Jun 27, 2011

කවි අඩ ශතකය සපුරන "සිතුවිලි පලස" දෙස අපේ ඉසව්වේ සිට බැලීම...


අද මගේ සිංහල බ්ලොග් දිවියේ සුන්දර මෙන්ම හැඟුම්බර දිනයක්ය. එයට හේතු දෙකක් තිබේ. එකක්නම් අපේ ඉසව්ව වෙනුවෙන් මා රචනාකල "නුඹ නාව නෙතුගාව කඳුලැල්" කෙටි කතාව ට ඉතා හොඳ ප්‍රතිචාර ලැබීමයි. සිංහල බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් අතලොස්සකගේ ප්‍රතිචාර හා විදෙස්ගත මෙන්ම ලංකාවේ වෙසෙන බ්ලොග් රසවිඳින් ප්‍රේක්ෂකයන් සැලකිය යුතු මට්ට‍මේ පිරිසකගෙන් ලද විද්‍යුත් පණිවුඩ.කමෙන්ට්ස් හා මූණු පො‍තේ පණිවුඩ ‍ගැන එක් අතකින් සතුටුය. සතුටු වීමට අනික් කාරණය නම් අද සිතුවිලි පලස නැමති මගේ කවි සංකල්පනා අඩවිය මගේ 50 වැනි කවිය සයිබර් අවකාශයට මුදා හැරීමේ සිදුවීමයි.

  අපේ ඉසව්ව හා සිතුවිලි පලස එකකුස උපන් නිවුන් සොයුරන් දෙදෙනෙකු ලෙස සැලකීම වඩා වටී. මෙම සිංහල බ්ලොග් අඩවි දෙක නිර්මාණය වූ කාල අතර පරතරය විනාඩි ගණනක්වීම එයට හේතුවයි. මෙහිදී මම නැවතත් ‍මගේ සොයුරු ජනිත චතුරංග ප්‍රේමරත්නට මගේ හෘද්‍යාංගම ස්තූතිය පුදකර සිටින්නේ ඔහුගේ සංකල්පනාවක් මත මෙම අඩවි දෙකම නිර්මාණය කල බැවිනි. ඇත්තටම සිතුවිලි පලසේ අතීත කතාව කියන්නට සිටියේ සිතුවිලි පලසට වසරක් පිරුණු පෙබරවාරි 18 වැනිදාය. නමුත් අන්තර්ජාල සබඳතා ගැටළුවක් හේතුවෙන් පසුගිය වසරක කාල පරිච්ඡේදයේ මෙන්ම අදාල දිනයේද එම කටයුත්ත කිරීමට නොහැකිවිය.


  නැවතත් අළු ගසා දමා සිතුවිලි පලස නැගිටින්නේ වෙනස්කම් රාශියක් සිදුකිරීමෙන් අනතුරුව 2010 දෙසැම්බර් මස 4 වැනිදා සිතුවම නැමති පූර්ව කවියෙන්ය.ඉන් අනතුරුව සුපුරුදු ලෙස අලුත් කවි පරන කවි.සඳැස් නිසඳැස් ‍භේදයකින් තොරව අවකාශයට මුදාහැරීමට හැකිවිය. මේ අතර බොහොමයක් කවි මගේ තවමත් ප්‍රකාශනයට ලක්නොවූ නොලිවූ කවිය හා අවසානයට පෙර කාව්‍ය ග්‍රන්ථවල අඩංගු පැරණි කවි වන අතර නව කවි කීපයක්ද මේ අතර වේ. සිතුවිලි පලස මගේ සිතුවිලි වලට තෝතැන්නක් වෙමින් අන් කවි රසවිඳින ජන හදවත් වලටද සිසිලසක් වීම සිදුවිය.

  මගේම ආරකට මගේ අනන්‍යතාව තබාගෙන කවිලිවීම සිතුවිලි පලසට මා කල විශේෂ දෙයයි. සිතුවිලි පලස මුලින් නම් තබන්නට සූදානම් වූයේ සිතුවිලි පාලම ලෙසයි. නමුත් නැවතත් ජනිත සොයුරාගේ අදහසක් මත සිතුවිලි පලස යන නම තැබීය. එහි තේමා පාඨය වන...කවි සිතුවිලි කලාලයේ- හද ගෙත්තම් විමානයේ...යන්න මගේ නිර්මාණයකි. ආදරයට පමණක් හෝ විරහවට පමණක් සීමා නොවී බටහිර අධිරාජ්‍යයේ කඩා වැටීම ගැන ලිය‍වුණු සුදු සෙනෙවි තුමන් වැනි කවි හා මාතෘත්වය ගැන ලියවුණු අම්මේ මම අදත්..වැනි කවිත් ඈත රටක පෙම් පුවතක් ගැන කියවෙන නකියුබා කඳු අතර වැනි කවි වලින් මේ කවි කලාලය වර්ණවත් කිරීමට හැකිවිය.

