Oct 25, 2017

මොටාගෙදර නම් විප්ලවීය සිත්තරා..


කලකට ඉහත ඩඩ්ලි සේනානයක මැතිඳුන් අගමැති ධූරය හෙබවූ එක්සත් ජාතික පක්ෂ රජයේ පාලන සමයේ පාන් ගෙඩියේ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රටතුල දැඩි ආන්දෝලනයක් ඇතිවිය. ඒ මොහොතේ පාන් ගෙඩිය සම්බන්ධව ඩඞ්ලිගේ බොරු පොරොන්දුව විවේචනය කරන්නට එවකට කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ ’ඇත්ත’ පත්තරේ දේශපාලන කාටූනය ඩඞ්ලිට එල්ලකර තිබුණේ කණේ පහරකි. ඒ පාණ්ගෙඩියක් දෙඅතේ සිරස්ව තබාගෙන ත‍්‍රිභංග ලීලාවෙන් සිටින ඩඞ්ලිගේ කාටූනය යටින් ’පචබාහු’ ලෙසින් සඳහන් කරමින්ය. එවකට මේ කාටූනය දකින්නම ලක්ෂ ගණනක් දෙනා ඇත්ත පත්තරය මිලට ගෙන තිබිණි. ඒ කාටූනය යටින් තිබුණේ එකම එක අත්සනකි. ඒ මොටාගෙදර යි.

1933 අවුරුද්දේ පෙබරවාරි 16 මාතර නගරයට සැතපුම් තුනක් ඔබ්බෙන් මොටාගෙදර ගමේ උපන් මොටාගෙදර වනිගරත්න නමැති චිත‍්‍ර ශිල්පියා යනු අද මෙරට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම චිත‍්‍ර ශිල්පියා බවට අවිවාදයෙන් සඳහන්කල හැක. එහෙත් තවමත් ඔහුගේ නලියන දෙඅත මැජික් ශිල්පියෙක්ගේ දෑත් පරිද්දෙන් පින්සල සහ වර්ණ සමග මුසුව කැන්වසය මත සොඳුරු සිතුවම් මැවෙන්නේ නුදුරු දිනකදී චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වීම අරමුණු කරගෙනය. මොටාගෙදර ගම්මානයේ කෙළවරක ඇති මහාර්ඝ කලාගාරයක් බඳු ’කලාකෙත’ නම්වූ මොටාගෙදර වනිගරත්නයන්ගේ නිවහනට ගොඩවූයේ ඒ විප්ලවීය සිත්තරා සමග මොහොතක් අතීතයට පියමනින්නය.


’මම ස්වෝත්සහයෙන් සම්පූර්ණ චිත‍්‍රයක් ඇඳලා ඉවරකරන්න පුළුවන් මට්ටමට එද්දි 1954 දි විතර මාව කලායතනයට යොමුකලා, ඒ කියන්නේ හේවුඞ් එකට. එතකොට ජේ.සී.ඒ.පෙරේරා මහත්මයා යටතේ තාක්ෂණික කොලෙජියක් විදිහට තමයි කලායතනේ තිබුණේ. තෝරාගන්න ප‍්‍රායෝගික පරීක්ෂණේට තිබුණේ මූර්තියක උඩුකය චිත‍්‍රයක් අඳින්න. මම තමයි එතන හොඳටම ඇඳලා තිබුණේ. ආචාර්ය මණ්ඩලේට ඒ චිත‍්‍රය කොච්චර අල්ලලා ගිහින් තිබුණද කිව්වොත් මාව දැම්මේ පස්වෙනි අවුරුද්දට. එතකොට පරමධම්ම චේතිය පිරිවෙණේ මාපලගම විපුලසාර හාමුදුරුවෝ එහෙමත් කලායතනේ හිටියා. එතනදි තමයි මම දැනගත්තේ බටහිර චිත‍්‍ර ශිල්පය සහ දේශීය චිත‍්‍ර ශිල්පයේ වෙනස එහෙම. චිත‍්‍ර කර්මයේ න්‍යායාත්මක කාරණා මම ඉගනගත්තේ කලායතනෙන් වුනත් ප‍්‍රායෝගික දේවල් එච්චර ඉගනගන්න තිබුණේ නෑ මට. මොකද ඒ වෙනකොටත් මට හොඳට චිත‍්‍ර අඳින්න පුළුවන්. ස්ටැන්ලි අබේසිංහ, එස්.පී.සකලසූරිය, ඩේවිඞ් පේන්ටර් වගේ ආචාර්යවරු මට ගොඩක් උදව් කලා’



