Sep 25, 2022

සුදු වෑන් එක - පූස් කොලම 4

 


තෙල් ප්‍රශ්න නිසා වැඩට යන්නේත් එන්නේත් බස් එකෙන් වීමත්, ඒ නිසාම උදේ හවස දහ පහළොස් දෙනෙක් කර තබාගෙන බස් එකේ එන්න වීමත් නිසා ඇඟට දැනෙන මහන්සියත් නිසා බස් හෝල්ට් එකේ සිට ගෙදර එන්නේ ඇවිදින මළමිනියක් පරිද්දෙන් යැයි කීවොත් වැරදි නැත.

නිවසට ඇති කිලෝමීටර එකහමාරකට ආසන්න දුර ගෙවාගෙන නිවස අසලට එද්දී දුර තියාම පෙනුනේ නිවස ඉදිරිපිට නතර කර ඇති නාඳුනන සුදු වෑන් රථයකි. මොහොතක් නතරව කල්පනා කර බැලුවත් ගෙදරට පැමිණෙන බවට දැනුම්දුන් ඥාතියෙක් හෝ හිතවතෙක් ගැන මතකයට ආවේ නැත. හදිසියේ නිවසට පැමිණිය හැකි කෙනෙක් ගැනද නිච්චියක් නැත. සුදූ වෑන් රථයක් ගෙදර ඉදිරිපිට නතර කර තිබියදී බියවීමට අපිට ඕනෑ තරම් කාරණා ඇති නිසා මම අන්තිමට කල්පනා කර බැලුවේ පහුගිය දින කීපයේ සමාජ මාධ්‍යයේ තැබූ සටහන් සහ හුවමාරුකරගත් දේවල් ය. ඒවාද ඒ තරම් බරපතල දේශපාලනික ඒවා නොවන නිසා කුතුහලය සංසිඳවා ගන්නට නිවස තුළට ඇතුල් වෙන්න තීරණය කලා.

සාලයේ පුටු කිහිපයක වාඩිවී සිටියේ හොඳින් රාජකාරී ඇඳුම් ඇදගත් පුද්ගලයන් කිහිප දෙනෙක් ය. බිරිඳ ද පසෙකින් සිටගෙන සිටි නිසාත්, ඇගේ මුහුණේ තිබුණේත් වික්ෂිප්ත බැල්මක් නිසාත් කිසිඳු මිත්‍රශීලී ස්වභාවයක් නැති ආගන්තුකයන් දෙදෙනා දෙස බැලූවද අඳුනාගැනීමට ලකුණක් නොවීය.

‘ආ.. මහත්තයා.. අපි සී.අයි.ඩී එකෙන්..’

ඒ හඳුන්වාදීම සමග හිතේ ගැස්මත් වැඩිවුණේ දැන් නම් ඒකාන්තයෙන්ම මොකක්හෝ බරපතල දෙයක් වෙන්නට යන බව දැනුන නිසාම ය.

‘මොකද දන්නේ නෑ මහත්තයලා මේ පැත්තේ නේද? ඇරත් සී.අයි.ඩී එක සුදු වෑන්වලින් එනවා කියලා දැනන් හිටියේ නෑනේ..’

මගේ ඒ ප්‍රකාශයට සී.අයි.ඩී නිලධාරීන් තුන්දෙනා මුහුණට මුහුණ බලාගත් අතරම සැනෙකින් මුහුණු කළුවී ගිය බවක් ද පෙනෙන්නට විය.

‘නෑ... නෑ.. මේ අරන් එන්න තිබ්බේ මේ වෑන් එක විතරයි.. මේ තෙල් නැති කේස් නිසා ජීප් කීපයයි වැඩ.. ඒවලිනුත් එකක් උදේ පාන්දරම ජනාධිපති මන්දිරේට අරගලකාරයෝ පැනපු වෙලාවේ මල් පෝච්චියකින් ඇන්තූරියම් පැලයක් ගලවගෙන ගියපු ආච්චි කෙනෙක් අත්අඩංගුවට ගන්න ගිහින්.. ඉතිරිවෙලා තිබුණු මේ කබල් වෑනේ එකේ ආවා ඉතින්.. නැතිව වෙන ප්‍රශ්නයක් නෑ’

නිලධාරියා සැර බාල කරමින් එසේ කියද්දි මට මැවී පෙනුනේ වයසක උන්දෑ කෙනෙක් පොලීසියෙන් අත් අඩංගුවට ගන්නට උත්සහ කරන ආකාරයත් උන්දෑ පොලීසියට කැවුතු ගැලවෙන්නට බනින ආකාරයත් ය. 

