Jun 19, 2021

යළිත් දවසක හිනැහෙන්න - 07 කොටස

 


පසුගිය කොටස් සියල්ලම කියවන්න

ගාලු පාරේ එහා මෙහා යන වාහන සිය ගාණක අධික ශබ්දය අතරේ පවා ඇයට ඔහුගේ හුස්ම පිට කිරීමේ ශබ්ද ඇහුණා. මිට මොහොතකට කලින් හිටි ඔහු වෙනුවට යම්කිසි අසීරුතාවයකට පත්වුණු ඔහුගේ මුහුණේ හැඟීම් කියවන්න ඇය උත්සහ කලා.

‘ඇයි තද්ධිත..මොකුත් ප්‍රශ්නයක්ද?’

චමීරා අන්තිමට එහෙම අහන්න තීරණය කලේ තද්ධිතගේ පැත්තෙන් පිළිතුරක් ආවේ නැති තැන. බොහෝවිට තද්ධීත මේ තරමට අසීරුතාවයකට හරි කලබලයට හරි පත්වෙන්නේ අනන්‍යා සම්බන්ධ පණිවිඩයකටවත් ද කියන අවිනිශ්චිත හැඟීමත් එක්ක.

‘නෑ චමී..අවුලක් නෑ..’

සමහරවිට තද්ධිත ඒ ගැන වැඩිදුර කතාකරන්න අකමැති වෙන්න ඇති කියන සිතිවිල්ල එක්ක චමිරා තමන්ගේ ජූස් වීදුරුව හිස්කරන්න පටන්ගත්තා. විනාඩි කීපයකින් තද්ධිත ආයෙත් පුරුදු තත්වයට එන්න උත්සහ කලා. ඒක හිතන තරම් ලේසි නැතිවුණත් තද්ධිතගේ ඇස් ඉස්සරහා ඉන්න හුරුබුහුටි කෙල්ලගේ හැඩහුරුකම් එක්ක හිතට ආපු හැඟීම් එක එක දියවෙලා ගිහින් ඇස්දෙකට පේන මේ දර්ශනය දිහා භාවනාවක් වගේ බලාගෙන ඉන්න හිතෙන හැඟීමට තද්ධිත වඩාත් කැමතිවුණා.

‘මේ ඔයා ඕක බොන්නේ නැද්ද..මට පරක්කු වෙනවා..’

තද්ධිත ජූස් වීදුරුව බාගයක් ඉවරකරගෙන තමන්ගේ දිහා එක එල්ලේ බලාගෙන ඉන්න විදිහ නිසාම දැනුනු අපහසුතාවය මගහරවා ගන්නත් එක්කම ඇය එහෙම කිව්වා. තද්ධිත ඉක්මණින් ජූස් වීදුරුව ඉවර කලේ දැනුන ලැජ්ජාවත් එක්කමයි. ඒත් ඒ සුන්දර රූපේ හිතේ සලකුණු කරලා තියාගන්න අමතක කලේ නෑ.

‘හරි ඉවරයි..දැන් කොහේ යන්නද පරක්කු..ගෙදර යන්නේ නැද්ද?’

‘නෑ..ෆැෂන් බග් එකට යන්න තියනවා..’

‘එහෙනම් තාම සාප්පු සවාරිය ඉවර නෑ..’

‘තව චුට්ටක් තියනවා..’

චමීරා හිනාවෙලා එහෙම කියලා එක එල්ලේ තද්ධිතගේ ඇස්දෙක දිහා බැලුවා. තද්ධිතට වුණත් එකපාරටම ඒ බැල්ම දරාගන්න අමාරුවුණා. මොකද ඒ දිලිසෙන ඇස් ඇතුලේ වෙනදා නොදැකපු මොකක්දෝ කතාවක් තියනවා කියලා තද්ධිතට හිතුණා.

‘මම යන්නම් එහෙනම්..’

‘හරි පරිස්සමින් යන්නකෝ එහෙනම්..’

‘අනන්‍යා මතක් කලා කියන්න..’

‘ෂුවර්..’

