| නල්ලූර් කෝවිල - නල්ලූර්,යාපනය |
දඩ දඩස් සද්දය සහ කුචු කුචු හඬ කෝච්චියකට කොතරම් අනන්‍ය වුනත් කොළඹ සිට යාපනය ඉක්මවා කන්කසන්තුරේ හෙවත් KKS දක්වා දිවෙන අලූත් යාල් දේවියට ඒ ශබ්දය එතරම්ම හුරු නැතිබව දැනුනේ චීනයේ සිට මෙරටට පැමිණ,නළලේ තිලකයක් තබාගෙන ලංකාවේ යකඩ පීලි මත දිවයද්දී යාල් දේවිට මීට දශක කිහිපයකට නිහඬවූ හඬ අමතකවූ පරිද්දෙන්ය. වාඩිවෙන්නට ඉඩ නැති නිසාවෙන් පුළුල් දොර විවරය අසල බිම ඉඳගෙන යාපනය බලා දිවයන දුම්රිය පසුකරන සීමාව දෙස බලාඋන්නෙමු. වවුනියාව පසුවෙද්දි හමුවන බොහොමයක් දුම්රිය පොළ අලූතින් සකස්කරන ලද ඒවා වූ අතර මගීන්ගෙන් අඩුවක් නොමැතිව පැවතිනි. යාල් දේවියගේ ගමන අතරමග නතරවූයේ කුරිරු යුද්ධයේ අතුරු ප‍්‍රතිඵලයක් නිසාවෙන්ය. එය හුදෙක් දුම්රිය ගමනක නතරවීමක් පමණක් නොව උතුර සහ දකුණ අතර රුධිරයෙන් බැඳුණු නහරයක් කපා දැමුවාක් වැනි සිදුවීමක් විය. උතුර සහ දකුණ අතර තිබුණ සබඳතා ඈත්වීමට යාල් දේවියගේ ගමන අතරමග නතරවීම බෙහෙවින් බලපෑ අතර අද නැවත උතුර දකුණ යාකරන බැම්මක් පරිද්දෙන් දිනපතා ගමනේ යෙදෙන මේ සොඳුරු යකඩ ගොඩ නිසාවෙන් එදිරිවාදීව සටන්කල සිංහල-දෙමළ මුහුණු මෙන්ම හදවත්ද එකම මැදිරියකදී එකට හමුවේ.







