මේ පාර අවුරුදු කොහොමද කියලා යම් කෙනෙක් ඇහුවම පුරුද්දට අවුරුදු ජයයි කියවුණා මිසක් වෙනදා වගේ ඇඟට සහ හිතට දැනුනු අවුරුද්දක් නොවන බව ඔබටත් දැනෙන්න ඇති. එයට හේතු සාධක වුනු කාරණා බොහොමයක් අතරේ සමාජය කෙමෙන් කෙමෙන් සංස්කෘතික හා ජාතික වශයෙන් වැදගත්කමක් ඇති උත්සව ඇල්මැරුණු ස්වභාවයෙන් සමරන බව පෙනෙන්න තිබෙනවා. එහෙම හුදෙකලා අවුරුද්දක් ගෙවෙද්දි කාර්යබහුල ජීවිතයක් ගත කරන්න සිදුවෙලා තිබෙන මටත් සිහිවුණේ කුඩා කාලයේ අවුරුදු සමරපු විදියයි.
දකුණේ මාතර ප්‍රදේශයේ කොහොමත් සිංහල අලුත් අවුරුද්ද බොහොම ඉහලින් සමරනවා. මිනිස්සුන්ට කොතරම් අගහිඟකම් තිබුණත් අවුරුද්ද වෙනුවෙන් කොහොමහරි තමන්ගේ අරමුදල් කළමණාකරණය කරගෙන බොහොම ජයට අවුරුදු සමරනවා. ඉස්සර අලුත් අවුරුදු ලිත ලැබුණ ගමන් අපි පෙරලලා බලන්නේ අවුරුද්ද කවද්ද සහ අවුරුදු චාරිත්‍ර යෙදිලා තියන නැකත් වෙලාවන්. ඒ නැකත් වෙලාවන් බලලා අම්මා කියන වදන් පෙලක් තියනවා...“ ආ...මෙදා සැරේ අවුරුදු කන්න තියෙන්නේ රෑට...උයන්නනම් හොඳට වෙලාව තියනවා..නැත්නම් ගිය අවුරුද්දේ කිරිබත වඩවා ගන්නවත් වෙලාවක් තිබුණෙ නෑ“ මෙතනින් ඉඟි කරන අවුරුද්දට කලින් ලැබෙන පාසල් නිවාඩුවෙන් පස්සේ තමයි සිංහල අවුරුද්ද කියන එක හොඳටම දැනෙන්නේ. අවුරුද්දට වත්ත පිටිය සුද්ද කරලා ගෙදර සායම් පිරියම් කරලා ගෙවල් හෝදනකොට අපිට පැවරෙන රාජකාරි බොහොම කැමැත්තෙන් කරන්නේ අවුරුද්දේ තමන්ට ලැබෙන වතාවතක් කරනවා වගේ.
ගෙදර කටයුතු එහෙම වෙද්දි ඊළගට අපේ අවධානය යන්නේ ගමේ අවුරුදු උත්සවේ දිහාවට. අපේ ගම කැකණදුර - මොටාගෙදර අවුරුදු උත්සවේ පුරුදු විදියට පැවැත්වෙන්නේ මොටගෙදර මංසන්ධියේ. මාර්තු මාසයේ මුල ඉඳන් ගම පුරා ඇවිදලා අවශ්‍ය අරමුදල් සපයන ගමන් අවුරුදු උත්සවේ පිළිබඳ පැහැදිලි කිරීම් කටයුතු කරන්නේ සංවිධායක මණ්ඩලයම තමයි. අපේ ගමේ අවුරුදු උත්සවේ කරන්නේ “මොටාගෙදර පුංචි එවුන්ගේ බක්මහ උළෙල“ නමින්. ඒ කියන්නේ එවකට ගමේ පාසල් යන පුංචි දරුවන් තමයි සංවිධානය කරන්නේ.ගමේ වැඩිහිටියන්ගෙන් ලැබෙන අවවාද අනුශාසනා සහ ශක්තිය එක්ක පුංචි එවුන් ඉතාමත් හොඳින් මේ කටයුත්ත සිදුකරනවා. මගේ වසය අවුරුදු 11 සිට 16 දක්වා අවුරුදු ගණනාවක්ම මේ අවුරුදු උත්සවේ සංවිධානය කරන්න ලැබීමම හරි සුන්දර අත්දැකීමක්.
අවුරුදු දවස ලංවෙද්දි ගෙදර හැදෙන රසකැවිලි මෙන්ම නෑදෑ හිතවත් ගෙවල් වලින් ලැබෙන කැවිලි වලින් නිවස පිරෙද්දි අවුරුදු නැකත් ඇයි මෙච්චර ප්‍රමාද කියලත් හිතෙන වෙලාවල් අනන්තයි. ඊලඟට හිතේ තියන ලොකුම ආසාවක් තමයි ඔන්චිල්ලාවක් ගැටගහගන්න එක. දහසක් වැඩ රාජකාරි අතරේ තාත්තාට ඇණයක් වෙන තරමට වද දීලා කොහොම හරි ශක්තිමත් ඔන්චිල්ලාවක් බැඳගත්තු දවසේ ඉඳන් දවසම ගතකරන්නේ ඒකට වෙලා තමයි. ඉස්සර ඔන්චිලි වාරම් දන්නේ නැති මම ඔන්චිල්ලාවට වෙලා ජෝතිපාල මහත්තයාගේ සින්දු කියනවා පාරටත් ඇහෙනවා කියලා අදටත් ගමේ අය අවුරුදු කාලේ ලංවෙනකොට මට මතක් කරනවා. දවසක් හවස ඔන්චිලි පැද පැද ඉන්නකොට අක්කලා දෙන්නත් එක්ක මම ඔන්චිල්ලාව අතඅරින්නේ නැතිම තැන අක්කලා මට ඔන්චිල්ලාව තියාගන්න කියලා ගිහින්. අන්තිමට මට ඔන්චිල්ලාවේම නින්ද ගිහින් අම්මා දැකලා ගෙට ගත්තේ නැත්නම් ශරීර අවයවයක් අහිමිවීම අනිවාර්යයි.
