ෆේස්බුක් පණිවිඩය එක්කම තිබුණු ඇගේ නම දැක්කම තද්ධිතගේ මුහුණේ අපූරු හිනාවක් ඇඳුනා. ඒක කොයිම වෙලාවකවත් ඔහු බලාපොරොත්තු නොවුණු පණිවිඩයක් නිසාම මොනවගේ උත්තරයක් දෙන්න ඕනද කියන එක හිතාගන්න බැරිවුණා.
‘නෑ..පොඩ්ඩෙන් බේරුණා..’
ඒ උත්තරය නිසා චමීරාට ලොකු සහනයක් දැනුණා. මොකද තමන්ට ප්‍රවාහන
පහසුකම් සලස්වන්න ගිහින් පොඩි දරුවත් එක්ක තද්ධිත තෙමිලා කරදරයක් වුණානම් ඒ වෙලාවේ
බයික් එකට නගින්න ගත්ත තීරණය එක්ක තමන්ට කණගාටුවක් දැනෙන්න ඉඩතිබුණු නිසා.
‘එහෙනම් කමක් නෑ...’
‘හැබැයි තෙමුණා.. හීන වැස්සක..’
ඒ පිළිතුරු පණිවිඩයට ඇගේ මුහුණේ මතුවුණු හිනාව එක්කම මේ පණිවිඩ
හුවමාරුව එකකින් දෙකකින් නවතින එකක් නෙවෙයි කියලා ඇයට හිතුණා.
‘අපෝ හීන වැහිවල තෙමෙන්න හොඳනෑ..’
‘ඇයි ඒ..’
‘ඉක්මණට හෙම්බිරිසාව හැදිලා..අන්තිමට නිව්මෝනියාවෙන් තමයි නතර
වෙන්නේ..’
කෙල්ල කියන කතාවේ වචනමාත්‍රය තද්ධිතට නොතේරෙනවා නෙවෙයි. තමන් පණිවිඩ
හුවමාරු කරන ක්‍රමයට හිතේ තියාගෙන ඉන්න දේ වෙනත් මොකක්දෝ බරපතල රූපකයකට කැටිකරලා
යවන පුරුද්දට ඇයත් දැන් ටික ටික හුරුවෙලා කියලා තද්ධිතට හිතුනා.
‘හීන වැස්සක් නේ..තෙමිලා මැරුණත් මොකද..’
‘හීන වැහි තියෙන්නේ අවදිවෙනකල් විතරයිනේ..’
‘නෑ මම නම් දවල්ටත් දකිනවා..විශේෂයෙන්ම මගතොට..’
ටික ටික තමන් මේ කතාවට මේ සුන්දර අදහස් හුවමාරුවට ඇබ්බැහිවෙනවා වගේ
ඇයට දැනෙන්න පටන්ගත්තා. ගෙඩිපිටින්ම කියලා දාන අදහස්වලට වඩා මේ විදිහ කොච්චර
සුන්දරද නැත්නම් හිතට වදිනවද කියලා චමීරා හිතුවා.
‘දවල් හීන දකින එක හොඳ පුරුද්දක් නෙවෙයි.. හරි හරි..මට වැඩක්
තියනවා..’
‘හා..පරිස්සමෙන්..’
‘ඔයත්..’
‘සී යූ....’
හිනා මුහුණකින් කතාව ඒ විදිහට ඉවරවුණා. ඇත්තටම චමීරාට ඒ හදවතට දැනෙන
චැට් එකෙන් එළියට එන්න අවශ්‍ය වෙලා තිබුණා. දවල් අර විදිහට බයික් එකට නැගලා එන්න
හිත දඩබ්බරවුණා ගෙදර ආවට පස්සේ දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් එක්ක ඒ විදිහට බයික්
එකේ නැගලා ආපු එක චමීරාගේ හිතටත් මොකක්දෝ වදයක් වගේ දැනෙමින් තිබුණා. අනිත් එක හරි
ඉක්මණින් තමන් සහ තද්ධිත අතරේ මේ ගොඩනැගෙන
හැඟීම් ගනුදෙනුව මොකක්ද කියන එක ගැන ඇයට නිර්වචනයක් ඕනකරලා තිබුණා. ඒත්
මොනවිදිහකින් මොන මොන නිර්ණායක අරගෙන බැලුවත් ඒකට හරිහමන් නිර්වචනයක් හරි නමක් හරි
හොයාගන්න බැරිවුණා. බොහෝ වෙලාවක් මනස එක්ක තර්ක කරමින් ගතකරද්දි චමීරාට ඇගේ
දුරකතනය නාද වෙනවා ඇහුණා.
