Jun 4, 2021

යළිත් දවසක හිනැහෙන්න - 04 කොටස

 


පසුගිය කොටස් සියල්ලම මෙතැනින් කියවන්න

පාට පාට ඇඳුම් ඇඳගත්ත පැටව් පේලීයට ඉඳගෙන අත් අල්ලගෙන සිංදු කියනවා. පරිසරයම ඒ සුන්දර නාදයන් එක්කම උදේ කාලය අමුතු සතුටකින් ගතකරනවා වගේ. ලිට්ල් කිඩ්ස් පෙර පාසලේ පොඩ්ඩෝ සේරම වගේ මිදුලේ කොළපාට තණපලස මත ගී කියමින් නටමින් ඉන්න දිහා ඈත ඉඳන් චමීරා හීන් හිනාවක් එක්ක බලාගෙන හිටියා. ඇයට මතක් වුණේ තමන්ගේ පුංචිකාලේ තාත්තගේ අතේ එල්ලිලා කොන්වන්ට් එකේ මොන්ටිසෝරියට ගියපු හැටි. ගෙදර ඉඳන් වැඩි දුරක් නැති නිසා පයින්ම තාත්තා එක්ක උදේ යන ගමනෙදි ටිකක් දුර ගිහින් කකුල් රිදෙද්දි තාත්තා වඩාගෙන ගියපු හැටි මතක්වෙලා ඇස්දෙකට කඳුළුත් ආවා. දැන් මේ පොඩ්ඩෝ ගතකරමින් ඉන්නේ තමන් ඒ ගතකරපු කාලය කියලා මතක් වෙද්දි එක පැත්තකින් කාලය කොච්චර නම් වේගයකින් ගමන් කරලද කියලා චමීරාට පුදුමත් හිතුණා.

ඉස්කෝලේ යන කාලේ ගතකලේ හෙමින් සීරුවේ වුණාට උසස්පෙළ අවසන් කරලා ගතකරපු කාලය සහ නුවර ගතකරපු කාලය කොච්චර ඉක්මණින් ගතවුණාද කියන එක හීනයක් වගේ. ඒ කාලය ඇතුලේ මොන මොන දේවල් සිද්ධවුණාද කියන එක මතකයට එද්දිම කිසියම් විදිහක බරක් දැනෙන නිසා හැම මොහොතකම ඇය කලේ ඒ මතකයන් සිතිවිලිවලට බාධා නොවෙන තැනක තියාගන්න උත්සහ කරපු එක.

තාමත් පොඩි එවුන් එක රෑනට කෑකෝ ගසමින් හිටිද්දි චමීරා ඉස්සරහින් තවත් ගුරුවරියක් හිනාවෙලා අත වනමින් ගියා. ඒ නිසාම ඇයගේ කල්පනාවට වෙච්ච බාධාවත් එක්කම එහෙම වෙච්ච එක වඩා හොඳයි කියලා චමීරාට හිතුනා. චමීරාත් හිනාවෙලා අත වැනුවා. තමන් හිනාවෙද්දි දෙතොල් අතරින් එළියට පනින දත නිසා හිනාවට වෙන හැඩයක් එනවා කියන එක චමීරා කණ්ණාඩියෙන් බලන හැම දවසකම හිතනවා. ඒත් කවදාවත් වෙන කාටවත් එහෙම හිතිලා නැති නිසා තමන්ගේ හිනාවට වර්ණනාවක් ලැබුණේ නැත්තේ ඇයි කියලා කාලයක් හිතුවා.

‘හෙලෝ ආන්ටි..’

හුරු පුරුදු පුංචි කටහඬකින් චමීරාගේ දැහැන නැවත වතාවක් බිඳුණා. අනන්‍යා ඇය ලඟට ඇවිත් තාලයට දෙපැත්තට පැද්දි පැද්දි ඉන්න හුරතල් විදිහ දැක්කම චමීරාගේ දෙතොලට ආයෙත් හිනාවක් ආවා. අනන්‍යා දාඩිය දාගෙන කොණ්ඩෙත් අවුල් කරගෙන ඉන්න විදිහ දැක්කම මිට මොහොතකට කලින් පොඩ්ඩෝ නටපු නැටිල්ලේ තරම හොඳටම තේරෙණවා.

