Jul 1, 2016

කුලය,ජාතිය සහ සංවර්ධනය



වංශවත්යැයි පාරම්බාමින් ලෝකයට අඬබෙර ගැසූවත් බිත්ති කඩාවැටෙන තරමට දරීද්‍රතාව රජකරන වලව්වකට දීග ආ ලේලිය කන්න උයන්නට යමක් නොමැති තැන ලිප ගිනි මෙලවා තාච්චියක් තබා යකඩ හැන්ඳෙන් කබල්ගාන අයුරු දුටු නැන්දම්මා ලේලියගෙන් ඇසුවේ මොනවා කරනවාද කියයා. හැරෙන තැපෑලෙන් නැන්දම්මාගේ සහ සනුහරේම රෙදි ගැලවෙන්නට ලේලිය දුන් උත්තරය ’මං මේ වංශය කබල්ගානවා’ යන්නය. ලේලියගේ උත්තරය තුල තිබුණේ සාම්ප‍්‍රදායික කතාවක එන උපහාසත්මක සත්‍යය වුනත් ඇහැ කණ පේන වෙලාවක ඇස් දෙක ඇර බලන  ඕනෑම සිහිබුද්ධියක් ඇති ලංකාවේ මිනිහෙක්ට පේන්නට ඇතිදෙය නම් දශක ගණනාවක් තිස්සේ අපි කරමින් සිටින්නේද වංශය කබල්ගෑම මිස වෙන කෙහෙල්මලක් නොවන බවයි.

ලංකා ජන සමාජයේ කුලය,ජාතිය,ආගම හා සම්ප‍්‍රදායන් ගැන අනන්තවත් පට්ට පතුරුයන්නට විවේචනය කල අවස්ථාත්, කොතේ චූඩාමාණික්‍යයේ මුදුන් හුලේ තබා ඇගයූ අවස්ථාද දැක ඇත. කොතරම් තදින් ගැරහුවද,පහර දුන්නද එසේත් නැතිනම් නැතිබංගස්ථාන වනතුරු සමාජය දැනුවත් කලද තවමත් ගෝත‍්‍රවාදීත්වය ලංකා සමාජයේ පැලපදියම්වී තිබෙන්නේ බූවල්ලෙක් පරිද්දෙන්ය. එකී බූවල්ලාගේ අඩු විහිදී ඇති තැන් සොයාගන්නවාට වඩා කළුනික සෙවීම ලෙහෙසිවනු ඇතැයි පුද්ගලික අදහසයි. ආනන්ද කුමාරස්වාමී විද්වතාන් විසින් රචිත ’මධ්‍යකාලීන කලාශිල්ප’ කෘතියේ ලංකාවේ කුල සහ ජාතීන් පිළිබඳව විවරණය කරන්නේ වත්මන් සමාජය පිළිබඳ විවෘත මනසකින් බලන්නෙක්ට තවමත් ඒ තත්ත්වයේ ලොකු වෙනසක් නැතිබව අවබෝධරගත හැකිවනු ඇත. එහෙත් කතාකල යුත්තේ කෑලි කෑලිවලට කැඞීගොස් එක් එක් පැතිවලින් ගහමරාගන්න කුලගොත්වල ඇති ලක්ෂණ නොවේය ශ‍්‍රී ලංකාව නැමති ස්වයංපෝෂිතව පැවති රාජ්‍ය මේ තත්ත්වයට ඇදදමනු ලැබූ සහ තවදුරටත් ජරාජීර්ණ කරමින් ඇති ජාතිවාදය සහ කුලවාදය පිළිබඳවය.


