Sep 6, 2024

අලුත් පරපුර ඉල්ලන්නේ පරණ ජනාධිපති කෙනෙක්ද?

 


තව සති කිහිපයකින් ලංකාවේ ජනතාව ඉතා තීරණාත්මක තෝරාගැනීමක් කිරීමට සිදුවනු ඇත. එක පැත්තකින් එකී තීරණය සමස්ත රටේ ඉදිරි වසර කිහිපයේ ඉරණම තීරණය කරන තෝරාගැනීමක් පමණක්ම නොව, ඇතැම්විට රටේ අනාගත ඉරණම තීරණය කරන තෝරාගැනීමක් විය හැකිය. දැවැන්ත අර් බුද ගණනාවක් සමග පොරබදන, ඉතා අස්ථාවර අනාගතයක පෙර නිමිති ඇති රටක පාලකයා තේරීම ඒ තරමටම බරපතල තෝරගැනීමක් බව නැවත නැවතත් කිවයුතු නැත.

මීට මාසයකට පමණ පෙර ලංකාවේ වගේම ඇමරිකාවද තමන්ගේ ඊළඟ ජනාධිපතිවරයා තෝරාගැනීම සම්බන්ධයෙන් වන නිල නිවේදනය නිකුත් කරනු ලැබීය. ව්‍යවස්ථානුකූලව වත්මන් ඇමරිකා ජනපති ජෝ බයිඩ්න්ට දෙවැනි වරටත් මැතිවරණයට ඉදිරිපත්විය හැකි බැවින් ඩිමොක්‍රටික් පක්ෂයට ඔහු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කල හැකිව තිබිණි. රිපබ්ලිකන් පක්ෂය පැත්තෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් තමන්ගේ දෙවැනි වරම අපේක්ෂාවෙන් තරගයට පිවිසෙන බවද ආරංචි මාර් ග ඔස්සේ වාර් තා විය.

එහෙත් කාලයක් තිස්සේ 81 හැවිරිදි ජෝ බයිඩ්න්ගේ කායික සහ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් විවිධ කතා මතුවෙමින් තිබිණි. අවස්ථා ගණනාවකදීම බයිඩ්න්ගේ කායික ශක්තිය දුර් වලවීම් පැහැදිලිවම පෙනෙන්න තිබුණු අතරම, ඔහුවේ විවිධ ප්‍රකාශ සහ හැසිරීම් සමග මානසික සෞඛ්‍යද ප්‍රශ්නකාරී තැනක ඇතිබව ඇමරිකානු මාධ්‍ය විසින් ජනතාවට වඩ වඩාත් හුවා දක්වනු ලැබීය. එහි ප්‍රතිඵලය වුනේ ට්‍රම්ප් සමග සටනින් ජෝ බයිඩ්න් ඉවතට විසිවීමය. ඒ අනුව ඒ අවස්ථාව හිමිවෙන්නේ වත්මන් උප ජනාධිපතිනි කමලා හැරිස්ට ය. කමලා තවමත් පසුවන්නේ 59 වැනි වියේය.

කෙසේ වුවත් ජෝ බයිඩ්න්ගේ ඉවත්වීමත් සමගම රාජ්‍යයක පාලකයාගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ලොව පුරා කතාබහක් නිර් මාණය වුනේ නිරායාසයෙනි. එවැනි වාතාවරණයක ශ්‍රී ලංකාව ද නව පාලකයෙක් තෝරාගැනීමට සූදානමින් සිටින නිසා මෙම කතාබහ ලංකාව තුල ද පැතිරයාම වැලැක්විය නොහැකිය. ඒ නිසාම ලංකාවේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවිධ මතදැක්වීම් සහ මත ගැටීම් මේ දිනවල ඕනෑ තරම් දැකිය හැකිය.

