Mar 15, 2015

යාපනය සංචාරය සහ නාගදීපේ වන්දනාව


ආයතනික සමුළුවක් සඳහා ජීවිතේ ප්‍රථම වතාවට යාපනයට යන්නට ලැබුණු ගමන බොහොම මතක සටහන් එක්කල ගමනක් වුනා. දකුණේ දෙවුන්දර තුඩුවේ ඉඳන් උතුරේ යාපනය දක්වා ගිය ගමන බොහොම සුන්දර ගමනක්. මාතරින් පිටත් වෙලා කොළඹ, පුත්තලම හරහා අනුරාධපුරයට ඇවිත් ඒ9 මාර්ගය ඔස්සේ වවුනියා, ඕමන්තේ,කිලිනොච්චි, අලිමංකඩ, චාවකච්චේරි හරහා යාපනයට ලඟාවෙන්න පැය 10 කට ආසන්න කාලයක් ගතවුනා. 

   මගේ නවාතැන වුනේ යාපනය රෝහල පාරේ පිහිටි යූ.ඒස් හෝටලය නැමති සුඛෝපභෝගී හෝටලය. යාපනයේ ප්‍රථම සංචාරක අත්දැකීම නිසා යාපනයේ මෙවැනි තැන් තියනවද කියන එකත් පුදුමයක් වුනා. ඒත් මීට දශක කීපයකට කලින් කොළඹටත් එහා ගිය සංවර්ධනයක් තිබුණ යාපනය යුද්ධයේ අළු මතින් නැගිටලා ආයෙත් සංවර්ධනය පැත්තට යන එක ලොකු සතුටක්.



මේ යාපනය ශීක්ෂණ රෝහල. බොහොම පහසුකම් සහිතව ඉදිවෙලා තියෙන්නේ නගර මධ්‍යය ආසන්නයේමයි. හරියටම බස් නැවතුම්පොලට මීටර් 100ක් විතර මෙපිටින්. 


යාපනයේ සංකේතය වන ඔරලෝසු කණුව බොහොම සුප්‍රසිද්ධයි. ඒ ආසන්නයේ බොහොම සමරු ස්මාරක පිළිරූ දක්නට පුළුවන්. විශේෂයෙන්ම ඉන්දියාවේ පියා ලෙස හඳුන්වන මහත්මා ගාන්ධි පිළිරුවක් මෙන්ම ඒ නමින් මාර්ගයක්ද යාපනයේ පිහිටා තියනවා. ගාන්ධි නමින් සංගම් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම යාපනයටම සුවිශේෂ වන මිදි,සහ නෙල්ලි ජූස් මේ ආසන්නයෙන් බොහොම සාධාරණ මිලට ගන්න පුළුවන්. ඒ යාපනයේ ස්වදේශීය නිෂ්පාදන ලෙසයි. කරවල,තල් හකුරු, තල් රා වගේ දේවල් වුනත් මේ ආසන්නයෙන් පහසු මිලට ගන්න පුළුවන් වෙළඳසැල් රාශියක් තියනවා. එහෙමත් නැත්නම් කෝපායි, කරෙයිනගර්, නල්ලූර් පැත්තට ගියොත් ගම්වලින් තවත් අඩුවට වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්.

ඒ වගේම නල්ලූර් ගමන බොහොම විශේෂයි. යාපනයේ සිද්ධස්ථාන අතර ප්‍රස්ද්ධම තැනක් තමයි නල්ලූර් කන්දසාමි කෝවිල. ටී ෂර්ට් ගලවලා ගිහින් පැයක් විතර පූජාවට සහභාගිවෙන්න මට හැකිවුනා.





   මගේ මේ සංචාරය අතර විශේෂම මතක සටහන වුනේ නාගදීපයට ගිය ගමන. පොඩි කාලේ ඉඳලම බොහොම ආසාවෙන් යන්න හිටපු ගමනක්. 


මේ යාපනය අර්ධද්වීප සිතියමේ වම් පැත්තේ කෙළවර පුන්කුඩුතිව් දූපතට වම් පැත්තෙන් තියෙන්නේ නාගදීපය නැතිනම් නයිනතිව් කියන දිවයින. ගියපු අයනම් දන්නවා ඇති හොඳට. මම උදේම යාපනය මධ්‍යම බස් නැවතුමෙන් යාපනය - කුරියකට්ටුවාන් බස් රථකයට ගොඩවෙලා ගමන පටන් ගත්තා. යාපනය ඉඳන් කුරියකට්ටුවාන් දක්වා ගාස්තුව රුපියල් 70 ක්, දුර කි.මී 30 ක්. කුරියකට්ටුවාන් කියන්නේ නාගදීපයට යන බෝට්ටු නැවතුම්පල. 



