Jun 23, 2011

නුඹ නාව නෙතුගාව කඳුලැල්....(ආදරණීය කෙටි කතාව)

 දුලාරිගේ රථය වේගයෙන් පැමිණ නතරවුනේ චමත්කාගේ නිවසේ ඉදිරිපසය. සුවිසල් නිවස වටපිටාවට දර්ශනය වූයේ මහා මන්දිරයක් ලෙසය. දුලාරිගේ රථයේ තිරිංග තදකල ශබ්දයට ඉහල මාලයේ කාමරයේ සංගීත නාදයට කන්දෙමින් සතුටින් නර්තනයේ යෙදීසිටි චමත්කාද ජනේලයෙන් පහත බැලීය. එය තම මිතුරියගේ කාරය බව දුටුවත් මෙතරම් වේගයෙන් තිරිංග තදකර වාහනය නතර කරන පුරුද්දක් ඇයට නැත. අනිවාර්යයෙන්ම හදිස්සියක් විය යුතු බව චමත්කා අනුමාන කලහ.

  විනාඩියක් යන්නට මත්තෙන් චමත්‍කාගේ කාමරයේ දොරට තට්ටුකරන හඬ ඇසුනි. ඒ තමන්ගේ මිතුරිය වන්නට ඇතැයි ඈ සිතුවාය.
"ඇතුලට වරෙන් දුලා..දොර ඇරලා"

දුලාරි කාමරයට ඇතුල්විය. ඒත් ඇගේ මුහුණ කළුගැසී දැඩි කම්පනයට පත්ව ඇති බවක් දිස්විය. දුලාරි ඇවිත් චමත්කාගේ ඇඳේ වාඩි වුණා නොව වැටුණාය. මෙය දුටු චමත්කාද ඉද්දගැසුවාක් මෙන් නැගිට දුලාරි ලඟට පැන්නාය.


"ඇයි බං..මොකක්ද කේස් එක" චමත්කා දුලාරිගේ උරහිසෙන් අල්ලා ඇසීය.

"අනේ මංදා බං චමී..මේක උඹට කියලත් බෑ නොකියත් බෑ..ඒත මං හිතන්නේ මේක උඹ දැනගන්න ඕන"

දුලාරි කියන්නට හදන දේ ගැන නිනව්වක් චමත්කාට නොවීය. ඇය එක එක දේවල් හිතුවාය. ඒත් එකක්වත් හරියට ගැලපුනේ නැත. අන්තිමට බලන් ඉන්නට බැරි තැන නැවතත් දුලාරිගෙන ඇසීය.

"කමක් නෑ දුලා ඕන දෙයක් කියපන්..මට ඕවා ඊසි කේස්..මම ගණන් ගණ්නෑ බං"

චමත්කාගේ කතාවට දුලාරිට ටිකක් කේන්ති ගියහ. ඇගේ හඬේ රිද්මය පවා වේගවත් විය.

"ඔව් මේකත් උඹට ඊසි කේස් එකක් නිසා වෙච්ච එකක් තමයි.."

දුලාරිගේ හඬට චමත්කා ටිකක් තිගැස්සිණි. ‍මේ ‍කියන්නට යන දෙය යම්තරමක භයානක දෙයක් විය යුතුය. චමත්කා දුලාරිට ටිකක් ලංවී අතින් අල්ලා ගත්හ. තම මිතුරිය බිය වූ බවත් ඇය තිගැස්සුණු බවත් දුටුවිට දුලාරිට ඇඬෙන්නට වගේ විය. ඇය සෙනෙහසින් චමත්කාගේ අත අල්ලාගත්තාය.

"නිම්න..."  දුලාරි දෙයක් කියන්නට වචන ගැලපීය
 
"ඔව් නිම්න..ඇයි එයා කොහෙද ඉන්නේ
චමත්කා කලබලයෙන් ඇසීය. යමක් වන්නට යන බව ඇයට දැනිනි.

