‘ඉක්මණට තීරණය දැනුම් දෙන්න මිස්..නැත්නම් අපි තුන්දෙනාටම නාන්න
වෙයි..’
චමීරා තීරණයක් ගන්න බැරිව ලතවෙද්දි තද්ධිත අහස දිහා බලලා වැස්ස ගැන පුරෝකථන කරද්දි අසරණකමත් එක්කම මූණේ තියන හැඟීම් ටික පිටකරගන්න වුවමනාවෙන්ම ඇය අහස දිහා බලලා ඇස්දෙක පුංචි කරලා කට තදකරගත්තා. මීට මොහොතකට කලින් තමන්ගේ මුවින් පිටවුණු වචන ටික එක්ක මෙච්චර දවසක් හොඳට හිතලා බලලා වැඩකරපු තමන්ගේ අදහස් මොහොතත් එක්කම වෙනස්වීම චමීරාට විශ්වාස කරන්නත් අමාරුයි.
‘හ්ම්...හරි යමු..’
අන්තිමේදී චමීරා දෙපාරක් නොහිතා එහෙම කිව්වම තද්ධීතටත් පුදුම හිතුනා.
මොකද අන්තිම මොහොතේ හරි තමන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ඇය තනියම යයි කියලා දිගින්
දිගටම හිතුනත් ඒ සිතිවිල්ල කොච්චර වැරදිද කියලා හිතුනා. ඒත් තද්ධිත තාම දන්නේ නෑ
ඇයි තමන්ගේ හිත මෙච්චර ඉක්මණින් මේ වගේ මොහොතකට මග පාදගත්තේ ඇයි කියන එකත් ඒ
කොහොමද කියන එකත්.
‘එහෙනම් නගින්න මිස් පරිස්සමට..’
තද්ධිත බයික් එක හරවගන්න ගමන් ඇයට කිව්වා. කෙලි පොඩිත්තත් ඉස්සරහා
ඉඳන් හරි සතුටින් බලාගෙන හිටියා. චමීරා වටපිට බලන්නෙත් නැතිව දකුණු ඉන්දියානු ක්‍රමයට
බයික් එකේ පැත්තට වාඩිවුනා. ඒ වෙද්දිත් දිගින් දිගටමම වේගයෙන් ගැහෙමින් තිබුණු
තමන්ගේ හිත තවත් ගැස්සෙයි කියලා බයට ඇය පාර දෙපැත්තවත් නොබැලුවේ කවුරුහරි බලාගෙන
හිටියොත් එක්කෝ තමන්ට තරහා යයි නැත්නම් අපහසුතාවයක් දැනෙයි කියලා. සාරි පොට
දකුණතින් නවලා අතවටේ දවටගෙන බෑග් එක උකුලේ තියාගෙන වාඩිවෙලා වම් අතින් බයික් එකේ
පිටිපස්සේ කොටස අල්ලගත්තේ තද්ධිතගේ ඇඟට බරවෙන එක නවත්තගන්න. ඒත් කොයිවෙලාවක හරි
තමන්ගේ තුරුණු බඳ මේ දරුවොත් ඉන්න තාත්තා කෙනෙක්ගේ ඇඟේ වදින බව දැන දැනම චමීරා ඒ
මොහොත වළක්වගන්න සෑහෙන්න මහන්සිවුණා. අන්තිමට ඈ ‘හරි යමු’ කියලා බිම බලාගත්තා.