‘හරි..ඒකට කමක් නෑ කියමුකෝ.. දැන් ඔබතුමාලා මොකද අපේ ගෙවල් පැත්තේ ආවේ? අපි කව්රුවත් ගියේ නෑනේ ඔය ජනාධිපති මන්දිරේ හරි අගමති කාර්යාලයේ හරි ඇන්තූරියම් පැල ගලවන්න..’

මම එහෙම කිව්ව ගමන් නිලධාරියා සැණෙකින් මුහුණට බැරෑරුම් වෙස් මුහුණකින් වසාගෙන සාක්කුවෙන් සටහන් පොතක් අතට ගත්තේ ය.

‘මෙහෙමයි.. අපිට තොරතුරු ලැබිලා තියනවා මෙහේ උග්‍ර ආන්ඩු විරෝධී පූසෙක් ඉන්නවා කියලා..’

නිලධාරී තැන එසේ කියා සාලයේ ඒ මේ අත බැලුවේ පූසා සොයාගන්නට විය යුතුය. පූසාගේ වාසනාවකට උදේ ආහාරයෙන් පසු කොහේ හෝ රස්තියාදුවක ගිහින් විය යුතුය.

‘ආන්ඩු විරෝධී පූසෙක්? මේ අපේ ගෙදරනම් ඉන්නවා අහිංසක පූස් තඩියෙක්.. හැබැයි ගෙදර අපිටවත් දශමයක කරදරයක් විරෝධයක් නෑ.. ඒ සතා කොච්චර අහිංසකද කියනවනම් අල්ලපු ගෙදර පූසත් ඇවිල්ලා කරදර කරලා යනවා ඒත් නියපිටින් පාරක් ගහන්නේ නෑ.. එහෙව් පූසා ආන්ඩුට විරෝධය දක්වන්නේ කොහොමද මහත්තයෝ..’

මම එහෙම කියද්දී නෝනා එය අනුමත කරමින් හිස වැනුවේ පූසා ගැන අවංකව බියකින් සහ වේදනාවකින් ය.

‘ඔව් සර්.. ඊටත් වඩා පූසා පහුගිය ටිකේ මාස ගාණක් ගෙදර හිටියෙත් නෑ.. අපි හිතුවේ වාහනේකටවත් හැපිලා මැරිලා කියලා.. මෙන්න මේ ගිය සතියේ තමයි ආයෙත් ගෙදර ආවෙත්.. මීයෙක්ටවත් හානියක් නොකරන මේ සතා ආන්ඩුවට හානි කරාවිද සර්..’

නෝනාත් පූසා වෙනුවෙන් ඉදිරිපත්වුනේ පූසා අත්අඩංගුවට ගෙන ගියොත් බේරාගන්න ලේසි පහසු නොවන බව දැනගෙන විය හැකිය. මම හිස සොලවා නෝනාගේ ප්‍රකාශය සනාථ කලේ සී.අයි.ඩී මහත්තුරුන් ඉතාම අවධානයෙන් අපේ ප්‍රකාශ අසා සිටියදී ය.

‘සමහරවිට ඔය අතුරුදහන් වෙලා හිටපු කාලේ හැංඟිලා ආන්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් සංවිධානයකරා වෙන්නත් පුළුවන්..’

දෙවැනි නිලධාරියා එහෙම කියද්දි අනෙක් දෙදෙනා එය අනුමත කරන්නට මෙන් හිස සෙලවී ය.

‘මේ පූසෙක් එහෙම කැරලි සංවිධානය කරයිද මහත්තයෝ.. අඩුම ගානේ මේ රටේ ඌට වඩා ලොකු ඔලුවක් ඇඟක් තියන එවුන්වත් හරිහමන් කැරැල්ලක් සංවිධානය කරගන්න බැරිව අවුරුදු සිය ගාණක් තිස්සේ දුක් විඳිද්දි..’

මම එහෙම කිව්වම නිලධාරීන් ටික මගේ දිහා බැලුවෙත් ආන්ඩු විරෝධි කැරලිකාරයෙක් ගාණට.

‘අනිත් එක දැන් මොනවද සර් ඔය අපේ පූස් තඩියා අන්ඩුවට විරෝධය පළකරන්න කරලා තියනවා කියලා ඔය වාර්තා වෙලා තියනවා කිව්වේ..’

නෝනා ඇහුවේ බොහොම වැදගත් සහ කාලෝචිත ප්‍රශ්නයක්. නිලධාරියා උගුර එහෙමත් පාදලා සටහන් පොතේ පිටුවක් දිග ඇරලා උත්තර දෙන්න ගත්තා.