"ඉන්නවා බං ටවුන් එකට ඇවිත්..යමං උඹත් ඌව බලන්න"

නිම්න ගැන කියූ සැනින් චමත්කා සැලිණි. නිම්න තමන්ගේ ජීවිතයට ලංවන්නට ‍ඉඩනොදී තමන්ම ඉවතදැමූ නොහඳුනන පෙම නිම්න ඇයට මතක් විය. ඒත් තමන් නැවතත් නිම්න දැකිය යුත්තේ ඇයි. තමන් දැන උන් පරිදි නිම්න නුවර පලාතේ ජීවත් වූ බව අසන්නට ලැබුණි. ඒත් ඔහු තමන්ගේ නගරයට නැවත පැමිණියේ තමන් දැකගන්නටද? එසේ නම් නැවතත් පුරුදු රුදු පිළිතුරම නැවතත් සූදානම් කරගත යුතුය.

"නිම්න බලන්න උඹයි මමයි යන්නේ මොකටද..එයා නුවරින් පල්ලම් බැස්සම පිළිගන්න අපි යන්න ඕනද..උඹ ඕනනම් ගිහින් එයාට සලකපන් මට එයාට කියන්න තවත් කිසිම දෙයක් නෑ"

චමත්කා සරල සැහැල්ලු විනෝදකාමී ලීලාවෙන් ඇඳෙන් නැගිට කිව්වේ දුලාරි ලගින් ඉවත්වෙමින්. දුලාරිද ඇඳෙන් නැගිට්ටාය. වේගයෙන් චමත්කා ලගට ආවාය.

"මම කියන දේ අහලා ඉක්මණට ඇදගෙන පහලට වරෙන්..නැත්නම් මම නරක ගෑණි කියන්න එපා"

එසේ කියූ දුලාරි වේගයෙන් දොර වසා කාමරයෙන් පිට විය. අදනම් තම මිතුරියගේ තත්වය දරුණු බැවින් චමත්කාද මදක් ඇයට බිය විය. එබැවින් ඉක්මණින් ඩෙනිමක් හා සැහැල්ලු බ්ල්වුස් එකකින් සැරසිනි.

*******************************************************

  විනාඩි කීපයකින් දෙදෙනාම වූයේ දුලාරිගේ රථයේය. දුලාරි රථය වේගයෙන් නගරය දෙසට ධාවනය කරන්නට විය. නිහඬවම ගමන් කරන දුලාරි දෙස බලා චමත්කා සුසුමක් හෙලීය. මේ වෙන්නට යන දෙය කුමක්ද කියා චමත්කාට නොතේරිනි. ඒත් තමන් මෙම ගමන ආවේ දුලාරිට බයේ මිස තමන්ගේ කැමැත්තකින් නොවන බව ඇය නැවත නැවතත් මතකයට නගාගත්හ. 

"නිම්න උඹට පණවගේ ආදරේ කලා බං"

දුලාරි බිඳුණු හඬකින් කටහඬ අවදි කලහ. චමත්කා ඇය දෙස බැලුවේ පුදුමයෙනි. කලකට පසු ඇය යලිත් මේ තමන් වලදැමූ කතාව ගොඩගන්නට හදන්නේ ඇයි කියා ඇයට ගැටළුවකි. තමන්ගේ දෙනෙතට ඉදිරියෙන් රැදුනු අව්කණ්ණාඩි යුගලය හිසට සවිකරගත් ඇය තම අතේ රැදුනු අති නවීන ජංගම දුරකතනය වාහනයේ තට්ටුව මතතබා දුලාරි දෙසට හැරිනි.

"ඇය දුලා උඹ ඔය පරණ කේස් එක ආයෙත් මට කියන්නේ..දැන් වැඩක් නෑනේ බං ඕක..මම මගේ පාරේ ආවා එයා එයාගේ පාරේ ගියා..මට නිම්න ගාව නවතින්න බෑ බං.."

චමත්කා පුරුදු ප්‍රකාශය දිගහැරියහ. දුලා මුවගින් පෑව සිනාව සමච්චලයට කල එකක්වග චමත්කාට පැහැදිලිය. 

"ඔව් උඹට නවතින්න බැරිවුණා..මම ඒ දවස්වලත් උඹට කිව්වා කට කැඩෙනකන්..ඒත් උඹ ඇහුවෙ නෑ..තව‍ටිකෙන් මාත් එක්කත් තරහ වෙනවා. ඒත් ඌ උඹට ලංවෙන්න හැදුවේ අවංකව චමී..බලපන් කොලේජ් එකේ උඹ ආසම කරපු කෙනා එයා..ඒත ඒකෙනා උඹට ලංවෙන්න හදද්දි කොහේද නැති ලොකුවක් උඹගේ ඔලුවට ආවා"

දුලාරි හිත්වේදනාව යටකරගෙන ආවේගශීලීව කීය. චමත්කාටත් කටවසාගෙන සිට පුරුදු නැත.