‘හායි ස්වීටි..මොකද කරන්නේ..’
එහා පැත්තෙන් ඇහෙන්නේ ගිම්හාන්ගේ කටහඬ. ගොඩක් වෙලාවට ඔෆීස් ඉවරවෙන
වෙලාව වෙන්න ඇති කියලා හිතිලා ඇය ඔරලෝසුව දිහා බැලුවා. හවස පහ පහුවුණා විතරයි.
සාමාන්‍යයෙන් පුරුදු වෙලාවකට ලැබෙන පුරුදු ඇමතුම තමන්ට අද අමතකවුණා කියලා ඇයට
මතක්වුණේ ඒ වෙලාවේ.
‘මොකුත් නෑ අනේ..ඔහේ වැටිලා ඉන්නවා..වහිනවා ඉවරයක් නෑ..’
හොඳ හුස්මක් අරගෙන ඇය එහෙම කියද්දී මීට මොහොතකට පෙර හිතේ තිබුණු
සිතිවිලිවල බර ටික ටික ඇගෙන් ඈතට යනවා කියලා ඇයට දැනුනා.
‘මෙහෙත් කළුකරලා හොඳටම..’
‘ඩ්‍රයිව් කරන ගමන්ද ඔයා?’
‘නෑ මම නතර කලා නාවින්නෙ..ඔයාගෙන් කෝල් එකක්වත් නැති නිසා ගත්තේ..’
ගිම්හාන් තමන්ගෙන් ඇමතුමක් එනකල් බලන් හිටිද්දිත් ඇමතුමක් ගන්න
බැරිවුණේ තද්ධිත එක්ක තිබුණු කතාබහ නිසා කියන එකත් ඊටත් කලින් හවස් කාලේම
කල්පනාවෙන් ගතකරපු එකත් ඒකට එක් හේතුවක් කියලා මතක් වෙද්දි චමීරාට කිසියම් විදිහක
වරදකාරී හැඟීමක් දැනෙන්න පටන්ගත්තා.
‘සොරි අනේ..කමක් නෑ දැන් ඔයා ගත්තනේ..’
ඇය පුරුදු රිද්මයට එන්න අසීරු උත්සහයක් ගත්තා. ඒත් ඇයට විටින් විට
තද්ධිතගේ එක එක වචන මතක් වුණා. සමහර ඒවා නොගැලපෙන මේ මොහොත එක්ක බැඳීමක් ගැටීමක්
නැති වචන. ඒවා හරියටම ගිම්හාන්-චමීරා දුරකතන ඇමතුමට බාධා ගෙනෙන සන්නිවේදන
අපහසුතාවගේ චමිරාට දැනුනා.
‘හරි හරි හලෝ..ඒකට කමක් නෑ.. මම ඔයාලගේ අම්මටත් කෝල් කලා..’
‘ඇයි ඒ..?’
චමීරා පුදුමයෙන් වගේ ඇහුවේ මොකක්හරි ප්‍රශ්නයක්වත්ද කියන සිතිවිල්ල
එක්ක.
‘නෑ නෑ අනේ ගොඩ දවසකින් ආන්ටිට කතා කරන්න බැරිවුණා..අනිත් එක ආන්ටි
මට කිව්ව සී.ඩී එකක් තිබුණා හාමුදුරු කෙනෙක්ගේ..අන්න ඒක ගත්තා කියන්න..’
‘ආ ඒක මිසක්..අම්මා මොකද කිව්වේ..’
ඇයට යම්කිසි සහනයක් දැනුනා.
‘මොකුත් කිව්වේ නෑ විශේෂයෙන්..මම කවද්ද එන්නේ කියලා ඇහුවා..’
‘ඒකනේ ඒකනේ එයා එහෙනම් ඔයා එනකල් බලන් ඇති..’
‘ඇයි ඔයා එහෙම නැද්ද..?’