තද්ධිත හිතපුරා දැනෙන අමුතුම සතුටත් එක්ක බයික් එක හිමින් සීරුවේ
අළුත් තංගල්ල පාර පැත්තට ධාවනය කලා. ඇය ලඟින් දැනෙන විලවුන් සුවඳ වගේම වේගයෙන්
තමන් පසුකරගෙන යන හුළඟට අහුවෙලත් හැංඟෙන්න බැරි ඇගේ හුස්ම සුවඳ ඔහුට නැවුම් වෙනසක
චමත්කාරය අරගෙන ආවා. තමන් මේ විදිහට සුන්දර හුරුබුහුටි ගෑණු ළමයෙක් එක්ක ඇඟෙ වදින
නොවදින දුරින් යන්නේ බොහොම කාලෙකට පස්සේ නේද කියලා තද්ධිතට මතක්වුණා. පෑරිසියේ
ඉන්න දවස්වල පාක් එකේදී නිතර හමුවෙලා දුම්රියේ එකට යන ඇන්ඩ්‍රියා බොහෝ වෙලාවට
තමන්ගේ උරහිසට හරි ඇඟට හරි හේත්තු වෙලා එක එක කතා කියපු දවස් හදිස්සියේම තද්ධිතට
මතක්වුණා.
‘මිස් කොහෙන්ද බස්සන්න ඕන..’
‘බ්‍රවුන්ස් හිල්..’
‘හරි මිස්..’
‘මම නිසා ඔයාලගෙ ගමන වෙනස් වෙනවනේ..අපරාදේ..’
‘හැම ගමනක්ම කොතනකදි හරි වෙනස් වෙනවා මිස්..කිසිම දෙයක් අපරාදේ නෑ..’
මේ මනුස්සයා මේ සරල සාමාන්‍ය කතා අස්සේ කියන අපබ්‍රංස කතානම් එක
පැත්තකින් චමිරාට අල්ලන්නේ නෑ. අනිත් පැත්තෙන් මේ කියන දේවල්වල දිග පළල තේරෙන්නෙත්
නෑ. ඒත් මොකක්දෝ ලොකු කතාවක් කියන්න තද්ධිත උත්සහ කරනවා කියලා ඇයට තේරුණා.
තද්ධිත බයික් එක සම්බෝධි මාවතෙන් හරවලා බීච් එක පැත්තට පදවගෙන ගියා.
පාර දෙපැත්තේ හිටපු උදවිය හැමදාම දකින විදිහට වඩා වෙනස් විදිහකට බයික් එකේ
වාඩිවෙලා යන චමීරා දිහා හැරිලත් බැලුවා. චමීරාට තරහත් එක්ක මේ මිනිස්සුන්ට තමන්ගේ
පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න බැරි හැටි කියලා. ඒ අතරේ වම් පැත්තේ කණ්ණාඩියෙන් තද්ධිත
ඒ මුහුණ දිහා බැලුවා. ඇස්වහක් කටවහක් නැතිව හිතපුරා ලස්සනයි සුන්දරයි කියන්න
පුළුවන් මූණු පොඩ්ඩ එක්කම ඒ ඇස්දෙක දෙතොල් ආයේ ආයේ බැලුවත් එපා වෙන්නේ නෑ කියලා
හිත කියද්දි ආරක්ෂාව ගැන හිතලා තද්ධිත ඉදිරිය බලාගෙන ධෘවනය කරන්න හිත හදාගත්තා.
පැති කණ්ණාඩියෙන් තද්ධිත තමන් දිහා බලනවා ඇය නොදැක්කා නෙවෙයි. ඒත්
හැරිලා බලලා ඒ බැල්මට අහුවෙලා මෙච්චර ගැහෙන හිතට තවත් වදදෙන්නේ මොකටද කියලා ඇය
පාඩුවේ හිටියා. බයික් එක හෙමින් හෙමින් යනවා කියලා මොහොතකට ඇයට හිතුනා මොකද බොහෝ
වෙලාවක් ගතවෙමින් තිබුණත් තාමත් බයික් එක වෙරළ පාර දිගේ බ්‍රවුන්ස් හිල් පැත්තට
ගමන් කරමින් තිබුණ නිසා.