 මේ අතර මගේ කවි රසවිඳිමින් දිනපතා සිතුවිලි පලසේ කවි මිහිර විඳින්නට පැමිණෙන යාවජීව සාමාජික කැල අනිවාර්යයෙන් මතක් කල යුතුය. සිංහල බ්ලොග් අවකාශයේ මිතුරන් මෙන්ම දෙස් විදෙස් මිතුරු මිතුරියන් කමෙන්ට්ස්.විද්‍යුත් පණිවිඩ.මූණු පොතේ පණිවිඩ හා කෙටි පණිවුඩ මගින් මා දිරිමත් කිරීම මේ මොහොතේ අගය කර සිටිමි. එසේම මම කිසිදිනක කමෙන්ට්‍ස් බලාපොරොත්තුවෙන් හෝ කමෙන්ට්ස් ඉල්ලා කවි ලියුවේ නැත. එසේම වෙබ් රෑන්ක් බලාපොරොත්තුවෙන්ද කවි ලියුවේ නැත. එබැවින් අද 50 වැනි කවිය වූ අඩ ශතක කව ලියා පලකල මොහොත දක්වා මගේ සිතුවිලි පලසේ කමෙන්ට්ස් අඩුවුණා කියා මගේ හිතේ කිසිඳ දුකක් නැත. ඒත් අද එය මා නොපැතූ පරිද්දෙන් ලංකාවේ බ්ලොග් හා වෙබ් අඩවි දස දහස් ගණනක් අතරින් 1390 තැනට පැමිණීම මට මහත් නිරාමිස ප්‍රීතියක් ගෙන දෙන්නකි.

  එසේම පසුගිය දිනක සිදුවුණු සිදුවීම් දෙකකින් මගේ කවි ගැන හා සිතුවිලි පලස ගැන සියුම් ආඩම්බරයක් ඇතිවුණි. ගම්පහ ප්‍රදේශයේ උසස් පෙල විෂය උගන්වන සුප්‍රසිද්ධ ගුරුවරයෙක් සිය සිසුන්ගේ පසුගිය විභාග ප්‍රතිඵල පොත් පිංචේ අග පිටුවට මගේ සිතුවිලි පලසේ පල කල පිපාසය කවිය පලකර තිබී මිතුරෙක් ඒ පිළිබඳ දැනුවත් කලහ. නමුත් ඒ කවියේ අග මගේ නම නොරැඳිනි. එය ගැටළුවක් නැත. මගේ කවිකම මම දනිමි. තවද පසුගිය දිනක නුවර ප්‍රදේශයේ වැඩමුළුවකට සහභාගීවීමට මා ගිය මොහොතේ එය පැවති සුඛෝපභෝගී ජාත්‍යන්තර පාසලේ අප සිටි ශාලාවේ මේසයක තිබූ කවියක් කියවීමෙන් මට මගේ කවි ගැන සියුම් ආඩම්බරයක් ඇතිවුණි. ඒ මුතුකැට අකුරින් ඒ මේසයක් මත මගේ යථාර්ථය කවිය ලියාතිබුණි. එවැනි විහිදුනු පරාසයක කවි ගමන් කිරීම මගේ චිත්තප්‍රීතියට කරුණක් විය.

  නමුත් අනන්‍යතාව ඉස්මතු නොකොට සිතුවිලි පලස පවත්වාගෙන ගිය මට දිනක් අන්තර්ජාලය හරහා මා ආමන්ත්‍රණය කල දැනට ඔස්ට්‍රියාවේ පදිංචි සොයුරියක් යම් අදහසක් එක්කලහ. එනම් මගේ අනන්‍යතාව එක්කර කවි පල කරන ලෙසය. මම ඇයට එය ගැටළුවක් නොවන බව පැවසුවත් ඇය කියා සිටියේ එසේ කිරීමෙන් කවිය මෙන්ම කවියාගේ රටාවටද රසිකයා හුරුවන බවය. එබැවින් මම සිතුවිලි පලස...ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර සංකල්පනා...නමින් හැඩගන්වා මීට සතිකීපයකට පෙර ඉදිරිපත් කල අතර ස්වයං විස්තර කිරීමක් මම ගැන නැමති පිටුවෙන් පාඨකයන්ට ඉදිරිපත් කලහ.