වෙනදා ඔය ප්‍රශ්නෙට මොකක්හරි හිනායන උත්තරයක් ඒත් නැත්නම් ගිම්හාන්ව
ටිකක් තරහා ගස්සන උත්තරයක් දුන්නත් අද චමීරාට ඇත්තටම ඒකට උත්තරයක් හොයාගන්න ටිකක්
වෙලා ගියා.
‘කව්ද ඉතින් දැන් එහෙම නෑ කිව්වේ..’
‘ආ ඒකනේ..’
‘හ්ම්...’
‘මේ බබා..වැස්සක් එන නිසා මම ඉක්මණට යන්නම්..නැත්නම් ට්‍රැෆික් එකට
සෙට් වෙනවා..රෑ වෙලා කෝල් කරන්නම්...’
‘හරි ඔයා පරිස්සමින් යන්නකෝ..’
‘බායි..ලව් යූ..’
‘බායි...’
‘කෝ..ආදරේ..’
‘හි හි...ලව් යූ ටූ...’
ඇමතුම විසන්ධි කරලා ඇය දුරකතන තිරයේ පේන තමන්ගෙම රූපය දිහා බැලුවා.
තමන්ගේ ඇස්දෙකේ තියන නොතේරෙන හැඟීම කියවන්න උත්සහකරපු චමීරා ලොකු හුස්මක් පිටකලා.
*******
දවස් කීපයක්ම තද්ධිත ගතකලේ සෑහෙන්න ලොකු වැඩ කන්දරාවක් ඉවර කරන්න
පිස්සුවෙන් වගේ එහෙමෙහෙ දුවන ගමන්. රැකියාවට හුරුවෙමින් ඉන්නවා වගේම ලාබ
අපේක්ෂාවෙන් වැඩකරන ආයතනයක ජීවිතේ පළමුවෙනි වතාවට නිසා ඒ ඉලක්ක සහ ගනුදෙනුකරුවන්
එක්ක ප්‍රවර්ධන සංකල්ප යාකරන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි කියලා තද්ධිත තේරුම්
අරගෙන තිබුණා.
ජීවිතේ ගතකරපු පහුගිය අවුරුදු දහයක කාලය ඇතුලත තමන්ගේ ජීවිතේ
සිද්ධවුණු බොහොමයක් වෙනස්වීම්වල උණුහුම තවමත් දැනෙන නිසා වගේම ඒ සිදුවීම්වල කටුක
මතකයන්ට සමුදෙන්න ඕන නිසාත් එක පැත්තකින් කාර්යබහුල ජීවිතේකට තද්ධිත කැමතිවුණා.
ඒත් අනන්‍යා එක්ක ගතකරන්න තියන කාලය අඩුවීම නම් ඔහුට ඉවසන්න අමාරු කාරණයක් වුණා.
‘අයියෝ තාත්ති අදවත් වේලාසනින් එන්නකෝ රවුමක් යන්න..’
කෙල්ල මාතර එක එක තැන්වල එක්කගෙන යන්න කියලා කරන ඇවටිලි එක්ක ඒකට කාලය වෙන්කරගන්න බැරිවීම සමහර වෙලාවට
කණගාටුවක් වුනත් නිවාඩුවක් ලැබෙන හැම වෙලාවෙම අනන්‍යා එක්ක මාතර නගරයේ සහ ඒ
ආසන්නයේ එක් එක් තැන්වල ඇවිදලා කාලා බීලා එන එකෙන් දෙන්නම ඒ කණගාටුව යටපත්
කරගත්තතා.
ඒත් දවසක් මාතර බස් නැවතුම ඉස්සරහින් එද්දි දුර ගමන් සේවා බස්
පර්යන්තයේ ආසන්නයේ ඉදිකරලා තිබෙන මවක් කුඩා දරුවෙක් ඔසවාගෙන ඉන්න පිළිරුව දැකලා
අනන්‍යා ප්‍රශ්නයක් ඇහුවා.
‘හැම අම්මම දරුවන්ට ආදරෙයිද තාත්ති..’
අනපේක්ෂිත මොහොතක මතුවුණු පැනයෙන් ඔහු නිශ්ශබ්දතාවයක නතර කලා. තද්ධිත
බයික් එක පදවන ගමන් ඒකට දෙන්න ඕන සුදුසුම උත්තරය හෙව්වා.
‘සමහර අම්මලා ගොඩක් ආදරෙයි..සමහර අම්මලා එහෙම නෑ..’
