Sep 25, 2022

රනිල් ජනාධිපති?? - පූස් කොලම 3

 


‘ඒයි.. මේ බලන්නකෝ අනේ කව්ද ඇවිල්ලා ඉන්නේ කියලා..’

පත්තරේ බලන්න ගත්ත ගමන් කුස්සිය පැත්තෙන් ඇහුණු නෝනාගේ කෑගැහිල්ල එක්ක උඩ ගියපු මම පත්තරේ නවලා පුටුව උඩින් තියලා අඩියට දෙකට කුස්සිය පැත්තට ගියා. ඒ කෑගහපු කෑගැහිල්ලෙ හැටියටනම්ම දියසෙන් කුමාරයා කුස්සිය පැත්තෙන් මතුවෙලා වෙන්නත් බැරි නෑ කියලා මට නිකමට හිතුනා.

‘මේ බලන්නකෝ අනේ...’

කුස්සියේ පුටුව උඩට වෙලා හතිදදා ඉන්න පූසා ව දැක්කේ එතකොටයි. මාස ගණනාවක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු පූසා හදිස්සියෙම කුස්සියට දුවගෙන එනවා දැකපු නෝනා සන්තෝසේ වැඩිකමට හාල් මැස්සෝ හොද්දට ලුණු කුඩු බෝතලේම ඒ වෙද්දිත් දාලා ඉවරයි. අතුරුදහන් ලයිස්තුවට දාලා ආයේ එන එකක් නෑ කියලා හිත හදාගෙන හිටපු පූසා ආයෙත් ඇවිත් ඉන්නවා දැක්කම හිතට සෑහෙන්න සතුටක් දැනුනා. කිළුටු වෙලා ඒ මදිවට ඇදිලා ගිහිල්ලා හිටපු පූසා සෑහෙන්න දුෂ්කර මාස කීපයක් ගතකරලා කියලා තේරුණා.

නෝනා ඉක්මණට කිරි එකක් හදන්න ගත්තා පූසාගේ තිබහ යන්න. උණු උණුවේ කිරි එක බොහොම සන්තෝසයෙන් බාරගත්ත පූසා හුස්ම නැතිව කිරි එක බොන්න පටන්ගත්තා. පූසා කිරි එක බොන දිහා බොහොම උනන්දුවෙන් මමත් නෝනත් බලාගෙන හිටියේ පූසා අතුරුදහන් වීමේ සිදුවීම් මාලාව පූසාගේ වචනවලින්ම දැනගන්නකල් ඉස්පාසුවක් නැතිව. අපේ කුතුහලය තඹයකට මායිම් නොකරපු පූසා කිරි එක අඩියටම ඉවර කළා. එහෙම කරලා අපේ දිහා බැලුවා.

‘උදේට කන්න ඉතිරිවෙච්ච පාන් කෑල්ලක් වත් නැද්ද?’ පූසාට කිරි එක මදිවෙලා කියලා ප්‍රශ්නයෙන් පැහැදිලිවුණා.

‘පාන්..? දැන් ඉතින් පාන් කන්න බැංකු ලෝන් එකක් ගන්න වෙනවා..’ නෝනා කිව්ව ඒ කතාවට පුදුම වෙච්ච පූසා ඇස්දෙක ලොකු කරලා නෝනා දිහා බැලුවා. 

‘ඇයි අප්පා ඒ..’ ප්‍රශ්නය පූසාගෙන්

‘ඇයි කියලා අහන්නේ.. දැන් පාන් ගෙඩියක් රුපියල් තුන්සීයක් වෙනවා’ 

නෝනාගේ කතාව සනාථ කරමින් මම පූසාට පාන් මිල පැහැදිලි කරලා දුන්නා. පාන් මිල අහපු ගමන් පූසාට කලන්තේ හැදෙන ගානට අමාරුයි කියලා පේන්න තිබුණා. පූසා වැටෙන්න යන එක අමාරුවෙන් නතර කරගන්න ගමන් තවත් ප්‍රශ්නයක් ඇහුවා.