බස් එක යාපනය නගරයේ ඉඳන් නාගදීපය දක්වා යද්දි බොහෝවිට ගමන් කරන්නේ නොගැබුඹු මුහුද මැදින් හදපු පටු පාරවල් වලයි. ඒ කලපු වල බොහෝවිට ඉස්සෝ කොටු නොඅඩුව දකින්න පුළුවන්. බස් රථය කුරියකට්ටුවාන් දක්වා යන ගමනෙදි මණ්ඩතිව්, කයිට්ස්, පුන්කුඩුතිව් කියන දූපත් තුන පහුකරනවා. කයිට්ස් තමයි ඉන් ලොකුම දූපත. කයිට්ස් දූපතේ වෙලනායි ප්‍රදේශය යාපනයේ සාම්ප්‍රදායික පිරිස් බහුලව වාසය කරන ප්‍රදේශයක්.

   කුරියකට්ටුවාන් වලට බස් එක එන්න පැයකට වැඩි කාලයක් ගතවෙනවා. බොහෝවිට මේ දවස්වල මාර්ගය අලුත්වැඩියා කරන නිසා. කුරියකට්ටුවාන් වල රථගාල් වල බොහොමයක් තියෙන්නේ දකුණෙන් ගියපු වාහන. මැදින් පුන් පොහොය දවසේ නිසා නාගදීපේ යන්න බොහෝ පිරිසක් ඇවිත් තිබුණා, ඒ වගේම නාගදීපේ තිබෙන අම්මාන් කෝවිලට යන්න හින්දු බැතිමතුන් බොහෝ දෙනෙක් හිටියා. 


කුරියකට්ටුවාන් බෝට්ටු ජැටිය ලඟටම බස් එක යනවා. එතැන තියන ගොඩනැගිල්ල නාගදීපයට යන ජනතාවට බෝට්ටුවක් එනතෙක් රැඳිලා ඉන්න ඉඩකඩ වෙන්කරලා තිබෙනවා. මෙතන පරිපාලනය වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින්, ආදරණීය නාවික සෙබල පිරිස ඉතාමත් ලොකු සහයක් දෙනවා බැතිමතුන්ට වගේම නාගදීප ජනතාවට.



ජැටියට ආවම නාගදීපය පේන දුරින් තියනවා. ඒත් බෝට්ටුවෙන් දූපතට යන්න විනාඩි 20-30 ක් විතර ගන්නවා. බෝට්ටු සේවය සෑම විනාඩි 15 කට වරක්ම ක්‍රියාත්මක වෙනවා. කුරියකට්ටුවාන් ඉඳලා නාගදීපයට එක් අයෙක්ගෙන් ගාස්තුව රුපියල් 30 ක්. එක් වරකට බෝට්ටුවේ ගෙනයන මගීන් ප්‍රමාණය උපරිම 50යි. මේ බෝට්ටු බොහෝ විට අපි දකින ටැංකි බෝට්ටුයි, ලෑලි බංකු වටේට සවිකරලා තිබෙනවා, බොහෝ දෙනෙක් ගමන් කරන්නේ හිටගෙන.


නාගදීපයේ 5000 කට ආසන්න පිරිසක් වාසය කරනවා. ඔවුන්ගේ ගමන් පහසුකම් සිදුවන්නෙත් බෝට්ටුවෙන්ම තමයි. බඩු පටවගෙන යන්නේ බෝටුවේ ඉහල තට්ටුවේ. හැබැයි බෝටුවට තියෙන්නේ බොහොම පරණ එන්ජිමක් තමයි.


ආරක්ෂක හේතූන් මත බෝට්ටුවේ ගමන් කරන හැමදෙනාම ආරක්ෂිත කබා පැළඳීම අනිවාර්ය වෙනවා. ඒක බොහොම වැදගත් පියවරක්. ඒ වගේම බෝට්ටුව ගමන් කරන්නෙත් ගොඩක් හෙමින්.


සංචාරයේ යෙදෙන්නා බෝට්ටුවේ පා පුවරුවට ගොඩවෙලා ඡායාරූපයක් අරගෙන මතක සටහනක් තියාගත්තා. මේ ගමනේ නැවතුම්පල තමයි නාගදීප විහාරයේ ජැටිය. 