‘මේ සැකකාර පූසා.. පහුගිය දවසක හන්දියෙදි අයුතු ජන රාශියකට සම්බන්ධවෙලා එතනදි මේ බටලන්ද ගැන කතා කරලා තියනවා..’

නිලධාරියා එහෙම කිව්වම මමයි නෝනයි මූණට මූණ බලාගත්තෙ පහුගිය කාලේ ප්‍රවෘත්ති වෙලාවට අපි දෙන්නා ටිකක් බරපතල විදිහට බටලන්ද ගැන කතා කරපු නිසා.

‘බටලන්ද ද? නැත්නම් බටනන්දේ කියලද මහත්තයෝ?..’

මම එහෙම ඇහුවම නිලධාරීතුමාට ටිකක් තරහත් ගියා.

‘බටලන්දේ හරි බටනන්දේ හරි දෙකම කියන්න තහනම් දැන් ප්‍රසිද්ධ තැන්වල.. අනික මේක හදිසි නීතිය තියන වෙලාවක් නිසා වොරන්ට් නැතිව ඇරෙස්ට් කරන්න පුළුවන් එහෙම කිව්වා කියලා..’

නිලධාරියා එහෙම කිව්වම මම කල්පනා කලේ ඒක කොහේ කොතනක තියන නීතියක් ද කියලා. අනිත් එක බටලන්ද හරි බටනන්දේ හරි කිව්වා කියලා පූසා ආන්ඩු විරෝධියෙක් කියලා එහෙම හංවඩු ගහන්න පුළුවන්ද. මගේ කුතුහලේටත් කෙළවරක් නැති නිසා මම කල්පනා කලා. ඒ අතරේ නෝනත් ප්‍රශ්න අහන්න පටන්ගත්තා.

‘එච්චරද සර් දැන් ඔය අපේ පූසා කරලා තියන ආන්ඩු විරෝධී වැඩ..?’

‘නෑ නෑ... තව තියනවා.. පහුගිය දවසක හන්දියේ අහිකුණ්ඨක මනුස්සයෙක් ඇවිත් රිලා නැටුමක් කරලා තියනවා.. එතනදි මේ සැකකාර පූසා මහා ජනකායක් ඉදිරියේදී අර අහිකුණ්ඨක මනුස්සයෙක්ගෙන් අහලා තියනවා රිලවගේ නම රනිල් ද කියලා..’ 

නෝනාටත් මටත් එක්වරම බකස් ගාලා හිනායන්න ආවත් බන්දු සමහරසිංහ පාරාජය කරමින් දෙන්නාම සිනහව ගිලගෙන පිත්තාශය දක්වාම එය හරවා යැව්වේ හදිස්සියේ මේ චෝදනාවලට හිනාවුනොත් පූසාට අවාසිවිය හැකි නිසාය.

‘අම්මපා මහත්තයෝ පූසා එහෙම කියලා තියනවනම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි..’

මම පූසාට විරෝධය දැක්වූ අතර ඒ ඇයිදැයි අසන්නට මෙන් නෝනා ඇස්දෙක ලොකු කරගෙන මගේ දිහා බැලුවා. ඒත් මගේ උත්සහය වුනේ මේ පූසාගේ නොතේරුම්කම කියා ඉස්මතු කර පූසා බේරාගැනීමය.

‘අඩුම තරමේ පූසාට තිබ්බා නමවත් නොකිය තනතුරෙන්වත් අහන්න.. එතකොට ඉතින් රටේ ජනාධිපතිතුමා රිලවෙක් ගාණට වැටෙන්නේ නෑනේ..’

මම එහෙම කිව්වම නිලධාරීන් තුන්දෙනාම මගේ දිහා ඔරවලා බැලුවා. ඒ මදිවට නෝනාත් ටිකක් නෝක්කඩුවෙන් වගේ මගේ දිහා බැලුවා. කොහොමවුනත් මම සතුටුවුණේ පූසා එතෙක් ගෙදරට නොපැමිණීම ගැනය.

‘හරි ඒවායින් වැඩක් නෑ.. දැන් මේ නෝනා කිව්වනේ පූසා ගෙදර නෑ කියලා.. අපි මේ ආවේ තරයේ අවවාද කරලා යන්න. අපිට ඕනනම් පුළුවන් අත්අඩංගුවට අරගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන්න..’

‘පූසා ව? ත්‍රස්තවාදියෙක්... මහත්තයලා හිත්නනේ මේ අපේ පූසා අසූ අට අසූ නමය කාලේ යූ.ඇන්.පී ආන්ඩුවෙන් දැම්මා කියලා චෝදනාව ආපු කළු බලල් ටීම් එකේ එකේ කියලද?’