‘හෙලෝ අනන්‍යා දුව..කොහොමද ඉතින්..සෙල්ලම් කරලා ඉවරද ඔයා?’

‘ඔව් ආන්ටි.. මම වොෂ්රූම් යන ගමන් ආන්ටි දැකලා ආවා..’

අනන්‍යා කතාකරනු හුරතල් විදිහ ඇතුලෙ තද්ධීතගේ කතා විලාසය ගැබ්ව තියනවා නේද කියන සිතිවිල්ල හදිස්සියෙන්ම අකුණක් ගැහුවා වගේ චමීරාගේ හිතට ඇතුල්වුණා. තද්ධිත තමන් ඉස්සරහා කතා කරලා තියෙන්නේ බොහොම අඩු වචන ගාණක් වුනත් මෙච්චර හොඳින් ඒ රටාව තමන්ට දැනුනේ කොහොමද කියන එක චමීරා ඇයගෙන්ම ප්‍රශ්න කලා. තමන්ගේ ඇතුලේ සිද්ධවෙමින් තියන වෙනස ගැන චමීරා එච්චර තැකිමක් නොකලත් තද්ධිත සම්බන්ධයෙන් ගොඩනැගෙන මතක ධාරාව ගැන චමීරාට මුල්ම වතාවට බයක් දැනුනා.

‘ආ එහෙමද..එහෙනම් පරිස්සමින් ගිහින් ක්ලාස් එකට යන්න..’

‘හරි ආන්ටි..’

එහෙම කියලා ආපස්සට හැරිලා දුවලා යන්න හදපු අනන්‍යා ආයෙත් මොකක්ද හේතුවක් නිසා නතරවෙලා ආපහු හැරිලා බලද්දිත් චමීරා බලාගෙන හිටියේ අනන්‍යා යන දිහාවමයි.

‘ආ..අපේ තාත්ති ආන්ටිව මතක් කලා..’

අනන්‍යා එහෙම කියද්දි චමීරාගේ පපුව පැත්තෙන් මොකක්දෝ ගැස්මක් එක්ක ටිකක් දරාගන්න අමාරු රස්නයක් ගමන් කරනවා වගේ චමීරාට දැනුනා. අනන්‍යාගෙන් ඊළඟට පිටවෙන වචනය මොකක්ද කියලා අහන්න ඇගේ දෙසවන් සූදානමින් ඉන්න අතරේ හෘදස්පන්දන වේගය වැඩිවෙනවා කියන එක චමීරාට හොඳටම දැනුනා.

‘මාව..ඒ ඇයි?’

ආයාසයකින් මවාගත්ත හිනාව එක්ක ඇස් පුංචි කරලා නළල රැළිකරගෙන චමීරා පුංචි කෙලිපොඩ්ඩගෙන් එහෙම ඇහුවේ ඇත්තටම මේ වෙලාවේ හිතේ තියන දරාගන්න බැරි ප්‍රශ්නාර්ථයට උත්තරයක් හොයාගන්න ඕන නිසාමයි.

‘මගෙන් තාත්ති ඇහුවා ආන්ටි ලස්සනයි නේද කියලා?’

චමීරාගේ හදවත ගැහෙන වේගය වැඩිවෙලා කොයි වෙලාවේ එළියට පනියිද කියන සිතිවිල්ල ඇයට දැනුනා. මේ මනුස්සයා මොකටද මේ පුංචි දරුවා එක්ක මගේ ලස්සන කැත ගැන කතාකරන්නේ. ලැජ්ජ නැද්ද අප්පා මේ තාත්තට වගේ සිතිවිල්ලක් ඇයගේ හිතේ හොල්මන් කරමින් තිබුණා.

‘ආ..තාත්ති එහෙම ඇහුවද?..නිකන් වෙන්න ඇති’

‘වෙන්න ඇති.. මම යනවා ආන්ටි..’