එතනින් එහාට කිසිම කතාවක් නැතිවම අනන්‍යා නගරයේ ඒ මේ අත බලමින් ආවා.
ඒ ප්‍රශ්නයත් පිළිතුරත් දෙකම තද්ධිතගේ හිතේ යම්කිසි බරක් ඇතිකරන්න සමත්වුණා. කවදාහරි
දවසක අනන්‍යාට අම්මා කෙනෙක් නැති අඩුව දැනෙන බවත් එදාට ඒ අඩුව නැතිකරන්න තමන්ට
පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙට තමන්ට උත්තතරයක් නැති එක ගැන තද්ධිත ලතැවුණා.
පහුවෙනිදා හවස් වෙලාවේ තද්ධිත වැඩ ඉවරකරලා නූපේ හන්දියේ ප්‍රධාන පාර
අයිනේ හිටියේ ත්‍රීවීල් එකක් නතර කරගන්න. ඒත් මොහොතකින් තමන්ගේ ලඟ කවුරුන් හෝ
ඇවිත් නතර වෙනවා කියලා ඔහුට දැනුනා. හැරිලා බලද්දි තමන්ගේ පිටිපස්සේ හිටියේ චමීරා.
‘හායි..’
‘හායි නෝනා මහත්තයා..බෑරක්ද?’
තද්ධිත පුදුමවෙලා චමීරා දිහා බලපු විදිහට ඇයට හිනාව හංඟගන්න
පුළුවන්කමක් ලැබුනේ නෑ. පුංචි සාප්පු සවාරියක් ඉවරකරලා ටවුම පැත්තට යමින් හිටිද්දි
අතරමග හිටපු තද්ධිත දැක්කම පහුකරගෙන යන්න මොකක්දෝ අපහසුතාවයක් ඇයට දැනුනා. ඒ වගේම
නතර වෙලා කතාකරන්න හිතද්දි වරදකාරී හැඟීමක් දැනෙයිද කියලා බයවුණා.
‘බඩුටිකක් ගන්න ගියා..’
‘ආ..ඒක මිසක්..’
‘ඔයා කොහෙද මේ පැත්තේ..’
‘මම ඉතින් බඩ රස්සාව ඉවරකරලා ගෙදර යමින් ගමන්..’
ඩෙනිම් කලිසම ඇඳලා ලස්සන ෂර්ට් එකකට ලෙදර් රාජකාරී බෑගයක් අතේ දරාගෙන
ඉන්න තද්ධිතගේ රූපය දිහා චමීරා බලද්දි ඇයට මතක්වුණේ ඒ දවස්වල කොන්වන්ට් එකේ උගන්නපු
සර් කෙනෙක්, සර් ටියුෂන් එකට ඇන්දේ මේ වගේ කියලා මතක්වුණා. වෙනස තිබ්බේ තද්ධිත
ඊටවඩා කඩවසම්වීම වෙන්න ඇති කියලා චමීරා කල්පනා කලා.
‘චමී...අපි මොනවහරි බොමුද..මාර තිබහයි..’
‘හ්ම්ම්...මට යන්න පරක්කු වෙනවනේ..’
චමීරා වුවමනාවෙන්ම ඒ යෝජනාවෙන් ගැලවිලා යන්න උත්තසහ කලා. නැත්නම් මේ
එකතුවෙන මතකයක් මතකයක් ගානේ ගිම්හාන් එක්ක කතාකරද්දි දැනෙන වරදකාරී හැඟීම්
වැඩිවේවි කියලා ඇයට හිතුණා. ඒත් නමක්වත් නැති මානසික බැඳීමකට ඇයි තමන් මෙච්චර බය
කියලා චමීරා කල්පනා කලා. ගිම්හාන් කියන්නේ තමන් එක්ක කාලයක් තිස්සේ ආදරේ කරමින්
ජීවිතේ බෙදාගන්න වගේම ජීවිතේ අනාගතය එකට ගතකරන්න තීන්දු තීරණ ගත්ත පුරුෂ ප්‍රාණියා
වුණත් ජීවිතේ තමන්ට පිරිමි යාළු මිත්‍ර සබඳතා තියාගන්න තහනමක් නෑ කියන එකත්
කවදාවත් ගිම්හාන් ඒවගේ මිත්‍රකම්වලට විරුද්ධ නොවෙනවා කියලත් ඇය හොඳින්ම දන්නවා.