නිලධාරියාගේ ඉවසීමේ සීමාව පනින්නට ඔන්න මෙන්නය.

‘මේ මහත්තයා.. අනවශ්‍ය ප්‍රශ්න වැඩක් නෑ.. කරුණාකරලා පූසාට දැනුම් දෙන්න මේ වතාවේ විතරක් අපි අවවාද කරලා යනවා..ආයෙත් ආන්ඩු විරෝධී වැඩකරලා තිබ්බොත් ආයෙත් වෙන දේ දන්නවනේ.. අපි යන්නම්..’

එහෙම කියලා නිලධාරීන් තුන්දෙනා සුදු වෑන් එකට නැගලා දෙපාරක් විතර ස්ටාර්ට් කරගන්න උත්සහ කරලා තුන්වෙනි පාරනම් සාර්ථක වෙලා වේගෙන් යන්න ගියා. මමත් නෝනාත් දෙන්නා ඉස්තෝප්පුවේ පුටුවක වාඩිවුණා.

‘මේ...’ නෝනා කතා කලා.

‘ඇයි..?’ මම උත්තර දුන්නා.

‘ආන්ඩුව පූසටත් බය වෙලාද?’ නෝනා ඇහුවම මම වටපිට බලලා හිනාවෙලා ඔලුව හෙල්ලුවා.


පූස් කොලම
2022.09.19


7 comments:

  1. මහත්තයා ගෙවල් ගිනි තියලා, මිනිස්සුන්ට ගහලා මරණ කල්ලියේ සාමාජිකයෙක්ද?

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඒ කල්ලිය? :) එතකොට මිනිස්සු පෝලිම්වල මැරිලා වැටෙන, මිනිස්සු අතුරුදහන්වෙලා මරණ මතුවෙන, එළිපිට මිනීමරලා නිදහස්වෙලා එන.. ඒවට වගකියන්න ඕන කල්ලියට කියන්න ඕන නම මොකක්ද?

      Delete
  2. රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහ නිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්.

    රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා ආසාවෙන් බලන් ඉන්න එකක්. ඒක පොඩි ළමයින්ගෙ බෝල පාස් සෙල්ලමක් නෙමෙයි. නිකං සටන් පාඨවලින් ගොඩයන්න පුළුවන් එකක් නෙමෙයි. රනිල් කරන්නෙ මහින්ද රකින එක වගේ කතන්දර දේශපාලන ගැඹුරක් තියෙන ඕන කෙනෙකුට ජෝක්. මොකද දේශපාලනයේදි කිසි කෙනෙක් තව කෙනෙක් රකින්නෙ නෑ. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා මිස. ඒක තමයි ඒ විෂයේ හැටි. ජවිපෙ වගේ පක්ෂ විසින් විශ්වාස කරන හොඳ මිනිස්සු කියන කතාව දේශපාලන විෂයට අදාල කතාවක් නොවෙන්නෙ ඒ හින්ද. ඒවා නිකං ආර්ට් වැඩවලට හොඳ කතන්දර. දේශපාලනය කියන්නෙම මිනිස්සුන්ගෙ නරක පැත්තත් එක්ක ගනුදෙනු කිරීමට.

    රනිල් දේශපාලනයේ අන්ත පරාජයකට ලක්වෙලා හිටියෙ. මං වුනත් රනිල් දිහා බලමින් කුරිරු සතුටක් ලැබුවා. ඔය කියන තරම් ස්මාර්ට් මිනිහා අන්තිමට මොනවද කරගත්තෙ කියල උසුළුවිසුළු කළා. රනිල්ගෙ වැදගත්ම දේ තමයි ඉවසීම. බලන් ඉන්න පුළුවන්කම. ජනතා දේශපාලනයේදී තමන් දක්ෂ නැති බව හොඳින්ම පසක් කරගෙන පිට්ටනිය තමන්ට ගැලපෙන මොහ‍ොත දක්වා එනකල් රනිල් නෙට්ෆ්ලික්ස් බැලුවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස්වල ක්‍රවුන් සීරීස් එක‍ දේශපාලන විෂයට කැමති කෙනෙක් බලන්නම ඕන. ඒකෙ චර්චිල් කරන දේශපාලනය මට හරිම ආකර්ශනීය එකක්. කොටින්ම තමන්ගෙම කැබිනට් එක පවා තමන්ව එලියට දාන්න බලන් ඉඳිද්දි කලිසමේ chu යන නාකි චර්චිල් ගේම් එක ගහනවා. ඒක මාර ඉන්ස්පයරින් කැරැක්ටර් එකක්.

