Sep 25, 2022

පොහොර තහනම හිංගලෙන් - පූස් කොලම 2

 


වැඩ ඇරිලා හවස ගෙදර එද්දි ගේට්ටුවෙන් ඇතුලට යන්නත් කලින් දැක්කේ නෝනා ඉස්තෝප්පුවට වෙලා මග බලාගෙන ඉන්නවා මූණේ හිනා පොකුරක් තියාගෙන. අනේ ඉතින් කසාද බැඳලත් අවුරුදු ගාණක් ගිහිල්ලා මේ වගේ මග බලාගෙන ඉන්න බිරින්ඳෑ කෙනෙක් ලබන්න ස්වාමිපුරුෂයෙක් කොච්චර වාසනාවන්තද කියලා හිතාගෙන ගේ පැත්තට ගියා. අඩියක් දෙකක් ඉස්සරහට යන්න උනේ නෑ නෝනා දුවගෙන ඇවිත් බෑග් එක ඉල්ලගත්තා. ඉල්ලගෙන අතිනුත් අල්ලගත්තා කවදාවත් නැතිව.

‘මේ ඒයි දන්නවද වැඩක්?..’ නෝනා විශාල සතුටකින් මගෙන් ඇහුවා.

‘නෑනේ..මොකක් ගැනද?’ මොකක්හරි අමතකවුණු දෙයක්වත් තියනවද කියලා කල්පනා කරන ගමන් මම කිව්වා.

‘අන්න ජනාධිපතිතුමා රසායනික පොහොර ආනයනය තහනම් කරලා ගහපු ගැසට් එකත් රිවස් කරලා.. මෙහෙම ගිහින් උන්දෑ කසාද සහතිකෙත් රිවස් කරයිද දන්නේ නෑ..’ 

නෝනා කොක්හඬ නගමින් හිනාවෙන ගමන් එහෙම කියනවා. නෝනාගේ සන්තෝසේ කොච්චරද කියනවනම් ගේ ඇතුලට යන්නෙත් නැතිව ඉස්තෝප්පුවෙම වාඩිවෙලා විස්තරේ කියනවා. මම කල්පනා කලා මේ රසායනික පොහොර තහනම අයින් කරලානම් රසායනික පොහොර ගේන කොම්පැණිවලටයි සිරසට යි නැති සන්තෝසයක් අපේ නෝනට මොකද කියලා.

‘මම එහෙම නිව්ස් එකක් දැක්කේ නෑනේ..’ ගොඩක් වෙලාවකින් ෆෝන් එකත් නොබලපු මම සාක්කුවෙන් ජංගම දුරකථනය අතට ගන්න ගමන් කිව්වා.

‘අයියෝ ඒකනේ එය නිව්ස් ඇලර්ට් පරක්කුයි..මේ දැන් සිරසේ බ්රේකින් නිව්ස් එකක් දුන්නා’ 

නෝනා එහෙම කියද්දි සිරස ඇතුලේ කට්ටිය පාර්ටි දාන හැටි මට මැවිලා පෙනුනා. මොකෝ පහුගිය ටිකේ සිරස නිව්ස්වලින් පොහොර තහනම ඉවත්කරන්න මහන්සිවෙච්චි විදිහට පාර්ටි දාලා මදි කියලා හිතුනා. ඒ අතරේ මම ෆෝන් එක බැලුවා. නිව්ස් එකක් ඇවිත් තියනවා.

‘මේකේ තියෙන්නේ මේ ශාක පෝෂක ද මොනවද නේ.. මේකේ කියලා නෑනේ පොහොර ආනයනය කරනවා කියලා.. මේ තියෙන්නේ Plant nutrients & agro chemical කියලනේ’ 

ජනාධිපතිතුමා පහුගිය දවස්වල හිටපු ස්ථාවරය අනුව මිරිහානේ ගෙදර පිටින් උස්සන් ගියත් රසායනික පොහොර තහනම ඉවත් කරන්නේ නෑ කියලා හිතාගෙන හිටපු මම ගැසට් රිවස් කතාවෙන් වික්ෂිප්ත උනත් නිව්ස් ඇලර්ට් එක දැක්කම හිතට සහනයක් දැනුනා.

‘ඉතින් ශාක පෝෂක කියන්නේ රසායනික පොහොර නෙවෙයිද?’ අපි දෙන්නගේ සද්දෙට කොහේද ඉඳගෙන සාලෙට දුවගෙන ආපු පූසා ඇහුවා.

‘ඒක තමයි මාත් මේ කිව්වේ..’ නෝනත් පූසාගේ ප්‍රශ්නයට සහයෝගය දක්වන්න පටන්ගත්තා. එතකොටම තව නිව්ස් එකක් ආවා මහින්දානන්න ඇමතිතුමා කියලා රසායනික පොහොර තහනම ඉවත්කලේ නෑ කියලා. මේ හතරබීරි කතාවෙන් නෝනා වගේම මාත් වාඩිවෙලා කල්පනා කරන්න ගත්තා.

‘මෙහෙමයි ඉතින්.. ඇත්තටම දැන් ආන්ඩුවට ඕන ආර්ථිකය කළමණාකරණය කරන්නවත්, කාබනික පොහොර එක්ක කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ඔස්තාර් කෙනෙක් නෙවෙයි.. අරිසෙන් අහුබුදු වගේ සිංහල ඔස්තාර් කෙනෙක්..’ 

‘ඒ මොකටද ඒ?’ මමයි නෝනයි දෙන්නම එකපාර ඇහුවා.

පූසා නෝනාගේ ඔඩොක්කුවට පැන්නා. දැන් පූසා සහ නෝනා ආන්ඩු විරෝධී කඳවුරේ. 

‘දැන් ඔය රසායනික පොහොර වෙනුවට ශාක පෝෂක කියන නම දැම්මා වගේ ඉස්සරහට තව කීයක් නම් ඒවට ඔය වගේ ලස්සන සිංහල වචන දාන්න වෙයිද දන්නේ නෑනේ. ඒකට ඉතින් අහුබුදු වගේ කෙනෙක් නම් ටක්කෙටම ගැලපෙනවා.. මොකද වචනේ සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන තරමට ආණ්ඩුවේ සරම ආරක්ෂා වෙනවා’

පූසා කියන කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ. මමයි නෝනයි දෙන්නම කල්පනා කලා. 

‘අනික අහුබුදු නැතත් ආණ්ඩුව ඇතුලේ ඔය ඩලස්ලා, විමල්ලා වගේ හිටපු පත්තරකාරයෝ ඉන්න නිසා ඔය ලස්සන වචන අයිසින් දාලා ඕන ගූ ගොඩක් කප් කේක් එකක් කරන්න පුළුවන්’ 

නෝනා එහෙම කියලා පූසාට පුටුව දීලා තේ හදන්න ගියා. මම පූසා එක්ක ඉඳගෙන ලංකාව වටේ කැරකෙන චීන අසූචි නැව ගැන කල්පනා කරන්න පටන්ගත්තා.

පූස් කොලම
2021.11.12


No comments:

Post a Comment