කෙල්ල ආයෙත් හැරෙන සුනංගුවට වේගයෙන් දුවගෙන ගියා. චමීරා ලොකු හුස්මක් ගත්තේ මොනවා කියන්නද මොනවා හිතන්නද කියලා තේරුම්ගන්න බැරිව අසරණ වෙලා ඉන්න වෙලාවක. පෙර පාසලේ පුංචි දරුවන්ගේ තාත්තලා විතරක් නෙවෙයි සීයලාගෙන් පවා විවිධ ආදර යෝජනා වගේම ශරීර ගනුදෙනු වෙනුවෙන් ඉඟිබිඟි යෝජනා අනන්තවත් ලැබිලා ඒවාට දරුණු ප්‍රතිචාර දක්වලා තිබුණත් තාමත් චමීරාට හිතාගන්න බැරි තද්ධිත එන්නේ මොනවිදිහේ දේකටද කියන එක. ඒත් දශමයකවත් තමන්ගේ ඉස්සරහ කිසිම හැඟීමක් දැනීමක් නොපෙන්නා බොහොම සාමාන්‍ය විදිහට හැසිරෙන මේ පුරුෂ ප්‍රාණියා ගැන තමන් මෙච්චර හිතන්නේ මොකද කියන එක ඇයට ගැටළුවක් වෙලා තිබුණේ දවස් ගාණක් තිස්සේ. අනන්‍යා මේ කියපු විස්තරයෙන් තවත් ඒ හැඟීම සහ කුතුහලය වැඩිවුණා මිසක දශමයක්වත් අඩු නොවුණ බවනම් චමිරාට විශ්වාසයි.

අනන්‍යා ගිහින් බොහෝ වේලාවක් යනකල් එතනම ඉඳගෙන චමීරා කල්පනා කලා. මිසිස් විජේසුන්දර ඈතින් එනවා දැකලා පන්තිය පැත්තට යද්දිත් තාමත් ඔළුවේ වැඩකලේ තද්ධිත කිව්වා කියලා අනන්‍යා කියපු කතාව.

 

**********

තද්ධිත ඔෆීස් එකේ තමන්ට හිමි අසුනේ ඉඳගෙන අලුත් වෙළඳ දැන්වීමක පිටපත අධ්‍යයනය කරමින් හිටියා. අලුතෙන් සමාගමට එක්වුණු තරුණියක් විසින් ලියා අවසන් කරලා තමන්ගේ මේසය උඩින් පුංචි නෝට් එකක් එක්ක තියලා තිබුණු පිටපත බලන්න කලින් තද්ධිත බැලුවේ පුංචි නෝට් එකේ තිබුණු මුතුවන් අකුරු දිහා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරි නැත්නම් මොකක්හරි වෙනත් වෘත්තීය අධ්‍යාපන ආයතනයකට පාඨමාලාවක් ඉවරකරලා පුහුණුව වෙනුවෙන් අලෙවි ප්‍රවර්ධන සමාගම්වල සේවයට එන තරුණ තරුණියන් ඕනෑ තරම්. ඒ අතරින් අති දක්ෂයෝ නැතිවම නෙවෙයි. ගොඩක් වෙලාවට ෆාස්ට් ඇඩ්ස් සමාගමට ඒ විදිහට සම්බන්ධවෙන තරුණ තරුණියන්ට මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න සෑහෙන්න කට්ටක් කන්න වෙනවා කියන එක රහසක් නෙවෙයි.

තද්ධිත ෆාස්ට් ඇඩ්ස් එකත් එක්ක එකතුවෙලා වැඩි දවසක් නෑ. මොකද මාතර මහ ගෙදර පදිංචියට එද්දිම කොළඹ ඉඳන්ම අන්තර්ජාලය හරහා කරපු සම්මුඛ සාකච්ඡාවකින් ආයතනය එක පයින්ම තද්ධිතව ප්‍රචාරණ කළමණාකරුවෙක් විදිහට බඳවගන්න කැමතිවුණේ අයදුම්පත එක්ක අමුණලා තිබුණු සී.වී එකේ විස්තර දැක්ක වෙලාවෙමයි. ඉස්කෝලේ යන කාලේ ඉඳන් ජනමාධ්‍ය එක්ක තද්ධිතගේ තිබුණු තදබල බැඳීම නිසාම ආයතනයේ ප්‍රධාන කළමණාකරුට තද්ධිතගේ සී.වී එක ‘වාව්’ මට්ටමට වැටෙන එකක් වුණා.