ආධ්‍යාත්මික සංවර්ධනයට පයින් ගැසීම 

ජපානයෙන්,කොරියාවෙන් හෝ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වනු ලැබූ වාහනවල බොහොම ආඩම්බරයෙන් අකුරු අලවාගෙන ඇත්තේ ’ශ‍්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි’ යනුවෙන්ය. ඒ ගැන ප‍්‍රශ්නයක් නැත, එහෙත් ප‍්‍රශ්නය ඇත්තේ එසේ බුදුන්ගේ දේශය යනුවෙන් පාරම්බාන නමුත් ’නචච්චා වසලෝ හෝතී - නචච්චා හෝති බ‍්‍රාහ්මණා’ යන බුද්ධ වචනය බල්ලට දමා කටයුතු කිරීමය. අඩුම තරමේ චීවරය දරාගෙන බුද්ධ දර්ශන දේශනාකරමින් ගිහියන්ට යන්නට පාර කියන පැවදි සමාජය පවා මූලික නිකාය තුනකට සහ අනු නිකාය ගණනාවකට බෙදී ඇත්තේ කුලවාදය පදනම් කරගෙනවීමය. යමෙක් වසලයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් වන්නේ උපතින් නොවන බව කියද්දී උප්පැන්න සහතිකයේ වරිගේ නාමය සහ දෙමව්පියන්ගේ වරිග විස්තර අල්ලාගෙන කුලය තීරණය කිරීම හරහා ශාසනය ඇතුලේද සීමා බන්ධන නිර්මාණය කර ඇති රටක ආධ්‍යාත්මික සංවර්ධනය නැමති බයිලාව සදාකාලිකව බයිලාවක් පමණි.

එක්තරා සාමනේර භික්ෂුවකට උභය කුල පාරිශුද්ධ නැතැයි යන අන්ත ගෝත‍්‍රිකවාදී චින්තනය කරේ තබාගත් උන්නාන්සේලා පිරිසක් උපසම්පදාව ලබානොදෙන්නට තීරණය කල නිසා දිවිනහගන්නටද ගොස් අවසානයේ චීවරය අරලිය ගසේ වනා භික්ෂුව උපැවදිවී ගෙදර යන්නට ගියේ ආධ්‍යාත්මික සංවර්ධනය නැමති කඳුමුදුනට කැඳවාගෙන යන මගපෙන්වන්නන් යැයි කියනු ලබන පිරිස විසින්ම සංචාරකයා කන්දෙන් පහලට තල්ලූකරන බව පෙන්වා දෙමින්ය. එහෙව් වහන්දෑලාට අමතකවූ සුනීතලා,සෝපාකලා අද සාසනයේ හිටියානම් උපවැදි වෙන්නට වෙන්නේ කාහටද යන්න අමුතුවෙන් කිවයුතු නැත. 

මිනිසුන් මානසිකව සවිමත් කිරීම උදෙසා ආගමික දර්ශනය විසින් ප‍්‍රදානය කරන අතිශය ප‍්‍රබල සහ මානව හිතවාදී ප‍්‍රවාහයන් විසින් මිනිසා ගෙන යායුත්තේ පරිපූර්ණ මනසක් හිමි ජීවියෙක් යන ඉලක්කයටය. එහෙත් ලංකාවේ බෞද්ධයා පමණක් නොව හින්දු, ඉස්ලාමීය මෙන්ම කතෝලික ආගමික දර්ශනයන් අනුගමනය කරන්නන් බෙදී වෙන්වී සිටින්නේ ලංකාව තුලදී ආගමික දර්ශනයන්ට පවා මුහුණ දෙන්නට වෙන්නේ ලැජ්ජාසහග පසුබෑමකට බවා මනාව ඉස්මතු කරමින්ය. උතුරේ හින්දු ජනයා සහ කඳුකරයේ හින්ඳු ජනයා අතර ඇති ආගමික පදනම් මත බෙදීම, කුල පදනම් මත ඇති බෙදීම කතෝලික ප‍්‍රජාව අතරේද ඇතිබව නොරහසකි. එසේම ඇදහීම් මුල්කරගෙන නිකාය කඩාගෙන දඟලන්නේද එහෙව් මූල බීජයන්හි බලපෑම්මතය. එසේම ඉස්ලාම් ආගම අදහන ප‍්‍රජාව මතද මෙවැනිම බෙදීම් දකින්නට ඇත. ඒවා වැඩිදුර එලියට නොඑන්නට වග බලාගැනීම යන කාරණය නිසාවෙන් ඇතැම් බෙදීම් එළිපිට තිබීම සහ නොතිබීම තීරණයවී ඇත. කෙසේවෙතත් ජාතික රාජ්‍යයක් උදෙසා අවශ්‍ය මානසික සංවරය සහ මානසික දියුණුව මිනිසුන්වෙත ලබාදීමට සංක‍්‍රමණයවී ඇති ආගමික දර්ශනයන්ද ලංකාව තුලදී ශ‍්‍රී ලාංකීයකරණය නැමති ගෝත‍්‍රීකරණයට ලක්වීම නිසාවෙන් බලාපොරොත්තුවූ අරමුණ වෙනුවට කල්ලිවාදය ඉස්මතුව ඇත.