බ්‍රවුන්ස් හිල් පාරේ මැද හරියට යද්දි ඇය තද්ධිතට ටිකක් ලංවෙලා
කිව්වා ඉස්සරහින් නතර කරන්න කියලා. තද්ධිත බ්‍රවුන්ස් හිල් ටෙරසය පිවිසුමේ බයික්
එක නතර කලා. හිතට කොච්චර ලෝබකමක් දැනුනත් මේක ඒ ලෝබකමට වෙලාව නෙවෙයි කියලා දැනගෙන
හිටියා. බයික් එකෙන් පරිස්සමින් බැහැපු චමීරා සාරියත් හදාගෙන බයික් එක ඉස්සරහට
ආවා.
‘තැන්ක් යූ මිස්ට තද්ධිත..’
‘තද්ධිත කියන්න..නැත්නම් වෙන කැමති එකක් කියන්න..මිස්ට කියන්න ඕන
නෑ..ඒක හරි දුරයි..’
ඉතින් ලඟ වෙන්නේ කොහොමද මනුස්සයෝ කියලා අහන්න ඇයට හිතුනත් ඒ සිතිවිල්ල
යටපත් කරගෙන හීනියට හිනාවුනේ ගැහෙන හිත අමාරුවෙන් පාලනය කරගන්න ගමන්.
‘එහෙනම් තැන්ක් යූ තද්ධිත..’
‘අයියෝ ඕවා මොනවද මිස්..’
‘චමීරා... ඔයා කැමති ඒවා කියන්න එපා..ඕනනම් චමීරා කියලා කියන්න..’
ඇයත් ලෙහෙසියෙන් කතාවෙන් පරාද කරන්න පුළුවන් කෙල්ලෙක් නෙවෙයි කියලා
පළවෙනි වතාවට තද්ධිතට හිතුණා. චමීරාටත් මේ විනාඩි ගණන ඇතුලත තමන් ඇතුලේ තිබුණු
මාන්නක්කාර සිතිවිලි වැට කඩාගෙන එළියට ගිහින් ඒ වෙනුවට පුරුදු කටකාරිය මතුවෙමින්
තිබුණා කියලා දැනුනා.
‘හරි චමීරා..’
තද්ධිත හිනාවෙමින් කියද්දි ඒ හිනාව දැකපු චමීරාට ඒ හිනාවට තමන් කැමති
වෙන්න ඕන වගේ පෙළඹීමක් හිත ඇතුලෙන් එනවා කියලා තේරුණා.
‘බායි අනන්‍යා පැටියෝ..පරිස්සමින් යන්න..දෙන්නම..’
අන්තිම වචනය හිමින් කියලා චමිරා අනන්‍යාට අත වැනුවා. ටිකක් නිදිමත
එක්ක ඔට්ටු වෙමින් හිටපු නිසා අනන්‍යා හිනාවෙලා අත වැනුවා. කෙල්ලට නින්ද ගිහින්
අතරමග කරදරයක් වෙයිද කියලත් චමිරාට බය හිතුනා. තද්ධිත බයික් එක පණගන්වලා ටිකක්
ඉස්සරහට යන ගමන් හැරිලා හීන් හිනාවකින් සංග්‍රහ කරද්දි ඉබේටම ඇස්දෙක මොහොතකට
වැහුණා. චමීරා හීන් පිළිතුරු හිනාවකින් සංග්‍රහ කරලා හිත මොකක්දෝ සංතෝසයකින් බඩ
පිනුම් ගහද්දි අතුරු පාර දිගේ ගෙදර දිහාවට ගියා.
ඒ ගතවුණු විනාඩි ගණනාව තමන් ජිවිතේට හිතපු නැති විනාඩි ගාණක් නේද
කියන එක විතරක් ඇයට කීපවරක්ම මතක්වුණා. හෙමින් හෙමින් පාර දිගේ කල්පනාවෙන් හිත
බරකරගෙන චමීරා ගෙදරට ගොඩවුණා. මොහොතක් ගතවෙන්නත් කලින් පොද වැස්සක් වැටෙන්න
පටන්ගත්තතා ඒ වගේම ඒ වැස්ස ටිකෙන් ටික වැඩිවුණා. ඇයට මතක්වුණේ තද්ධිතයි කෙල්ලයි
තෙමෙනවද දන්නේ නෑ කියන එක විතරමයි.