ඒ නිසාම තද්ධිත වැඩ ආරම්භකරපු දවසේ ඉඳලා තමන්ට පැවරෙන වැඩකොටස ගැන සෑහෙන්න අවධානයෙන් හිටියා. ඒ වගේම අළුතෙන් සම්බන්ධවෙලා හිටපු කෙල්ලෝ කොල්ලෝ කීපදෙනා එක්ක කැම්පේන් කරන්න අවශ්‍ය වටපිටාව හදාගන්න බොහොම ඉක්මණට තද්ධිතට පුළුවන් වුණා.

‘මේ හලෝ.. බිසීද?’

ජංගම දුරකතනයේ වයිබර් දුරකතන ඇමතුම තමන්ගේ නංගි සාකල්‍යාගෙන් කියලා දැකපු ගමන් අතේ තිබුණු පිටපත පැත්තකින් තියලා ඇමතුම සම්බන්ධ කලා.

‘බිසී නම් තමයි..කමක් නෑ කියනවකෝ..’

‘නෑ ඉතින් මම මේ ඔහේ හොඳින් ඉන්නවද නැද්ද කියලා බැලුවා..’

තද්ධිත පුටුවේ පිටිපස්සට හේත්තුවෙලා හයියෙන් හිනාවුණා.

‘මොකද තමුසෙට මේ කාලෙකට පස්සේ ඔහේ මක්කයි මතක් වෙලා.. ඕක්ලන්ඩ්වල කෙප්ප වැස්සියන්ට ගහන ඉන්ජෙක්සන් එකක් වැරදිලා වැදුනද’

පේරාදෙණියේ කෘෂිකර්ම පීඨයේ ගෞරව සාමාර්ථයක් එක්ක සමත්වෙලා අවුරුදු කීපයකට පස්සේ කැම්පස් එකෙන්ම හොයාගත්ත ප්‍රේමවන්තයා එක්ක විවාහ ජීවිතයට අඩිය තියලා කෙටි කාලයකින් නවසීලන්තයේ සුප්‍රසිද්ධ කිරි සැකසුම් සමාගමක සේවය කරන තමන්ගේ නංගිට තද්ධිත හරවා පහරක් එල්ලකලා.

‘නෑ ඉතින් මාතර හිටිද්දි පුරුදු බසින් අමතන්න එපැයි..’

‘අනේ මේ..තමුසේ දැන් බොරුවට ඔයා මෙයා කිව්වට  නිව්සීලන්ඩ් ගිහිල්ලා කාලයක් යනකල් කතා කලේ ඔය විදිහට තමයි..අනිත් එක මම මාතර එනකල්ම ඉන්න උනානේ තමුසෙට බාසාව මතක් වෙන්න..’

තද්ධිත ටොකු අනින්න ගත්තම ඉවරයක් නැති බව අත්දැකීමෙන්ම දන්න සාකල්‍යා හයියෙන් හිනාවෙලා මාතෘකාව වෙන පැත්තකට අරගෙන ගියා.

‘කෙල්ල කොහොමද අයියේ..’

‘වරදක් නෑ චූටි.. හොඳින් ඉන්නවා...’

තද්ධිත ලොකු හුස්මක් අරගෙන කිව්වා. ඒ හුස්ම සාකල්‍යාටත් ඇහුණ නිසා ඇයටත් නොදැනීම හීල්ලුණා. මොහොතක් කතා බහක් නැතිව ගෙවුණා.

‘කෙල්ල ඉක්මණට හුරුවෙයි ගමට..ඒ වගේම කෙල්ල කැමතිවෙයි ඔය ජීවිතේට..’

ඒක එක පැත්තකින් ප්‍රාර්ථනාවක්ද නැත්නම් බලාපොරොත්තුවක් ගැන මවන අනියමාර්ථ හීනයක්ද කියලා තද්ධිත කල්පනා කලා.

‘අපි බලමු චූටි.. දැනට ප්‍රශ්නයක් නෑ..’

ආයෙත් දෙන්නා අතරේ නිශ්ශබ්දතාවයක් පැවතුනා.

‘කෙල්ල අම්මා ගැන අහනවද?’

සාකල්‍යා කොයි වෙලාවේ හරි තමන්ගෙන් අහවි කියලා තද්ධිත බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රශ්නය ඇය ඉක්මණටම ඇහුවා.