ඒ හරහා මතුවන ගැටළුව වන්නේ ශ්‍රී ලංකාවේ අලුත් පරපුර අපේක්ෂා කරන්නේ වයසින් වැඩි අත්දැකීම් බහුල පරිණත පාලකයෙක් ද? නැත්නම් සාපේක්ෂව වයසින් අඩු පරිපාලන අත්දැකීම් අඩු පාලකයෙක් ද යන්න යි.

පුද්ගලයෙක්ට පූර් ණ කාලීන රැකියාවක නිරතවීමට වඩාත් සුදුසු වයස් සීමාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිශ්චිත අදහසක් දක්වා නොමැත. ඒත් අන්තර් ජාතික කම්කරු සංවිධානයේ මගපෙන්වීම් හා යෝජනා මත බොහෝ රටවල් පූර් ණ කාලීන රැකියා සඳහා සුදුසු වයස් සීමාව ලෙස වයස 15 සිට 64 දක්වා සඳහන් කර ඇත. ඒත් ඇතැම් රටවල මෙය වයස 25 සිට 54 දක්වා සීමාව අඩුකිරීම සිදුකර ඇත. මේ අවස්ථා දෙකම ගෙන බැලුවත්, වයස අවුරුදු 64 ඉක්මවූ පුද්ගලයන් පූර් ණ කාලීන රැකියාවක යෙදීම යෝජනා නොකරන්නට හේතු කිහිපයක් තිබේ.

විශේෂයෙන්ම අත්දැකීම් සහිත වයසින් වැඩි පුද්ගලයෙක් යනු තනතුරක් දැරීමට වඩා සුදුසු පුද්ගලයෙක් වුනත්, වියපත්වීම සමග එන කායික මානසික සෞඛ්‍ය පිරිහීම් නිසා, තීරණාත්මක තනතුරු සඳහා උපරිම වයස් සීමාවක් ඇතැම් රටවල්, ඇතැම් ආයතන, සංවිධාන නිර් දේශ කරන්නට කටයුතු කර තිබෙනවා. එයට හේතුව වියපත් පුද්ගලයන් සමග ඇති කිසිඳු පුද්ගලික කෝන්තරයක් හෝ වයස්ගත පුද්ගලයන් සමාජයෙන් කොන්කිරීමට කටයුතු කිරීමක් නොව, ජීව විද්‍යාත්මකව සිදුවන වෙනස්වීම් මත අවදානමක් ගැනීමට නොහැකි නිසා මෙවැනි වයස් සීමාවක් තීරණය කරන්නට ඇත.

එහෙත් ලෝකය පුරාම දේශපාලනය හෝ රාජ්‍ය පාලනය පිළිබඳ කතා කරද්දි තත්ත්වය සම්පූර් ණයෙන්ම වෙනස්ය. ලෝකයේ ප්‍රධාන රටවල් කිහිපයක මේ දක්වා පාලනය කල ජනාධිපතිවරු හෝ අගමැතිවරුන්ගේ වයස් පිළිබඳ සලකා බැලුවොත්, ඇමරිකා එක්සත් ජනපදයේ මේ දක්වා ජනාධිපතිධූරය දැරූ වයස්ගතම පුද්ගලයා ජෝ බයිඩ්න් ය. ඔහු 78 වැනි වියේදී තනතුරට පත්වූ අතර මේ වෙද්දි ඔහුගේ වයස 81 කි. නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ වැඩිමල්ම පුද්ගලයා වෝල්ටර් නෑෂ් එම තනතුරට තේරීපත්වන විට වයස 75කි, ඉන්දියාවේ මෝරාජි දේසායි 1977දි බලයට පත්වන විට වයස 81කි, ලංකාවේ නම් ජනාධිපතිධූරය දැරූ වැඩිමල්ම පුද්ගලයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන අතර ඔහුට තනතුර හිමිවෙද්දි වයස 73කි.

