Sep 6, 2024

පිළිතුරු තැපෑලෙන්


ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භවුණා. ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්‍ය සේවකයන්ට. තමන්ගේ රාජකාරීමය බැඳීම් එක්ක බොහෝවිට තමන්ගේ දේශපාලන මතවාදය සඟවගෙන කටයුතු කරන්න සිද්ධවෙන රාජ්‍ය සේවකයන්ට, අනිත් ඡන්දදායකයන්ට කලින් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න ලැබෙනවා.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම් සම්බන්ධයෙන් ඊයේ සහ අද පුවත්පත් වාර් තාවලින් කියවුණේ, මේ පාර වෙනදාට වඩා තැපැල් ඡන්ද ප්‍රකාශ කරන්න රාජ්‍ය සේවකයන්ගේ උනන්දුව වැඩියි කියලා. බොහෝ තැන්වල් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 100% සටහන් වෙලා තිබුණා කියලත් පුවත්පත් වාර් තා සඳහන් කරනවා.

පහුගිය 2019,2015 වගේම 2010 ජනාධිපතිවරණවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම් සලකලා බැලුවම සාමාන්‍යයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ 98.8%, ගම්පහ දිස්ත්‍රික්කයේ 98.2%, ගාල්ල දිස්ත්‍රික්කයේ 98.7%, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 98.6% සහ මහනුවර දිස්ත්‍රික්කයේ 98.6% ක් විදිහට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සටහන් වෙනවා.

සාපේක්ෂව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම ලංකාවේ 97%ක වගේ සාමාන්‍ය අගයක් තියෙද්දි මේ අගය 1%කින් වැඩිවුණත් ඒක කැපී පෙනෙන වෙනසක් විදිහට දකින්න පුළුවන්. රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ උනන්දුව 1%කින් වැඩිවුනත් එයින් පෙන්නලා දෙන්නේ රාජ්‍ය සේවකයන්ට මොකක්හරි පිළීතුරක් හෝ අදහසක් සන්නිවේදනය කරන්න බරපතල වුවමනාවක් තියනවා කියන එකයි.

පහුගිය කාලය පුරාම රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්නවලදි පැවති ආන්ඩු කටයුතු කරපු විදිහට අවස්ථානුකූලව වෙනස්. ඒත් පහුගිය අවුරුදු දෙක පුරාම රාජ්‍ය සේවකයන් මොනව ප්‍රශ්නය අරගෙන විරෝධතා දැක්වූවත් පිළිතුරු විදිහට ලැබුණේ දරුණු මර් ධනය කිරීම්, පහරදීම්, ජල ප්‍රහාර එල්ල කිරීම් හෝ අත්අඩංගුවට ගැනීම් සහ වැඩ තහනම් කිරීම්.

ජනාධිපතිගේ වැය ශීර් ෂය අවස්ථා ගණනාවකදි වැඩි කරගනිමින් සහ අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය සියලුම වරදාන වරප්‍රසාද අඩු නැතිව ප්‍රදානය කරද්දි, රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්නවලට හැමදාම ලැබුණේ හිංසනකාරී පිළිතුරු. නැත්නම් මාධ්‍ය කැමරා ඉදිරියේ රාජ්‍ය සේවකයන්ට බලු බැනුම්. යාන්ත්‍රණය විධිමත් කරනවා වෙනුවට, වඩාත් හොඳ රාජ්‍ය සේවකයට අවශ්‍ය ක්‍රම වෙනස කරනවා වෙනුවට රාජ්‍ය සේවකයන්ට ලැබුණු පිළිතුර දරුණු ප්‍රහාරයන්.

ඒත් තැපැල් ඡන්දය ඔන්න මෙන්න තියෙද්දි රාජ්‍ය සේවකයන් වෙනුවෙන් හිතාගන්න බැරි පඩි වැඩිකිරීම්, හිතාගන්න බැරි යෝජනා, ආදරණීය ආමන්ත්‍රණ වැහි වහිමින් තිබුණා. ඉතින් මිත්‍රවරුනි, මම හිතන්නේ රාජ්‍ය සේවකයන් තමන්ගේ පිළිතුරු තැපෑලෙන් එවලා ඇති.

2024.09.06


2 comments:

  1. පහුගිය කාලෙ බලද්දී තැපෑලෙන් ආවෙ හරි පිළිතුරුම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මේ පාරත් බලන් ඉමු - තැපෑල සම්බන්ධයෙන් ඊට වඩා දෙයක් කරන්න අමාරුයි ඉතින් අපිට!

      Delete