නිදහස සහ ගෝත‍්‍රවාදය

නිදහස සම්බන්ධ සිදුවීම් දාමය සැලකිල්ලට ගැනීමේදී 1818 සහ 1848 ජනතා කැරලි අවසානයේ බි‍්‍රතාන්‍ය කිරීටය ඉදිරියේ ජය පෙනි පෙනී සුන්නදූලි වන්නට සිදුවූ ඛේදනීය තත්ත්වය පිටුපසද උඩරට පහතරට වර්ගවාදය සහ කුලවාදය පදනම් කරගත් බලය සම්බන්ධ සාධක අනන්තවත් සොයාගත හැකිය. අඩුම තරමේ පොදු සතුරෙක්ට එරෙහිව සිදුකරන අරගලකයදී පවා කළු සුද්දන් පිරිසක්, රදළ මානසිකත්වයෙන් රාජ්‍යත්වය සොයා යන පිරිසක් සහ රදළයන්ගේ රාජ්‍යත්වය සොයායන ගමනට මෙන්ම අධිරාජ්‍යවාදයට එරෙහිවද අවි අමෝරන පිරිසක් නැමති කණ්ඩායම් තුනකට බෙදීගිය ස්වදේශිකයන් එම කැරළි අවසානයේ සමූල ඝාතනයෙන් කෙළවර වූහ. එසේම ඉන් අනතුරුව නිදහස දිනාගැනීම උදෙසා කටයුතු කල දේශපාලන ව්‍යාපාරවල තිබුණේද බෙදී වෙන්වී වෙන වෙනම මාර්ගවලින් නිදහස සොයාගැනීම මිසක එක ප‍්‍රතිපත්තියක් හෝ ජාතීන් සහ කුල අතර ඒකාබද්ධ ප‍්‍රයත්නයක් නොවන බව පැහැදිලිය. උදාහරණයක් ලෙස අනගාරික ධර්මපාලතුමන්ලා සිංහල ජාතිය නැගිට්ටවන්නට කෑගැසුවා මිස, පොන්නම්බලම්ලා, සිද්ධි ලෙබ්බේලා ඒ ඒ ජාතීන් නැගී සිටුවන්නට දැඟලූවා මිස පොදු වැඩපිළිවලක් තුලින් නිදහස සොයායන ස්වභාවයක් ප‍්‍රදර්ශනය නොවුනි. ඉන්දියාවට ලද නිදහසට පින්සිදු වෙන්නට අහසින් වැටුණු නිදහස අහුලාගෙන කළු සුද්දන් ලංකාවේ බලය තමන් අතට ගෙන නිදහස වෙනුවෙන් යන්තම් හෝ හඬ නැගූ පිරිස කුණුමුල්ලට දැම්මා මිස (නිදහසේ වීරයන් යන ගරු නම්බු නාමයන් භාවිතා කරමින්) නිදහස උදෙසා ජාතියක් වශයෙන් මහලොකු දෙයක් කලබවට උදම් අනන්නට කිසිම ඉඩක් අපට නොමැත. අද සිදුවෙමින් පවතින්නේද එයට සමාන සිදුවීම් දාමයක් බව පරික්ෂාවෙන් බැලූවහොත් වටහාගන්නට අපහසු නැත.