******
මහගෙදර ඉස්තෝප්පුවට වෙලා තද්ධිත උණු කෝපි කෝප්පයක් රස බලමින් හිටියා.
ඒ වෙද්දිත් මහ වැස්ස නිසා ගලන වතුර පාරවල් රට උළු වහළ දිගේ ගලලා පීලිවලින් විශාල
ජල කඳක් මිදුලට මුදාහැරියා. ඒ විදිහට වැහිකැට මිදුලට වැටිලා බිඳිලා යන විදිහ
බලාගෙන ඉන්න එක එක පැත්තකින් හිතට ලොකු සහනයක් දැනෙන දෙයක්. ඉස්සර හිතට ප්‍රශ්නයක්
දැනුනම තද්ධිත කලේ බීච් එකට ගිහින් මුහුද දිහා පැය ගණන් බලාගෙන ඉන්න එක. ප්‍රංශයේ
ඉන්න කාලේ එක්කෝ පාර්ක් එකට වෙලා හිත හැදෙනකල් හිටියා, නැත්නම් යාළුවෙක් එක්ක බාර්
එකකට වෙලා පැය ගණන් රටබීම බෝතල් හිස්කලා. ලංකාවේ ඉන්නකල් ඇල්කොහොල් ජීවිතේ හතර
මායිමට නොගත්ත තද්ධිත ප්‍රංශයේ ගතකරපු කාලෙදි වෙනස්වුණේ තමන්ටවත් හිතාගන්න බැරි
ඉක්මණින්.
ඉස්සර ලංකාව පුරා එක එක ගම් නගරවල දවස් ගණන් ගතකරමින් ඒ සිද්ධි ජීවිත
වගේම සිතිවිලි ගැන පිටු ගණන් වචනවලින් හැඟීම් එළියට දාපු ජීවිතය ලංකාවෙන් පිට
ගතකරපු අවුරුදු හතට සෑහෙන්න වෙනස්වුණා. ඒ සමහර වෙනස්කම් අදටත් දරාගන්න අමාරු තරම්.
‘දූ තාම නිදිද නැන්දේ..?’
‘තාම හොඳට නිදි..සීතලට ඔළුවේ ඉඳන් පෙරවගෙන..’
නැන්දා ඇවිත් ඉස්තෝප්පුවේ පුටුවක වාඩිවුණා. තද්ධිත ආයෙත් වැස්ස දිහා
බලාගෙන කල්පනාවට සේන්දුවුණා. හතර වටේම කළුවර වෙමින් තිබුණ නිසා ඈතින් පෙනුන ඉර
අඳුරේ ගිලෙන දර්ශනය ඒ මොහොතේ බොහොම ආශ්වාදජනක එකක්වුණා.
‘පුතේ..’
‘ඔව් නැන්දේ..’
‘පුතා දැන් දිගටම මෙහේ ඉන්නද කල්පනාව..?’
මාතරට ආපු දවසේ ඉඳන් නැන්දා එක්ක දිග කතාවකට තද්ධිතට වෙලාවක්වත්
නැන්දට වෙලාවක්වත් නොලැබුණු නිසා මේ ලැබුණු මුල්ම මොහොත් ඇය තද්ධිත එක්ක ජීවිතේ
බෙදාගන්න පාවිච්චි කරන්න යන බව ඔහුට තේරුනා. නැන්දා කියන්නේ තාත්තා වගේම තමන්ගේ
ජීවිතේට විශාල හයියක් වුණු වගේම අදටත් තමන්ට වැටෙන්න නොදී ඉන්න චරිතයක් කියන එක
නිසාම ඇය ඉදිරියේ තද්ධිතට ලොකු සැහැල්ලුවක් දැනුනා.
‘එහෙම තමයි නැන්දේ හිතාගෙන ඉන්නේ..ජොබ් එකත් අවුලක් නෑ..’