මොටාගෙදර මෙලෙසින් තමන්ගේ අතීත කතාව දිගහරිද්දි ඔහුගේ නිවහනේ ආලින්දය පුරාම බිත්ති සැරසී ඇති ඔහුගේ සුප‍්‍රසිද්ධ මිලකල නොහැකි සිතුවම් මෙන්ම සජීවී රූ යැයි රැවටෙන තරමේ ජීවප‍්‍රමාණ මූර්ති සහ දොර ජනෙල්වල පවා ඇඳී ඇති මෝස්තර ඔහුගේ හැකියාව අල්ප මාත‍්‍රයකින් හෝ අඩුවක් නොමැතිව කියාපායි. 

කලායතනයේ කෙටි කලක් ගතවෙද්දී මාපලගම විපුලසාර හිමියන් මැදිහත්වීමෙන් පිහිටවූ ජාතික කලා පෙරමුණට මොටාගෙදරයන් එක්වන්නේ එවකට රටතුල මතුවෙමින් පැවති ස්වදේශීය චින්තනය දෙසට කලාකරුවන්ගේ මානයද යොමුවෙද්දීය. කලා පෙරමුණේ සිටි මොටාගෙදරට විපුලසාර හිමියන්ගේ මැදිහත්වීම නිසා හඳුනාගන්නට ලැබෙන්නේ මෙරට පුවත්පත් කලාවේ එදා මෙදාතුර බිහිවූ අද්වතීය චරිතයකි. ඞී.බී.ධනපාල නම්වූ ඔහු එවකට ’ටයිම්ස්’ පුවත්පත් ජාලයේ කර්තෘවරයා වශයෙන් සිටි අතර ඔහුගේ ආරාධනයෙන් මොටාගෙදර වනිගරත්නයන් ’ලංකාදීප’ පුවත්පතට එක්වන්නේ පිටු සැකසුම් චිත‍්‍ර ශිල්පියෙක් වශයෙන්ය. එදා සිට හරි හරියට පත්තරේ ඇඳෙන මොටාගෙදරයන්ගේ සිතුවම් සහ මෝස්තර ලංකාදීප පුවත්පතට අනන්‍යතාවක් එක්කල බව අදත් බොහෝ දෙනා සාක්ෂි දරති.

’ලංකාදීප පත්තරේ ඔහොම ඉන්න කාලෙදි 1956දී මගේ මුල්ම චිත‍්‍ර ප‍්‍රදර්ශනය පවත්වන්න පුළුවන් වුණා. එදා උදේ මම කලාභවනට එද්දී පාර දිගට දුර පළාත්වලින් ආව බස් නවත්තලා තිබුණා. මටම පුදුම හිතුනා මගේ චිත‍්‍ර බලන්න ආපු සෙනග දැක්කම. පත්තරෙන් ගොඩක් හොඳ ප‍්‍රචාරයක් එහෙමත් දීලා තිබුණා. මිනිස්සු මොටාගෙදර නම අඳුනගත්තේ එතනින් පස්සෙයි.’

