සිසුරුගේ කෑගැහිල්ලට ඊට ඉස්සරහ පිටබැද්දර ගෙදර දුමින්ද අයියා නාන්න යන ගමන්ද කොහොද බාල්දියත් අතේ අරගෙනම එළියට ආවා. ගුණසිරි අංකල්ගේ හාමිනේ විතරක් නෙවෙයි තව අහල පහල කීපදෙනෙක්ම ගෙවල් වලින් එළියට ඇවිත් සිද්ධිය බලාගෙන හිටියා. කට්ටිය එහෙන් මෙහෙන් වට වෙනකොටත් සිසුරු කෑගහනවා.
“අයියෝ බං මිතුලයා..උඹ මෙහෙම හදිසි අනතුරකින් මැරෙන්න හිටපු එකෙක් නෙවෙයි බං..ඊටත් වඩා මේ හරියට පයින් යන්නවත් බැරි කෙල්ලෙක්ගේ බයික් එකට යටවෙලා මැරෙන්න හිටපු එකෙක් නෙවෙයි බං..මොනතරම් නින්දාවක්ද බං උඹට මේ වුනේ..අනේ අයියෝ “
කට්ටිය එහෙන් මෙහෙන් මතුවෙද්දි සංකලනි ස්කූටියේ ස්ටෑන්ඩ් එකවත් ගහන්නේ නැතුව බයක් එක බිම අතෑරලා මිතුල වැටිලා හිටපු තැනට ආවා. කෙල්ල බය වෙච්ච තරමට දාඩිය බේරෙනවා, ඉකි ගහ ගහ ඇඬෙනවා..කොච්චර තද හිතක් තියන කෙල්ලෙක් වුනත් අනුන් වැරදි කරාම කඩු පොලු උස්සගෙන ගියාට තමන් වැරැද්දක් කරාට පස්සේ පූස් පැටියෙක් වගේ අඬන එකනම් කෙල්ලන්ටම පොදු අනන්‍යතාවක්. කට්ටිය වැඩිවෙද්දි මෙච්චර වෙලා බොරු එහෙත් සාර්ථක රංඟනයක නිරතවෙලා හිටපු මිතුලගේ බාගෙට වහගෙන හිටපු ඇස්දෙකට වැඩිවෙන සෙනග පෙනුනා. තවත් රංගනේ නිරතවුනොත් මේ පාරත් ඇණගන්නේ තමන්මයි කියලා තේරුම්ගත්ත මිතුල හෙමින් සිසුරුට පයින් ඇන්නා. එතකොටම නිකන් සේරම තේරුණා වගේ සිසුරුත් තමන්ගේ අඳෝනාව නවත්ත ගත්තා. මිතුල ඇස් ඇරලා අමාරුවෙන් වගේ බිම වාඩිවුණා. පස්සේ අතපයේ වැලි පිහිදාගත්තා. මිතුලගේ වැලමිට තුවලා වෙලා ටිකක් ලේත් ඇවිත්.