‘ඒක හොඳයි..දරුවත් ඉස්කෝලේ යන්න ලඟ නිසා මෙහේ ඉන්න එක හොඳයි..අනිත්
එක ඉස්කෝලයක් හොයාගන්න අමාරු වෙන්නෙත් නෑ..’
‘ඒක ඇත්ත.. දූ දැන් ටික ටික මෙහෙට හුරු වෙනවා..රස්නෙට තමයි ටිකක්
අකමැති..’
‘දවසට දෙතුන් පාර ඇඟ හෝදගන්නවා..අනේ තනියම ගිහින් ඇඟ හොදගෙන සබන්
ගාගෙන තුවායත් ඇඳගෙන එනවා හරි ලොකු කෙල්ලෙක් වගේ..’
ජීවිතේ වැඩිම කාලයක් අම්මෙක්ගේ ආදරයක් සෙනෙහසක් රැකවරණයක් නැතිව
තාත්තගේ උණුහුමේ හිතවතුන් ආදරේ මැද හැදුණු අනන්‍යට පොඩි කාලේ ඉඳලම තමන්ගේ වැඩ
තනියම කරගන්න පුරුදු කරපු එක තමන් ඇයට කරපු ලොකුම උදව්වක් කියලා තද්ධිත දැනගෙන
හිටියා. තව තව ලොකුවෙන්න ලොකුවෙන්න ජීවිතේ තනියම හදාගන්න ඇයට පුළුවන් කියලා
තද්ධිතට දැනෙද්දි එක පැත්තකින් ලොකු වේදනාවක් දැනුනේ ඒ වෙද්දි තමන් තනිවෙයි කියන
සිතිවිල්ල එක්ක.
‘කෙල්ලට හැමදේම පුළුවන් නැන්දේ.. එයා තනියම හැදුණු දරුවෙක්..’
‘හ්ම්ම්..’
නැන්දා ඒකට උත්තරයක් දුන්නේ නෑ. ඒත් ඒ එක වචනය ඇතුලේ ලොකු කතාවක් තියනවා
කියලා තද්ධිත නොදන්නවා නෙවෙයි.
‘පුතාගේ අදහසක් තියද ආයෙත් පිළිවෙලක් වෙන්න.. චූටිගෙනුත් මම දවසක්
ඇහුවා ඔය ගැන..ඒකිත් කට හෙලෙව්වේ නෑ..’
නංගි කවමදාකවත් තමන්ගේ අදහසකට පිට දෙයක් කාටවත් කියන්නේ නෑ කියලා තද්ධිත
දැනගෙන හිටියා. ඒත් මේ වෙලාවේ නැන්දා බලාපොරොත්තුවෙන්නේ තමන්ගේ ඉදිරි සැලැස්ම
මහගෙදර ඉස්තෝප්පුවේ බිම එළලා එකින් එක පියවර කියලා පැහැදිලි කරලා දෙන එක නේද කියලා
තද්ධිත තේරුම් ගත්තා.
‘එහෙම අදහසක් නෑ නැන්දේ..එන දේකට මුහුණ දෙනවා..’
‘එහෙම හිතලා හරියන්නේ නෑ පුතේ..මතකනේ වෙච්ච දේවල්..අන්තිමට ලංකාවෙත්
ඉන්න බැරිවෙන තැනට වැඩ සිද්ධවුණා..උඹලගේ අම්මා පුදුම දුකක් වින්දේ ඒ කාලේ..’
ඒ වචන කොච්චර හැඟීම්බර වුණත් පිහිපාරවල් වගේ තමන්ගේ පපුවට අනිනවා වගේ
ඔහුට දැනුනා. ජීවිතේ අමතක කරන්න කාලයක් තිස්සේ උත්සහ දරණ බොහෝ දේවල් ආයෙත් තමන්ට
මතක් කරගන්න වෙනවා කියලා තද්ධිත තේරුම්ගත්තේ කටුනායක පොළවට පය තියපු මොහොතෙමයි.