ලංකාවේ තොරණ් කලාවේ පෙරලියකට මුලපුරන්නේද මේ විප්ලවකාරී චිත‍්‍ර ශිල්පියාය. සාම්ප‍්‍රදායික තොරණට වෙනස් අර්ථකථනයක් මෙන්ම සාම්ප‍්‍රදායික සීමාවන් අතික‍්‍රමණය කරමින් හෙතෙම තොරණක් තුලින් තොරණකට වඩා දෙයක් කල බව ඔහුගේම වචනවලින් සඳහන් කලේ මෙසේය.


’ඒ කාලේ වෙසක් තොරණ් කියලා රටපුරා ප‍්‍රසිද්ධවෙලා තිබුණේ බුද්ධ රූපය උඩින් සවිකරපු, දෙපැත්ත හරියටම බැලන්ස් කරලා චිත‍්‍ර තිබුණු, ඒකාකාරී රටා මතුවෙන විදුලි ආලෝක තිබුණු තොරණ් සම්ප‍්‍රදායක්. ඔය කාලේ කොළඹ වරායේ තොරණක් නිර්මාණය කරන්න මට අවස්ථාවක් ලැබුණා. මම ඒ තොරණ හැදුවේ ලෝක ගෝලයක් විදිහට, සාම්ප‍්‍රදායිකව මුදුනේ සවිකරන බුද්ධ රූපය වෙනුවට ධර්ම චක‍්‍රයත්, සමබර නොවෙන්න පහන් දැල්ලක චිත‍්‍ර දැක්වෙන විදිහට නිර්මාණය කලා.මුල්ම වතාවට බුද්ධ රූපය තොරණේ පහලට ගෙනාවා.ඒක ඒ කාලේ බොහොම ලොකු පෙරලියක් කරපු තොරණක් වුණා. විදෙස් රටවල පත්තරවල පවා කතාබහට ලක්වෙලා තිබුණා.ලංකාවෙත් විවිධ ඇගයුම් වගේම විවේචනත් ඒ තොරණට එල්ලවුණා. මට ඒවා කිසිම ප‍්‍රශ්නයක් වුනේ නෑ. මොකද මම කලේ අලූත් වැඩක්. ඒ විතරක් නෙවෙයි 71 දී මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයගේ මැදිහත්වීමෙන් තොරණ විද්වත් සමාජය තුලට ගෙනයන්න බලාපොරොත්තුවෙන් විද්‍යා්දය විශ්වවිද්‍යාලය ඇතුලේ ඉදිකරන්නට යෝජනා කරපු තොරණේ චිත‍්‍ර අඳින්න හිටියෙත් මම. ඒකේ පසුබිම් ගීත රචනා සුනිල් ආරියරත්නගෙන්, ගීත ගායනය පණ්ඩිත් අමරදේව සහ නන්දා මාලනී ගෝකුල. ඒත් 71 අපේ‍්‍රල් කැරැුල්ල නිසා තොරණ ඉදිකෙරුණේ නෑ. පස්සේ කාලෙක ඉදි නොවූ තොරණ කියලා පුවත්පත් ලිපි පවා පලවුනේ ඒ ගැනයි. කොහොමත් අවුරුද්දකට තොරණ විශාල ගණනක් මම නිර්මාණය කලා’

කාලෙකට පස්සේ මතවාදීමය ගැටුමක් නිසා ලංකාදීප පුවත්පතෙන් ඉවත්වෙන මොටාගෙදර තමන්ගේ පුද්ගලික සිතුවම්වලින් ජීවිකාව කරගෙන සිටිනවිට නැවත වතාවක් ඩී.බී ධනපාල මහත්මාගේ ආරාධනයෙන් එවකට එම්.ඞී.ගුණසේන සමාගමේ දායකත්වයෙන් ආරම්භවුණ ’දවස’ පුවත්පතට ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා ලෙසින් එක්වීම සිදුවේ. පළමු වතාවට ඉංග‍්‍රසී අකුරු හැඩයට කොටු සිංහල අකුරු භාවිතාකල පුවත්පත වෙන්නේ දවස පුවත්පතයි. පුවත්පතේ නම දැක්වෙන ආකාරයේ ඉඳන් ප‍්‍රධාන සිරස්තලයට පවා භාවිතාකලේ මේ කොට අකුරුවන අතර ඒ අකුරු මාදිලිය එවකට හඳුන්වා තිබුණේ ’මොටා ටයිප්’ යනුවෙන්ය. අදටත් තඩි කොටු අකුරු භාවිතා කරන පුවත්පත් කලාවේදීන් එහි ජන්මලාභය පිළිබඳ නොදන්නා බව සහතිකමුත් එය පිටුපස සිටින්නේ ’මොටා’ ලෙස ක්ෂේත‍්‍රයේ හිතවතුන් හඳුන්වන මොටාගෙදරයන් බව නොරහසකි.