අවුරුදු නැකත් වලට ගෙදර කටයුතු සිදුවෙද්දි අපි බොහෝ වෙලාවට එලියේ සෙල්ලම් කරපු එක තමයි කරන්නේ. ටිකක් ලොකු වෙනකොට හන්දියට ගිහින් යාළුවොත් එක්ක එකතුවෙලා නොනගතය කාලේ පුරාවටම රටේ නැති ඒවා කතාකර කර ඉන්නවා.නැත්නම් කට්ටියම එකතුවෙලා පන්සල් යනවා. අවුරුදු නැකත්වලට අනුවම ඒ චාරිත්‍ර සිදුකරලා ගනුදෙනු කරනකොට ලැබෙන සල්ලි බොහොම පරිස්සමට කැටේ දාලා තියාගන්නවා. කොච්චර ආසාවෙන් හිටියත් කිරිබත් අනුභව කරන ප්‍රමාණය වැඩිවීම නිසා කවදාවත් අවුරුදු මේසෙදි මට එක කැවිලි වර්ගයකට වඩා කන්න අවස්ථාවක් ලැබිලා නෑ. ඊට පස්සේ බත් කන්න බැරි තරමටම කැවිලි කෑම නිසා අවුරුද්දෙන් පස්සේ ගෙදරින් අහන්න වෙන බැනුම් තමයි ලොකුම ගැටළුව.
අවුරුදු උත්සවය සාමාන්‍ය යෙන් අපේ ගමේ හැම අවුරුද්දෙම තියෙන්නේ අවුරුද්දට පස්සේ දවසේ. උදේ මැරතන් තරඟයෙන් ආරම්භවෙලා හවස කළුවර වැටුණටත් පස්සේ තියෙන් තෑගි ප්‍රදානය කිරීමත් එක්ක සතුට මහන්සිය එක්ක අපේ අවුරුදු සුන්දරත්වය හදවතින්ම විඳිනවා. හිසතෙල් ගෑම බොහෝවිට සිදුවුනේ ගමේ ප්‍රජා ශාලාවේදී. එදාට එකම වෙලාවට ගමේ අය අවුරුදු උත්සවයෙන් පස්සේ එකට එකතුවෙනවා. අවුරුදු උත්සවේ දවසේ වැඩ රාජකාරි අධික නිසා බලන්නවත් බැරිවුණු මූණු ටික එදා තමයි බලාගන්නේ. ගමේ උදවිය අතර සිදුවෙන විවාහ වැඩි ගණනකට හේතුවෙන්නේ ඔය අවුරුදු උත්සවේ සහ හිස තෙල් ගෑම වගේම වෙසක් දන්සල තමයි.
අපේ ගම්වල තවමත් අවුරුදු සිරිය තියනවා. විපරිත සමාජය නිසාවෙන් යමක් අඩුවුණත් තවමත් ඒ සිරිය අඩුවක් නෑ. ඒත් අපි බාල කාලේ විඳි අවුරුද්ද කවදාවත් අපේ ඊලඟ පරම්පරාවට විඳින්න ලැබෙන එකක් නෑ. ඒක තමයි හිතට තියන එකම කණගාටුව.
යන විදියට නම් තව වැඩි කාළයක් අවුරුදු කියලා දෙයක් තියෙන් නැතිවෙයි කියලා මටත් හිතෙනවා.. දැනටමත් පරිසරය පවා ඒ විදියට හැඩ ගැහිලනේ.. කොහෝ සද්ද නෑ.. එරබඳු නෑ... ඉතින් අවුරුදුත් නැතිවෙයි ඉස්සරහට.. :(
ReplyDeleteසහතික ඇත්ත නාකියා..රජරට පැත්තටත් ඒ දේම දැනෙනවනම් සමස්තයක් වශයෙන් රටම යන්නේ ඒ පැත්තටයි
Deleteමේ යන විදිහට සිංහල අලුත් අවුරුද්ද ඉස්සරහට ජනවාරි පළවෙනිදා වගේ වෙන්න උනත් බැරි නෑ..
ReplyDeleteඅතීතයේ සංස්කෘතික විපර්යාස සිදුවුනේ හොඳ පැත්තට..දැන් එය නරක පැත්තට සිදුවීම තමයි පෙන්වන්නේ
Deleteෂික්: මේ පාර අපේ ගමේ අවුරුදු උත්සවේට ඉන්න වෙන්නෑනේ...හෙට බෝඩිමට යන්න වෙනවනේ.....
ReplyDeleteඒක තමයි මචං කිව්වේ..මේ කාර්යබහුල බව පස්සේ අපිට දුවන්න වෙලා තියනවා..කණගාටු වෙන්න එපා..ලබන පාරවත් සෙට් වෙන්න බලන්න
Deleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඑසේම වේවා නංගි ඔබටත්
Delete