‘කොළඹ හිටිද්දි එකම එක දවසක් ඇහුවා..ඊට පස්සේ ඇහුවෙම නෑ...’

‘පුදුමයි..’

සාකල්‍යා විශ්මයාර්ථය පලකරන්නේ තද්ධිත බොහොම ආයාසයකින් මැඩගෙන ඉන්න හැඟීමකට කියලා නංගි නොදන්නවා නෙවෙයි. ඒත් කිසිම තොරතුරක් නොදැන අස්වැසිල්ලක් වෙනවට වඩා යාවත්කාලීනවුනු හැඟීම් දැනීම් එක්ක ගනුදෙනු කරන්න ලේසියි කියන එක සාකල්‍යා තේරුම්ගත්තේ ලංකාවෙන් පිටවුණාටත් පස්සේ.

‘හැමදේම හරියයි අයියේ..අපි බලමු...මට විශ්වාසයි ඒ ගැන..’

‘හ්ම්...’

‘මේ ඔයා ලොකු අයියට කතා කලාද?’

‘නෑ...’

තද්ධිතගේ පිළිතුරට එතනින් එහාට මොකුත් නොකියන එක හොඳයි කියලා සාකල්‍යා හිතපු නිසා කතාව දිගට ගෙනියන්න ඇය හිතුවේ නෑ. ඒත් මේ වෙලාවේ තද්ධිත කරන්නේ කළයුතු හොඳම දේ තමයි කියන එක සාකල්‍යා තදින්ම විශ්වාස කලා.

‘හරි එහෙනම් මම තියන්නම්..ඔයා වැඩ කරන්නකෝ..ගෙදර ගියාම කෙල්ලට කෝල් කරන්න කියන්න මට..’

‘හරි චූටි..පරිස්සසමින්..’

‘බුදු සරණයි..’

ඇමතුම විසන්ධිකරලා තද්ධිත ජංගම දුකරතනයේ තිරයේ ඇති කෙලි පොඩ්ඩගේ හුරතල් ඡායාරූපය දිහා බලාගෙන හිටියා. පැරිස් උද්‍යානයේ බංකුවක් උඩ කටපුරාම හිනාවකින් සැරසිලා ඉන්න අනන්‍යාගේ ඒ පොටෝ එක ගනිද්දි කෙල්ලට අවුරුදු දෙකක් ඇති. තද්ධිත ලොකු හුස්මක් අරගත්තේ තත්පර තිහකට පස්සේ දුරකතන තිරය ඉබේම නින්ද්‍රාවකට පත්වුණාට පස්සේ.

 

*********

දවස් දෙකකට විතර පස්සේ දවසක රාජකාරී වේලාව අතරේම අනන්‍යාව පෙරපාසලේ ඉඳන් ගෙදර එක්කගෙන යන්න ආවා. සමහර දවසට තද්ධීතට එන්න අමාරුනම් නැන්දා ත්‍රීවීල් එකකින් ඇවිත් කෙල්ලව ගෙදර එක්කගෙන යනවා. එදා ඒ තරම් වැඩක් නොතිබුණු නිසා මේට් බයික් එකෙන් ලිට්ල් කිඩ්ස් එක ලඟට ආවා.

‘තාත්තී’

අනන්‍යා දුවගෙන තද්ධිත ලඟට ආවා. තද්ධිත සීට් එකේ ටිකක් පස්සට ගිහින් අනන්‍යාව ඉස්සරහින් වාඩිකරවාගත්තේ හදිස්සියේවත් නින්ද ගියොත් කියන බය නිසා. වැහි කළුවක් එමින් තිබුණ නිසා ඉක්මණින් දෙමව්පියෝ දරුවෝ එක්කගෙන යන්න ඇවිත්. පෙර පාසලේ ගුරුවරියෝ එහෙමත් කඩිමුඩියේ පාරට බැහැලා නිවෙස් වලට යන්න යනවා.

තද්ධිත මොහොතක් බයික් එක ස්ටාර්ට් එකේ තියාගෙනම ගමන ආරම්භකරන්නේ නැතිව ටිකක් එහෙ මෙහෙ බැලුවා. හිත හොයන්නේ ඒ ඇස්දෙක කියන එක නොදන්නවා නෙවෙයි. මොහොතක් හරි දැකලා යන්න ආසාවක් මේ විදිහට ඇතිවුණේ කොහොමද කියන එකත් ඒක සිද්ධවුනේ කොච්චර ඉක්මණින්ද කියන එකත් හිතාගන්න බැරි සිතිවිල්ලක්. ඒ සිතිවිල්ල අතරෙම තාමත් තද්ධිත ඒ රූපය හොයනවා.

