Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Mar 3, 2012

ප්‍රාථමික අධ්‍යාපනය,දරුවා සහ දෙමව්පියන්

නූතන අධ්‍යාපනය කොතනටද යන පැනයට දිය හැකි සරලම පිළිතුර “නොදනී“ යන්නයි. ඒ මන්ද වත්මන් අධ්‍යාපනය හුදෙක් අධ්‍යාපනයට වඩා තරඟකාරිත්වය පෙරටුගාමී කරගත් නිලලත් සූදුවක් බවට පත්වීමේ ගති ලක්ෂණ සමස්ත වශයෙන්ම විද්‍යමාන කරන බැවින්ය. ඕනෑම දෙයකට තරඟයක් තිබීමෙන් වඩාත් හොඳ සහ නව්‍ය දේ බිහිවිය හැකි වූවත් තරඟකාරීත්වය යටතේ බිහිවන දේ ඇති ගුණාත්මකභාවය පිළිබඳ ගැටළුවක් ඇත. වත්මන් අධ්‍යාපනයේදීද මේ සමාජ සත්‍ය ප්‍රත්‍යක්ෂ වන අවස්ථාවකි. නූතන ප්‍රාථමික අධ්‍යාපනය දෙස අවධානය යොමුකලහොත් මෙහි කූටප්‍රාප්තිය දැකගත හැක. දරුවෙක් ඉපදුනු පසු භෞතිකමය පෝෂණයටත් වඩා ඉහල මට්ටමකින් ලබාදිය යුතු ආධ්‍යාත්මික පෝෂණය අද ලෝකය තුල කුඩා දරුවාට ලැබේද යන්න ගැටළුවකි. එසේ ආධ්‍යාත්මික ගුණවගාවකින් (Spiritual Development) තොරව අනාගතයට රැගෙන එන දරුවා දැන් අකුරු ගැලපීම ආරම්භකරන්නේ බොහෝවිට වයස 2 හෝ 3 කාලයේදීය. සැබෑලෙසම පරිසර අනුයෝජනයට දරුවා අනුගතවීමට ස්වභාවිකවම ඉඩ ලැබෙනවානම් මේ කාල පරාසය තුල දරුවා ඉගනගත යුතු වන්නේ පරිසරයේ සංසිද්ධි පමණකි. ඒ මන්ද දරුවාගේ මොළයේ ධාරිතිව අනුව ස්වයං අධ්‍යයනයකින් හා දරුවාගේ ජීවිතයට මාතෘ සෛල එක්කරන මවගේ ඇකයෙන් ලැබෙන අධ්‍යාපනය මිස ABC හෝ ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර්ස්.. නොවේ. නමුත් විකෘති සමාජමය වටපිටාවක් තුල අද සියල්ල ගමන් කරන්නේ සම්මත රටාවෙන් පිටය.


    ඉන්පසු දරුවා සැරසෙන්නේ ඉතාමත් තියුණු සටනකටය. එනම් ජනප්‍රිය පාසලකට රිංගීමේ ඊනියා සටනටය. දෙමව්පියන් විවිධ උපක්‍රම මගින් නගරයේ ජනප්‍රිය පාසලට දරුවා  රිංගවීමට කරනා කූට ක්‍රියාමාර්ග වලට නිකැලල් මනසකින් යුත් දරුවාටද වක්‍රාකාරව මෙන්ම සෘජුවමද දායක වන්නට වේ. බොහෝවිට වත්මන් සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය තුලදී පැහැදිලිවම දරුවාට බොරුකීම තුලින් තමන්ගේ යෝග්‍යතාව ඔප්පු කිරීමට සිදුවී තිබීම අභාග්‍යයකි. නොදැනුවත්වම සමාජයේ හැදෙන ගස් විකෘති කරන්නේ සමාජයේ ඉහල ස්ථරය බව අවබෝධකරගත යුතු සත්‍යයකි. බොහෝවිට මෙලෙසින් විකෘති ලෙස සමාජයට ඇද දමන දරුවා සමාජ කම්පනයට (Social Vibration) ට හසුවී මානසික රෝග තත්වයන්ට පත්වීමේද සම්භාවිතාව වැඩිය. කෙසේ හෝ ජනප්‍රිය පාසලකට රිංගා ගන්නා දරුවා වර්තමානයේ මතක ධාරිතාව ඉක්මවා ගිය විෂය නිර්දේශයක් යටතේ අදියුම් ලබයි. අද 1 හා 2 ශ්‍රේණිවල දරුවන්ට ඇති ගෙදර වැඩ ප්‍රමාණය සමාන්‍ය පෙල දරුවෙක්ටවත් ඇතිදැයි සැක සහිතය. මේ සියලු ක්‍රියාදාමයන් මතින් ගොඩ නගන්නේ තවත් මස් පර්වතයක් මිස නිසි ප්‍රමිතිගත දරුවෙක් නොවන බව මතක තබාගත යුතුය.