‘පාන් ගෙඩියක් එච්චර මිළ යනකල් ආන්ඩුව පොල් ගෑවද?’ පූසාට තියෙන්නෙත් අපිට තියන ප්‍රශ්නම තමයි. ඒත් ඒකට උත්තර හැට නව ලක්ෂයේ උදවිය තියා සමස්ත රටේ මිනිස්සුවත් දන්නේ නැති නිසා දෙන්න උත්තරයක් නැතිව මමත් නෝනාත් මුහුණට මුහුණ බලාගත්තා.

‘ඒ වුණාට රනිල් නම් කොහොමහරි පාන් මිළ අඩුකරයි’ 

සාම්ප්‍රදායිකව යූ.ඇන්.පී ය වෙනුවෙන් හැමදාමත් කතා කරන නෝනා හීනියට කියලා දැම්මාය. මම නෝනාට දැම්මේ ‘කරයි කියලා තමයි බය’ වැනි බැල්මකි. අහෝ! අවාසනාවකට නෝනාගේ ඒ ප්‍රකාශයෙන් පූසා තවත් කම්පනයට ලක්වුණේ බලාගෙන හිටිද්දීම ය.

‘ඇයි.. ඇයි රනිල් බඩුමිල අඩුකරන්නේ.. පාර්ලිමේන්තුවේ එක සිට් එකක් විතරක් තියන.. තටමලා තටමලා යාන්තං ඒකටත් බැහැපු රනිල් කොහොමද රාජපක්ෂලාගේ ආන්ඩුවට ඇටෑක් කරලා බඩුමිල අඩුකරන්නේ.. අඩුම තරමේ සජිත්ටවත් බැරි එකේ..’

ඒ ප්‍රකාශයෙන් අනතුරුව මමත් නෝනාත් නැවත වතාවක් මුහුණට මුහුණ බලාගත්තේ පූසාට මොන යකා වැහිලාද යන අදහස හිතේ තියාගෙනය. ඒත් මොහොතකින් අපි දෙන්නාටම මතක්වුණේ පූසා මාස ගණනක් අතුරුදහන්ව සිටි බවත් සමහරවිට ප්‍රවෘත්ති ඇහෙන්නේවත් නැති කැලේක ඉන්න ඇති කියාය. ඒ නිසා පූසාගේ කම්පනය වටහාගන්න ඒ තරම් අමාරුවුණේ නෑ.

‘ඇයි අනේ.. රනිල් තමයි දැන් ජනාධිපති’ නෝනා හීනි ආඩම්බරයකින් කියලා දැම්මාය.

එවරනම් පූසා හතරගාතේ උඩදාගෙන පුටුව මත ඇද වැටුණා ය. ඒ මදිවට පුටුවෙන් රෝල්වී ඇවිත් බිමට වැටුණේ බලාගෙන හිටිද්දීම ය. මම නෝනා දිහා රවලා බැලුවේ අහිංසක පූසාගේ මානසිකත්වය තේරුම් අරගෙන ය. පූසා කම්පනයට පත්වෙලා හිටපු විදිහ කොච්චරද කියනවනම් එතනින් එහාට පූසාම තේරුම් ගත්තොත් මිසක්, රටේ තත්වේ නම් ආයෙත් කියන්නේ නෑ කියලා මම හිතාගත්තා. ටික වෙලාවක් කලන්තේ හැදිලා වගේ හිටපු පූසා ඇස්දෙක ඇරලා බලලා කතාකලා.

‘ඇයි හත්තිලව්වේ.. කොළඹින් ඡන්ද විසිදාහක් ඡන්ද ගන්න බැරිව කුණුබක්කියට දාපු රනිල් ජනාධිපති වෙනකල් ගෝඨාභය සර් මොන මගුලක් කලාද?’ 

