May 5, 2015

විප්ලවවාදියෙකුගේ අවසානය, දයාබර සෝමවංශ..!


නිදහස් චතුරස්‍රයේ කණුවකට හේත්තු වී තනිවම දෑතින් අකුරු ලියූ සුදුපැහැති බෝඩ් දෙකක් ඔසවාගෙන සිටින සෝමවංශ රූපවාහිනියෙන් දුටු මොහොතේ මුලින්ම ඇතිවූයේ අතිශ්‍යය සංවේගයකි. ක්ෂණිකව මාහට දැනුන හැඟීම සමාන වූයේ මාගේ මුත්තා සුදුපැහැති බැනියමත් ඇඳ සරමත් වලාපට ගසාගෙන වයස අසූවේදීත් බැරි බැරි ගානේ කුඹුරු කොටනු දුටු මුණුපුරාට එදා ඇතිවුණ සංවේගයටම පමණක්ය. සෝමවංශ අමරසිංහ මෙසේ බෝඩ් ඔසවාගෙන නිදහස් චතුරස්‍රයේ එරමිණියා ගොතාගෙන බිම ලැගිය යුතු අයෙක්ද? ගැටළුවකි.


   මෙම ලිපිය ලියන්නට පෙර මා විසින් සඳහන් කල යුතු යමක් ඇත. එනම් සෝමවංශ අමරසිංහ චරිතය මීට වසර ගණනකට පෙර මා හට එතරම් ප්‍රිය චරිතයක් නොවීය. එයට හේතුවූ කාරණාව පිටුපසද අපූරු කතාවක් ඇත. භීෂණයේ දරුවෙක් වන මා හට මාගේ දෙමව්පියන් විසින් කුඩා කල සිට ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ලබාදී ඇත්තේ එතරම් හොඳ චිත්‍රයක් නොවේ. භීෂණ සමයේ ප්‍රකට දේශපාලන කාර්යධරයෙක් වූ මාගේ පියාණන්ට ජ.වි.පෙ න් එල්ලවූ තර්ජන නියාවෙන් මා හට උප්පත්තිය ලබන්නට සිදුවුනේද මා ජීවත්වන නගරයෙන් පිට නගරය කුඩා මාතෘ නිවාසයකය. මා කුඩා කල සිටම මෑණියන් විසින් භීෂණ සමයේ සිදුවූ ඛේදජනක දෑ පිළිබඳ කියනා භයංකාර විස්තර දෑස් අයාගෙන අසාසිට ඇත. ගස් කපා දමා පාර අවහිර කිරීම, බයිසිකල් චේන් ගසා විදුලිය නතර කිරීම, එක තුන්ඩුවෙන් කඩ වසා දමා ජනතාව බඩගින්නේ තැබීම වැනි කාරණා පමණක් නොව එකල උයා ගත් බත්මුට්ටිය කන්නට දරුවන් සමග මේසය යට ඉටිපන්දමක් පත්තු කරගෙන රාත්‍රිය ගෙවූ අයුරු සිහිපත් කරන මෑණියන්ගේ වදන් වලින් මට ජ.වි.පෙ පිළිබඳ ඇතිවූයේ පැහැදිලි වෛරයකි. එහෙත් පසුකාලයේ යමක් කමක් තේරෙන සහ ගැඹුරු පරිවර්තන සහ කාලීන පොත පත පරිශීලනයට තරම් භාෂා දැනුම වර්ධනය වූ කල්හි ජ.වි.පෙ මූලාශ සහ විකාශනය ගැන කියවන කල්හි යම්තාක් දුරට ආකල්පමය වෙනසක් සිදුවූ බව සැබෑය.