   අතීතයේ ඉතා දිළිඳු පවුලක නූගත් දෙමව්පියන්ගේ දරුවන් නගරයේ පාසල් වෙත පියමනින්ට වරම් ලැබ ඉහල සමත්කම් දක්වමින් සරසවි වරම් ලබා සමාජයේ ඉහල තැන්වලට පිවිසෙනු අප නවකතා සහා නාට්‍යය තුලින් දැක ඇත. වර්තමාන සමාජයේ මෙය කල හැකිද? අද ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවාට දෙන ගෙදර වැඩවලින් අඩකටත් වඩා කිරීමට දෙමව්පියන්ගේ හෝ සොහොයුරු සොහොයුරියන්ගේ සහය අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම පහ ශ්‍රේණියේදී මෙය ඉතා වැදගත්ය. නැතිනම් එම අතිරේක අධ්‍යාපනය ලැබීමට දරුවා අතිරේක පන්තියකට වැඩි පිරිවැයක් දරා යැවිය යුතුය. නූගත් දිළිඳු දෙමව්පියන්ට ඉහත කාර්යන් දෙකම කිරීමට හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. දරුවාගේ ගෙදර වැඩට දායක විය හැකි මට්ටමේ දැනුමක් දෙමව්පියන් තුල නැතිනම් දරුවා මඩේ පිපෙන කුසුමක් බවට පත්වීමට වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ හා සමාජ ක්‍රමයේ ඉඩක් නොමැත. දිලිඳු දෙමව්පියන්ට දරුවා අතිරේක පන්ති යවා අතිරේක අධ්‍යාපනයක් ‍දිය නොහැකි බැවින් දරුවා එතනදීත් අසරණ වේ. එසේනම් වත්මන් ප්‍රාථමික අධ්‍යාපනයේදී දරුවාට මෙන්ම දෙමව්පියන්ටද හොඳ දැනුමක්  තිබිය යුතුය යන්න කටුක සත්‍යයකි.

     එසේනම් නූතන තරඟයට ඇද දමන දරුවාට එලෙසින් රුකුල් දීම නොහැකි තත්වයන් යටතේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවාට කුමක් වෙයිද යන්න සිතාබැලිය යුතු කාරණයකි. මේ ක්‍රමවේදය දැන ස්ථාවර වී ඇත. මෙය වෙනස් කිරීම හෝ අතුගා දැමීම ඉතා අපහසුය. නමුත් මෙයට ආකල්පමය වෙනසක් දිය හැකිනම් මීට වඩා සුබදායක වෙනසක් දැකීමට ඉඩ ලැබෙනු නියතය.

16 comments:

  1. හුම් ඒකත් ඇත්ත තමයි...

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද සහෝදරයා..මේක තමයි කටුක යථාර්ථය

      Delete
  2. //අද ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන දරුවාට දෙන ගෙදර වැඩවලින් අඩකටත් වඩා කිරීමට දෙමව්පියන්ගේ හෝ සොහොයුරු සොහොයුරියන්ගේ සහය අත්‍යවශ්‍යය. // සහතික ඇත්ත :P

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ..ප්‍රායෝගික සත්‍යය

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කතා කරල වැඩක් නෑ :(

    ReplyDelete
    Replies
    1. මේවා ගැන කතා නොකරොත් ඒකත් අපි සමාජයට කරන අසාධාරණයක් සහෝදරයා

      Delete
  5. කවද හරි මම මගෙ කෙල්ලව ගමේ මිශ්‍ර පාසලට ඇතුලත් කරන්නෙ කියද්දි හැමෝම වගේ මට බැන්න . . . ඒත් මට ඕනෙ මගෙ දරුවට ලස්සන ළමා කාලයක් ලබාදෙන්න මිසක් පොත්ගොඩකට යටකරවන්න නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සහෝදරයා මගේ ළමා කාලයෙ ගෙවුණේ හරි සුන්දර විදියට ගමේ ඉස්කෝලේ. ඉස්කෝලේ ගියේ පයින්.සොබාදහම එක්ක අපි ඉගනගත්තා.පරිසර අධ්‍යයනය කියලා විෂයකට දවසක් අපේ පන්තියේ හිටපු ළමයි 35 සර් එක්ක කිලෝමීටර 2 ක් පයින් ගියා පාරේ. කිසිම තරඟයක් තිබුනේ නෑ.ටියුෂන් තිබුණේ නෑ.ඒ අතින් දැන් වත්මන් පරපුර හරි දුප්පත්.

      Delete
    2. කුරුණෑගල, රඹුක්කන පාරෙ තිරගම කියන ගමේ ඉස්කෝලෙන් ඉගෙනගත්ත මම ඒ ගමේ ගෙවපු ලස්සන ළමා කාලය මට හැකි උපරිමෙන්ම මගෙ කෙල්ලට ලබාදෙනව . . ඒක තමයි මගෙ බලාපොරොත්තුව

      Delete
    3. පැහැදිලිව වෙන්න ඕන ඒක තමයි සහෝදරයා

      Delete
  6. මොනව කියන්නද කියල තාම හිතාගන්න බෑ.....

    ReplyDelete
    Replies
    1. ටිකක් හිතලා බලලා කියන්නකෝ එහෙනම්

      Delete
  7. ඔබ මේ කියූ දේවල් එක්ක මම සම්පුර්ණයෙන්ම එකගයි..

    ReplyDelete
  8. මගෙ චූටි දුව දැන් 2 පන්තියේ.. ඒ කියන්නෙ 2 පන්තියට ගිහින් මාස 2නෙ.. තනියම වචන හතරෙ වාක්‍ය 5ක් ලියනවා.. මට විශ්වාස කරන්න බෑ.. ඒ වගේම දැනෙන බය වචනවලට කොහොම පෙරලන්නද? ඔබ කියූ දේවල් හැම එකක්ම සග්‍ය බව පිළිගන්නා මුත් යන අතට නොගියොත් අපේ දරුවා කොන් වෙලා මනසින් ඇදවැටෙනවා.. අනේ මන්දා...

    ඕන මල්ලි යේ උඹට ඔය අදහසේ කෙල්ල ඉස්කෝලෙ යනකම්ම ඉන්න පුළුවන් උනොත් මම උඹ ගැන ආඩම්බර වෙනවා ම්ල්ලියේ...

    ReplyDelete
    Replies
    1. බොහොම වැදගත් ප්‍රායෝගික අදහසක්..බොහොම ස්තූතියි සහෝදරි

      Delete