’දවස පත්තරේ පිටු නිර්මාණ වැඩ වගේම පොලිටිකල් කාටූන් අඳින එකත් මම කලා. අපි ඒ දවස්වල දේශපාලඥයන්ගේ වැරදි කාටූන්වලින් බොහොම දැඩිව විවේචනය කලා. ඒ අතරේ මම හැඳුනේ වාමාංශික වටපිටාවක නිසා අගමැති ඩඞ්ලි සේනානයක මහත්මයා දැඩිව මගේ කාටූන්වලින් විවේචනය කලා. ඒ මොන විවේචන වුනත් එතුමා බොහොම හොඳ මහත්මයෙක්. මම අදටත් දකින්නේ නෑ ඒ වගේ හොඳ නායකයෙක්

කොතරම් තදබල විවේචන තිබුණත් පුද්ගලයෙකුගේ හොඳ කියන්නට මොටාගෙදරයන් කිසිවිටක පසුබට නොවේ. දවස පත්තරයේ මොටාගෙදරයන් සිතුවමෙන් හරඹ කරද්දී ලංකාව පුරා ඔහුගේ චිත‍්‍ර ප‍්‍රදර්ශන ජයකෙළි නංවමින් පැවැත්වෙන විට මොටාගෙදර නාමය නොදන්නා කෙනෙක් නැති තැනට පත්විය. සෝවියට් රුසියාවේදී ද ඔහුගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ සුවිශේෂී අත්දෑකීම්ද ජීවිතයට එක්කරමින්ය. වාමවාදී දේශපාලනය පැටි අවධියේ සිටම ග‍්‍රහණය කරගෙන සිටි මොටාගෙදරට මෙය විශේෂ අවස්ථාවක් විය. මේ කාලයේදීම මොටාගෙදරයන්ගේ ජීවිතයට එක්වන අමුත්තිය පසුකලෙක ඔහුගේ සිතුවම්වලට සොඳුරු කවිපද අමුණන්නියක් බවටද පත්විය. සීතා මොටාගෙදර නම්වන මොටාගෙදරයන්ගේ බිරිඳ ’කෝට්ටේ පරණවිතාන’ යන නමින් හඳුන්වන සුප‍්‍රකට පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයෙක්වූ ඩග්ලස්.ඩී.රණසිංහ ය. මොටාගෙදර සහ සීතා මොටාගෙදර යුවලට මූර්ති,සංඛ,තිමල් සහ සිවුමල් යන පුතුන් සිව්දෙනා එක්වන අතර සංඛ මොටාගෙදර යනු සැබෑ ලෙසම මොටාගෙදරයන්ගේ අනාගත චරිතය බව කුඩා කල සිටිම විද්‍යමාන කලත් තරුණ වියෙහිම සිදුවූ ඔහුගේ අකල් මරණය මොටාගෙදරයන්ට දැඩි වේදනාවක් එක්කල සිදුවීමක් විය.නමුත් බුදුදහමට අනුව කර්මය උපේක්ෂාසහගතව බාරගත් මොටාගෙදර සිය පින්සලට විරාමයක් ලබා නොදුන්හ.