   එකල එහෙන් මෙහෙන් ඇසූ විජේවීරගේ, ගමනායකගේ කතා ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගල වලින් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ තිබූ කුතුහලය මෙන්ම ඇල්මද යම්තාක් දුරට වර්ධනය විය. විශේෂයෙන්ම විජේවීර ඇතුලු මුල්පෙල කථිකයන්ගේ කතා ශෛලියට පුදුම විදියට ඇලුම් කලෙමි. එසේම දෙදහස වසර ආසන්නයේ ජ.වි.පෙ දේශපාලනික වෙළුමේ කථිකයන් වූ විමල්,නන්දන,ටිල්වින්,අනුර,බිමල් වැන්නවුන්ගේ කථා විලාශයට ද දැඩි ඇල්මක් විය. එසේ නමුත් නිරතුරුවම ප්‍රියකලේ විජේවීරගේ විලාශයටය. ඒ අතර තුර සමයේ මාධ්‍ය වලින් කියවූයේ ජ.වි.පෙ 89 කැරැල්ලේ ප්‍රබලයන් අතර ඉතිරිව ඇති එකම චරිතය වන සෝමවංශ අමරසිංහ දිවයිනට පැමිණෙන බවයි. හිසේ මලක් පිපුණා වැනි හැඟීමක් ඇතිවූයේ අන් කවරක් නිසාවත් නොව එක්වරම සිහිවූයේ විජේවීර ජීවමානව ලඟින් ඇසුරුකර ඇති සටන් සගයාට විජේවීරට මෙන්ම කථිකත්වයක්,දර්ශනයක් සහ ආකර්ශණයක් ඇතැයි යන හැඟීමත් සමගය. ලංකාවට පැමිණි සෝමවංශය මුලින්ම කටුනායකදී පය පැකිලී ඇදවැටී සිරිලක් පොලව සිඹිනු රූපවාහිනියෙන් දුටු මා හට මුලින්ම ඇතිවූයේ අපේක්ෂා පරතරයකි, ආයෙත් පැමිණියේ ලංකාවෙන් රහසේම ගුවන්ගත වූ රැඩිකල් විප්ලවවාදියා නොවන බව කෙමෙන් කෙමෙන් පසක් වන්නට විය, එයින් ගම්‍ය වූයේ විප්ලවවාදීන් මවිබිමට ආදරය කලයුතු නොවන බව නොව විප්ලවවාදීන් යනු බොරු පඩෂෝ කාරයන් නොවිය යුතු බව මා හොඳින් දැන සිටි බැවින්ය. සැබෑ ලෙසම බලාපොරොත්තු වූයේ ඒ සෝමවංශ නොව. සෝමවංශ සිදුකල පලමු ප්‍රසිද්ධ කතාවෙන්ම ඉතිරි අපේක්ෂා සියල්ලම කීතු කීතු වශයෙන් ඉරා දැමුවේ කථිකත්ව්‍ය, භාෂා භාවිතය, දර්ශනය සහ ස්වකීය ජනතා ආකර්ෂණය යන කාරණා වලින් සෝමවංශ ඉහලින්ම අසමත්වූ බැවිනි.

    එහෙව් සෝමවංශ ජ.වි.පෙ නායකයා විය. ඔහු රටපුරා වේදිකාවල කථිකයෙක් විය. සැබවින්ම ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ කාඩරයේ සිට කථා අසන්නට පමණක් රැස්වීම් වලට එන පුද්ගලයා දක්වා පිරිස අතරින් අති බහුතරයක් සෝමවංශයට ආදරය නොකලහ. ඒ මන්ද ඔවුන් දකින ජ.වි.පෙ ඔවුන් සෝමවංශ තුලින් නොදුටු බැවින්. රටින් පිටවූ විප්ලවවාදියා මියගොස් ඇති බව ඔවුන් අවබෝධකරගෙන තිබිණි. එහෙත් සෝමවංශ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එදා මෙන්ම අදත් යමක් කල අයෙකි. ජාත්‍යන්තරය තුල ජ.වි.පෙ විකාශනය උදෙසා ඔහු සෑහෙන් කාර්යභාරයක් සිදුකරන ලදි. කුමාර් ගුණරත්නම් වැන්නවුන් තිරය පිටුපස සිට ජ.වි.පෙ බර අදිද්දී,සෝමවංශලා ජාත්‍යන්තරය තුල ජ.වි.පෙ සංගම්,සමාජ නිර්මාණය කිරීමට අනුබල දී පක්ෂයට අවශ්‍ය අරමුදල් වර්ධනය කරද්දි තිරය ඉදිරියේ ජනතාවට පෙනුනේ නායකයන් කීප දෙනෙක් පමණි. නමුත් සෝමවංශ නැවත ලංකාවට පැමිණි පසු ඔහු දේශපාලනික වශයෙන් භෞමික කම්පනයකට (Territorial Vibration) නතුව ඇති බව පෙනෙන්නට විය, ලංකාව තුල ජ.වි.පෙ දේශපාලනය සහ සෝමවංශගේ දර්ශනය තුල පැහැදිලි විෂමතාවන් පෙනෙන්ට විය.