බුදු රජාණන් වහන්සේගේ දෙවනි ලංකා ගමනය සිදුවන සම්බුද්ධ පාදස්පර්ශිත බිමකට ආවා කියන හැඟීම මෙතනට පය තියපු ගමන් දැනුනා කියලා අවංකව කියන්නට ඕන. ටික දුරක් ජැටිය දිගේ ඇවිදගෙන යනකොට තිබෙන්නේ නාගදීප විහාරයේ පිවිසුම


මෙතැන ඉඳගෙන මම ජංගම දුරකතනයෙන් මූණු පොතට පිවිසිලා පුංචි සටහනක් දැම්මා..“මලත් කමක් නෑ මලක් අරන් මම නාගදීපේ ආවා“ කියලා...බොහොම සුන්දර වගේම පින්බර හැඟීමක් හිතට දැනුනා. එදා පෝය දවසේ නාවික හමුදාවෙන් සිල්ඇත්තන්ට සහ බැතිමතුන්ට දානය ලබාදෙන බොහොම පින්බර කටයුත්තක් ඒ වෙනකොට සිද්ධවුනා. සංචාරකයා අලුත් බුදුමැදුර වන්දනා කරලා ගිනි කාෂ්ඨක අව්වේ බුදු හිමියන් නාගයන් අතර ගැටුම සමතයකට පත්කරලා ඔවුන්ට ධර්මය දේශනා කරපු ස්ථානයේ පිහිටි චෛත්‍යය වන්දනා කලා.


පැරණි බුදු මැදුර වටා බිත්තිවල නාගදීප විහාරාධිපති හිමියන්ගේ මතක සටහන් රැගත් ඡායාරූප විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කරලා තියනවා. ගියොත් බලන්න අමතක කරන්න එපා. දහවල් කාලයේ තියෙන්නේ පුදුම රස්නයක්. වැලි පොලවේ අඩිය තියන්න පවා අමාරුයි. ඔබත් සංචාරයට යනවනම් ලොකු තොප්පියක්, වතුර බෝතලයක් එහෙම ගෙනයන්න අමතක කරන්න එපා.



නාගදීප විහාරයෙන් දකුණු පසට දිවෙන මාර්ගයේ මීටර් 500ක් විතර ගියාම තියෙන්නේ අම්මාන් කෝවිල. විශාල කෝවිලක්, මේ යන ගමන් මාර්ගයේ බොහොමයක් කඩ තියනවා. හැම කඩේම වගේ මිල ගණන් සාධාරණයි. ඉන්න අයට සිංහලත් හොඳට පුළුවන්. අම්මාන් කෝවිලේ බාර හාර වෙන්න බොහොමයක් බැතිමතුන් එනවා. අම්මාන් කෝවිල ඉස්සරහ ඉඳගෙන සංචාරකයා මතක සටහන් ඡායාරූපයක් ගත්තා.


අන්තිමට හෝරා කීපයක් නාගදීප උතුම් පින්බිමේ ගතකරලා සතුටු සිතින් අම්මාන් කෝවිල ඉදිරියේ ජැටියෙන් කුරියකට්ටුවාන් බලා එන බෝට්ටුවකට නගින්න පිටත්වුනා.


මේ මාර්ගය කෙලවර තමයි ජැටිය තියෙන්නේ. එතන ඉඳලා පුරුදු විදියට කුරියකට්ටුවාන් වලට ගිහින් බස් එකේ යාපනයට යන්න පුළුවන්. පෝය දවස්වල සහ සති අන්තයේ, විශේෂ නිවාඩු දවස්වල බස් සහ බෝට්ටු නිතරම තියනවා, ඒත් අනිත් දවස්වලට ටිකක් අඩුයි කියලා වෙලඳසැල්වල පිරිස ප්‍රකාශ කලා. කොහොම වුනත් හවස 4 ට 5 කලින් නාගදීපෙන් පිටවෙලා ආවොත් බස් එකක් බෝට්ටුවක් අල්ලගන්න අමාරුවෙන්නේ නෑ. 

   ඉතින් යාපනය සංචාරයේ සොඳුරු මතක සමරු කීපයක් මෙහෙම ලිපියකට කැටි කලා. ඒත් හිතේ තියන මතක සේරම දිගහරින්නට බැරිවුනත් ඔබසැම මෙය විඳිය යුතුම අත්දැකීමක් කියලා සඳහන් කල යුතුමයි.

3 comments:

  1. අඩේ උබලානම් සමුළුවක් හන්දවත් ඔය පැත්තේ රවුමක් දාලා එන්න යනවා.. අපිට තමයි තාම යන්න බැරි උනේ..

    ReplyDelete
  2. උඹ අයිස්කිරිං කාලා නෑනේ.. අපරාදේ ඕයි..

    ReplyDelete
  3. නියම විස්තරයක්. මටත් තාම යන්න බැරි උනා.

    ReplyDelete