Oct 19, 2015

ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට අභාගයක් නොවන්නට..


ශිෂ්‍යත්වත විභාගය යන කඩයිම ලංකාවේ කිසිඳු දරුවෙක්ට රැකියාවක් සොයාදෙන හෝ උසස් අධ්‍යාපන වරම් ලබාදෙන අත්‍යාවශ්‍ය සුදුසුකමක් නොවන බව අපි ඉතා හොඳින් දන්නා කරුණකි. හුදෙක්ම අතීතයේ “අට පාස්“ සාධකය තරම්වත් අද “පහ පාස්“ සාධකය පුද්ගල ජීවිතයේ උන්නතියට දායකත්වය සපයන කරුණක් වී නොමැත. එවැනි තත්වයක් යටතේ දෙමව්පියන් විසින් තමන්ගේ සුරතල් දරුවන් අවුරුදු හතරේ, පහේ සිට ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගෙන සූදානම්වීම කොතරම් ප්‍රායෝගිකදැයි ප්‍රශ්නකර යුතුය.

            ශිෂ්‍යත්ව විභාගයේ ඇති එකම වටිනාකම ගම්බද හෝ දුෂ්කර පාසලක අධ්‍යාපනය ලබන පහ ශ්‍රේණියේ දරුවාට නගරයේ පාසලකට යන්නට වරම් ලැබෙනා එකම අවස්ථාව එය විය හැකි නිසාය. නමුත් ගම්බද පාසල්වල සහ නගරබද පාසල්වල පහසුකම්, අධ්‍යාපන තත්ත්වය වැනි සාධක අතර විෂමතාවක් ගොඩනැගීමට ඉඩදීම නිසාම එවැනි වටිනාකමක් පැමිණියා මිසක මීට දශක කීපයකට පෙර පැවති ග්‍රාමීය අධ්‍යාපන මට්ටම එසේම පැවතියානම් එම වටිනාකමද හුදෙක් පුස්සක් වන්නට ඉඩ තිබිණි. තවද පහ ශ්‍රේණියේ දරුවන්ට තමන්ගේ වසර පහක පාසල් අධ්‍යාපනයේ ප්‍රතිඵල මැනීමට යම්කිසි වැදගත් සන්ධිස්ථානයක් වන්නට ඉඩ තිබිණු ශිෂ්‍යත්ව විභාගය තුල එම මැනීමටද ඇති ඉඩකඩ ඇහිරී ඇත්තේ අසාමාන්‍ය තරඟය සහ පොරය නිසාවෙන්මය.


            ශිෂ්‍යත්ව විභාගයේ මෙවර කඩයිම් ලකුණු සංඛ්‍යාව අනුවද පෙනීයෙන්නේ දළ වශයෙන් අදාල විභාගයට 80%කට වැඩි ලකුණු ලබාගත් දරුවන් සමත් බවත්, අනිකුත් දරුවන් අසමත් බවත්ය. එසේනම් 79%ක ලකුණු ලබාගත් දරුවන් පවා අසමත් ගණයට වැටීම සත්‍යය තත්වයයි. එක ලකුණකින් අසමත් වූ දරුවා සමස්ත විභාගයට 75%ට ත් වඩා ලකුණු ලබාගත් දරුවෙකි. එසේනම් සැබෑ ලෙසම එම දරුවා අසමත් ලෙස නම්කල හැකිද. එසේම මේ “අසමත්“ ලකුණ හේතුවෙන් දරුවන් කී දෙනෙකුගේ නම් මානසික තත්වය බිඳවැටී අනාගත අධ්‍යාපන ගමන කඩා නොවැටේ යයි කාහට කිව හැකිද. තවද දෙමව්පියන් ඇතුළු සතර වරිගයේ ඥාතී හිතමිත්‍රාදීන්ගේ බලපෑම් සහ අප්‍රසාදය තුල දරුවන් කීදහසකගේ ජීවිතයේ ප්‍රකෘති තත්වය ගිලිහී යනු ඇත්ද? මෙය බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්වන්නේ එතනදීය.

            පසුගිය රජයේ අවසන් භාගයේ ශිෂ්‍යත්ව ලකුණු සහ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ඇතිවූ ගැටළුව හේතුවෙන් සහ ජන සමාජය තුලින් පැන නැගුනු දැඩි ප්‍රතිරෝධය හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය නවතා දමන්නටද රජය ඇතුළු අධ්‍යාපන බලධාරීන් සූදානම් විය. එයට පක්ෂව මෙන්ම ප්‍රතිපක්ෂව ද මත ගණනාවක් ඉදිරිපත්වී අවසානයේ කෙසේ හෝ ශිෂ්‍යත්ව විභාගය පුරුදු පරිදිම ඉතිරි විය. ඒ නිසාම දෙමව්පියන් අද ද දරුවන්ට එල්ලකරන පීඩනය අවසන්වී නැත. පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ප්‍රමාණය පසුව වෙනස් කිරීම තුලින්ද අධ්‍යාපන බලධාරීන් පෙන්වා දුන්නේ ඔවුන්ගේ අසමත්භාවය මෙන්ම දරුවන්ගේ ජීවිත සමග කරන සෙල්ලම නතරකර නොමැති බවයි.


            අපගේ යෝජනාව වන්සේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූවාට කමක් නැත, නමුත් එහි ක්‍රියාවලිය විධිමත් විය යුතුය. එහි සමත් ලකුණු ප්‍රමාණය අවම වශයෙන් මුළු ලකුණු සංඛ්‍යාවෙන් 50% - 60% ප්‍රතිශතය දක්වා අවම වශයෙන් පහත දැමිය යුතුය. එසේත් නැතිනම් මේ සමත් ලකුණු කඩයිම යන සංකල්පය පසෙක දැමිය යුතුය. එපමණක් නොව ජනප්‍රිය පාසල් වලට තෝරාගන්නා කඩයිම් ලකුණු සංඛ්‍යාව යම්තාක් දුරට සහනදායී ලෙස වෙනස්කල යුතුය. එවිනට ශිෂ්‍යත්වය සමත්, එහෙත් ජනප්‍රිය පාසල් අහිමි දරුවන් බිහිවිය හැක, නමුත් වර්තමානයේ දරුවන් ලක්ෂ ගණනක් අත්විඳින අසමත්වීමේ මානසික පීඩාව එයින් මිදීයනු ඇත. එසේම දීර්ඝ කාලීනව ජනප්‍රිය පාසල් යන සංකල්පයට පයින් ගසා ගම්බද පාසල් පද්ධතියද නිසිලෙස සවිබලගැන්වීම සිදුකලහොත් ශිෂ්‍යත්වයද පැත්තකට දමා නිසි අධ්‍යාපන රටාවක් ඔස්සේ ප්‍රාථමික අංශයේ සිටම දරුවා උසස් අධ්‍යාපනය වෙනුවෙන් මග සලසා දිය හැකිවනු ඇත. එවිට ශිෂ්‍යත්ව විභාගය බහුතරයක් දරුවන්ට අභාගයක් නොවන තැනට පත්වනු ඇත.

(2015.10.18 ඉරුදින පුවත්පත)

1 comment:

  1. ඔන්න ඔය ඉලව්වේ විභාගය තියන්නම ඕනේ නම් ඕක අර දුෂ්කර පාසල් වලට විතරක් පවත්වන්න ඕනේ. ඒ කරලා ශිෂ්‍යත්ව ටියුෂන් තහනම් කරන්න ඕනේ.

    ReplyDelete