   නන්දන ගුණතිලකලා, විමල් වීරවංශලා ජ.වි.පෙ හැරයන්නට සෝමවංශ සාධකයක් වීද යන්න අපැහැදිලි තර්කයකි. එසේ වීමට මෙන්ම නොවීමටද හැකිය.එහෙත් ජ.වි.පෙ උන්නතිය වෙනුවෙන් සෝමවංශගේ නායකත්වය ගැටළුවක් බව පෙනෙන්නට විය. සෝමවංශ තුල පැරණි විප්ලවවාදියා වෙනුවට වියපත් අපේක්ෂා භංගත්වයටපත් ධනේෂ්වර පන්නයේ පුද්ගලයෙක් ජීවත් වන බව විටින් විට ඔහු ප්‍රදර්ශනය කරන ලදි. එහි කූටප්‍රාප්තිය වන්නේ 2010 ජනපතිවරණ සමයේ ජ.වි.පෙ සහ එ.ජා.ප ය සරත් ෆොන්සේකා දිනවන්නට එකට සිටගත් වකවානුවේ එක්තරා ප්‍රභූ හමුවක රනිල් සහ සෝමවංශ දෙදෙනාම ජැන්ඩියට යුරෝපානු ඇඳුමෙන් සැරසී එක් වේදිකාවක සිටියහ. එහිදී රනිල් සිය කතාව අවසානයේදී ඉංග්‍රීසි භාෂාවෙන් සෝමවංශයට විහිලුවක් කර කොක්හඬලා සිනාසෙමින් වේදිකාවෙන් බසින විට සෝමවංශ දුවගෙන මයික්‍රෆෝනය වෙත ගොස් පෙරලා රනිල්ට ද ඉංග්‍රීසියෙන්ම විහිළුවක් කර පිටටද තට්ටුකර යන අයුරු මාධ්‍ය රසකර පෙන්වන්නට විය. එදා අයි.ටී.එන් එකට රජ මගුල්ය. ඔවුන් පෙන්වූයේ සෝමවංශ ලංකාවට පැමිණ ප්‍රථම රූපවාහිනී සාකච්ඡාවේදී ඔවුන්ගේ අසහාය නායක රෝහණ විජේවීර සිහිපත් කරන මොහොතේ හැඬු කඳුලින් කතාකල අයුරු සහ විජේවීර ඝාතනය කල එ.ජා.ප ය සමග එකට කරට අතදාගෙන සිටින සෝමවංශ අතර ඇති දේශපාලනික වෙනස්වීමයි. එය දැඩිසේ කතාබහට ලක්වූ කාරණයක් විය.

   2010 ඡන්දයෙන් පසුව අනුර කුමාර එ.ජා.ප ය සමග ඩීල් දැමූ බවට කතාව ඇදීගෙන එනවිට එය ජ.වි.පෙ ට දැඩි හානියක් ගෙන දුන් සිදුවීමක් විය. කෙසේ වෙතත් ඒ සමයේද ජ.වි.පෙ තුල අනුර කුමාර සාධකයට ඇති දේශපාලනික සහ පාලන බලය සෝමවංශට නැති බව ප්‍රත්‍යයක්ෂ විය. එහෙත් ඒ සිදුවීමෙන් අනතුරුව ගෙවී ගිය සංක්‍රාන්ති සමය තුල මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව අත් එසවූ ජ.වි.පෙට මුහුණ දෙන්නට වූයේ දැඩි පීඩනයකටය. කුමාර් ගුණරත්නම් ඇතුලු පිරිස ජනරළ සමග කඩාගෙන යනවිටද සෝමවංශයට කලහැකි යමක් නොවීය. අවසානයේ සෝමවංශ නායකත්වය අතහැර අනුර කුමාරට පුටුව බාර දුනි. ජ.වි.පෙ යම් නැගීමකට එය හේතුවූ බව සත්‍යය. ඒ මන්ද යත් අනුර කුමාර යනු දක්ෂ කථිකයෙක් වීම හා පාර්ලිමේන්තුව තුල සැබෑ ජනතා ප්‍රශ්න හමුවේ අව අමෝරා සිටි චරිතයක් ලෙස ජනතාව මෙන්ම ජ.වි.පෙ පාක්ෂිකයාද පිළිගත් බැවිනි. කෙසේ වෙතත් ඉන් අනතුරුව පවා ජ.වි.පෙ රැළි වලදී අනුරට මෙන්ම සෝමවංශයට කන් අඩි පැළෙන්නට අත්පුඩි ලැබුණ බව අත්දැක තිබේ. එහෙත් සෝමවංශ පසුපසට අඩියක් තැබුවේ එතරම් කැමැත්තකින් නොවන බව එදා සිටම පුද්ගලිකව විශ්වාස කල කරුණකි.