"මම නිම්නට ආදරේ කලාද මම දන්නේ නෑ..ඒත් මම එයාට ආසකලා ඒක ඇත්ත..එයා වගේ ආසකරන කෙනෙක් තාමත් මට මුණගැහිලා නෑ..ඒත් ඌ මට ගැ‍ලපෙන එකා නෙවෙයි..ඌ සාම්ප්‍රදායික පෙම්වතෙක් මිසක් මට ගැලපෙන කොල්ලෙක් නෙවෙයි..එහෙම එකේ නිම්නගේ ආදරේ මම පිළිගත්තනම් ඒක අපි දෙන්නටම ප්‍රශ්නයක් වෙන්න තිබුණා"

චමත්කා කියාගෙන කියාගෙන ගියෙ ඇගේ හිතේ තිබූ දේවල්ය.

"කොලේජ් එකේ කෙල්ලො කී දෙනෙක් ඌට ට්‍රයිකලාද..ආස කලාද..ඌ එක එක දේවල් කියලා ‍කොලේජ් එකේ ජනප්‍රිය වෙද්දි ඌ එක කෙල්ලෙක්ට ලංවුණාද..නෑ කවදහරි උඹ ඌට කැමතිවෙයි කියලා බලං හිටියා..චමී මතක් කරපන් ඌ කොච්චර කෙල්ලො මැද්දෙ වුණත් උං කතාකරද්දිත් ඇවිත් නවතින්නේ උඹ ලග..අනිත් කෙල්ලෝ උඹට ඊරිසියා කරා එච්චර උං ආස කොල්ලා උඹම හොයාගෙන එද්දි..ඒත් උඹ ඌට හැමදාම ගොන්පාට් දුන්නා"

චමත්කාගේ පපුවට දුලාරිගේ වචන හී පහරවල් මෙන් පපුවටම එල්ල විය. ඒත් ඇය එය ඉවසුවාය.

"ඒ සේරම හරි බං..නිම්න ගොඩක් දක්ෂ කොල්ලෙක් ඌට මම වගේ නිකං කෙල්ලෙක් හරියන්නෑ බං...නිම්න දැන් ලස්සන ලෝකයක් හදාගෙන ඇති"

චමත්කා කිව්කතාවට දුලාරිට තවත් කේන්ති ගියාය.

"ඔව් හදාගත්තා ලස්සන ලෝකයක්..උඹ ඌට දුන්නනේ ගොඩක් ලස්සන ලෝකයක්..මගුල තමයි"

දෙන්නාගේ කතාව අවසන් වෙන්නටත් පෙර රථය නගරය මැදට සේන්දු විය. නගරය මැද දුලාරි යමක් සොයන්නට මෙන් වාහනය කරකැවීය.

*****************************************************

  නගරය මැද හෝරාස්ථම්භය අසල විශාල සෙනගක් රැස්ව සිටී. රථයෙන් බැසගත් දුලාරි චමත්කාගේ අතින් ඇදගෙන ඒ සෙනග වෙතට ගියහ. සමහර දවසට නගරයට පැමිණෙන තෙල් බෙහෙත් වෙළෙන්දන්ගේ දක්ෂතා බලන්නට සෙනග මෙලෙස වටවී සිටීම සාමාන්‍ය දෙයකි. සෙනග එහෙට මෙහෙට කර චමත්කාද රැගෙන දුලාරි ඉදිරියට පැමිණියහ.

  ඔරලොසු කණුව වටා‍ පුද්ගලයෙක් වේගයෙන් අඩි තබමින් දුවමින් සිටියේය. උස පුද්ගලයෙක් වූ ඔහුගේ කොණ්ඩය හොඳටම වැවී රැවුලද බමුණෙකුගේ මෙන් වැවී තිබුණි. හඩු ඩෙනිමක් පමණක් ඇඳගෙන සිටි පුද්ගලයා වේගයෙන් දුවමින් සිටියහ.

"බලපන් හොඳට කව්ද කියලා" දුලාරි ‍ගේ වචන ඇසෙත්ම අව්කණ්ණාඩිය ගලවා චමත්කා ඔහු දෙස බැලීය.

