Aug 30, 2013

ප්‍රශ්න තුනක් අසා හිතේ රහස් එළියට ගන්නා අපූරුම ක්‍රමය


මේක මගේ මිත්‍රයෙක් කරපු වැඩක්. ඒක නිසා එතුමාට උපහාර වශයෙන් මේක ඉදිරිපත් කරන්න කැමතියි. සිද්ධිය වුණේ මීට අවුරුද්දකට විතර කලින්. අගනගරේ සුප්‍රසිද්ධ හෝටලයක තිබුණ සාදයක් ඉවරවෙලා සාදෙට ආපු ඇත්තෝ ආගිය තොරතුරු කතා කරමින් ඉන්නවා. එතන තිබුණේ බොහොම උද්යෝගයෙන් අඩු පාළු ස්වභාවයක්. මගේ මිත්‍රයට මේ පාළුව කියන දේ පාඩුවේ තියෙන්න ඉන්න බැරි පුද්ගලයෙක්. මිනිහත් මේ සාදේ ආරාධිතයෙක් විදියට ඇවිත් හිටියා. 

   ඔහොම ඉඳලා ඉඳලා මේ අප්‍රිය පාළුව තව දුරටත් විඳගන්න බැරිවෙච්ච මගේ මිත්‍රයා නැගිටලා කට්ටියගෙම අවධානය ගන්න මෙහෙම දෙයක් කලා.

"සුභ සන්ධ්‍යාවක් නෝනාවරුනි මහත්වරුනි...දැන් බොහෝ වෙලාවක් තිස්සේ නිසංකලංකව තිබුණ මේ සාදයේ මම වෙනසක් කරන්න අදහස් කලා..."

පාටියේ හිටපු එකෙක් මෙහෙම නැගිටලා බෙරිහන් දෙද්දි සේරම හොල්මන් වෙලා බලන් හිටියා. සමහරු කන බොන දේවල් පවා නවත්තලා හිටියා. ඊට පස්සේ මගේ මිත්‍රයා කියපු දේට කට්ටිය තවත් හොල්මන් වුණා.

"මම පුංචි විජ්ජාවක් කරන්න හදන්නේ...මේක එක පැත්තකින් මැජික් එකක්..තවත් පැත්තකින් සංකීර්ණ මනෝවිද්‍යාත්මක පෙලහරක්..මම හිතනවා ඔබ හැමෝම ඒකට කැමති වෙයි කියලා...ඇත්තටම කියනවනම් මට පුළුවන් ඔයගොල්ලොන්ගේ හිතේ ගැඹුරුම තැනක තියන රහසක් පුංචි ප්‍රශ්න තුනක් අහලා එලියට ගන්න.."

ඒ කතාවට එතන හිටපු සමහර ඇත්තෝ පුදුමය පලකලා. විශේෂයෙන්ම කාන්තාවෝ. නමුත් ඇතැම් පුරුෂ පාර්ශවේ අය එතරම් විශ්වාසයක් නැතිව නෝන්ඩියට වගේ හිනාවුණා. මගේ ආදරණීය මිත්‍රයා සැලුණේ නෑ. ඔහු අභියෝගයක් කලා..

"හරි මම ඔබට පුංචි අභියෝගයක් කරනවා..කරුණාකරලා මෙතන ඉන්න අයගෙන් ෆේස්බුක් ගිණුම් තියන අය විශේෂයෙන්ම නිතර භාවිතා කරන අය පොඩ්ඩක් අත් උස්සනවද මට පේන්න.."

ටිකෙන් ටික එතන හිටපු අයගෙන් බහුතරයක් අත් ඉස්සුවා.

"බොහොම ස්තූතියි..එහෙනම් මෙතන ඉන්න ෆේස්බුක් ගිණුමක් තියන ඕනම කෙනෙක්ගේ ගිණුමේ පාස්වර්ඩ් එක කියන්නේ බොහොම පුද්ගලික රහසක්...මම පුංචි මනෝවිද්‍යාත්මක සහ තවත් ශාස්ත්‍ර ගණනාවක් මිශ්‍රවුණු ප්‍රශ්න තුනකින් ඔබේ හිතෙන් එලියට ගන්නවා...ඒකයි මගේ අභියෝගය...කැමතිනම් කෙනෙක් භාරගන්න.."