චමීරා පාරට අවතීර්ණ වෙලා පදික වේදිකාව දිගේ බොහොම සීරුවට අඩිය තියලා ටවුන් එක පැත්තට යනවා බොහේ වෙලාවක් තද්ධිත බලාගෙන හිටියා. කොයි වෙලාවේ හරි හැරිලා බලාව කියලා චිත්‍රපටිවල දැනෙනවා වගේ පුංචි නාටකමය හැඟීමකින් ඔහු බලාගෙන හිටියත් ඇය නොහැරීම නොපෙනී ගියා. මොහොතකින් තද්ධිත ත්‍රීවීල් එකක් නතර කරගෙන ගෙදර යන්න පිටත් වුණා. ඒ අතරේ චමීරා සම්බන්ධ හැඟීම් ඈතට යද්දි තමන්ට ලැබුණු අද්භූත දුරකතන ඇමතුම සම්බන්ධ ප්‍රශ්නාර්ථයන් ආයෙත් ඔළුවට ඇතුල්වුණා.


******

‘දැන් උඹ මොකටද ඒ යකා එක්ක බයික් එකේ ගියේ..’

පහුගිය දවස් ටිකේ වෙච්ච සිදුවීම් මාලාව සාරාංශ කරලා කිව්වාට පස්සේ චමීරාගේ යෙහෙළිය නිශාදි පුරුදු විදිහටම චමීරාගේ ඇඟට කඩාගෙන පැන්නා. සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම නිශාදි දුර දිග නොහිතා කරන වැඩවලට චමීරා කඩාගෙන පනිනවා වගේම තමයි ඒකේ අනිත් පැත්තත්. බැනුම් අහන්න වෙන බව දැන දැනත් චමීරා මේ විස්තර ටික තමන්ගේ විශ්වාසවන්තම යෙහෙළියගේ කණේ තිබ්බේ එක පැත්තකින් හිතේ හිරකරගෙන ඉන්න අමාරු නිසා. අනිත් පැත්තෙන් මේ විස්තර ටික තමන්ට බාහිර කෙනෙක්ට කියලා ඇත්තටම මේ සිදුවීම් ටික දිහා බලන කෝණය දැනගන්නත් ඇයට වුවමනා කරලා තිබුණා.

‘හරි ඉතින් ඒ මනුස්සයා යමු කිව්වා මම ආවා..අනිත් එක දරුවත් හිටියා..’

චමීරාගේ උත්තරේ නිශාදිට ප්‍රමාණවත් වුනේ නෑ.

‘උඹ මේ කසාද බැඳලා දරුවෙකුත් ඉන්න පිරිමියෙක්ගේ බයික් එකක නැගලා ගිහින් දැන් ඒ මදිවට හම්බවෙන හම්බවෙන පාරට සොඳුරු සාද තෙපුල් පවත්වන්න යන එකනම් එච්චර හොඳ පොටක් නෙවෙයි මැඩම්...’

නිශාදි කාමරේ ඇඳ උඩට වෙලා අත් දෙක එහෙට මෙහෙට කරමින් දේශනාව පවත්වද්දි චමීරා මේසය ලඟ පුටුවේ වාඩිවෙලා කොණ්ඩේ පීරමින් හිටියා. එහෙම කරද්දි එක පැත්තකින් නිශාදිගේ ඇස්දෙකෙන් ගැලවිලා පාඩුවේ තමන්ට කියන දේ විතරක් අහන් ඉන්න පුළුවන්වීමම ඇයට සහනයක්.

‘කව්ද දන්නේ බැඳලද නැද්ද කියලා..බඳින්නේ නැතිව දරුවෝ ඉන්න පුළුවන්නේ..’

‘අනේ මන්දා බං උඹට මොන යකෙක් වැහීගෙන එනවද කියලා..යකෝ අන්තිමට මම මෙහේ ආපු දවසෙත් උඹ යස අගේට හිටියනේ..’

නිශාදි ඔළුවේ අත්දෙක  තියාගෙන එහෙම කියද්දි චමීරාට හයියෙන් හිනාවුණා. ඒකට නිශාදිට තවත් තරහයි.

‘උඹ ඔය කියන විදිහේ දුර මම ගිහිල්ලත් නෑ මම එහෙම හිතලත් නෑ..’