දෙයියනේ ඒ දෙනෙත් කෙසේ නොහඳුනන්නද. ‍ඉස්සර තමන් ඉදිරිපිටට වී පැය ගණන් තම ඇස්දෙස බලාසිටි දෙනෙත් චමත්කාට කෙ‍සේ අමතක වෙන්නද. දෙයියනේ නිම්න...අනේ ඇයි මේ නිම්න මෙහෙම...

   චමත්කාට මුළු ලොවම කැරකෙනු දැනෙන්නට විය. ලඟ හිටි තරුණයන් පිරිසක් කියූ දෙය ඇයට ඇසෙන්නට විය

"මරු පිස්සෙක් බං..ඌ හිතන් ඉන්නේ ඌ ඔරලෝසු කණුවේ තියන ඔරලෝසුවේ තත්පර කට්ට කියලා..මිනිහා නැවතුනොත් වෙලාව නවතීවි කියන බයට නවතින්නේ නැතුව දුවනවා දැන් පැය ගාණක් තිස්සේ"

චමත්කාට මහා අසරණ කමක් දැනෙන්නට විය. දුලාරිගේ ඇගට ඉබේම ඇය හේත්තු විය. කෑ ගසා සෙනග මැද අඬන්නට තරම් ඇගේ හිත සැලිණි..

  දෙයියනේ නිම්න ට මෙහෙමවුනේ මං නිසාද..අනේ ඇයි මම මේ අහිංසකයට මෙහෙම කලේ..මං හිතන් හිටියේ ඉස්සර එයා මට කියපු දේවල් වලින් එයාගේ හිත ගොඩක් හයිය හිතක් වෙන්න ඇති ‍කියලා..ඒත් ඒක එහෙම නෙවෙයිනේ දෙයියනේ..කොහොමද මේ දුක මං දරාගන්නේ.කොච්චර හොඳට හිටපු කොළු පැටියෙක්ද මේ..අනේ හිඟන්නෙක් වගේ දුවන්නේ..මේ පව මම කවදා ගෙවලා ඉවර කරන්නද දෙයියනේ..මට කවදාවත් බැරිවෙයි මේ පව ගෙවලා ඉවර කරන්න..මේ කොල්ලා මට මැරීගෙන ආදරේ කල කොල්ලා නේද..ඇයි අද‍මේ විදියට දුක්විදින්නේ..අනේ ඒ මං නිසාද..දෙයියනේ මං කොහොමද මේක බලං ඉන්නේ..

   සෙනග අතරින් එලියට ආ චමත්කා හඬමින් බිම වාඩිවිය. ඇයට හැඩුම නවතාගන්නට බැරිවිය. දුලාරි ඇගේ අසලට ඇවිත් උරයට අත තැබීය. දෙවරක් නොහිතූ චමත්කා දුලාරිගේ අතගසා දමා සෙනග පෙරලාගෙන නිම්න..එහෙමත් නැත්නම් නගරයට ආගන්තුක පිස්සා දෙසට දිව්වාය. එක්වරම කිසිත් නොහිතාම තදින් නිම්නව බදාගත්හ..බදාගෙන මහා හඩින් හඩන්නට විය. බලා උන් පිරිසට වෙන දෙය පිලිබඳ නිනව්වක් නොවිය. නිම්නද පුදුමයෙන් මෙන් තමන් බදාගත් හුරුබුහුටි කෙලිපොඩිත්ත දෙස බැලීය. ඒ කිසිත් නොදත් චමත්කා නිම්නගේ පපුවට තුරුළුවී මහා හඩින් හඩන්නට විය..නිම්නගේ ගතින් නික්මුණු අදික මුඩු ගන්ධයද නොදැනුණු ඇය තවතවත් හඩන්නට විය.

"අනේ නිම්න බලන්න..මම ඔයාගේ චමත්කා...ඔයා මැරීගෙන ආදරේ කරපු චමත්කා..ඔයා ලග නවතින්න බෑ කියපු..ඔයාව ගැලපෙන්නේ නෑ කියපු චමත්කා..බලන්න නිම්න එයා දැන් ඔයාගෙ ලගට ඇවිත්...අනේ එයාට කතාකරන්න‍..ඔයාගේ චමත්කාට කතාකරන්නකෝ...ප්ලීස්..."

