Jul 1, 2015

ජනතා විමුක්ති පෙරමුණ කොතනටද?



2010 ජනාධිපතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණට වැරදුණ තැනකි. සෘජුවම එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ සමග ඒකාබද්ධව එවකට පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතාට සහය පලකිරීම තුලින් අවසානයේ ලැබූ පරාජය හේතුවෙන් ජ.වි.පෙට බොහෝ දේ අහිමිවිය. ඒ අහිමිවූ දේ අතර එතෙක් ජ.වි.පෙ රැකගත් දේශපාලන දර්ශනයේ හර සම්පන්න කාරණාද විය. එය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ.වි.පෙ නිර්මාතෘ එහි අසහාය නායක රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කල එක්සත් ජාතික පක්ෂය සමග සමගි සන්ධානගතවීම තුලින් ධනවාදයේ රෙදි කඩේ එක් කොණක ගැට ගැසීම තුලින් සෝමවංශ ඇතුලු පිරිස විශාල වරදක් කරගත්හ.

   ඊටත් පෙරාතුව චන්ද්‍රිකා ආණ්ඩුව සමග පරිවාස ආණ්ඩු ගසන්නට ගොස් ජ.වි.පෙ තමන්ගේ බිම් මට්ටමේ කාඩරය මෙන්ම පක්ෂ පරිපාලන ව්‍යූහයද විශාල අර්බුදයකට නතු කරන ලදි. විශේෂයෙන්ම මනාප පොරයට වැටීම තුලින් වසර තිහකට අාසන්න ජ.වි.පෙ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලම් තබාගත්හ. එහෙත් එසමයෙහි ජ.වි.පෙ ස්වර්ණමය සමයක් ලෙස සැලකිය හැකි යමක් වන්නේද එහි වැඩිම පාර්ලිමේන්තු නියෝජනයක් සිදුවූ සමය මෙන්ම වැඩක් කල හැකි ඇමති ධූර කීපයක්ද ජ.වි.පෙ ට හිමිවූ නිසාවෙනි. එහෙත් පරිවාස ආණ්ඩුවෙන් දික්කසාද වූ ජ.වි.පෙ ට නන්දන, විමල් වැනි ප්‍රමුඛ පෙල චරිත අහිමිවූ අතර අවසානයේ පක්ෂ අර්බුද මැද පක්ෂයේ තිරය පිටුපස ක්‍රියාකාරීම චරිතයක් වූ කුමාර් ගුණරත්නම් ඇතුලු පිරිස ජනරළ ලෙසින් කඩාගෙන යන්නට ගියහ. 


   ඒ සියලු වැරදි වලින් අනතුරුව අනුර කුමාරගේ නායකත්වය යටතේ 2015 ජනපතිවරණයේදී ජ.වි.පෙ එක මොළේ ඇති වැඩක් කරන ලදි. එනම් පොදු අපේක්ෂකයාට සෘජුවම සහය නොදක්වා වහෙන් ඔරෝ සහය දීමයි. “රාජපක්ෂගේ කඩේ බඩු වගේම මෛත්‍රී කඩේ බඩුත් තමන්ට ෂුවර් නැති බව“ පවසමින් ජ.වි.පෙ ඉදිරියට එන ඕනෑම බාල්දියකට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් රාජපක්ෂ විරෝධී එහෙත් මෛත්‍රී හිතෛශී නොවන මැතිවරණ ව්‍යාපාරයක නිරතවිය. එයින් ජ.වි.පෙ විශාල ජනප්‍රසාදයක් අත්කරගන්නා ලදි. වැටී තිබූ බිම් මට්ටමේ ඡන්ද පදනම යම් මට්ටමකින් ඉහල දා ගැනීමට සහ පක්ෂයේ ස්ථාවරත්වය තබා ගැනීමට ඒ සියල්ල සාධක විය.

   ජනවාරි 8 මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු මෛත්‍රීගේ ඡන්ද ලක්ෂ 62 මල්ල නොලිහාම තිබෙන විට මුලින්ම ඒ මල්ලෙන් තමන්ගේ ඡන්ද කොටස වෙන්කරගන්නට සූදානම් වූයේ ජනතා විමුක්ති පෙරමුණමය. ජනපතිවරණයෙන් පසු අන්දුන් කුන්දුන් වී සිටි ජනතාවට දේශපාලන සංක්‍රාන්තියේ සැබෑ ස්වරූපය සහ ඉදිරියට කල යුත්තේ කුමක්ද යන්න තේමාකරගෙන නගරයක් නගරයක් පාසා මහ මැතිවරණය ඉලක්ක කරගෙන විවෘත වේදිකා නිර්මාණය කරගෙන ජ.වි.පෙ රජ ගමනකට වැඩ ඇල්ලුවේය. ඒ පැමිණි ජන රැල්ලට නියත වශයෙන්ම මහ මැතිවරණයකින් ජ.වි.පෙ ට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 15 ඉක්මවිය හැකි මට්ටමක් තිබිණි. ඔවුන් තනිව තරඟ කර ලබා ඇති ඉහලම පාර්ලිමේන්තු නියෝජනය වන්නේ ආසන 16 ඉක්මවිය හැකි මට්ටමක්ද පෙනෙන්ට විය.