‘ඒක හොඳයි..නැත්නම් ගිම්හාන්ට උත්තර දෙන්න වෙන්නේ මටයි...’

‘දැන් ඉතින් ගිම්හාන්ට උඹ උත්තර දෙන්න ඕන ඇයි..’

චමීරා තරහෙන් වගේ ඇහුවා. කිසියම් වෙලාවක තමන් ගිම්හාන්ට වරදක් කරලා නැති නිසාත් තමන් සහ ගිම්හාන් අතරේ තියන බැඳීමට බාධාවක් හරි හානියක් හරි වෙන කිසිම දෙයක් තමන් කරලා නෑ කියන ස්ථාවරය එක්ක චමීරා දිගින් දිගටම රැඳිලා හිටියා.

‘නෑ එහෙම එකක් නෑ.. මම කිව්වේ උඹ මොකක්හරි පිස්සුවක් නැටුවොත් කියලා..’

‘මම එහෙම පිස්සු නටන්නේ නෑ බං..උඹ දන්නවා මම ගැන..’

‘මම උඹ ගැන දන්නවා...’

‘එහෙනම්...?’

‘ඒත් දැන් උඹ මේ කියන කරන දේවල් එක්ක මට බයත් එක්ක..’

‘විකාර..උඹ මොනවට බයවෙන්නද? හරිනම් මම එපාද බයවෙන්න..’

‘ඉතින් උඹ බයවෙන්නේ මොකටද එහෙනම්...’

‘ඇයි දැන් ඉතින් උඹ ඔය බැනගෙන ගියාවගේ කොයි වෙලාවක හරි මම තද්ධිත එක්ක මගතොට කතා කරකර ඉන්න වෙලාවක අපේ ගෙදර අය දැකලා බැන්නොත් කියලා..’

‘අන්න ඒකනේ..ඒ කියන්නේ උඹේ හිතේ තියනවා ගිල්ටියක්..’

‘මගේ හිතේ ඇති ගිල්ටියක් නෑ.. උඹලගේ හිතේ තියන අවුලට මම මොනවා කරන්නද?’

තව තව කතාව දුර දිග අරගෙන ගියොත් චමිරාට තරහා ගිහින් මොනවාහරි පොළවේ ගහයි කියන බයට නිශාදි කතාව නතර කලා. චමීරා ලොකු හුස්මක් අරගෙන ජනේලෙන් පේන ඈත ක්ෂිතිජ සීමාව දිහා බැලුවා. කුරුල්ලෝ රෑන් පිටින් පියාඹලා ගිහින් ඇස් සීමාවෙන් පිටවෙනවා. ඒත් එක්කම දුරකතනයට ආපු මැසේජ් එකක ගිම්හාන්ගේ රූපය පෙනුනා.

‘හායි ස්වීටි..අද වැඩ ගොඩයි..’

චමීරා පණිවිඩය බලලා දුරකතනය පැත්තකින් තිබ්බා. නිශාදි ඇඳේ කොණට ඇවිත් චමීරාගේ අතකින් අල්ලගත්තා.

‘උඹ මෙහෙම ලස්සනට ජීවත්වෙනවා දකින්න මම කැමතියි බං.. ඒක මට සතුටක්..’

‘මම ජීවත්වෙන්නේ ලස්සනට කියලා උඹ හිතනවද?’

‘ඇයි බං එහෙම කියන්නේ..උඹට මොකක්ද තියන ප්‍රශ්නේ..උඹ ගතකරන ලස්සන ජීවිතේ ලඟාකරගන්න බැරිව මම තාම දුක් වෙනවා..’

නිශාදිගේ ඒ පිළිතුරට සහ ප්‍රශ්නයට චමීරා හීනියට හිනාවෙලා ඈත පරිසරය දිහා බලාගෙන හිටියා. ඇත්තටම නිශාදි ඇහුවත් වගේ ලස්සනට ජීවත්වෙන්න බැරි ප්‍රශ්නයක් තමන්ට නෑ කියලා චමීරා කල්පනා කරගෙන යද්දි හිතුනත් හිතේ මොකක්දෝ බරක් තියන බව ඇයට තේරුණා. ඒ බර ඇත්තටම මොකක්ද කියලා නිශ්චිත අදහසක් නොතිබුණත් කාලෙක ඉඳන් තිබුණු ඒ බර දශමෙන් දශමේ තමන්ගේ හිතේ සීමාවට ඇතුල්වෙන තද්ධීත නිසා වැඩිවෙමින් තිබෙනවා කියන එක ඇයට දැනුනා.