එහෙත් එක්සත් රාජධානියේ අගමැතිධූරය දැරූ වයස්ගතම පුද්ගලයා හෙන්රි කැම්බෙල්ට වයස 69කි, රුසියාවේ නම් වයස 66 කි, ඕස්ට්‍රේලියාවේදි මෙය වයස 67ක් වේ, පාකිස්ථානයේ අගමැති ධූරය දැරූ වැඩිමහලුම පුද්ගලයාට එම තරනතුර ලැබෙද්දි වයස 65කි.

ඇමරිකාවේ පාලන බලය හිමිකරගත් ලාබාලතම ජනාධීපතිවරයා තියඩෝර් රූස්වෙල්ට ය. ඔහු තනතුරට එද්දී වයස 42 කි. එංගලන්තයේ විලියම් පිට් අගමැති තනතුර පත්වෙද්දී ඔහුට වයස යාන්තම් 24 පමණි,  රුසියාවේ දිමිත්‍රි මෙද්වෙදෙව් වයස 42න් ජනාධිපති වූ අතරේ පුටින් බලයට එද්දී වයස 47කි. ඕස්ට්‍රේලියාවේ ජෝර් ජ රීඩ් බලයට පත්වෙද්දී ඔහුට වයස 37ක් වූ අතර නවසීලන්තයේ ජූලියා වෝග් අගමැති වන්නේ වයස 34දී ය. ඉන්දියාවේ රජිව් ගාන්ධි වයස 40න් අගමැති තනතුරට එද්දී, ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරණායක යන දෙදෙනාම ජනාධිපතිධූරයට පත්වෙන්නේ වයස 54 දී ය.

මෙකී රටවල මේ දක්වා පත්වුණු සියලුම පාලකයන්ගේ වයස්වල සාමාන්‍ය සලකා බැලූවිට ඇමරිකාවේ දී වයස 55ක්, එංගලන්තයේදී සහ ඕස්ට්‍රේලියාවේදී වයස 52ක්,  නවසීලන්තයේ වයස 58ක්, ඉන්දියාවේ වයස 61ක්, පාකිස්ථානයේ වයස 59ක් සහ ශ්‍රී ලංකාවේ වයස 63ක් ලෙස සඳහන් කල හැකිය. සලකා නොබැලූ රටවල් විශාල සංඛ්‍යාවක් තිබුණත්, ඒ රටවල් බොහොමයකම ප්‍රතිඵලය මේ හා සමානය. එනම් බොහෝ රටවල බලයට පත්වූ පාලකයන් වයස අවුරුදු 50-65 අතර පුද්ගලයන් වූහ.

මෑත කාලයේදී බලයට පත්වී අදාල රටවල් තුල කැපී පෙනෙන සංවර් ධනයන් සහ ප්‍රතිසංස්කරණයන් සිදුකල පාලකයන් විදිහට ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ (52), එම්මානුවෙල් මැක්‍රෝන් (39), අයර් ලන්තයේ ලියෝ වරාද්කාර් (38), ඕස්ට්‍රේලියාවේ ජූලියා ගිලාඩ් (49) සහ තවත් ගණනාවක් සිහිපත්කල හැකිය. එසේම මෑත කාලීනව චිලී රාජ්‍ය, කොසෝවෝ, තායිලන්තය වැනි රටවල් වයසින් අඩු පාලකයන් අතට තමන්ගේ රටේ පාලනය බාරදී තිබීම විශේෂ ප්‍රවණතාවකි.