චමත්කා ඉකිබිදිමින් පැවසීය. වරුගණනක් දිවීම නිසා හතිදමමින් සිටි නිම්නද තමන් බදාගෙන සිටින රූමතිය අදුනගන්නට උත්සහ කලහ. ඇගේ නෙත් දෙක දෙස මොහොතක් බලාසිටියේය. අදුනගන්නට නැවතත් උත්සහ කලහ. නිම්නගේ නෙතින් ද සිහින් කඳුලක් වැටෙන්නට විය.

"අනේ නිම්න මම ඔයාගෙම චමත්කා..තවත් ඔයාට කොහේවත් යන්න මම දෙන්නේ නෑ..ඔයාට නුවර යන්නවත් දෙන්නේ නෑ..ඉන්න මං ලගටම වෙලා..මම ඔයාට ආදරෙයි ගොඩක්..ඉස්සර දේවල් අමතක කරන්න..ඉස්සර වගේම මට ගොඩක් වෙලා අහන් ඉන්න සිංහලකම ගැන..ජාතිකත්වය ගැන..සරත්චන්ද්‍ර මහත්තයාගේ පොත්ගැන..ඔයා කියවපු පර්ල්.එස්. බක් ගේ පීකිං පෙම් පුවත ගැන..පෙරදිග ශිෂ්ටාචාරය ගැන..ලංකා දේශපාලනයේ විකාශනය ගැන කියන්න..අනේ බලන්න ඒ සේරම මට තාමත් මතකයි..අනේ චුට්ටක් දිවුල්ගනේ ගේ සුදු ඇඳගෙන සඳ ඇවිදින් සිංදුව චුට්ටක් ඔයාගේ හඩින් කියන්න..මම තාමත් ආසයි ඒක කියද්දි අහගෙන ඉන්න...අනේ නිම්න කියන්න"

නිම්න කදුලු පිරි දෑසින් ඈ කියූ දේ අසා සිටියේය..නිම්න යමක් කියවන්නට දෙතොල් සොලවයි..කියන්න නිම්න කියන්න..

"අනේ මිස් ..මාව අතාරින්න..මම නැවතිලා හිටියොත් මිනිස්සු වෙලාව බලන්නේ කොහොමද..අනේ මිස් එයාලා වෙලාවට වැඩ නොකලොත් ලංකාව අසමත් රාජ්‍යක් වේවි..එතකොට මානව සංවර්ධන දර්ශකයෙන් අපේ රට පහලට වැටේවි..ඒක පුද්ගල ආදායම අතින් භූතානයටත් පහලට යාවි..අනේ මිස් අයින් වෙන්න..අනේ අයින් වෙන්න.."

චමත්කා පැත්තකට තල්ලුකර දමා නිම්න නැවතත් පුරුදු ලෙස හැල්මේ ඔරලෝසු කණුව වටා දුවන්නට විය. චමත්කා බිම වැටී මහ හඬින් හඩන්නට විය. මෙතෙක් වෙලා පැත්තකට වී මේ දෙය මෙසේ සිදුවිය යුතු බව සිතමින් සිටි දුලාරි චමත්කා අසලට පැමිණ ඇයව වත්තන් කරගත්හ..

"චමී..හැමදේම වෙලා ඉවරයි..කිසිම දෙයක් දැන් හදන්න බෑ..මේ වේදනාවන් විඳින්නට  කලින් මේවා නිවැරදි කරගන්න පුළුවන් අවස්ථා තිබුණා..ඒත් ඒ අවස්ථා සේරම මගහැරුණා..දැන් කරන්න දෙයක් නෑ..අඩන්න එපා කියන්න බෑ උඹට..ඒත් මේක උඹට පෙන්නන්න ඕන නිසාමයි එක්කගෙන ආවේ...දැන් යං ගෙදර..හැ‍මදේම අතීතෙට තියලා..."

*****ආදරය දෝතට ගන්නට පිරිත් පැන්සේ ඉසින්නට වරම් ලද හිත් ආදරයට මුවාවී ඉකිබිඳින්නට ඉඩහරින්නේ නුඹේ ආදරයමයි..නිම්න...තවත් එක් තත්පර කට්ටක් පමණයි...... *************

  - නුඹ නාව නෙතුගාව කඳුලැල් නිමි....ඇත්තටම දැනු‍නු ‍දේ අවංකව ලියලා යන්න -                       

13 comments:

  1. රෑ වෙලා වැඩියි මම නිදාගන්න හදනකොට දැක්කේ හෙට කියවලා කමෙන්ට් එකක් දාන්නං (හෙට රෑ වෙයි)