ඒත් මේක ඇත්තටම යාළුකමක්ද? නැත්නම් වෙන මොකක්ද? චමීරා තමන්ගෙන්ම
ඇහුවා.
‘පරක්කු වෙනවා කියන්නේ ඔයා මීටර් හාරසීය දුවනවා නෙවෙයිනේ.. ගෙදර යන ගමන්නේ..’
‘හරි ඉතින්..ගෙදර යන්න තමයි පරක්කු වෙන්නෙ..’
චමීරා තද්ධිත එක්ක තමන්ගේ කතාබහ දැන් දැන් කාලාන්තරයක් තිස්සේ දන්න
කියන කෙනෙක් ඒකක කරන කතාබහක් තරමට සාමාන්‍යකරණයවීම ගැන පුදුමයෙන් කල්පනා කලා.
අනිත් පැත්තට තද්ධිත තමන්ට මුණගැහුනේ සහ කතාකලේ දවස් කීයද. එහෙව් එකේ මේ වගේ සුහද
කතාබහක් මතුවෙන්නේ කොහොමද කියන එක ජීවිතේ පළමුවෙනි වතාවට ඇයගේ හදවතට වදදුන්නා.
‘හා එහෙනම් ඉතින් යන්නකෝ..මම ඉතින් තනියම මොනවාහරි සප්පායම්
වෙන්නම්..’
තද්ධිත ඒ කියපු විදිහට ඇයට දුකත් හිතුනා. රළු විදිහට මගහැරලා යනවට
වඩා හැමදාම තද්ධිත ඉස්සරහා ගැස්ම වැඩිවෙන තමන්ගේ හිත එහෙම නොවෙන තැනට සාමාන්‍යකරණය
කරගන්න ඇයට ඕන වුණා.
‘හා යමුකෝ..එහෙනම්..’
‘ඒකනේ ඉතින්..ඉස්සරහා තියනවා ජූස් බාර් එකක්..එතන මරු..’
තද්ධිතට ඉදිරියෙන් යන්න ඉඩදිලා ඇය පැත්තෙන් ගමන්කලා. පාර අයිනෙම
තිබුණු හුරුබුහුටි ජූස් බාර් එකේ අසුන් දෙකකින් එකක චමීරා වාඩිවෙද්දි තද්ධිත
කවුන්ටරේට ඇණවුම දෙන්න යන්න හැදුවා.
‘ඔයා බොන්නේ මොනවද?’
‘ඇයි ජූස් බාර් එකේ අරක්කු එහෙමත් තියනවද?’
‘අරක්කු වලටනම් ටිකක් එහාට යන්න වෙනවා මිස්..මාතර වයින් ස්ටෝර්ස් එකට
පොඩි දුරයි..යනවද ඒ පැත්තට..’
චමීරා අමාරුවෙන් හිනාව නතර කරගත්තා. තමන්ට මේ වචන කොහොම එනවද කියන
එකත් තද්ධිතට ඒවට මේ වගේ උත්තර එනවද කියන
එකත් ඇයට හිතාගන්න අමාරුයි.
‘ඔරේන්ජ්..’
‘ඕකේ..ටූ ජෙනරල්.. මම බොනවා ෆලූඩා එකක්..’
තද්ධිත කවුන්ටරය දිහාවට ඇවිදගෙන ගියා. චමීරා මොහොතකට පාර දිහා බලාගෙන
කල්පනා කලා. තමන් මොනවද මේ කරන්නේ කියන එක ඇයට තාමත් හිතාගන්න බෑ. මොකක්දෝ වශියකට
අහුවෙලා වගේ තමන් තද්ධිත කියන කියන එකට එකඟවෙන්නේ ඇයිද කියලා තාම ඇයට නිශ්චිත අවබෝධයක්
නෑ.
තද්ධිත කවුන්ටරේ ඉඳන් ජූස් ඇණවුම ලැබෙනකල් හැරිලා ඈත අසුනේ ඉන්න ඒ
සුන්දර යුවතිය දිහා බැලුවා. තමන් මීට අවුරුදු දහයකට කලින් මාතර ඉන්න දවස්වල මේ හමුවීම
වුණානම් කොච්චර වෙනසක් දැනේවිද කියලා කල්පනා කලා. කොණ්ඩේ තදවෙන්න පෝනි ටේල් එකක්
දාලා ඇහිපිය සලමින් ඇත නිකටට තියාගෙන ඉන්න විදිහට ඡායාරූපයක් ගන්න තද්ධිතට හිතුණා.
