Jun 16, 2016

සිරි අයියා යන්න ගියා..



දයාබර සිරි අයියේ.. අනිත් උන් ඔයාට සෝමේ මාමා කියද්දි,අංකල් කියද්දි,සෝමවංශයා කියද්දි අපි ඔයාට සිරි අයියා කියලා කිව්වේ වයස ගැනවත් නොහිතා. මීට අවුරුද්දකට කලින් ලිපියක් ලියද්දි ගහක් ගලක් වගේ හිටපු ඔයා හදිස්සියේම කාලක්‍රියා කරා කියලා අහද්දි එක පැත්තකින් බොහොම දුකක් දැනුනා. මොකද කොහොම වුනත් නිතර දැකපු මනුස්සයෙක් නිසා. දේශපාලනේ පැත්තකින් තියලා අප්සට් වෙලාවක දෙයක් ලියන්න හිතුනා.


ගොඩක් එවුන් කියන්නේ ඔයා මැරෙන්න තිබ්බේ මීට අවුරුදු දෙකකට තුනකට කලින් කියලා. හැබැයි එහෙම කියන ගොඩක් එවුන් එක්කෝ ජෙප්පෝ, නැත්තං ජෙප්පොත් එක්ක පවුල් කන්න බැරුව දික්කසාද වෙලා ගියපු පෙරෙට්ටෝ, ඒත් නැත්නම් උන් දෙගොල්ලොත් එක්කම ඉන්න බැරිව ආණ්ඩුවට හරි මහින්දට හරි මුක්කු ගහගෙන ඉන්න එවුන්. හැබැයි උන් කියන කතාවෙත් සාධාරණ ඇත්තක් තියනවා. මොකද හදිස්සියෙක්වත් සිරි අයියා ජෙප්පන්ගේ ලොක්කා හරි නැත්නම් දේශපාලන මණ්ඩලේ රතු ටී ෂර්ට් එක ගහලා පිට් එක දාගෙන ඉන්න කාලේ වගේ මලානම් අද ඉතින් රටේම ජෙප්පෝ රතු කොඩි දාගෙන “විප්ලවීය ආචාරය“ බෝඩ් ගහගෙන “චේ ගුවේරා“ මරලා දාපු වෙලාවේ කියුබන් කාරයන්ටවත්, බොලීවියන් කාරයන්ටවත්, ඒත් නැත්නම් ආර්ජන්ටිනාකාරයන්ටවත් නොතිබ්බ අමාරුවකින් දඟලනවා කියන එකනම් අනිවාර්යයි. එහෙනම් අද අනුර කුමාර දිසානායක උන්නැහේ බොහොම බර හඬක් එහෙම අරගෙන කියාවි “නිර්ධන පන්තියේ නොනවතින අරගලය වෙනුවෙන් ජීවිතේ වැඩි කොටසක් වැයකරලා ඒ උත්තරීතර සමාජ විප්ලවය වෙනුවෙන් ජීවිතය කැපකරපු සෝමවංශ සහෝදරයට අපේ ආචාරය කියලා“ ඒත් නැත්නම් පුබුදු ජයගොඩ මයික් එක ඉස්සරහ දෙකට නැමිලා කියාවි “නව ලිබරල්වාදී චින්තනය ලංකාව කියන දූපත් රාජ්‍යයේ ආර්ථිකමය ශක්‍යතාවයට මරු පහරක් එල්ලකරද්දි පවා දණින් නොවැටී සිටි සදාදරණීය සෝමවංශ සහෝදරයාට අපේ උත්තමාචාරය“ කියලා.