   දෛවයේ සරදමකට මෙන් මෙරට දේශපාලනයේ දූරදර්ශීම නායකයා වන යැංකි ඩිකී ලෙස හඳුන්වන ජූනියස් රිචඩ් ජයවර්ධන හිටපු ජනපතිවරයා පැවසූ විප්ලවවාදියාගේ ජීවන චක්‍රයට අවසානයේ සෝමවංශ අපූරු උදාහරණයක් විය. ජීවිතයේ සැඳෑ සමයේ තමා දැරූ විප්ලවවාදී මත පසෙකලා ස්වකීය උන්නතිය පිණිස සහ ආගම දහම වෙනුවෙන් කටයුතු කරන හිටපු විප්ලවවාදියෙක් බවට සෝමවංශද පත්ව ඇතිබව නිදහස් චතුරස්‍රයේ සිටින අජීවී සිංහයන් පවා සාක්ෂි දරණු ඇත. 

   සෝමවංශ ජ.වි.පෙ න් ඉවත්ව යන බවට මාධ්‍යට ප්‍රකාශ කිරීම තුලින් බොහෝ දෙනෙක් ජ.වි.පෙ මහා කඩා වැටීමක් අපේක්ෂා කල නමුත් එවැන්නක් සිදු නොවීමට ඔවුන් වග බලාගත්හ. අවසානයේ සෝමවංශයට ඉතිරිවූයේ තමන් පමණකි. පසුගියදා ඔහු නිදහස් චතුරස්‍රයේ බිම ලැගගෙන බෝඩ් ඔසවාගෙන මාධ්‍යද කැඳවාගෙන කෑගසා කීවේ එදා 89 සමයේ ඇඩ්‍රස් නැතිව මියගිය ජ.වි.පෙ අසහාය නායකයා ඇතුලු නායකයන්ගේ මරණ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටීම නම් අඩුම ගානේ සෝමවංශ ජ.වි.පෙ න් ඉවත්වීමට ගත් තීරණය නිවැරදි බවට හෝ යම්තාක් දුරට හිත හදාගන්නට තිබුණි. එහෙත් සෝමවංශ බෝඩ් ඔසවාගත්තේ ජනවාරි 8 රෑ සිදුවූවායැයි කියන කුමන්ත්‍රණයකින් ජනපති මෛත්‍රී බේරාගැනීමට බව කියන්නටය. ඒකත් හරියටම විමල් වීරවංශ සිදුකල ලෙමන් පෆ් උපවාසයට දෙවනි නොවන්නකි. ඒත් ජනවාරි 8 කුමන්ත්‍රණය ගැන ස්වාධීන පරීක්ෂණ අරඹන්නට යයි බලකල යුත්තේ සෝමවංශද? එසේ බලකරන්නටනම් සෝමවංශ දැන් සිටින්නේ කොතනද යන්නත් දේශපාලනිකව සවිඥානික පුද්ගලයන්ට යම් ඉඟියක් ලැබෙනු ඇත.

   අවසානයේ බෝඩ් දෙකද ඔසවාගෙන සෝමවංශ නිදහස් චතුරස්‍රයෙන් පිටව ගියහ. ඒත් ඒ තුලින් මෙරට අවසන් මහජන කැරැලලක් තුල සිටි අපූරු විප්පලවාදියෙක් සාහසිකව ඝාතනය කරනු ලැබීය. ඉතින් දයාබර සෝමවංශ ඔබගෙන් මීට වඩා වැඩියමක් මින් මතු බලාපොරොත්තු විය හැකිද යන්න පිළිබඳ ගැටළුවක් ඇත. පුරුදු පරිදිම ජ.වි.පෙ සිය දේශපාලන ගමන ගමන් කරමින් සිටියි. ඒ ගැල් පෙරහැරෙන් හැලුනේ කඩ ඇණයක්ද, නැතිනම් නොවටිනා දර කැබැල්ලක්ද කියා පැනයක් යම් කෙනෙක්ගේ සිතේ තිබුණේ නම් සෝමවංශ විසින්ම හරි අපූරුවට “එය ගැල් පෙරහැරේ කඩ ඇණයක් නොවේ“ යන්න ලියාදී ඇත.

14 comments:

  1. Replies
    1. රසික සහෝදරයා..අපි බයි බායි කියන්නේ නිකම්ම නිකං සෝමවංශට විතරක් නෙවෙයි ලංකාවේ අවසන් තරුණ කැරැල්ලේ අවසන් පුරුකට..