ඉන්දියානු නිදහස් සටන තුල තිබූ දේශීය චින්තනය සහ නිදහසින් පසු සංවර්ධනය උදෙසාවන පොදු සැලැස්ම හරහා ජාතික රාජ්‍යයක් පිහිටුවීමේ ක‍්‍රමවේදය ලංකාව විෂයෙහිලා පැවතුනේ නැති තරම්ය. කෙසේ හෝ නිදහස ලබාගෙන රට කොහොමහරි පාලනය කරනවා යන්න මිස එහි දියුණුවට අවශ්‍ය ජාතික සමගිය සහ ජාතික චින්තනය නිර්මාණය කිරීමට ලංකාවේ කිසිම දේශපාලන ව්‍යාපාරයක් කටයුතු නොයෙදීය. විශේෂයෙන්ම ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියා වූ ගාන්ධිගේ චින්තනය වූයේ ජාතික රාජ්‍යයක් උදෙසා මුලින්ම රටතුල පැසවා කුණු පණුවන් ගසමින් තිබූ කුලවාදය,ජාතිවාදය සහ ආගම්වාදය පිටුදැකිය යුතු බවය. එසේ නොවන්නට නිදහස් ඉන්දියාවක් යනු තවත් එක දවල් හීනයක් බව ගාන්ධි හොඳින් දැන සිටියහ. ඒ කාර්යය සඳහා ගාන්ධි බ‍්‍රාහ්මණයන් මෙන්ම හරිජනයාටද එකසේ සලකල ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයකට අවතීර්ණවිය. අස්පර්ශනීයත්වයට එරෙහිවෙමින්, ආගමික ස්ථානවල ඇතැම් ජනකොටස්වලට තිබූ බාධාවන් ඉවත්කිරීම වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තබන්නට ගාන්ධි ප‍්‍රමුඛ ඉන්දීය නිදහස් සටනේ නායකයන් කටයුතු කලහ. එහෙත් ශ‍්‍රී ලංකාව දෙස ඒ කෝණයෙන් බැලූවහොත් දැකගත හැක්කේ පෙරකී දුර්මත කරපින්නාගෙන තවමත් ජාතිවාදයේ,කුලවාදයේ හා ආගම්වාදයේ කුණුවූ මළමිනී ඔසවාගෙන යන අදීන චින්තනයක් මිස ඒවා අතහැර තිරසාර සංවර්ධනයක් සොයායන සමත් ජාතියක් නොවන බව පැහැදිලිය.

දේශපාලනයේ පවුල්වාදයේ මූලාරම්භය 

පෙර සඳහන් කල නිදහසින් පසු බලය අත්පත්කරගැනීම හරහා මෙරට බලය වෙනුවෙන් කණ්ඩායම් තුනක් පෙලගැසී සිටියහ. අධිරාජ්‍යවාදීන්ගේ සෙවණෙහි වැඩුණු කළුහම ඇති පිරිසක්, සාම්ප‍්‍රදායික රදළ වංශය පෙරටුකරගත් වැඩවසම් ක‍්‍රමය තුල බලඅධිකාරිත්වය දැරූ පිරිසක් සහ දේශීය වෙළඳ යාන්ත‍්‍රණය අධිරාජ්‍යවාදීන්ගෙන් පසු සියතට ගත් ව්‍යාපාරික පැලැන්තියක් බිහිව තිබිණි. එම ව්‍යාපාරික පැලැන්තිය විසින් මෙරට අපනයන බෝග වෙළඳාම,ලූහු කර්මාන්ත සහ අරක්කු රේන්ද වෙළඳාම තමන් සන්තකයෙහි පැවතීම නිසා තිබුණු ආර්ථිකමය ශක්තිය නිසාවෙන් දේශීය දේශපාලනික බලයට අභියෝගකරමින් සිටියහ. එහෙයින් පෙරකී කණ්ඩායම් තුන හරහා පවුල් දේශපාලනයේ මූලිකම පදනම වැටුණි. ඒ අතරින් විටින් විට ජාතිවාදය සහ ආගම්වාදය මෙන්ම කුලවාදයද රිසිසේ ඉස්මතුවූ අතර පවුල්වාදය හා මිශ‍්‍රවුණු කුලවාදයේ ව්‍යාප්තිය අඩු නැතිව සිදුවනි.