ජූස් වීදුරු දෙකත් අරගෙන තද්ධිත චමිරා ඉදිරිපසින් වාඩිවුණා.
‘තෑන්ක්ස්..’ ඇය හෙමින් සීරුවේ දොඩම් වීදුරුව හිස් කරන්න පටන්ගත්තා.
ඒ දෙතොල් සැලෙන විදිහ තද්ධිත බැලුවේ ලෝබකමකින්.
‘ටීචින් වලට ඔයා කැමැත්තෙන් ආවද? නැත්නම් අහම්බෙන් සෙට්වුණාද?’
හදිස්සියේම තද්ධිත අහපු ප්‍රශ්නයෙ අගක් මුලක් ඇයට හිතාගන්න බැරිවුණා.
ඇත්තටම ගුරුවෘත්තිය තමන්ට දැනෙන විදිහ කවමදාවත් කවුරුවත් අහලා නෑ කියලා ඇයට මතක්
වුණා.
‘මම කැමතියි ටීචින් වලට..ඒකයි..’
‘ඒක මරු...’
‘ඇයි එහෙම ඇහුවේ..මම අකමැත්තෙන් ටීච් කරනවා වගේද පේන්නේ...’
‘නෑ එහෙම නෙවෙයි..අනික ඉතින් මම ඔයා ටීච් කරනවා දැකලා නෑනේ..’
‘එහෙනම් ඉතින් හෙට ඉඳන් මොන්ටිසෝරි එන්න..’
‘පුළුවන්නම් එනවා ටීචර් ඔයාගේ ක්ලාස් එකට දිගටම..’
තද්ධිත ඒක කියපු විදිහට දොඩම් උගුරක් ගමන් මාර්ගයේ අතරමග හිරවෙනවා වගේ
ඇයට දැනුනා. ඒත් ඒ අපහසුතාවය නොපෙන්වා ඉන්න චමීරා සෑහෙන්න මහන්සියක් ගත්තා. ඒ අතරේ
තද්ධිතගේ දුරකතනය නාදවුණු නිසා ඇය ලොකු හුස්මක් ගත්තා.
‘එක්ස්කියුස් මී..’
චමීරා හිනාවුණා. තද්ධිත ඇමතුමට ප්‍රතිචාර දැක්වූවා.
‘හෙලෝ..’
තද්ධිතට එහා පැත්තෙන් කිසිම ආමන්ත්‍රණයක්වත් පෙරලා පිළිතුරක්වත්
ඇහුනේ නෑ.
‘හෙලෝ...’
තද්ධිත ආයෙත් කතාකලා. පිළිතුරක් වෙනුවට තද්ධිතට ඇහුනේ ගැඹුරු හුස්ම
ගන්න ශබ්දයක් විතරයි. හරියට කවුරුහරි මහන්සිවෙන දෙයක් කරලා දිගු දුරක් දුවලා ඇවිත්
හුස්ම ගන්න විදිහට ගැඹුරු හුස්ම ගන්න ශබ්දය විතරක් පැහැදිලිවම අනෙක් අන්තයෙන් ඇහුණා.
ඒකත් එක්කම තත්පර කීපයක් ඇතුලත තද්ධිතගේ මුහුණ වෙනස්වුණා. ඒ වෙනස චමීරාගෙන්
හංඟගන්න ඔහුට බැරිවුණා.
තද්ධිත දුරකතනය විසන්ධි කලා.
හරි.. එහෙනං කෝල් එක එනෙකං ඉන්නංකෝ..
ReplyDeleteමේකේ මුල් කොටස් ටික මිස් වෙලා.. කියවන්නම් ගිහිං. කොහොමත් ඒ කාලේ ඉඳන් තිබ්බ පුරුද්දක් තමා කතාවක් කියවන්න එන්නේ මැදක ඉඳන්. දැන් දිගට ම බලන්නම්කෝ..
ReplyDeleteපරණ සාමාජිකයෝ එන්නම එපැයි ඉතින්
Delete2022 ජුනි 16 බදාදා නෙවෙයිනේ බ්‍රහස්පතින්දනේ
ReplyDelete