මොහොතකින් කඩිමුඩියෙන් මිදුලට බැහැලා ගේට්ටුව දිහාවට එන ඒ කෙලි රූපය දැක්කම තද්ධිතගේ හදවතේ ගැස්ම වැඩිවෙන්න පටන්ගත්තා. තමන් ආයෙත් ක්ලාස් යන කාලේ ගෑණු ළමයි එනකල් නූපේ හන්දියේ හරි සිල්වා හෝල්ට් එකේ හරි හිටපු කාලේට ගිහින්වත්ද කියලත් හිතුනා. අඩියෙන් අඩිය නොසැලකිල්ලෙන් එහෙ මෙහෙ බලමින් ආපු ඒ ඇස්දෙක තද්ධිතගේ රූපය දැකපු ගමන් වේගය අඩාල වෙලා ගමන වෙනස්වුණා.

‘ඉතින් මිස්..’

තද්ධිත සාමාන්‍යකරණය වෙන්න සෑහෙන්න උත්තසහයක් දරමින් තමන් ආසන්නයේ ඉබේම වගේ නතර වෙච්ච චමීරා දිහා බලලා කතාබහ පටන්ගත්තා. අනන්‍යාත් බයික් එකේ ඉස්සරහා ඉඳගෙන හිනාවේගෙනම හිටියා.

‘හොඳින් ඉන්නවා..’

‘වැස්සක් ලඟ එනවා..’

‘තෙමෙන්න කලින් යන්න කියලා’

අතර මැද විරාම ලක්ෂණ නැතිවම දෙබස ගලාගෙන ගියා. කෙටි නැවතීමකින් පස්සේ තද්ධිත ආයෙත් කතා කලා.

‘පීක්වැල්ල පැත්තට යන්නේ..කැමතිනම් මිස්ටත් සීට් එකක් තියනවා.’

ඒ ඉල්ලීමට චමීරාගේ හුස්ම එකපාරටම උඩට ආවා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිවුණා. ප්‍රතික්ෂේප කරලා යනවද,නැත්නම් සාමාන්‍ය විදිහට එපා කියලා පයින්ම යනවද..ඒත් නැත්නම්? චමීරා හදිස්සියේම මේ කඩාපාත්වෙන්න යන මාරලය මොකක්ද කියලා හිතාගන්න බැරිව ලතවුණා. ඒත් ඒ ඉල්ලීම ඇතුලේ තියන බෑ කියන්න බැරි මොකක්දෝ කුතුහලයක් ඒත් නැත්නම් ප්‍රතික්ෂේප කරන්න බැරි ළයාන්විත ස්වභාවයක චමීරා ඇලිලා වෙලිලා හිටියේ හරියටම හීනී දැලකට අහුවෙලා දැල කපාගන්න පුළුවන්කම තියෙද්දි ටික වෙලාවක් කැමැත්තෙන්ම දැලේ හිරවෙනවා වගේ හැඟීමකින්.

‘බයික් එකේ..’

චමීරා ඇස් ලොකු කරලා ඇහුවා.

‘ඔව් මිස්..ඇස් මිස්ට ඊට වඩා මොකක්හරි ලොකු වාහනයක් ඕනද?

පිටවෙන්න ගියපු හිනාව තොල් අතරේ තදකරගත්ත චමීරා ඊළඟට කියන්නේ මොකක්ද කියලා කල්පනා කලා. එකපාරට ප්‍රතික්ෂේප කරලා යනවට වඩා වචනයක් දෙකක් කතාකරලා ප්‍රතික්ෂේපකරලා ගියානම් හොඳයි කියලා ඇයට හිතෙන්න පටන්ගත්තා. ඒත් ඒ මොකටද?

‘නෑ නෑ ලොකු වාහන ඕන නෑ..ඒත් බයික් එකේ යන්න..’