සීරුවෙන් අධ්‍යයනය කරද්දී පෙනී යන කරුණ නම් මෑතකදී තේරී පත්වුණු වයස අවුරුදු 45-65 අතර ජනාධිපතිවරුන් හෝ අගමැතිවරුන් සිටින රටවල ජනගහණයෙන් ආසන්න වශයෙන් 55%-65% අතර පිරිසක් වයස අවුරුදු 18-65 අතර ජනතාව සිටින රටවල් ය. ප්‍රංශය, ඩෙන්මාර් ක්, කැනඩාව, තුර් කිය, එස්ටෝනියාව, ලක්සම්බර් ග්, අයර් ලන්තය වැනි රටවල් ඒ ගොන්නට අයත් වේ. ලංකාවේ දළ වශයෙන් මේ වයස් කාණ්ඩයේ සිටන ජනතා ප්‍රතිශතය ආසන්න වශයෙන් 75%ක් පමණ වේ. ඒ නිසා මේ ජන කණ්ඩායමට රටේ මීළඟ ජනාධිපති තෝරගැනීම සඳහා වැඩිම බලපෑමක් කලහැකි ජන කණ්ඩායම බව පැහැදිලිය. එසේම ඔවුන්ගේ අපේක්ෂාව අනෙත් රටවල් හා සාපේක්ෂව බලන විට ඉතා ලාබාල හෝ ඉතා වැඩිමහළු ජනතා නායකයෙක් නොවන බව උපකල්පනය කළ හැකිය.

තාක්ෂණයේ දියුණුව සහ අනෙකුත් ගෝලීය ප්‍රවණතා සලකා බැලීමේදී පෙනී යන්නේ අලුත් පරපුර, විශේෂයෙන්ම තරුණ ජන කණ්ඩායම තමන්ගේ අනාගත නායකයා සම්බන්ධයෙන් බර තබන අපේක්ෂාවන් ආසන්න දශක කිහිපය හා සංසන්දනය කරද්දී සම්පූර් ණයෙන්ම වෙනස්වී ඇති බවය. ලංකාවේ සමස්ත ඡන්දදායකයන්ගෙන් 22.7%ක ප්‍රමාණයක් වයස අවුරුදු 22-29 වයස් කාණ්ඩයට අයත් වේ, එසේම 22.4%ක ප්‍රමාණයක් වයස 30-39 කාණ්ඩයට අයත් ය. එලෙස සලකා බලද්දී සමස්ත ඡන්ද දායකයන්ගෙන් 45.1%ක්  මේ කණ්ඩායමට අයත් වේ. වෙනත් ආකාරයකින් කිවහොත් ‘වයි පරම්පරාව‘ සහ ‘ඉසෙඩ් පරම්පරාව‘ ලෙසින් හදුන්වන්නේ මොවුන් ය. පොදුවේ අලුත් පරපුර කියා ඔවුන් හැඳින්වූවාට වරදක් නැත.

මේ අලුත් පරපුර තවදුරටත් බේස්ලට් පොරොන්දු, රට රැකියා පොරොන්දු, පුංචි කාර් පොරොන්දු වලට මෙන්ම ආසියාවේ ආශ්චර් යය වැනි පොරොන්දුවලින් ආකර් ශණය කරගත හැකි පිරිසක් ලෙස සිතා කටයුතු කරන දේශපාලනඥයන්ට මෙන්ම ප්‍රචාරණ වැඩසටහන් නිර් මාපකයන්ට ද කොතනකදී හෝ වරදිනු නියතය. අසූව දශකයේ සහ අනූව දශකයේ ඉපදුනු වයි පරපුර සහ නව සහස්‍රකයේ ඉපදුණු ඉසෙඩ් පරපුර ඉන් ඔබ්බට ගිය චින්තනයකින් ලෝකය දකින පරම්පරාවකි.

මේ පරපුරේ ඡන්දදායකයන්ගේ දෙම්පියන්ට හෝ ඔවුන්ට පෙර පරපුරට නොතිබුණු තොරතුරු සහ මූලාශ්‍රයන්ට ප්‍රවේශවීමේ හැකියාවක් වගේම සමාජ මාධ්‍ය යනුවෙන් හැඳින්වෙන තමන්ටම කියා සන්නිවේදන අවකාශයක් ඇති නිසා ඉතා ක්ෂණිකව මෙන්ම වඩාත් විස්තරාත්මක තොරතුරු විශ්ලේෂණයන්ට ඇති අවස්ථාව ඉතා ඉහළය. ඒ නිසා ඔවුන්ගේ අපේක්ෂාවන් ඇත්තේ තිරසාර සංවර් ධන ඉලක්කවලටද එහා ගිය තැනකය.