පැරීසියේ මතක හිත පාරලා වේදනා දෙද්දි ඒකට බෙහෙතක් විදිහට ලංකාව තෝරගත්තට ලංකාවෙත්
තාමත් සුව නොවුණු තුවාල තියනවා කියන එක මොහොතකට හිත මතක් කරලා දුන්නා.
‘මම දන්නවා නැන්දේ..මම ටික කාලයක් අරගෙන බලනවා..සේරටම කලින් මේ
ජීවිතේ හදාගන්න ඕන..’
තද්ධිත ලොකු හුස්මක් අරගෙන කිව්වා. කාලෙකට පස්සේ ලංකාවට පය තියලා
මහගෙදර වහළ යට සැනසීමක් හොයාගෙන ආපු දරුවට තමන් බර පටවන්න ඕන නෑ කියලා නැන්දට හිතුනා.
තමන්ගේ බඩින් දරුවෙක් නොවැදුවත් අයියාගේ දරුවෝ තුන්දෙනාම පොඩි කාලේ ඉඳලම තමන්ගේ
එවුන් වගේ දැනුනු නිසාම ඒ තුන්දෙනාටත් තමන් දෙවනි අම්මා වගේ දැනෙනවා කියන එක ඇය
හොඳින් දන්න දෙයක්. ඒත් ඇයට තිබුණු එකම බය තද්ධිතගේ වගේම අනන්‍යාගේ අනාගතය ගැන.
‘ආයෙත් පුතා පස්සේ කරදර එළවගෙන එන එකක් නෑ කියලා මම හිතනවා.. අවුරුදු
ගණනාවකට පස්සේ පරණ දේවල් හාරවුස්සන එකේ තේරුමක් නෑ..ඒ නිසා හිමින් සීරුවේ ජීවිතේ
පටන්ගන්න පුතේ.. මමයි මාමයි ඉන්නවා උඹලා දෙන්නට..’
නැන්දාගේ අන්තිම වචන ටික එක්ක කඳුළු කැට ගොන්නක් කඩාගෙන ඉස්තෝප්පුවේ
බිම වැටුණා. ඒවා මිදුලට වැටෙන වැහි පොදු තරම් ලොකු නොවුනත් ඒ කඳුළු කැටවලට මහගෙදර
බිම පසාරුකරගෙන යන්න තරම් ශක්තියක් බලයක් තියනවා කියලා තද්ධීත හොඳින් දන්නවා.
නැන්දා පුටුවෙන් නැගිටලා ගේ ඇතුලට යන ගමන් තද්ධිතගේ ඔළුව ආදරෙන් එක
පාරක් අතගාලා අතේ තිබුණු හිස් කෝපි කෝප්පය අතට ගත්තා. ඒ වෙද්දිත් තද්ධිතට නැන්දගේ
ලොකු හුස්ම දැනුනේ ඒවායේ මුසුවුනු ආදරය එක්කමයි.
‘මම යන්නම් කෙල්ල නැගිටලද බලන්න..කිරි හදලා දෙන්න එපැයි’
විනාඩි ගාණක් තිස්සේ තද්ධිත මිදුළ දිහා බලාගෙන ඉඳලා නැගිටලා ඔෆීස්
කාමරය පැත්තට යද්දි වැහි පොද ටිකක් අඩුවෙමින් තිබුණා. ඒ වෙද්දි බිම් කළුවර මුළු
වත්තම වෙලාගෙන තිබුණු නිසා තද්ධිත විදුලි පහන් එක එක ආලෝකමත් කලා. කාර්යාල කාමරයේ
මේසය උඩ තිබුණු ජංගම දුරකතනය අරගෙන බලද්දි ෆේස්බුක් එකේ මැසේජ් එකක් ඇවිත් තියනවා
අහම්බෙන් දැක්කා. ඒකේ තිබුණේ වචන දෙකයි.
‘දෙන්නා තෙමුණද?’
හරි හරි හරි... :D
ReplyDeleteමොකක්ද බං හරි :P
Delete