ඒ නිසාම චමීරා නිශාදිගේ ප්‍රශ්නෙට උත්තර නොදී මගහැරියා. නිශාදි ගෙදරින් පිටවෙලා යනකල්ම ආයෙත් ඒ ගැන කතා නොකර වෙන වෙන මාතෘකා ගැන ඕපදූප ගැන දෙන්නා කතාකලත් තද්ධිත කියන මාතෘකාව දෙන්නා අතරට නොගන්න කටයුතු කලේ හරියට නිර්වචනයක් කියාගන්න බැරි සිදුවීම් දාමයක කොටස්කාරියක් වෙලා හිටපු තමන්ට ලඟම මිතුරියකටවත් පැහැදිලි කරලා දෙන්න බැරි මට්ටමකට අවුල්සහගත වෙච්ච හිතක් එක්ක පැහැදිලිකිරීම්වලින් හෝ සාධාරණීකරණය කිරීම්වලින් පලක් නැති නිසාමයි.

ඇය යන්න ගිහින් පැයක් එකහමාරක් විතර වෙනකල්ම උඩුමහලේ බැල්කනියට වෙලා කෝපි කෝප්පයක් අතේ තියාගෙන චමීරා බොහෝ වෙලා කල්පනා කලා. ජීවිතේ ඒකාකාරීව එකම රටාවකට හුරුවෙලා ගතකරපු පහුගිය කාලේ පුරාම එක එක අවශේෂ චරිත තමන්ගේ ජීවිතේට එක් එක් මාර්ගවලින් ඇතුල්වෙන්න වගේම විවිධ සලකුණු තියලා යන්න උත්සහ කළත් ඒ කිසිම උත්සහයකට දශමයක්වත් නොනැමුණු තමන්ගේ දැඩි හිත තද්ධිත ලඟදි සුමට වෙන්න වගේම සැහැල්ලු වෙන්නත් හේතුව තේරුම්ගන්න ඇය ගොඩක් උත්සහ කලා. ඒ උත්සහය සාර්ථක නොවුණු තැන වෙනදටත් කලින්ම නින්දට යන්න ඇය තීරණය කලා. ඒත් එක්කම ආපු ගිම්හාන්ගේ දුරකතන ඇමතුමක් අතරේම චමීරාට නින්ද ගියා.

 

*******

 

ඔෆීස් එකේ වැඩ එක්ක උදේ ඉඳන්ම මනස සහ කය වෙහෙසමින් සිටි තද්ධිතට මොහොතක හෝ විරාමයක් නොලැබීම එක්ක දවල් වෙද්දී සෑහෙන්න විඩාවක් දැනෙන්නට පටන්ගත්තා. ආයතන ගණනාවක්ම ලඟ එන අළුත් අවුරුද්ද ඉලක්ක කරගෙන සිදුකරන්න සූදානම්වෙන විශාල ප්‍රමාණයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්න ගණනාවකම සංකල්ප සහ අදහස් එක්ක හැප්පෙමින් ඒවා වෙනස් කරමින් එක් එක් පාර්ශව එක්ක සාකච්ඡා කරමින් හිටපු තද්ධිතට උදේ කෑම වේලත් මගහැරුණා.

‘සර් තේ එකක් හදන්නද..?’

තද්ධිත එක්කම උදේ ඉඳන් වෙහෙසෙන නවක නිලධාරිනියක් වන සසිනි ඇවිත් අහද්දි තද්ධිත ලැප්ටොප් තිරයෙන් මොහොතකට ඇස් ඉවතට අරගෙන හිස නමා ඒ යෝජනාව අනුමත කලා. මොහොතකින් ඔහුගේ මේසයේ දුම් දමන තේ කෝප්පයක් එක්ක මොහොතක විරාමයකට ඉඩ ලබාගත්තා.