ඉන් පසුව ලංකාවේ දේශපාලන ගමන සම්පූර්ණයෙන්ම වාගේ කුලවාදය සහ ජාතිවාදය පදනම් කරගත් මාර්ගයක් ඔස්සේ  කිසිදු විලිබියක් නොමැතිව වැටී තිබිණි. දේශපාලන පක්ෂ සඳහා අපෙක්ෂකයන් තෝරාගැනීමේ සිට ජනතාව විසින් ඡුන්දය ලබාදීම මෙන්ම පත්කල මන්ත‍්‍රීන් දක්වාම ක‍්‍රියාත්මක වූයේ කුලවාදයේ බලපෑමය. උදාහරණයක් ලෙස මාතර මැතිවරණ කොට්ඨාශය ගෙන බැලූ කල්හි දුරාව නැමති කුලය නියෝජනය කරන පුද්ගලයෙක් පත්කිරීමට සෑම පක්ෂයක්ම උත්සහ දරන බව අධ්‍යයනය කල හැක. එසේ පසුගිය දශක කිහිපයෙහිම මහජන ඡුන්දයෙන් පත්වෙන්නේද දුරාව කුලය නියෝජනය කරන අපේක්ෂකයෙකි. එයට හේතුව එම මැතිවරණ කොට්ඨාශය තුල වැඩිපුරම ජීවත්වන්නේ දුරාව කුලය නියෝජනය කරන පිරිස වීමටත් වඩා ආගමික,පරිපාලනමය,ප‍්‍රභූ මෙන්ම ව්‍යාපාරික පන්තියද නියෝජනය කරන බලපෑම් එල්ලකල හැකි පිරිසක් සිටීමය. මෙවැනි උදාහරණ ඇතිතරම් ලබාදිය හැකිය.
පවුල්වාදය සේනානායක පවුලෙන්,බණ්ඩාරණායක පවුලටත් එතැනින් රාජපක්ෂ පවුලටත් හුවමාරුවන අතර ජයවර්ධන පරපුර, ගුණවර්ධන පරපුර,රත්වත්තේ පරපුර වැනි පවුල් සහ පරපුරු අතර මාරුවීම එකල එතරම් ප‍්‍රබල මාතෘකාවක් නොවූවද අදවනවිට පවුල්වාදයේ බලපෑම් සහ විනාශයන් නිසාවෙන් එය වැදගත් මාතෘකාවක් බවට පත්ව ඇත. පැටව් ගහන පරිද්දෙන් දේශපාලනයට එකතුවී,නිලතල දරමින් රටේ සම්පත් සූරාකමින් රජකරන පවුල්වාදයට මූලික අඩිතාලම වැටෙන්නේ පෙරකී බෙදීම් සහ ගෝත‍්‍රවාදයේ මූලිකාංග මතින්ය. එය කොතෙක් දුරට ලංකාවේ දේශපාලන යාන්ත‍්‍රණයට බලපා ඇතිද යන්න අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසාවෙන් දේශාපාලනය මගින් සංවර්ධනයට දිය යුතු තීරණාත්මක තල්ලූව නොලැබෙන්නට ප‍්‍රධාන හේතුව වී ඇත්තේද මෙයයි.