’දවස පත්තරේ හිටිද්දි දේශපාලන වශයෙන් විවිධ බලපෑම් එද්දි මම එතනින් එළියට බැස්සා.මොකද මම කාගෙවත් බලපෑම්වලට යටවෙලා වැඩකරන්න කැමති කෙනෙක් නෙවෙයි. කොමිනියුස්ට් පක්ෂේ එක්ක තිබුණ සම්බන්ධතා නිසා 1965දී ඇත්ත පත්තරයට එන්න කියලා මට ආරාධනා කලා. ඊට පස්සේ ඇත්ත පත්තරේ ලාංඡුනයේ ඉඳන් පොලිටිකල් කාටූන් එක දක්වා මම නිර්මාණය කලා. පීටර් කෙනමන් පුද්ගලිකවම ඇවිත් මාව පිළිඅරගෙන ඇත්ත පත්තරේ මගේ කාර්යභාරය ගැන කතාකලා. ඒ කාලේ කොමිනියුස්ට් නායකයෝ බොහොම ලඟ හිතවතුන් වුනා. ඒ මිත‍්‍රකම් කවදාවත් වෙනස්වුනේ නෑ. ඇත්ත පත්තරේ එක්ක මොටාගෙදර කියන නම ලංකාව පුරා ප‍්‍රසිද්ධවුනා. පත්තර කලාව ඇතුලෙත් බොහොම ඉහළ පිළිගැනීමක් ලැබුණා. ඒ මොනවා තිබුණත් මට  තිබුණ පුද්ගලික විවේචන මම හැමදාම බය නැතිව ඉදිරිපත් කලා. මට හොඳට මතකයි දවසක් කේ.පී. ද සිල්වාගේ මූණටම කිව්වා මම ඔබතුමා කොමියුනිස්ට් දේශපාලනේ කලාට කරන වැඩවලනම් ඒක නෑ කියලා. මොකද මම නිදහස් කලාකාරයෙක් කියන එක හැමවෙලේම මගේ ඔළුවේ තිබුණා. අන්තිමට ඇත්ත පත්තරෙන් එළියට බහින්නෙත් ඒ හේතු නිසාම තමයි

කොතරම් සොඳුරු සිතුවම් මොටාගෙදරගේ අතින් නිමවුණද ඔහු සැබෑ ලෙසම විප්ලවකාරී චිත‍්‍ර ශිල්පියෙක් ලෙස පුවත්පත් කලාව තුල පමණක් නොව දේශපාලන ක්ෂේත‍්‍රයේද බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටියහ. පසුකලෙක අහම්බයෙන් මෙන් ලේක්හවුස් ආයතනයට එක්වන මොටාගෙදර සිළුමිණ පුවත් පත සිය සිතුවම්වලින් හැඩගැන්වීම අරඹන අතර මෑතක් වනතුරුම ඉතා ප‍්‍රසිද්ධවූ ’ගුරු ගෝල චිත‍්‍රය’ වැනි නිර්මාණ නිසාවෙන්. පත්තරකාරයන් පෑන් තුඩෙන් ලියවෙන අකුරුවලින් විප්ලවකාරයන් වෙද්දී,මොටාගෙදර පත්තරේ ඇඳෙන සිතුවමෙන් විප්ලවකාරයෙක් වන්නේ එලෙසින්ය. බටහිරවාදී චිත‍්‍ර ශිල්ප කුලකයට ප‍්‍රතිගාමීව දේශීය උරුවකට චිත‍්‍ර ඇඳීමේ කලාව මොටාගෙදරයන් මෙන්ම සමකාලීනයන් වූ හෙන්රි ධර්මසේන,බර්නාඞ් ලොකුගේ,යූ.පී.ද සිල්වා වැනි ශිල්පීන්ද ප‍්‍රචලිත කිරීමෙහිලා  විශාල කාර්යභාරයක් කරන ලදි.