    රනිල්ට ජනාධිපති වෙන්න ලැබෙන්නෙ තමන්ගෙ ප්‍රබලතම ප්‍රතිවාදී පක්ෂෙ සහායෙන්. එතනදි පොහොට්ටුවට රනිල්ව ඕන වෙන්නෙ තමන්ගේ ආරක්ෂාව පිණිස. නැවත තමන් ගොඩනැගෙන තෙක් පක්ෂයක් බලයක් අහිමි දුර්වලයෙක් පාවිච්චි කිරීම කියන තැනින්. රනිල්ට සිද්ද වෙනවා ඒ අවසරෙන් තමන්ට අහිමි සියල්ල යළි දිනාගන්න. ඇත්තටම ගත්තොත් විපක්ෂයත් රනිල්ට විරුද්දයි, පොහොට්ටුවත් විරුද්දයි. ඒ හින්දම රනිල්ට සටන්පාඨ දේශපාලනය කරන්න පුළුවන්කමක් නෑ. හරිම අවදානම් පාරක, ලොකු වීර වික්‍රම නැතුව ඉතා සියුම් දේශපාලන ගේම් එකක් එයාට සෙල්ලම් කරන්න වෙනවා. වැල් පාලමේ උදාහරණය මෙතනදි හරියටම ගැලපෙනවා.

    රනිල්ට දේශපාලනය කරන්න වෙලා තියෙන්නෙ ජවිපෙ කියන විදිහෙ හොඳ මිනිස්සු එක්ක නෙමෙයි. හොර ආණ්ඩු පක්ෂයක් සහ moda විපක්ෂයක් එක්ක. අනිත් පැත්තෙන් රටේ දැවැන්තම අර්බුදයත් එක්ක. ඒ නිසා සංදර්ශන පවත්වන්න අවසරයක් නෑ. විසිල් ගහන වීරයා වෙන්න බෑ. ලංකාවෙ ජනාධිපති කෙනෙක් මුහුණ දෙන අතිශය තීරණාත්මක, අභියෝගාත්මක මොහොතකට රනිල් මුහුණ දෙනවා. ඒක බලන් ඉන්න හරිම ඉන්ටරෙස්ටින්ග්. තියුණු බුද්ධියකින්, ඉවසීමකින් කරන චෙස් ක්‍රීඩාවක් තරම්ම ආකර්ශනීයයි.

    සියල්ලන් ප්‍රතිවාදීන් වූ දේශපාලනයක තනි මිනිහෙක් කරගෙන යන මේ සටන ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් වෙනවා. රනිල් දිහා මං බලාපොරොත්තු සහගතව බලන් ඉන්නෙ ඒ හින්ද.

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ ඒ ගේම් එක ගහන්නේ තමන්ට ආදරේ නිසා මිසක් මිනිස්සුන්ටවත් මේ රටටවත් තියන ආදරේ නිසා නෙවෙයි නිසා ක්‍රවුන් එකේ චර්චිල්ගේ ගේම වගේ එන්ටර්ටේයින්මන්ට් ලීලාවෙන් බලාගෙන ඉන්න තරම් රසවත් එකක් නෙවෙයි මේක. මොකද මේ රටේ අනාගතය තීරණය කරන්න රනිල් පත්වෙද්දි රනිල් පිටිපස්සෙන් ඉන්නේ සහ රනිල් මෙහෙයවන්නේ මොන බලවේගද කියන එකත් අමුතුවෙන් ලියන්න ඕන නෑ මම හිතන්නේ. ඒක නිසා රනිල්ගේ ස්මාර්ට් ගේම් එකට මේ රට හරි, රටේ දරුවන්ගේ ඉරණම හරි කියන්නේ චෙස් බෝඩ් එකක් නෙවෙයි. ඒක මතක තියාගත්තම හරි පහසුයි.

      Delete
  3. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6ක් ගත වූ අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා ඇත්තටම මාව රවටා දික්කසාද වීමට උත්සාහ කරමින් සිටි නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ මගේ නඩුවට ඔහු මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද, දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +2349037545183  ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් ගෙන දේ. සහ පරිපූර්ණ වේ
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete
  4. හෙහ්..හේ. මරු. ඉස්සරාට පූෂන්ට බව්වන්ටත් ඉන්ට බැරි වෙයි මයෙ හිතේ... මේ අමුතු ඇටේ

    ReplyDelete