    ReplyDelete
  2. ලස්සනට ලියල තියෙනවා අය්යෙ.සමහර කෙල්ලො ඉන්නවා ඒ කොල්ලට කෑමතියි.ඒත් ඒ කොල්ල කෑමතියි කිව්වම අකමෑති වෙන.නිම්නට චමත්කා බලාපොරොත්තු දෙන්න ඈති.ඒ නිසා වෙන්න ඈති නිම්නට ඔහොම වෙන්න ඈත්තෙ.සමාජයේ මෙහෙම මිනිස්සුත් ඈති.ආදරේ නිසා ජිවිතේ වරද්ද ගත්ත.චමත්කාට එයාගෙ අතින් උන වෑරෑද්ද හදාගන්න බෑරි වෙයි කවදාවත්.කාටවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියල පතන්නම්.

    ReplyDelete
  3. නියම කතාව. මට මේක කියවලා ඉවර කරන්න පැයක් විතර ගියා. :) මෙච්චර දිග පෝස්ට් දාන්න එපෝ !!!! දෙකට තුනට කඩලා දාපියෝ !!!! කියවන අපි පව් නැද්ද බොලව්

    ReplyDelete
  4. @කිඩෝ - එළ එළ

    @හිම හංසි - ස්තූතියි නංගි..ඒ වැරැද්ද නිවැරදි කරන්න පමා වැඩියි

    @මධුරංග - තෑන්ක්ස මචං.අපොයි කලිං එකක් කඩ කඩ දාන්න ගිහිං ගුටි නොකා බේරුණේ පොඩ්ඩෙන්..මේක කෙටි කතාවක් නිසා එකසැරේ දැම්මා..නැත්තං අමතක වෙනවා

    ReplyDelete
  5. ඔව් ඔව් යකෝ එක පාර දාන එකක් දාපන්..නැත්තම් එපා වෙනව..මේ කතාවනම් එල.. :)

    ReplyDelete
  6. හුඟක් ලස්සන කතාවක්. ගෙවිච්ච ජීවිතේ අපිට වෙනස් කරන්න ඕනෙ ඒ වෙනස් කරන්න පරක්කු වැඩි කොච්චර දේවල් තියෙනවද. මටත් වරයක් ලැබුණොත් අවුරුදු හයක් ආපස්සට යන්නයි මම නම් ඉල්ලන්නෙ.

    ReplyDelete
  7. @සාටර් කොල්ලා - කෙටි කතාවක් කොටස් වශයෙන් පලවුනාම මාන්දමිකයිනේ බං..කමක් නෑ ඊලගට එහෙම කරන්නම් කෝ

    @පිණිබිඳු - ඉල්ලන දේ දන්නෙ නම් නෑ..ඒත් ජීවිතේ මෙහෙම සිදුවීම් අනන්තවත් තියනවා පිණිබිඳ

    ReplyDelete
  8. අඩෝ මරු කතාවක් බොල ඉතුරු ටිකත් ඉක්මනට දාමුකෝ...

    ReplyDelete
  9. තෑන්ක්ස් බොල..තව කොටස් නෑ ඔච්චර තමයි

    ReplyDelete
  10. නියමයි. කියන්න වචන නෑ. හදවතටම දැනුණු හදවතින්ම විඳපු නිර්මාණයක්.

    ReplyDelete
  11. නියමයි, කොහොම වුනත් ඒ කෙල්ල ගොඩාක් අවාසනාවන්තයි ඒ වගේ ආදරයක් නැති කරගත්ත නිසා. නිම්න ගැන නම්... අනේ මන්දා... හරිම දුකයි..

    ReplyDelete
  12. හිතුන දේ අවංකවම ලියන්න කියල තිබුණත්, හිතුන දේ ලියන්න බෑ... මොකද ඒ හැගීම වචනවලට පෙරලන්න දේව්දාස් ට තේරෙන්නේ නැති නිසා... ඇත්තටම ලියන්නේ මොකක්ද කියල දේව් ට හිතා ගන්න බෑ...

    දේව්දාස්...

    ReplyDelete
  13. දුකයි ඒත් කතාව ලස්සනට ගියලා.. හිතට දැනෙන්න ලියලා... හ්ම්ම්ම් පව් නිම්න.. ඒ වගේම චමත්කාත්.. :(

    ReplyDelete