එසේම ඒ පරපුර හුදෙක් බඩගෝස්තරවාදී එදාවේල් චින්තනයෙන් ඔබ්බට තමන්ගේ අවශ්‍යතා සහ වුවමනා පුළුල් ලෙස විමර් ශණය කරයි. ඒවාට ලඟාවීමේ ශක්‍යතාවය අවබෝධ කරගනියි. එසේම තීරණ ගැනීමේදී ඒ තීරණ සඳහා පදනම් කරගන්නේ හුදෙක් තෙල් පෝලිම් හෝ කිරිපිටි පෝලිම් ඇතිවීම නොව, ඒවා ඇතිවුණේ කෙසේද යන්න පිළිබඳ හොඳ අවබෝධයකින් බව පැහැදිලිය. එනම් ඵලය දෙස නොව හේතුව දෙස බලන පරපුරකි. ඒ නිසා මෙකී පරපුරට අවශ්‍ය යළිත් පෝලිම්වල සිටින්නට හෝ පෝලීම් පිළිබඳ ප්‍රාණ බයකින් තීරණ ගැනීමට නොව. එසේ වූයේ ඇයි ද යන්න පිළිබඳ සිතා අවශ්‍ය තැනට අවශ්‍ය දේ කිරීමය.

ඒ නිසා එළඹෙන ජනාධිපතිවරණයේදී ලංකාවේ අලුත් පරම්පරාව නියෝජනය කරන 45%කට වැඩි ඡන්දදායකයන්ගේ තීරණය අතිශයින්ම තීරණාත්මක ය. ඒ නිසා මේ මොහොතේ විමසිල්ලෙන් බැලිය යුත්තේ ඔවුන්ගේ අපේකෂාවන් දෙසය. ඔවුන්ගේ මතය දෙසය. රටේ අනාගතය සම්බන්ධයෙන් වැඩිම වගකීමක් ඇති මෙන්ම, රටේ අනාගතයේ සාර් ථක අසාර් ථකභාවය දැඩිලෙසම බලපාන පරපුර ලෙස ඔවුන් ජනාධිපති අපේක්ෂකයන්ගේ පොරොන්දු මල්ල මත පදනම්ව තීරණ ගනු ඇතැයි සිතීම විහිලුවකි.

ඊට වඩා ඔවුන් මේ මොහොතේ තමන්ගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන ඇති, තමන්ගේ මතවාදයන්ට සහ සිතුම් පැතුම්වලට වඩාත් ලඟ සහ තමන්ගේ අපේක්ෂාවන් යථාර් ථයක් කිරීමට භාවිතාවෙන්ම ශක්‍යතාවයක් ඇති තේරිමට යොමුවනු ඇති බවට සැකයක් නැත.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
2024.09.05 මොනරා පුවත්පත 


2 comments:

  1. ඇත්ත. තරැණ පරපුර ඉක්මනින් තොරතුරැ ගලා යනව... ඒවයෙ නිරවද්‍යතාවය කොහි හැටි වෙතත්.

    ඒත් දැනටනම් කලින් පාරවල්වල වගෙ නාට්‍යය පෙන්වගන්න බැරි හැඩක් තියෙන්නෙ. ඒක ජනමාධ්‍ය සාක්ෂරතාවද කියන්න කල් වැඩි කියලයි හිතෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. ජනමාධ්‍ය සාක්ෂරතාවයටත් වඩා මම හිතන්නේ බිම් මට්ටමේ ඉඳන් මිනිස්සු යම්තාක් විදිහට දැනුවත්වීම එක්ක එක මූලාශ්‍රයක තොරතුරුවලින් සෑහීමකට පත්වෙන්නේ නැතිව තවත් මූලාශ්‍රයකින් තහවුරු වෙනකල් බලාගෙන ඉන්නවා. ඒක ඉවසීමත් එක්ක එන හොඳ තත්ත්වයක්

      Delete