සංවර්ධනය වෙනුවට පසුගාමීත්වය 

කුලවාදය,ජාතිවාදය වැනි හේතූන් මත කොතරම් මානව සම්පත් සහ භෞතික සම්පත් ප‍්‍රමාණයක් ඌන උපයෝජනය හෝ විනාශයට පත්ව ඇත්දැයි සලකාබැලිය යුතුය. ජාතිවාදී ලේ වැගිරීම් නිසා කොතරම් දියුණු බුද්ධියකින් හෙබි ජීවින් පිරිසක් මේ දූපත් රාජ්‍යයට අහිමිවී ඇත්ද. එම මුදලින් හෝ වෙනත් ඒකකයකින් ගණන් කල නොහැකි තරමට විශාලය. මුල්බැසගත් ප‍්‍රාථමික සංකල්පවල එල්බගෙන රටේ දියුණුවට මගකිව හැකි දක්ෂයින් විශාල සංඛ්‍යාවකට මේ බිම වහකදුරු වන තරමට අප‍්‍රසන්න තැනක් කරන ලදි. ඒ හැමදේ තුලින්ම වක‍්‍රාකාර සහ සෘජු ප‍්‍රතිලාභ ලැබූ අන්තවාදීන් සහ බඩගෝස්තරවාදීන් පිරිසක් මෙරට තුල බල අරගලයේ යෙදී සිටි බැවින් කුලවාදය සහ ජාතිවාදය වනාහි ඔවුන්ගේ ප‍්‍රධානතම තුරුම්පු බවට පත්ව තිබිණි. එවැනි සිදුවීම් නිසා සංවර්ධනයේ පෙරගමන වෙනුවට දිනෙන් දින ජරා ජීර්ණව බිඳවැටෙන අසමත් රාජ්‍යය ගණයට ශ‍්‍රී ලංකාවද වැටුණු බව පිළිගත යුතුය.

සිංගප්පූරුව සංවර්ධනයේදී ලී ක්වාන් යූ භාවිතා කලේත්, මැලේසියාව සංවර්ධනයේදී මහාතීර් මොහොමඞ් භාවිතාකලේත් වර්ගවාදයන් පිටුදකින්නාවූ දේශපාලන දර්ශනයන්ය. ධනේෂ්වර ආර්ථික ක‍්‍රමවේදයන් විසින් සාපේක්ෂව වර්ගවාදිත්වයන් පැත්තකට දමා ආර්ථිකමය වටිනාකමක් ඇති මුදල් මූලික කරගත් සමාජ ප‍්‍රාග්ධන ව්‍යූහයක් නිර්මාණය වෙද්දි ජනතාවට පටු ගෝත‍්‍රිකවාදයන්හි ගිලී සිටීම තුලින් සිදුවන්නේ තමන් විසින්ම තමන්ගේ ගෙල සිරකරගැනීමබව අවබෝධවන තැනට කටයුතු සිදුවුණි. ඒ නිසාවෙන් එවැනි පටු මතවාද අතහැර සංවර්ධනය නැමති පොදු ඉලක්කය සහ ඉහළ ජීවන රටාවක් යන පුද්ගලික ඉලක්කයත් ජනතාව විසින් අත්පත්කරගැනීම නිසාවෙන් බොහොමයක් සංවර්ධිත රාජ්‍යයන් ධනය අතින් පමණක් නොව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් යන ක්ෂේත‍්‍රවලින්ද සංවර්ධනය වෙත තිරසාර ගමනක් ගිය බව පැහැදිලිය. නමුත් ලංකාව දෙස බැලීමේදී මෙය සිදුව ඇත්තේ වැරදි පැත්තටය.

