ඒ පැත්තේ මිනිස්සුයි අමාරුවේ..“

දෙදෙනාගේම කතාවට සවන් දෙමින් නිත්‍යා එක් පැත්තක ගමන් කරමින් සිටියහ. ඇයට තිබුණේ දෙදෙනාටම වඩා වෙනස් කතාවකි. නිත්‍යාගේ මතකය දිවගියේ චාවකච්චේරියේ සහ කරෙයිනගර්වල තමන්ගේ මතක වෙතටය. ඒ මතක මේ වචන වලටත් වඩා කටුක බව නිත්‍යාට දැනෙන මොහොතක් ගානේ ඇයගේ පපුවෙන් පිටවෙන්නේ උණුසුම් සුසුම්ය.

“ඒක ඇත්ත ප්‍රශංසා..මේවා ගම්වලින් මතුවෙලා වැඩිකල් නොගිහින් කොළඹටත් එනවා..අන්න එදාට තමයි දෙකොණම පත්තු වෙන්නේ..“

තුන්වෙනි කොටස කියවන්න >>
අපේ ඉසව්ව facebook පිටුව


3 comments:

  1. අපි කියවනවා ! ඉදිරි කොටස් ගැන විමසිල්ලෙන් නවතමි ! ජය...

    ReplyDelete
  2. ජය වේවා ජනා..

    එක කියෙව්වෙ නෑ..
    ගොඩ වෙලා යන්න ආවෙ..

    ReplyDelete