එතන ඉන්න අය උඩට හුස්මක් ගත්තා මේ අභියෝගය ගැන අහලා. කලින් විශ්වාස නොකරපු අය පවා මගේ මිත්‍රයගේ කතාවට ටිකක් වැට උඩට ආවා.ඒකෙන් මගේ මිත්‍රයා තව තව ෆෝම් වුණා. කොහොම වුණත් ටිකක් නාහෙට අහන්නෙ නැති මට්ටමේ කොල්ලෙක් බොහොම ජැන්ඩියට ඇඳලා හිටපු එකෙක් මේ අභියෝගය බාරගන්නවා කියලා අත ඉස්සුවා.

"බොහොම හොඳයි මහත්මයා..ගහන්න මේ මහත්තයට හීන් අත්පුඩියක්.."

අර අභියෝගය බාරගත්ත කොල්ලා ඉස්සරහට ගෙන්න ගත්ත මගේ මිත්‍රයා අමුතුම වර්ණනාවක් පටන් ගත්තා.

"මම මේ කරන්න යන්නේ මම අවුරුදු 15  තිස්සේ බොහොම මහන්සියෙන් සහ කැපවීමෙන් ඉගනගත්ත මනෝවිද්‍යාත්මක සහ න්‍යායාත්මක මෙන්ම බුද්ධිමය ක්‍රමවේදයක එක් පුංචි අංගයක් තමයි මේ ඔබට ඉදිරිපත් කරන්න යන්නේ...මේකෙදි මම කරන්නේ පුංචි ප්‍රශ්න තුනක් අහනවා..ඒ ප්‍රශ්න සමහර විට සංකීර්ණ වෙන්න පුළුවන්..ඒත් පිළිතුරු දෙන්න ඕන කෙනෙක්ට පුළුවන් වෙයි..මම කරන්නේ එම ප්‍රශ්න මගේ ක්‍රමවේද වලට අනුව විශ්ලේෂණය කරලා ඒවායේ සැඟවුණු කේත සහ දත්ත පරික්ෂා කරලා ඒ ඇසුරෙන් මෙතුමාගේ ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එක සොයා ගැනීමයි..එය මටනම් බොහොම පහසු දෙයක්..ප්‍රශ්න තුනයි..රහස එලියට..හැබැයි වැදගත්ම කාරණය වන්නේ අදාල රහස මේ වනවිටත් මේ මහත්මයගේ හිතේ තිබීමයි..එහෙම නැත්නම් මට එය එලියට ගන්න බැරි වෙයි..මම හිතන්නේ මම මේක කරාට පස්සේ ඔයගොල්ලන්ටත් මේක උත්සහ කරලා බලන්න පුළුවන්.."

මේ වර්ණනාවට එතන හිටපු පනහක හැටක පිරිස මීයට පිම්බා වගේ අහගෙන හිටියා. අභියෝගය භාරගෙන පොර වගේ ආවට මොකද දැන් අර කොල්ලත් ටිකක් විතර බයවෙලා. මගේ මිත්‍රයා වැඩේ පටන් ගත්තා.

"ඔන්න එහෙනම් පලවෙනි ප්‍රශ්නේ..මේ ප්‍රශ්නවල සංකීර්ණ කොටස් මගේ භාවිතයට..ඔබ තුමාට තේරෙන කොටසට විතරක් පිළිතුරු දෙන්න..ඒවායින් මම කේත සහ දත්ත ඔබතුමාගේ හිතින් සොරා ගන්නාවා...ප්‍රශ්නවලට පිළිතුරු දිම අනිවාර්යයි..පිලිතුරු දුන්නොත් අනිවාර්යයෙන් මම රහස ඔබෙන් ගන්නවා"

කට්ටිය හොල්මන් වෙලා බලන් ඉන්නවා.