එහෙත් ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉහළම ස්ථරය සහ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ඉහළම ස්ථරය දෙස විමසිල්ලෙන් බැලූවහොත් ඔය කියන කිසිඳු ආකාරයක ජාති භේදයක් හෝ කුල භේදයක් නොපවතින බව අවබෝධකරගත හැකිය. එසේනම් බිම් මට්ටමේ දුක් විඳින ජනතාව වැඩි වශයෙන් සහ මධ්‍යම ප‍්‍රාන්තික පිරිස යම්තාක් දුරටද කරතබාගෙන යන කුල හා ජාතිවාදය විසින් බැට කන්නේද ඔවුන්ම මිස වෙන කිසිවෙකු නොවේය. එසේම අදටද ලංකාවේ කුල ධූරාවලියක් අලිඛිතව නිර්මාණයවීම සහ එහි ඉහළ අංකවල සිටින කුලයන් විසින් අවාහ විවාහයන් හි සිට වෘත්තීය දක්වාම භේදය නඩත්තු කරමින් සිටින්නේ ස්වකීය ජරාජීර්ණ පැවැත්ම උදෙසා පමණක්මය. එබැවින් ලංකාවේ සංවර්ධනයේ ගමන්මග හරස්කර ඇති බරපතලම බාධකයක් ලෙස ගෝත‍්‍රවාදය හඳුනාගත යුතුව ඇත.

සැබෑ බෙදුම්වාදය 

දශක ගණනාවක් තිස්සේ බෙදුම්වාදය යන වචනයට විවිධ නිර්වචන දෙමින් සහ බෙදුම්වාදී ගෝනි බිල්ලා නඩත්තු කරමින් සිටින අරාජික සංස්කෘතියක් තුල බෙදුම්වාදය යනු ෆෙඩරල් සංකල්පය යටතේ සිදුවන භූමිය අදාලකරගත් බෙදීම හෝ ජාතිකත්වය පදනම් කරගෙන සිදුකරන යුදමය බෙදීමක් නොවන බව අප අවබෝධකරගත යුතුව ඇත. සැබෑම බෙදුම්වාදයනම් අපි අවුරුදු දහස් ගණනක් තිස්සේ කරපින්නාගෙන එන පුහු කුලවාදය සහ ජාතිවාදය පමණක්මය. එම බෙදුම්වාදයට වඩා බලවත් කිසිඳු බෙදුම්වාදයක් නොමැතිබව ඓතිහාසික සාධක තුලින් දැකගත හැකිය. දකුණේ සිදුවූ තරුණ අසහනය මුල් කරගත් අරගලයටද දකුණේ ගොවි කුලවාදය පදනම් කරගත් සමාජ අසාධාරණය ප‍්‍රබල හේතුවක් විය. එසේම උතුරේ බිහිවුණු කැරැුල්ල පැත්තෙන්ද එවැනිම ආකාරයේ වෙල්ලාලයන්ගේ කුලවාදය නිසාවෙන් බැටකෑ පිරිසක මූලිකත්වය කැපී පෙනිනි. ඒ නිසාවෙන් රට අභ්‍යන්තරයේ ඇතිවූ බොහොමයක් සිවිල් ප‍්‍රශ්නවලට පටු ගෝත‍්‍රවාදිත්වයන් දැඩි බලපෑමක් එල්ලකර ඇති බව පැහැදිලිය.