"වර්තමානයේ මෙරට සංස්කෘතික වශයෙන් අඳුරු පරිසරයක් පවතින අතර එයින් මිදීමට  වෑයම්කල කලාකරුවෙක් ලෙස මොටාගෙදරයන් හැඳින්විය හැකිය. ඔහු දේශීය චිත‍්‍ර කලාවේ මූලධර්ම පදනම් කරගෙන නව ආරක් ඉදිරිපත් කිරීමට උත්සහගත් කලාකරුවෙකි. ඔහුගේ මූලික අභිලාශය ජාතිකත්වය තුලින් අන්තර්ජාතික වීමයි." මහාචාර්ය ඒ.බී.දිසානායක එලෙසින් හඳුන්වන්නේ මොටාගෙදර නම්වූ සුවිශේෂී චිත‍්‍ර ශිල්පියා පිළිබඳ ඉතා ලෙංගතු අවබෝධයකින්ය. මොටාගෙදර යන ශ‍්‍රී ලාංකේය චිත‍්‍ර කලාවේ හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින්වූවාට කිසිඳු වරදක් නොමැත. ඔහුගේ අනන්‍යතාව රේඛා චිත‍්‍රයයි.ඔහු තරම් ස්ත‍්‍රී ලාලිත්‍ය මැනවින් මතුකරන වෙනත් චිත‍්‍ර ශිල්පියෙකු නොමැති තරමටම දක්ෂතාව ප‍්‍රබලය. 1989 දී කලාභූෂණ සම්මානයත්, 2010 සෝලියස් මෙන්දිස් සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවත් අදත් මොටාගෙදර සිය නිවස වන කලාකෙත තුල පින්සලෙන් සොඳුරු සිතුවම් මවන නිර්ව්‍යාජ,නිහතමානී මිනිසෙක්බව භාවිතාවෙන්ම පෙන්වා ඇත.


’එදා මාත් එක්ක චිත‍්‍ර ඇඳපු ශිල්පියෝ බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නෑ. එදා මට උදව් කරපු අය අතරේ ඩී.බී.ධනපාල මහත්මයා අදටත් බොහොම ගෞරවයෙන් මතක් කරන්න  ඕන. ඔහු තමයි 56 බණ්ඩාරණායක මහත්මයාගේ ජයග‍්‍රහණය පිටිපස්සේ හිටපු බලකණුව. පංච මහා බලවේග සංකල්පය බිහිකෙරුවේ ඔහුයි. ධනපාල මහත්මයා නැත්නම් බණ්ඩාරණායක කෙනෙක් අගමැති වෙන්නෙත් නෑ. ඒ වගේ සුවිශේෂී චරිත ගණනාවක් එක්ක දිගු ගමනක් එන්න පුළුවන් වුනා. අදත් චිත‍්‍ර අඳින්නේ ප‍්‍රදර්ශනයක් පවත්වන්න බලාපොරොත්තුවෙන්. අද නළු නිලියන්ට තියන ඇගයීම චිත‍්‍ර ශිල්පීන්ට නෑ. අඩුම තරමේ චිත‍්‍ර ශිල්පීන් වෙනුවෙන් සම්මාන උළෙලක්වත් මේ රටේ පැවැත්වෙන්නේ නෑ. ඒ නිසා චිත‍්‍ර ශිල්පීන් බිහිවීමත් අඩුවෙලා. අපි පින්සලෙන් සටන් කරපු කාලේ බොහොම කටුක වුනත් අදටත් සුන්දරයි’

මොටාගෙදර නම්වූ සොඳුරු විප්ලවීය චිත‍්‍ර ශිල්පියා තමන්ගේ කතාව අවසන් කලේ ඒ වචන කිහිපය එක්කයි.

සංවාද සටහන සහ ඡායාරූප - ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
"ඉවුර" අතිරේකය 2016.03.22 ඉරුදින

1 comment:

  1. අර්ථාන්විත ගවේශණයක්, විස්තරයට ස්තුතියි...!

    ReplyDelete