   නමුත් ඒ අතර ජ.වි.පෙ වැරදි කීපයක් කරගත්හ. ඇතැම් දිස්ත්‍රික්ක වලට වෙනත් දිස්ත්‍රික්ක වලින් ජනප්‍රිය ජ.වි.පෙ නියෝජනයන් ගෙනැවිත් පැරිෂූට් කාරයන් මෙන් ඉදිරිපත් කරන්නට විය. එය සන්ධාන රජය, එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂ පසුගිය සමයේ අනන්තවත් සිදුකර ජනතාවට එපාම වූ පියවරකි. ප්‍රතිපත්තිගරුක පක්ෂයක් ලෙස නම්දරා සිටින ජ.වි.පෙ එවැනි බාල පියවර අනුගමනය කරමින් යන්නට අපේක්ෂාකල ගමන එතරම් කාලෝචිත නොවීය. අනිත් වරද වූයේ අනුර කුමාර දිසානායක ඇතුලු කිහිප දෙනෙක්ට එරෙහිව එ.ජා.ප රජය සමග ඩීල් ඇතැයි යන චෝදනාවට අනුර කුමාර සාධනීය පිළිතුරු ලබා දීමට සමත් නොවීම තුලින් චෝදනාවේ යම්කිසි හරයක් ඇතැයි යන නිගමනයට ජ.වි.පෙ දෙසට වැටෙන්නට තිබූ පාවෙන ඡන්ද පදනමට මෙන්ම ජ.වි.පෙ පොදු ඡන්ද පදනමද ඇද වැටීමයි. එසේම සෝමවංශ අමරසිංහගේ නික්මයාමද සැලකිය යුතු මට්ටමේ හානියක් ජ.වි.පෙ නැගී සිටීමට සිදුකරන ලදි.

   වර්තමානය වන විට උද්ගතවී ඇති තත්වය මත එළඹෙන මහ මැතිවරණය සමයේ විශේෂ ප්‍රයත්නයක් දියත් නොකරන්නට ජ.වි.පෙට පාර්ලිමේන්තු ආසන 7 ඉක්මවා යාමේ ශක්‍යතාවක් පෙනෙන්නට නැත. අප්‍රේල් 23 පාර්ලිමේන්තුව විසුරවා ඡන්දයට යන්නට රජය ක්‍රියාකරානම් ජ.වි.පෙ ඉදිරි ඉරණම එතරම් කටුක නොවන්නට ඉඩ තිබිණි. එහෙත් තත්වය එතරම් සුභදායී නොවීය. දැන් ඔවුන් මහින්දගේ වැරදි මෙන්ම මෛත්‍රීගේ වැරදි හෝ රනිල් ගේ වැරදි කිව්වාට එතරම් බලපෑමක් නැත. එය ඡන්ද පදනම ගොඩනගාගැනීමට මේ මොහොතේ එතරම් උත්තේජනයක් සැපයීමට අපොහොසත් වනු ඇත. 

   අනුර කුමාර සාර්ථක කථිකයෙක් හෝ සාර්ථක දේශපාලඥයෙක් වූවත් තීරණාත්මක මොහොතක පක්ෂය වෙනුවෙන් ක්‍රියාත්මකවූ ආකාරය එතරම් ප්‍රායෝගික මෙන්ම උපක්‍රමශීලීද නොවීය. ඒ හේතුවෙන් පක්ෂයකට තිබිය යුතු ඡන්ද පදනමේ වර්ධනය නිසි ලෙස අත්කරගැනීමට නොහැකිවිය. විශේෂයෙන්ම මෛත්‍රීට ඡන්දය දුන් ඡන්ද මල්ලෙන් උපරිමය අත්කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැකිවිය. එය ඔවුන්ගේ හෙට දවසට දැඩිව බලපානු ඇත.

6 comments:

  1. ජවිපෙට හැමදාම වැරදුනේත්, වරදින්නේත් අවස්ථාවාදීව ජාතිවාදය කර පින්නා ගත් කාලෙටයි!

