Apr 30, 2016

“කන්ද“ කඩා වැටෙයි සිතූ “කෙන්ද“ බලාපල්ලා




පත්තර රස්සාවට ඇවිත් එච්චර කාලයක් නැතිවුණාට පත්තර එක්ක හැප්පෙන ජීවිතේ හොඳ වගේම නරකත් එමට තියනවා. පහුගිය කාල පරිච්ඡේදෙම මුහුණ දුන්නේ හොඳට වඩා නරකට කිව්වොත් ඇත්තෙන්ම සර්ව සාධාරණයි. සමහර වෙලාවට දෙවි දේවතාවුන් විදිහට වෙස්වලාගෙන පුද සත්කාර ලබන, ලෝකෙට බණ කියාගෙන පාත්තර පුරවගන්න අය පට සළුපිලි ගලවලා දාලා ඉන්නකොට මහ පොළවේ පයගහල ඉන්න කාඩ යක්කු කියලා තේරෙන්න එච්චර පරක්කු වෙන්නේ නෑ. එහෙම වෙලාවට ජීවිතය බවට පත්වෙලා තියන පත්තර රස්සාව තවදුරටත් රස්සාවක්ම මිස ජීවිතය නෙවෙයි කියන තැනට නිරායාසයෙන්ම එන්නේ හිතට එන කාළකණ්ණි හැඟීම් සමුදාය එක්කම තමයි. කොහොමවුණත් බොරු වෙස්මූණු දාගත්ත දෙවිවරුන්ගේ පෙරේත ආත්මයන් දැකගන්න ලැබෙන්නත් ලේසි පහසු පින් කරලා බෑ.

පේ‍්‍රමකීර්ති එදා ගුවන් විදුලියේ හිටිද්දි කන්ද කෙන්ද කරනු පිණිසගීතය ලියන්නේ ඒ උපමා උපමේය අතරේ හැංගිලා තියන තමන්ගේ ජීවිතේ එදා මුහුණදෙමින් තිබුණ අත්දැකීම් විස්තර කරන්නත් එක්කයි. කොච්චර දක්ෂයෙක් සහ නිර්මාණාත්මක කලාකරුවෙක් වුනත් ඒකම පේ‍්‍රමකීර්තිගේ අවාසියට හේතුවෙන්නේ ඉස්සරහට ගමනක් යන්න වේගයෙන් අඩිය තියන මිනිහගේ කකුලෙන් අදින අමනයන් රැුළක් කොහෙත් ඉන්න නිසාමයි. එදා ගුවන් විදුලියේ තමන්ට පහර ගහන, කකුලෙන් අදින, චෝදනා කරන අමනයන්ට පේ‍්‍රමකීර්ති අතින් පයින් හෝ කේලාම්,පෙත්සම් වලින් හරි උත්තර නොදී නිර්මාණාත්මක විදිහට උත්තර දීපු නිසයි අද පේ‍්‍රමකීර්ති නැතිවුණත් නම ඉතිරිවෙලා තියෙන්නේ. හැබැයි ඔහු කිව්ව කතාව සදාකාලික සත්‍යයක් කියලා අපිට තේරුම්ගන්න වෙනවා. අන්ද මන්ද ඝන අඳුරේ කෙන්ද පටලැවීලා - කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලාකියලා කියන කතාව හැම කෙන්දකට වගේම හැම කන්දකටත් අදාලයි.


ඇතැම් රස්සා අපිට අපේ ජීවිතය හා සමානව දේවකාරියක් විදිහට නෙවෙයි ජීවකාරියක් විදිහට කරන්න වෙනවා. හැබැයි ඒක එහෙම කරන්න ගියාමත් එන්නේ ලේසි පහසු ප‍්‍රතිඵලනම් නෙවෙයි. ඒක ඉතින් ලංකාව වගේ ඝර්ම කලාපීය සහ ආකල්ප පැත්තෙන් තාමත් ප‍්‍රාථමික අවධියක තිබෙන රටක මේවා මැජික් විදිහට හිතලා වැඩක් නෑ.

ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිඳී ගසක් ඔහේ සුළෙඟ් හිනැහීලා
බඹරු එතත් දෙබරු එතත් ගහ නැහැ කැලඹීලා
ඔහේ සිනාසෙනු මිස විහඟුන්ගේ ගී අසලා

විවිධ මාදිලියේ පුද්ගලයෝ එක්ක, සිදුවීම් එක්ක හැප්පෙන්න වෙන එක වෘත්තීය ක්ෂෙත‍්‍රය සාමාන්‍ය දෙයක්. ඒත් උපේක්ෂාසහගතව විවිධ පුද්ගලයෝ එක්ක හැසිරෙන එක බොහොම අමාරු වැඩක්. මොකද අපි ජීවත්වෙන්නේ දෙවියන්වහන්සේලා වගේම සාතන්ලත් අඩු නැතිව සැරිසරණ ලෝකෙක නිසා. ඒ හැමදේටම හිනාවෙලා මුහුණ දෙන්නනම් ජීවිතානුබද්ධ අත්දැකීම් අඩු නැතිව තියෙන්න  ඕන. සමහර වෙලාවට සමහර ප‍්‍රශ්නවලදි ඔළුවට වඩා අතපය සහ උප්පත්තියෙන් ලැබුණ අමන ගතිගුණ පාවිච්චි කරන පුද්ගලයෝ ඉස්සරහ ඉවසීමෙන් කටයුතු කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ පුරිසදම්මසාරථී ගුණය ප‍්‍රදර්ශනය කලේ අතින් පයින් නෙවෙයි ඥානයෙන් කියන එක එතනදි අපිට අමතක කරන්න බෑ.