තමන් එක්ක වැඩකරන සසිනි ඇතුළු යොවුන් කණ්ඩායම ඉතාම යුහුසුළුව වගේම නැවුම් අදහස් ගොන්නක් එකතු කරගෙන බොහොම කඩිමුඩියේ වැඩ කොටස ඉවරකරමින් හිටපු නිසා එක පැත්තකින් තද්ධිතට ලොකු සැහැල්ලුවකුත් දැනුනා. තමන් මුලින්ම රස්සාවක් කරන්න ගියපු කාලේ ඒ තිබුණු උනන්දුව රටපුරා දුවමින් රැයක් දවාලක් නැතිව රාජකාරිය කරන්න තිබුණු කැමැත්ත ගැන තද්ධිතට ඒ වෙලාවේ මතක්වුණා.

මේසය මත තිබුණු ජංගම දුරකතනයේ තිරය දැල්වෙමින් තිබුණා. නම සටහන්වුණේ තද්ධිතගේ ලඟම මිත්‍රයෙක්වුණු ප්‍රමින්ද. තද්ධිත ප්‍රංශයේ ඉඳන් අනන්‍යා එක්ක ලංකාවට ඇවිත් කොළඹ ගතකරපු දින කිහිපය ගතකලේ ප්‍රමින්දගේ නිවසේ. මාතර ගෙදර වැඩකටයුතු ඉවරවෙනකල්ම තද්ධිතට සහ දියණියට හැකි උපරිමයෙන් උදව් කරන්න ඒ වෙද්දි ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක ඉහළ තනතුරක් දරපු ප්‍රමින්ද සහ බිරිඳ කටයුතු කලේ බොහොම ලෙංගතුව. ප්‍රංශයේ ඉන්න කාලේ ඉඳන්ම දිගින් දිගටම නඩත්තු කරපු මිත්‍ර සමාගම් නිසා තද්ධිතට සහ ප්‍රමින්දට ඒ දවස් කිහිපයේ බෙදාගන්න බොහොමයක් දේවල් තිබුණා.

‘හෙලෝ මචං..’

‘ඔව් මචං..උඹ මට අරගෙන තිබුණා..ඊයේ හවස හෙණ වාත වැඩ ටිකක හිටියේ බං..ආයෙත් ගන්න බැරිවුණා..’

කලින් දවසේ තද්ධිත ප්‍රමින්දට දුරකතන ඇමතුම් කිහිපයක් ගත්ත නිසා එයට පිළිතුරු විදිහට ප්‍රමින්දගෙන් සමාව සටහන් වුණා.

‘ඒකට කමක් නෑ මචං.. පොඩි දේකට ගත්තේ..’

‘මොකක්ද මචං..’

‘විනාඩියක් හිටපං..’

තද්ධිත විවෘත කාර්යාල වටපිටාවෙන් ඉවත්වෙලා රැස්වීම් කාමරය ඇතුලට ගිහින් දොර වැහුවා. සාමාන්‍යයෙන් හය හත්දෙනෙකුට එකට වාඩිවී සාකච්ඡාකල හැකි මේ කාමරය ගණුදෙනුකාර භවතුන් හමුවෙන්න යොදාගන්න එකක්.

‘ආයෙත් අර කෝල් එන්න පටන් අරන් මචං..’

‘මොන කෝල් ද බං..’

ප්‍රමින්ද එහා කෙලවරෙන් ප්‍රශ්න කලේ වැඩිදුර හිතන්නේ නැතිව. ප්‍රමින්ද පවා ඒ මොහොතේ හිටියේ එෆ්.එම් එකේ කාර්යාලයේ නිසා වැඩ පරිසරය ඇතුලේ කල්පනා කිරීම් ඒ තරම් ලෙහෙසි පහසු නෑ.

‘කලින් වගේ මච.. කතා නෑ..හුස්ම ගන්නවා විතරයි..’

අකුණක් ගහනවා වගේ අතීත මතකය ප්‍රමින්දට එකී දුරකතන ඇමතුම්ව ඉතිහාස කතාව සිහිපත් කලා.