ඒත් ඒ එකක්වත් නෑ සිරි අයියේ. ඒ වගේම ලංකා පත්තරේ “විප්ලවයේ ජීවමාන සලකුණ ජීවිතයෙන් සමුගනී“ කියන හෙඩිමක් වැටෙන්නෙත් නෑ කියලා මටනම් සහසුද්දෙන්ම විශ්වාසයි. මොකද ඔයා කාලක්‍රියා කරනේ ජ.වි.පෙන් බල්ටියක් ගහලා මොකක්දෝ මළවිකාර ගණනාවක් කරලා අන්තිමට ඔයා ඉන්නේ කොතනද කියලා ඔයාගේ කලිසමවත් නොදන්න තැනකට පත්වුණා පස්සේ නිසා. ඒත් ජෙප්පන්ටවත්,පෙරෙට්ටන්ටවත් අමතකවුණානේ ඔයා අන්තිමට හිටියෙත් උන් වගේම ජ.වි.පෙන් පැනලා ගියපු (හරි එලවපු හරි) විමලේ එක්කයි කියලා. අන්තිමට මහින්දත් එක්ක ස්ටේජ් එකට නැගපු නිසා මහින්දයනම් අනිවාර්යයෙන්ම මොකක්හරි ලියුමක් මාධ්‍යයට එවලා ඇති රටේ නැති බයිලා ටිකක් ගහලා. අනිවාර්යයෙන්ම ඒ ලියුමේ කොතනහරි ඇති “සැබෑ නොවුණ විප්ලවය වෙනුවෙන් ජීවිතය කැපකල සෝමවංශ අමරසිංහ වැනි යුග පුරුෂයින් මේ රටට අහිමිවන්නේ වත්මන් යහපාලන ආණ්ඩුවේ අධූරදර්ශී සහ රට ජාත්‍යන්තරය හමුවේ පාවා දෙන දීන ප්‍රතිපත්තිය නිසා කියලා“ ඕවට උත්තර දෙන්න ගියොත් වෙන වැඩ පාඩු වෙනවා නිසා ඔය ලියාගත්තු එකක් ලියලා පාඩුවේ හිටපුවාවේ කියලා ඉන්නවා.

අනිත් එක සිරි අයියේ ඔයාගේ කරුමෙටද මන්දා මේ ලපයි-සිපයි ආණ්ඩුවක් කාලේ මැරෙන්න වුනේ. “අනායකා විනස්සන්ති - විනස්සන්ති බහුනායකා“ කියන්නේ නිකන් නෙවෙයි කියලා මේ ලොන්තපෝල් ආණ්ඩුව අපිට හොඳට පෙන්නලා දීලා තියනවා. ජනාධිපති ටෙලිපෝන් ඔපරේටර්ගේ වැඩේ කරනවා, දුව ජනාධිපතිගේ වැඩේ කරනවා, අගමැති මුදල් ඇමතිගේ වැඩේ කරනවා, මුදල් ඇමති බිස්නස්කාරයන්ට ඕන දේ කරනවා. එහෙව් රටට මොට පායයිද සූර්යා කියලා තමයි කියන්න වෙන්නේ. කොහොමවුනත් දයා වන්නිආරච්චි (සෙනෙවි) මැරිලා වැඩි කාලයක් යන්න කලින් රෝහණ විජේවීර ලඟින්ම හිටපු ඔයාටත් යන්න වුණා. ඒ කියන්නේ හැබෑ නොවන විප්ලවය හිතේ තියාගෙන යන්න වුණා. විප්ලවය ඉක්මණ් නෑ කියලා ජෙප්පෝ අතෑරලා ගියපු එවුන් ටිකක් මහින්දගේ තුරුල්ලේ ඉඳන් මොකක්දෝ ප්‍රාණවත් කරන්න කියලා ට්‍රයි කරනවා, පෙරෙට්ටෝ තමන්ට තියන එකම සටන් පාටේ වෙච්ච “කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන නිදහස“ කියන එක හරියට මාර්කට් කරගන්න බැරිව දඟලනවා, ජෙප්පොන්ට තියන ලොකුම ප්‍රශ්නේ පත්තර එක්ක සටන් කරන එක (ඇත්තටම දැන් විප්ලව කරන්න වෙලා තියෙන්නේ පත්තර මුදදාලිලාට එරෙහිව කියලා රතු අලි පැටියෙක් කියලා තිබ්බලු), ඒ දෙකටම නැති එවුන් කාසියක් උඩදාලා වැටෙන පැත්ත අනුව තමන් අඩිය තියලා ඉන්න තැන තීරණය කරනවා. විමලේ එක්ක ඉන්න එවුන් “බලය..අද නෙවෙයි හෙට“ කියලා හිත හිත ඉන්නවා ඇත. ඒ වගේ එවුන් එක්ක නොඉඳ මැරුණ එකම හොඳයි කියලා මටනම් හිතෙන්නේ.

ඒත් 71 දී 89 දි වධකාගාරවල කටුකම්බි ගුද මාර්ගය අස්සේ ගහපු පී.වී.සී බටේ අස්සෙන් රිංගවද්දි, නියපොතු ගලවද්දි, පණපිටින් පුච්චලා හංදිගානේ දාලා තියෙද්දි, මූණ කුඩුවෙන්න වෙඩිතියලා මරලා දාද්දි ඔහොම ඇඳක් උඩ මැරෙන්න ලැබිච්ච එකම එක වාසනාවන්ත ජෙප්පා(හිටපු) සිරි අයියා වෙන්න ඕන. ඒකම මදිද ඉතින්..

1 comment:

  1. සත පහක වැඩක් නැති හාල්පාරුවෙක්

    ReplyDelete