  දැන් සිතුවිලි පලස නැමති ශාකය ඉතා ඉහලට වැඩී ඇත තවත් වැඩෙන්නටද පෝෂණය කරන්නට හා පෝෂණය වන්නට ඇත. එයට මගේ දිරි සවි මද බව මම දනිමි. කළමණාකරණ ක්ෂේත්‍රයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින්..කළමණාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය අධ්‍යාපන ආයතනයක සේවය කරමින් සිංහල බ්ලොග් අඩවි දෙකක් නඩත්තු කරගෙන යාම අසීරු දෙයක් වුවත් ඉඩකඩ ලැබෙන ලෙස එය මහත් ආශාවෙන් මම සිදුකරයි. එයට ඔබගේ දිරි සවි තවත් ශක්තියකි.
යන්නට තව දුර ඇත. සිතුවිලි පලස හා අපේ ඉසව්ව මගේ ජීවිතයේ දෑලය. හෘදයේ දකුණු හා වම් කෝෂිකාය. මොලයේ වම් හා දකුණු අර්ධයන්ය.ශරීරයේ දකුණු හා වම් හස්තයන්ය..එබැවින් මගේ සිහිය හා දිවි තිබෙන තුරු මෙයට මගේ අදහස්මය හා කාව්‍යමය සංකල්පනා එක්කිරීමට බලාපොරොත්තු වෙමි. 
   ඉදින් අද 50 වැනි කවියෙන් තවත් වැඩි මහළුවුන සිතුවිලි පලස දිගු ගමනක් යන්නට තනන මොහොතේ කවියට ලැදි අමරණීය හිත් ආමන්ත්‍රණය මෙතෙකින් නිම කරමි. ඔබට ස්තූතියි.

හිතවත්......ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

6 comments:

  1. මම සිතුවිලි පලසට එකතු උනේ ගොඩාක් ලගදි.. මට මතක විදිහට " සුදු සෙනවි තුමන් " නිර්මානයෙන්ද කොහේද.. හැබැයි ඉතින් ඉට පස්සේ හැමදාම වගේ සිතුවිලි පලසට මම ගොඩ උනා.. ඉදිරියටත් එහෙමයි.. වෙනස් ආරක සොදුරු නිර්මාන දොගටම කරන්න.. මගෙන් සුභ පැතුම්.. ඔබට ජය..

    ReplyDelete
  2. සිතුවිලි පලසට වගේම මේ බ්ලොග් එකටත් දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා පතනවා.

    ReplyDelete
  3. @දිනේෂ් - බොහොම ස්තූතියි දිනේෂ්..ඔබගේ අදහස් නිතරම මා දිරිමත් කරනවා

    @මධූ - ස්තූතියි මධුරංග මගේ දෑල ගෙනයන්නට දිරි සවි වනවාට

    ReplyDelete
  4. ඔන්න මම ආයිත් සුබ පැතුවා ..........

    ReplyDelete
  5. මම ඇත්තටම කවි කියවන්නේ නෑ (කියෙව්වත් කලාතුරකින් ඒක උබට කියලා ඇතිනේ) ඉතින් කවි බ්ලොගියටනං මගේ කමෙන්ට්ස් වැටෙන්නේ නෑ... ඒත් ඉතින් මේදටනං අනිවා කමෙන්ට් දානවා

    ReplyDelete
  6. ටිකක් කල් පහුවෙලා උනත් ඔන්න දෙවනි පාරටත් ඔයාටත් සිතුවිලි පලසටත් සුබ පතනවා. ඉදිරියටත් සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. fb එකෙන් ඔයාව add කර ගත්ත දවසෙ ඉඳන්ම අපේ ඉසව්ව නම් කියවනවා. සිතුවිලි පලසත් ඊට ටිකක් පස්සෙයි කියවන්න පටන් ගත්තෙ. කියවන්න පටන් ගත්ත මුල් කාලෙනම් cmnts දැම්මෙ නෑ. ඒත් පස්සෙදි හිතුනා කියවලා හොරෙන්ම යන එක හොඳ මදි කියලා. සුබ පැතුම්!!

    ReplyDelete