    ReplyDelete
    Replies
    1. ඔබ කොයි තරම් වැරදිද
      ජවිපෙ එසේ කළ හැම විටම ඔවුන් අතිසාර්ථක වුනා. අසාර්ථක වුනේ ඒ ප්‍රතිපත්තිය අත හැරදැමූ විටයි. 2004 දී මන්ත්‍රී දූර 40 ක් ගත් හැටි මතක නැද්ද
      40 යනු එකගත්වය. ඒ මොහොතේ ඊට වැඩි ගානනක් දිනාගෙන රාජ්‍ය බලය ගන්නත් ඔවුන්ට හැකියාව තිබුනා.
      ඔවුන් වික්‍රමබාහු මොඩලයට වැටෙන විට අසාර්ථක වුනා

      Delete
  2. වෑරදි ගනන්බෑලීමක්.2001කේ ඵක මන්ත්‍රීදූර 16ක් ගත්තා.මට හිතේන්නේ මේපාර ඵ් ආසන්නයට ඵන්න පුලුවන්.
    අද්‍යාපනය ලබන තරුනයෙක් හෑටියට මට හිතෙන්නේ, මේරටේ යමක්ක් කරන්න ඔනකමක් තියන හෑකියාවක් තියන පක්ශෙකට ඉන්නේ ජේවීපී ඵක විතරයි.අනෙක් පක්ශ දේකේම නායකයොයි ආදාරකාරයොයි කරන්නේ තමුන්ට පුලුපුලුවන් විදියට හොරාකාල බඩවඩාගන්න ඵක.ඵ්තනින් වෙනස්වෙන විදියෙ මිනිස්සු ඉන්නේ ජේවීපී ඵකේ විතරයි.ඔවුන් ඔනම වෑඩකට බොක්කෙන් බහින පක්ශයක්.

    ප්‍රසිද්ද කතාවක් තියනවානේ රටක පාලනයට පත්වෙන්නේ ඵ් රටේ ජනතාවට හරියන නායකයෝ කියලා.
    අපේරටට වෙලාතියෙන්නේ මිනිස්සු කුහකයි, අවස්තාවාදී.....ඵ් නිසා පත්වෙන්නේත් ඵ් ජාතියෙම උන් තමයි.ජේවීපී වගේ පක්ශවල වටිනාකම පේන්නේ නෑ.

    ජේවීපී ඵකේ අඩුපාඩු තියනවා...හෑබෑයි මචන්ලා අලියට අතට බුලත්කොලේට වෑඩිය පට්ට හොද තෑනක ඉන්නේ ඔවුන් !

    ReplyDelete
    Replies
    1. //මේරටේ යමක්ක් කරන්න ඔනකමක් තියන හෑකියාවක් තියන පක්ශෙකට ඉන්නේ ජේවීපී ඵක විතරයි.// මෙහෙම තමයි බොහොම දෙනෙක් මේ පාර විසුරවන්න පෙර ජනතාව බොහොම දෙනෙකු හිතා හිටියෙ. ඒත් මනාප ක්‍රමයට පක්ෂ වෙන්න කතා කරන්න උන දවසෙ ඉඳල , ඔවුන්ගෙත් තියන අවස්ථාවාදී හැඟීම් පෙනෙන්න පටන් ගත්තාම අප්ප්රියාව හැදෙන්න ගත්තා. දැන් ඉතින් ඔවුන්ගේ උපකල්පනය වැරදියි කියල(ඔවුන් ඇතැමකුගේ න්‍යායයික වදන් වලින්ම නං තක්සේරු කරපු විෂයබද්ධ තත්වය වැරදියි කියල) තවත් වරක් අවබෝධ කරගනීවි.

      Delete
  3. අනේ මංද බං... මම මේ අවුරුදු 30ක විතර අත්දැකීමෙන් නම් දන්න හැටියට jvp එක ආවොත් නං අවංකවම වැඩ කරයි. අර එකෙක් කියල තියෙනවා වගේ මෙච්චර පට්ට හොරු අමනයො දූෂකයො ඉන්න අනිත් පක්ෂ තියෙද්දි jvp එක මේ මනාප මගුලක් ගැන කියාපු එකක් නිසා අප්පිරිය වෙන්න මට නම් මොලේ ලෙඩක් තාම නෑ

    ReplyDelete
  4. වටිනා ලිපියක් ස්තුතියි. මලයා ඔය ගැන මං පහුගිය අවුරුදු දෙකේම ලිව්වා...

    ReplyDelete