      Delete
  2. බලන්න වෙනසක අපුරුව, අපි ඉල්ලා සිටි වෙනසට නායකයන් ගේ මෙවන් ආදර්ශමත් හැසිරීම් ද ඇතුලත්. මහින්ද ගෝලයෝ දාල පිස්සු නටවන්නේ නැතිව මේ වගේ ඇවිත් ඔහුගේ මතය / විරෝධතාව ජනතාවට දැන්වූවනම් කොච්චර අපූරුද? එතකොට ඒ ආදර්ශයත් අරගෙන ඉළඟට රනිල් හෝ මෛත්‍රී ඒවි. එතකොට අර එංගලන්තේ තියන හයිඩ්පාත් එක නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදයේ ආදර්ශය වෙන්නේ අපේ නිදහස් චතුරශ්‍රය, ආඩම්බර නැද්ද අපිට

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ. හැබැයි මේක ශ්‍රී ලංකා කාරයෙක් හරි යූ.එන්.පී කාරයෙක් හරි කරානම් ඒ කතාව කියලා හිත හදාගන්න තිබුණා..ඒත් මේ සෝමවංශනේ

      Delete
  3. යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

    කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
    රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
    එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්



    ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
    කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
    ‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්


    මම නං මචන් මේක දකින්නේ මෙහෙම. මොකද උබට ඒ අත්දැකීම නැතුව ඇති මේ සෝමවංශ සහෝදරයා ගෙවන්නේ ජීවිතේ අවසන් බාගේ කියන්නේ කියන දේ තේරෙනවනේ අපෙත් සීයා දැන් නෑ එත් සීයා කිව්වොත් කිව්වා පෙන්නලා පොල් ගහට කොස් ගහ කිව්වොත් ගහ ඒ ගහම තමා මේ වයසේ වැරැද්ද

    ReplyDelete
    Replies
    1. මේකට කමෙන්ට් එක උඩ ෆේස්බුක් රිප්ලයි එකේ දාලා ඇති මචං..කතාව ඇත්ත

      Delete
  4. පව් කියලා තමා කියන්න තියෙන්නේ

    ReplyDelete
  5. මොනවා උනත් හොරකම් කරලා සැප විඳින පඩත්තල දෙස්පලුවෝ එක්ක බැලුවම අදටත් සෝමවංශ මහත්තයා හොඳ මිනිහෙක්. ඔබ කියනවා වගේම ඔහු හිටියේ යල් පැන ගිය භාවිතාවන් එක්ක. තරුණ පිරිස් වැඩියෙන් රොද බඳින ජවිපෙ වගේ පක්ෂයක් එවැනි භාවිතවක් එක්ක දක්කගෙන යන්න අමාරුයි. ඒ රික්තය පිරවෙන්නේ අනුරගෙන්.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම සෝමවංශ දේශපාලනික දර්ශනය පැත්තෙන් යාවත්කාලීන වුනේ නෑ..ඒකයි මූලිකම ගැටළුව.දැන් යැපුම්වාදීවෙලා

      Delete
  6. සෝමවංශ... අනේ මංද. මානසික පීඩනයකින් ඉන්නවද, වයසට ඔලුව විකල් වෙලාද කියලා. ඔහු කියන පරිදි ජවිපෙන් ඉවත් වීමට ඔහුගත් තීරණයේ හේතු, ඔහු නායකයාව සිටි කාලයේදී ඔහුට නොපෙනුනේ ඇයි කියායි මට නොතේරෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නොකෙරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි වගේ එකට ඉන්න බැරිවෙලා වෙන්වෙනකොට හේතු කාරණා දහස් ගාණක් මතුවෙනවා.ඒවායේ සාධාරණ අසාධාරණ බව තීරණය කරන එකේ තේරුමක් නෑ

      Delete
  7. ලංකාවෙ හිටිය ඉන්න ඔක්කොම සමාජවාදියො විප්ලව වාදියො අඩු වැඩි වශයෙන් කරන්නෙ "තම කැම සදහා විප්ලවය" තමයි.. ඕක විජේවීරත් කලා ලප අනුරත් කරනවා. සෝමවංශට තවදුරටත් කැම හොයාගන්න බැරි වෙනකොට වෙන පාරක් කපාගන්නවා.

    ReplyDelete
    Replies
    1. බඩගෝස්තරවාදය හැමදාමත් අරගල තුල වගේම පක්ෂ තුලත් තිබුණා සහ තියනවා. ඉතින් ඒකට ජ.වි.පෙ කියලා අමුතු වෙනසක් නෑ. ඇත්ත අනුර කුමාර තුල පවා තිබෙනවා බඩ වඩාගැනීමේ අභිලාෂයන්

      Delete