Oct 27, 2016

පූජිත ට කුජීත ලිපියක්




හිතවත් පූජිත මහත්මයා, (පොලිස්පති - සිරිලංකාව)

අපේ සීයා ඉස්සර කිව්වේ පොලීසිය පොරවල් වෙන්නට පටන්ගත්තේ සරදියල්ට පිංසිද්ධ වෙන්නට කියාය. සරදියල්ගේ පිහිටෙන් පොලීසිය වීරයන් වෙද්දී නිරායුධ මිනිස්සුන්ට වෙඩිතියලා පොලීසිය ඒ වීරකම අප්ඩේට් කරනවා ද කියලා අද සීයා ජීවත්වෙලා හිටියනම් කල්පනා කරලා බලාවි. හැබැයි සීයා මැරෙනකල්ම පොලීසිය එක්ක පුදුමාකාර තරහකින් හිටියේ ඔබතුමාලා වගේ නිලධාරී නිසා වෙන්න ඇති. කොහොමවුනත් කාකි කෝට් එකට කෙළගහන තත්ත්වයක් ඇතිවුනේ නිකන් නෙවෙයි කියලා අමතක කරන්න එපා. ඔබතුමා පත්වෙද්දි සමහරු කෑගැහුවේ හිටපු ජනාධිපතිතුමාට කඩේ ගිහින් නට්ටං වෙච්ච පොලිස්කාරයෙක් පොලිස්පති කරන්න හදනවා කියලා. ඒත් අපිනම් ඒක විශ්වාස කලේ නෑ. මොකද ඔබතුමාට එහෙම කඩේ යන්න තරම් දෙයක් පොලීසියේ ඉතිරිවෙලා තිබුණෙ නැති නිසා.


ඔබතුමා තනතුර බාර අරගෙන වේදිකාවේ නිකන් චොප්පේ අයියා වගේ කෑගහද්දි මිනිස්සුන්ට මතක් වුනේ හිටපු ජනාධිපතිතුමාවම තමයිලු. ඒත් ඉතින් ඔබතුමා සද්දේ දැම්මෙත් හිටපු ආන්ඩුවට නිසා අර කලින් කියපු කඩේ ගියපු කතාවයි, හිටපු ජනාධිපතිතුමාගේ රෝල් මොඩල් එකක් කියන කතාවයි මම නම් ඉබි නැට්ටක තරම්වත් විස්වාස කරන්නේ නෑ. ඒත් ඔබතුමා සද්දේ දාපු විදිහට මටනම් හිතුනේ මර්වින් සිල්වා උන්නෑහේ වේදිකාවේ වෙස්වලාගෙන ඉන්නවා වත් දෝ කියලා.  කොහොමවුනත් සද්දේ තරමට වැඩත් තිබ්බා නම් යහපාලනේ සරණ ඔබතුමාට නොලැබේවි කියලා කාට කියන්න පුළුවන්ද. ඒත් පහුගිය ආන්ඩුව කාලේ ඔහොම සද්දේ දාගෙන, තරු නළලේ තියාගෙන, ලොක්කන්ට සැලියුට් ගහගෙන හිටපු ගොඩක් පොලිස් ලොක්කෝ එක්කෝ දැන් හිරේ නැත්නම් අලුත් ආන්ඩුවටත් එහෙම්ම සැලියුට් ගහගෙන,කලිසම පාත් කරගෙන ඉන්නවා. නෑ නෑ..ඔබතුමා කලබල වෙන්න එහෙම එපා මේක බලලා. මොකද ඔබතුමා ඒ ගොඩවල් දෙකටම අයිති වෙන්නේ නෑ. ඒක නිසා අපි තුන්වෙනි ගොඩක් හදන්න හිතාගෙන ඉන්නවා කලින් ආන්ඩුවට වගේම මේ ආන්ඩුවටත් නොනැමුණු අභීත පොලිස් නිලධාරීන්ගේ ලයිස්තුව කියලා. ඒකෙ ටොප් ඕඩර් එකේම ඔබතුමා ඉන්නවා.