ආයෙත් චමීරා වචන එකතුකලා. තමන් මේ කියන වචන වලින් කරන්නේ ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි එකඟවීමක් ඒත් කොන්දේසි සහිත එකඟවීමක් නේද කියලා ඇයටම තේරෙද්දි දැන් තමන්ටම තමන් තේරුම්ගන්න බැරි මට්ටමකට වෙනස්වෙලා කියලා පුංචි තිගැස්මක් චමීරට දැනුනා.

‘හරි ඒ කියන්නේ යන්න කැමතියි..ඒත් බයික් එකේ බෑ කියලද මිස්..?’

තද්ධිතත් හිනාවෙලා ඉල්ලීම දිගටම කරගෙන යද්දි අනන්‍යාත් චමීරාට යන්න කතාකරන්න පටන්ගත්තතා.

‘මට සාරි ඇඳන් බයික්වල යන්න බෑනේ..’

චමීරා කිව්වේ බොරුවට ෂේප් වෙන්න කියලා තද්ධිතට හිතුණට ඇත්තටම සාරි ඇඳන් බයික්වල නගින්න බැරි ලෙඩක් ඇයට තියනවා කියන එක ඔප්පු කරලා කියන්න පුළුවන්කමක් තිබුණේ නෑ.

‘අයියෝ ඕවද ප්‍රශ්න...යාපනේ ගිහින් තියද?’

‘නෑ...ඇයි ඒ?’

තද්ධිත එහෙම ඇහුවේ ඇයි කියලා චමීරාට තේරුම්ගන්න බෑ. ඒත් තමන් ලස්සනයි කියලා අනන්‍යා ඇවිත් තද්ධීතගේ පණිවිඩය තමන්ගේ සිතිවිලි අතරේ තියපු මොහොතේ ඉඳන් මොකක්දෝ දැලක තමන් හිරවෙනවා කියන එක දැන් දැන් චමීරාට තේරෙන්න පටන් අරන් තිබුණා.

‘එහෙනම් දෙමළ ෆිල්ම් බලලා තියද..?’

‘ඔව්..ඒත් ඇයි මේ ප්‍රශ්න පත්තරයක්..?’

‘නෑ එහෙනම් දැකලා ඇතිනේ ටැමිල් ෆිල්ම්වල බයික් එකේ යන හැටි..අන්න ඒ වගේ පැත්තට වාඩිවෙන්න’

චමීරාට හීන් දාඩිය දැම්මා. දැන් ප්‍රතික්ෂේප කිරීම කෙසේ වෙතත් නැගලා යන්නම වෙන තැනට වැඩ සිද්ධවෙමින් තිබුණා. අනිත් එක ළමයින්ගේ දෙමව්පියන් පාර දෙපැත්තේ හිටිද්දි තව ටීචර්ස්ලා මග දිගට ඇති ඒ විතරද මිසිස් විජේසුන්දරත් කොයි වෙලාවේ හරි කාර් එකෙන් යාවි. එහෙම වෙද්දි කොහොමද මේ දරුවෙක්ගේ තාත්තා කෙනෙක්ගේ බයිසිකලේක පැත්තකට වාඩිවෙලා චෙන්නායිවල යනවා වගේ යන්නේ. චමීරා කල්පනා ලෝකයක හිරවෙද්දි දාඩිය බේරෙමින් තිබුණා.


(තවත් සුන්දර කොටසකින් ජුනි 07 වැනිදා හමුවෙමු)
www.facebook.com/apeisawwa



4 comments:

  1. """Hello,
    My name is Prashant and I'm contacting from bedpage (www.bedpage.com) - we are a top classified advertiser. I found your website and offer a possible partnership with us that will help you with increasing revenue from your web. We already work with similar webs like yours: these publishers earn great additional revenue with us.

    We would like to place a dofollow link on your website from where we can get the traffic. We ae person responsible for your site  monetization so we can discuss some details and see if we could work together.
    re willing to pay you in bitcoins.

    We provide customised solutions for each partner, so I would like to get in touch with th
    Best regards


    --
    Prashant
    Traffic Acquisition
    bedpage

    Email: bedpagemedia@gmail.com
    Skype: prashushinde7 
    Website: www.bedpage.com

    """

    ReplyDelete
  2. 💚💚💚💚 ලස්සනයි හොදේ..

    ReplyDelete