පූසාගේ ප්‍රශ්න තාර්කික ය. එහෙත් ලංකාවට ලොජික් ගැලපෙන්නේ නැතිබවත් ලංකාවේදී ලොජික් බ්ලොක්වෙන බව පූසාට කියලා දෙන්නේ කොහොමද කියන එක ගැන මම ටිකක් හිතන්න ගත්තා. 

‘ගෝඨාභය අරගලයට බයේ රටින් පැනලා ගියා.. පස්සේ රනිල් ජනාධිපතිකලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකතුවෙලා..’

නෝනා එහෙම කිව්වම මම බය වුණේ පූසා ව්‍යවස්ථාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවොත් පූසා ඉස්සරහ ලැජ්ජාවට පත්නොවී ඉන්න තරම්වත් මගේ ව්‍යවස්ථා දැනුම පොහොසත් ද කියන එක මගේ ඔළුවටම ආපු නිසා. වෙලාවට පූසා ව්‍යවස්ථා ප්‍රශ්නයක් ඇහුවේ නෑ.

‘දැන් ඉතින් ඔය පාර්ලිමේන්තුවේ රනිල් ජනාධිපති වෙද්දි රනිල්ට විරුද්ධව කව්රුහරි ඉදිරිපත්වුණේ නැද්ද?’ 

පූසාගේ ප්‍රශ්න තාමත් තාර්කකයි. මටත් නෝනාටත් පූසාගේ හිමිකරුවන් විදිහට පූසාගේ දේශපාලන ඥානය ගැන අවංකව සතුටක් දැනුනා.

‘හිටියා.. ඇයි ඩලස් මහත්තයා.. අනුර කුමාර සහෝදරයා’ නෝනා පැනපු ගමන් පූසාගේ කුතුහලය කීතු කීතු කර ඉරා දැම්මාය.

‘එතකොට හත්තිලව්වේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් මන්ත්‍රීවරු ඉන්නේ පොහොට්ටුවේ.. එහෙම හිටිද්දි පොහොට්ටුවේ ඩලස් පරාද කරගෙන රනිල් ජනාධිපතිවුනේ කොහොමද?.. ඒ කියන්නේ පොහොට්ටු මන්ත්‍රීවරු ඡන්දේ දීමෙන් වැළකී හිටියද?’ 

පූසා නැවත වතාවක් පුටුවට නැගිට මහා හයියෙන් කෑගහලා අපි දෙන්නගෙන් ඇහුවා. පූසාගේ මයිල් කෙලින්වී තක්බීර්වෙලා හිටපු නිසා පූසාගේ සද්දෙට කුස්සිය දෝංකාර දුන්නා.

‘නෑ එයාලා ඡන්දේ දුන්නා..’  මම හීන් හඬින් උත්තර දුනානා.

‘ඩලස් ට?’ පූසා හඬ බාල කරලා ඇහුවා.

‘නෑ මං හිතන්නේ රනිල්ට.. ඒකනේ ඉතින් හෙණ ඡන්ද ගාණකින් රනිල් දින්නේ’ 

මම එහෙම කිව්වම පූසා බිම බලාගෙන පුටුවෙන් බැස්සා. බැහැලා කුස්සියේ දොරකඩ ලඟට හෙමින් හෙමින් ඇවිදගෙන ගියා. 

‘ඔය කොහෙද ඔය ආපු පයින්ම ආයෙත් යන්නේ.. කෑවෙත් නෑනේ මොකුත්..?’ නෝනා කලබල වෙලා පූසගෙන් ඇහුවා.

‘මම මේ ආයෙත් අතරමං වෙන්න නම් යන්න ඕන මොන පාරෙද කියලා කල්පනා කරනවා’ එහෙම කියපු පූසා කුස්සියෙන් එළියට බැහැලා වැනි වැනි යන්න ගියා. මමත් නෝනාත් ආයෙත් මූණට මූණ බලාගත්තා.


පූස් කොලම
2022.09.12


No comments:

Post a Comment