යාපනේ කොල්ලෝ දෙන්නෙක්ට ඔබතුමාලාගේ නිලධාරීන් අවම බලය පාවිච්චි කරලා වෙඩි තියලා මරලා දාලා. මම හොයලා බැලුවා එක්කෝ උන් දෙන්නා බෝම්බ ගහලා දුවලද, නැත්නම් කේ.ජී අරගෙනවත් පැනලද කියලා. එහෙමත් නැතිලු. එතකොට නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියලා පොලීසිය මොනවගේ ආතල් එකක් ගන්නවද කියලා මටනම් තාම හිතාගන්න බෑ. ඔබතුමාටනම් ඉස්සර අජිත් රෝහණ උන්නැහේට වගේ ලොකු ලොකු ටෝක්ස් නම් දෙන්න පුළුවන් කියලා අපිට තේරුණා. එහෙම නැතත් ඔබතුමාට කවදාහරි පෙන්ෂන් ගියාම කළුතර රත්තරන් වගේ මෙගා ටෙලියක පොලිස් ලොක්කෙක්ට හරි රඟපාන්න පුළුවන්නේ. හැබැයි ඉතින් පොලිස් ලොක්කෙක්ට අඳිනකල් මාධ්‍ය ඉස්සරහ වෙන මොකෙක්ටවත් නොඇඳ ඉන්නවනම් තමයි ඉතින් ඒ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ.

ඉස්සර මම කල්පනා කලේ පොලීසිවල ඉස්සරහා තියන තාප්පවල අර එස්.මහින්ද හාමුදුරුවෝ ලියපු කවියක තියන “උස්තැන් දැක හැකිලෙන්නේ - මිටිතැන් දැක පුප්පන්නේ - නිවටුන් බව සිතමින්නේ - මගේ පුතා ලොකු වෙන්නේ“ කවිය ලියන්න. ඒත් පොලීසිය මහජනතාවට ලංවෙන්න කියලා කලින් හිටපු පොලිස් ලොක්කෙක් තාප්ප ටිකත් කඩලා දැම්මනේ. ඒත් ඉතින් පොලීසිය මහජනතාවට ලංවුණාද කියන එක තමයි අවුල. කොහොමවුනත් උසස් තාක්ෂණ ආයතනේ පොඩි එවුන් ටිකට ඔළු පැලෙන්න බැටන් පොළු පාරවල් දෙද්දි, සාමකාමී උද්ඝෝෂණ වලට වෙඩි තියද්දි ඔබතුමාලාගේ වීරකම් අපි ඉතාම හොඳින් දැක්කා. ඒ වගේම අපරාධකාරයන්ට සැලියුට් ගහලා, දේශපාලඥයන්ට ගොට්ට අල්ලලා අන්තිමට සාමාන්‍ය මිනිස්සුන්ට පාර්ට් දාන්නේ පොලීසියේ මොන ප්‍රතිපත්තියක් යටතේද කියලා ඔබතුමාගෙන් අහන්න කැමතියි.

ඒ වගේම අන්තිමට කියන්න ඕන දේ තමයි ඔබතුමා නිකන් ජනාධිපතිතුමා වගේ අඩුම ගානේ පත්තර ටිකවත් හරියට කියවනවනම් පොලීසියේ ඇත්තම තත්ත්වේ තේරුම්ගන්න පුළුවන්, පොලීසියේ කෙසේ වෙතත් ඔබතුමාගේ තත්ත්වේ හරි තේරුම්ගන්න පුළුවන්නම් ඒකත් ලොකු දෙයක්නේ. නැත්නම් ඔබතුමාටත් “සඳකිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ“ යන්න නොවේවි කියලා කාටද කියන්න පුළුවන්. මේ ටික කිව්වේ හිතේ කිසිම කහටක් නැතුව අවංකවම ඔබතුමා සහ පොලීසිය ගැන තියන හිතවත්කමකට එහෙම නෙවෙයි, අපේ රටේ මිනිස්සු ගැන තියන අවංක දුක නිසාමයි. කොහොමවුනත් ඔබතුමා කුජීත නොවී ඉන්නවා දකින එක අපේ බලාපොරොත්තුවක්. මොකද නැත්නම් ඔය නිලඇඳුම තව මනුස්සයෙක්ට බයක් සැකක්, ලැජ්ජාවක් නැතිව ඇඳගෙන ඉන්න පුළුවන් වෙන්නත් ඕනනේ. ඔබතුමාට ආන්ඩුවේම පිහිටයි..සොරි සොරි..දෙයියන්ගේම පිහිටයි.

මීට,

ජනයා

(ඡායාරූප - Colombo Gazette වෙබ් අඩවියෙනි)

1 comment:

  1. පූජිත එද්දී හිතාගෙන හිටියේ කොහොමද.. වැඩක් කරයි. අවුලක් නෑ. හොද මිනිහා. එල බුවා. ඒත් දැන්.

    ඔක්කොම එකයි.. දේශපාලුවෝ වගේමයි.

    ReplyDelete