ඒ නිසාවෙන් තේරුම්ගත යුතු බරපතලම කාරණය වන්නේ අපි බෙදුම්වාදය ලෙස වලිගයෙන් අල්ලාගෙන මෙලෝ සිහියක් නැතිව පොලූ පාර දෙන්නේ වැරදි සතාට බවය. අප අතරම බරපතල ලෙස ප‍්‍රධාන,අනු සහ සූක්ෂම කොටස්වලට බෙදී ඇති කුලක‍්‍රමය වනාහි බෙදුම්වාදයේ මූලික හරය බව පැහැදිලිය. අතීතයේ යක්,රක්,නා,අසුර ලෙස ජීවන වෘත්තීන් හා බැඳුනු උප සංස්කෘතියක් ලෙස බෙදා වෙන්කර සිව්හෙළය සිංහලය බවට පත්කලේද, පසුව කුලශ්‍රේණි දහසයකට අනුව වෘත්තීය ක්ෂේත‍්‍රයන්ගෙන් තව දුරටත් බෙදා වෙන්කලේ සහ ඊටත් පසු වැඩවසම් ක‍්‍රමය අවසන්වූවද කුල ධූරාවලියක් නිර්මාණය කරගෙන රාජපාක්ෂිකභාවය සහ වෘත්තීය ක්ෂේත‍්‍රය අනුව බෙදීමද සිදුවිය. ඒ ආකාරයෙන් රාජ්‍ය බලය,සම්පත් හිමිකම යනාදී බොහෝදේ කුලවාදිත්වය මත තීරණය විය. එබැවින් සැබෑම බෙදුම්වාදය යනු දිනපතා දේශපාලඥයන් හෝ මාධ්‍ය විසින් පට්ට පතුරු හරින බෙදුම්වාදය නොවන බව පමණක් මතක තබාගත යුතුය.

නොනිමි සටන

දැන් ලංකාව සිටින්නේ තීරණාත්මක අවධියකය. ඒ මන්දයත් පැවති පාලනය සහ වත්මන් පාලනය අතර ආර්ථිකමය වශයෙන්,මතවාදීමය වශයෙන් විශාල වෙනස්කම් ඇතිවාක් මෙන්ම මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට ඇති වුවමනාව පැත්තෙන්ද වෙනස්කම් දක්නට ඇත. එබැවින් වත්මන් පාලනය කුලවාදය සහ ජාතිවාදය වැනි සංකල්ප කෙරෙහි දක්වන ප‍්‍රතිචාරද වෙනස්විය යුතුමය. එබැවින් මෙම සංක‍්‍රාන්ති සමය ඔස්සේ කඩාගතහොත් මිස ගෝත‍්‍රවාදිත්වයේ ගල්කුළු සෙලවීමට හෝ අවස්ථාවක් නැවැත ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. සමස්ත සමාජයක් ලෙස සංවර්ධනය මෙන්ම මානව සමාජයේ උත්තරීතරභාවයටද මරුපහර එල්ලකරන පටු සංකල්පවලට එරෙහිව පොදු ස්ථාවරයකට පැමිණිය යුතුව ඇත.

කුලවාදය හෝ ජාතිවාදය නිසාවෙන් පීඩා විඳින්නේ අඩුකුල හෝ සුළුජාතියැයි ලොකු අකුරෙන් හුවාදක්වන පිරිස පමණක්ය යන පුහු තර්කයෙන් අත්මිදිය යුතුය. සමස්ත සමාජයටම අඩු වැඩි වශයෙන් මේ විසබීජයන්ගේ බලපෑම එල්ලවී ඔත්පලව ඇත. එසේ රෝගී ශරීරය ඔසවාගෙන තිරසාර සංවර්ධනය දෙසට අඩිය තැබීම යනු පට්ට බොරුවක් බව අප හොඳින් තේරුම්ගත යුතුව ඇත. තවද පිටුදැකීම වනාහි සමාජයක් විසින්ම මිස එක් එක් පුද්ගලයාට සිදුක හැකි යමක් නොවන බව තේරුම්ගන්නා තාක්කල් ලංකාවට මේ ජරාජීර්ණ තත්ත්වයේම සිටින්නට සිදුවණු ඇත.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
2016.05.15 ඉරුදින
(ඡායාරූප - අල් ජසීරා වෙබ් අඩවිය)

4 comments:

  1. ගොඩක් හොඳ කාලීන ලිපියක් ...!

    ReplyDelete
  2. සැහෙන්න වටිනා ලිපියක් . ආවේ ලංකා සිතුවිලි හරහා..
    අපේ පැත්තටත් ඇවිත් බලන්න...
    http://helmalu.blogspot.com.au/2016/07/blog-post_8.html
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා. ඔබගේ බ්ලොග් අඩවියටත් ගොඩවැදුනා

      Delete