මේ ලෝකේ මිනිස්සු කොට්ඨාශ දෙකක් ඉන්නවා. සමහරුන්ට සෘජු සහ නිර්ව්‍යාජ අරමුණු තිබෙනවා, ඔවුන් ඒ අරමුණු සාක්ෂාත් කරගන්න යහපත් මාර්ගවල යහපත් ආකාරයෙන් කටයුතු කරනවා. අනිත් කොට්ඨාශට තියෙන්නේ වක‍්‍රාකාර සහ ව්‍යාජ අරමුණු, ඔවුන් ඒ වෙනුවෙන් අයහපත් මාර්ගවල අයහපත් ආකාරයෙන් ගමන් කරනවා. හැබැයි ලෝක සම්මතය තමයි චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’  කියන එක. චේතනාව කර්මයට මුල්වෙන නිසා කාටවත් වී වපුරලා තල අස්වැන්න නෙලන්න බෑ, වී වැපුරුවොත් ලැබෙන්නේ වී මිසක තල නෙවෙයි. ඒක නිසා අශ්ශීලකම වපුරවන්නන්ට ලැබෙන්නේ ඒ වගේම ප‍්‍රතිඵලයක්. නිව්ටන්ගේ තුන්වෙනි නියමෙදි ප‍්‍රතික‍්‍රියාව ගැන මතුකරන තර්කයත් මේකට සමානයි. ඒක නිසා  ඕනෑම කෙනෙක් ගල් ගැසිය යුත්තේ පෙරලා ඒ හා සමානම නැතිනම් ඊටත් වැඩි ගලක් තමන්ගේ පැත්තටත් ඒවි කියන අදහස හිතේ තියාගෙනයි.

කුණාටු සුළිසුලං වැදී ගහකොළ පෙරලේවි
මුල හොඳනම් ගසක් ලඟදි කුණාටු පරදීවි
ගහේම මල් බුදු පුදටත් නෙලා රැුගෙන යාවි
ඒ ඈයොම ඒ ගහේම මල් බිම පාගාවි..

පේ‍්‍රමකීර්ති කියන කතාවෙදි ගහේම මල් නෙලාගෙන පුදසත්කාර කරලා ඒ මල්ම බිම පාගලා දාන සමාජයක් අතුලේ ජීවත්වෙන්නනම් කරන්න  ඕන එකම දේ මුල ශක්තිමත් කරගන්න එකයි.සමහර පුංචි පැල පවා තියෙනවා ලේසියෙන් උදුරලා දාන්න පුළුවන් කියලා හිතුනට යටට විහිදුනු මුල් ජාලයක් නිසා එහෙම කරන්න බැරිවෙන. ඒ වගේ ගස් ලඟදි, පැල ලඟදි කුණාට වුනත් පරදිනවා. කුණාටුවට ඔරොත්තු දෙන්නනම් කුණාටුවේ වේගයට නම්‍යශීලි වෙන්න වෙනවා, එහෙම නොවෙන ගස් බිම වැටෙනවා. හැබැයි කුණාටු හැමදාම තියෙන්නේ නෑ, ඒත් ගස් අවුරුදු සිය ගණන් නොමැරී බොහොම විරාජමානව ජීවත්වෙනවා.

(2016.05.01 ඉරුදින - ජනයාගේ කොලම)

3 comments:

  1. ඔය ගීතය පිලිබඳ කතාවක් තියෙනවා. මාලණි බුලත්සිංහලට ඔය ගීය ලියා දුන්නේ ඒ නිසාමලු.

    ReplyDelete
  2. ඔව් මම අහල තියන විදියට කතාව මෙහෙමයි.දවසක් මාලිනී බුලත්සිංහල මහත්මිය සංගීත සංදර්ශනයකට ගිහින් තියනවා සිංදු කියන්න. ඇයට ඒකෙන් පස්සෙත් යන්න තව සංගීත සංදර්ශනයක් තිබිල තියනවා.ඒත් ඇයට සංවිධායක මණ්ඩලයෙන් ලැබුණ වෙලාවට සිංදු කියන්න ගියොත් 2වෙනි සංදර්ශනයට(ටිකක් දුර බැහැරක තිබුණ)වෙලාවට යන්න බැරි වෙනවලු.
    මේ සංදර්ශනයට සිංදු කියන්න ඇවිත් තියනවා ඇගෙන් සංගීතය ඉගෙන ගත්තු ගායිකාවක්.ඇගේ වෙලාව තිබිල තියෙන්නේ මාලිණී බුලත්සිංහල මහත්නියට ලැබුන වෙලාවට වඩා ගොඩක් කලින්, ඉතින් ඇය
    අර ගායිකාවට මේ තත්වය පැහැදිලි කරල වෙලාව හුවමාරු කරගන්න අහල තියනවා. ඒත් මේ තමන්ගේ ගුරුවරියගේ ඉල්ලීම අර ගායිකාව බොහොම තදින් ප්‍රතික්ශේප කරල තියනවා.
    මේ සිදුවීම නිසා සෑහෙන කණගාටුවට පත් වුන මාලිනී බුලත්සිංහල මහත්මිය පස්සෙ කාලෙක ඔය කතාව ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට කියල තියනවා. ඒ ගැන කල්පනා කරපු එතුමා ඔය ගීය ලියලා මාලිනී බුලත්සිංහල මහත්මියට දුන්නලු.
    මේ කතාව මම දැක්කේ ගොඩක් ඉස්සර පත්තරයකින් ඒකෙ ඒ ගායිකාවගේ නමත් තිබුණ ඒත් ඇත්තද කියල නොදන්නා නිසා ලියන එක හොඳ නැහැ කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ නම හරි බව දන්නෝ දනී.

      Delete