‘අම්මට සිරි..එහෙම කොහොමද වෙන්නේ...උඹ ලඟ තියේනනේ අළුත් නම්බර් එකක් නේද?’

‘ඔව් මචං.. මේක ලංකාවට ආවට පස්සේ ගත්තේ..කීපදෙනෙක් විතරයි දන්නේ..ඒත් ලඟම එවුන්..’

ප්‍රමින්ද ඒ මේ අත බලමින් කල්පනා කලා. තමන් වගේම තද්ධිතත් මේක අපේක්ෂා නොකළ තත්වයක් බව ප්‍රමින්ද හොඳාකාරවම දැනගෙන හිටියා. දෙදෙනාම කිසිවක් කතා නොකර මොහොතක් ගතකලා.

‘කවද්ද උඹට කෝල් එක ආවේ..?’

‘ඊයේ හවස ටවුන් එකේ හිටිද්දි..’

‘උඹට ෂුවර්ද? කාටවත් වැරදිලා අරගෙන කට් කරන්න අමතක වෙලාද දන්නේ නෑ..’

තද්ධිත නැවතත් කල්පනා කලා. සමහරවිට ප්‍රමින්ද කියන්නත් වගේ වැරදීමක්ද කියන එක නැවත නැවත කල්පනා කලා. ඒත් ඒ ඇමතුම එක්කම ඇතිවුණු ගැස්ම සහ අනතුරුදායක බව නිසාම වැඩිදුර ඒ ගැන හිතුවේ නෑ කියලා තද්ධිතට මතක්වුණා.

‘එහෙමද දන්නෙත් නෑ මචං..ඒත් මට හිතෙන්නේ නෑ එහෙම වැරදිලා ආපු එකක් කියලා.. මට හිතෙන්නෙම පරණ කෝල්ස්ම තමයි කියලා..’

‘ආයෙත් ආවද?’

‘නෑ එක පාරයි.. ඒ දවස්වල වගේ එක ලඟ කීපයක් ආවේ නෑ..’

තද්ධීත සම්බන්ධයෙන් ඇතිවුණු ගැටළුකාරී තත්වය එක්කම ප්‍රමින්ද කාර්යාල කාමරය පුරා ඇවිදිම්න් කල්පනා කලා. තද්ධිත ඉන්නේ කලබල වෙලා කියන එක ප්‍රමින්දට දැනුනු නිසා මේ වෙලාවේ මුලින්ම කරන්න ඕන ඔහුව සන්සුන් කරන එක කියලා ප්‍රමින්ද තීරණය කලා.

‘කලබල වෙන්න එපා මචං..අපි බලමු..’

‘ඔව් මචං..’

‘මම ඉන්නවනේ උඹට..අපි බලමු..උඹ බයවෙන්න එපා..’

‘මට මම ගැන බයක් නෑ බං..’

‘මම දන්නවා බං ඒක.. දැන් උඹ පරිස්සමින් හිටපං..’

‘හරි මචං.. මම තියන්නම් එහෙනම්..’

තද්ධිත දුරකතන ඇමතුම විසන්ධි කරන්න සූදානම් වෙද්දිම ආයෙත් ප්‍රමින්ද කතා කලා.

‘එක දෙයක් මචං..කෝකටත් උඹ ටිකක් අවදානෙන් හිටපං..හැමදේටම හොඳයිනේ..’

‘හරි මචං..’

තද්ධිත ලොකු හුස්මක් අරගෙන එහෙම කියලා දුරකතන ඇමතුම විසන්ධි කලා. තද්ධිතට ඉදිරියෙන් පෙනුනේ ක්‍රියා විරහිත කර තිබුණු විශාල රූපවාහිනී තිරයෙන් පෙනෙන තමන්ගෙම රූපය. එය වෙනදා දැක්කට වඩා වේදනාකාරී හෝ කැළඹුණු මුහුණක් කියලා ඔහුටම පෙනුනා.


මීළඟ කොටස කියවන්න


2 comments:

  1. කවුද එතකොට මේ හුස්ම ගන්න ප්‍රාණියා? 

    ReplyDelete