"පලවෙනි ප්‍රශ්නය.... එක්ස් සහ වයි අතර ඡේදනයෙන් ඉපදෙන සංකල්පය ඉසෙඩ් විය හැකියි..එය එසේ වනවානම් ඔබගේ ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එක නිර්මාණය කලේ ඔබමද?"

ප්‍රශ්නේ මුල්ටිකට ඔලුව අවුල් වුණු කොල්ලා අන්තිම ටික තේරුණ නිසා උත්තර දුන්නා.

"ඔව්..ඔව් මම තමයි"

බලන්න ඉන්න අය දෙන්න දිහා කන්න වගේ බලන් ඉන්නවා. මගේ මිත්‍රයා හස්ත මුද්‍රාවලින් එක එක විකාර වගේ දේවල් ටිකක් දාලා මිට මොලවලා ඔලුවට දාගන්න විදියට කරලා පෙන්නුවා.

"දෙවනි ප්‍රශ්නය... අංශක අසූවේ කෝණයක් සහිතව වර්තනය වෙන ජේදනය වුණු අක්ෂ දෙකක යොමුව උතුරු දෙසට නම්..ඔබේ ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එක ඔබට දැන් මතකද?"

"ඔව් මට මතකයි..."

ප්‍රශ්නෙට ටිකක් අවුල් ගියත් කොල්ලා උත්තර දුන්නා. ආයෙත් මගේ මිත්‍රයා අවකාශය අත්දෙකෙන් මිටමොලවලා මොනවද අරගෙන ඔලුවට දාගත්තා. දැන් බලන් ඉන්න සමහර අය ගල්වෙලා වගේ..සමහරු කමින් හිටපු දේවල් පැත්තක තියලා නියපොතු කනවා..තවත් අයගේ අත් වෙවුලනවා..මගේ මිත්‍රයා තීරණාත්මක අන්තිම ප්‍රශ්නය අහන්න පටන් ගත්තේ සිංහයෙක් වගේ.

"එහෙනම් අවසන් ප්‍රශ්නය..උපග්‍රහණ දෙකක් තිබෙනවා ඒ දෙකෙන් නිගමනය සනාථයි..එසේම ඒවාගේ තීරණාත්ම සාධක අනුව එස සනාථයි...එය එසේ නම්...

...ඔබගේ ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එක මොකක්ද?"


 

29 comments:

  1. ඉල ඇදෙනකන් හිනා වෙන්ඩ ඇති නේද කට්ටිය.... :D

    ReplyDelete
    Replies
    1. මුලින්නම් එච්චර හිනාවුනේ නෑ..පස්සේ වැඩේ තේරිලා ගොනාට ඇඳගත්තා කියලා දැනුනනම තමන්ට නෙවෙයි වගේ හිනාවුණා

      Delete
  2. ආ ලියාගනිංකෝ මගේ ෆේස්බුක් පාස්වර්ඩ් එක .. :)

    ReplyDelete
    Replies
    1. සඳරුවා උඹත් එතන හිටියේ එහෙම නෑ නේද..මොකද මේ කාලෙකට පස්සේ..

      Delete
  3. අයි ඩී එක එහෙම ඉල්ලුවේ නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. ඔයා හිටියනම් තමයි එහෙම සිද්ධි වෙන්නේ..වැඩක් නෑ අනේ ඔයා මේ රෙඩ්බුල් අංඟනාවක් එක්කගෙන ඇවිත් අපේ ඔලුවත් අවුල් කලා

      Delete
  4. අරූ අන්ද කයිප්පු වෙලා කියලා දැම්මද ඉතිං?

    ReplyDelete
    Replies
    1. මිනිහට ටිකක් තරහා ගියා..නමුත් මිනිහා හරි බුද්ධිමත් වගේම නිහතමානී කෙනෙක්.ඔහු ඒක විහිලුවක් විදියට බාරගෙන හිනාවෙලා ගියා

      Delete
  5. මටත් අද පාටියකට යන්න තියෙනවා බලමු වැඩක් ගන්න පුළුවන් වෙයි ද කියලා

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලන්නකෝ මොනවාහරි

      Delete
  6. හරිම ලොල් :) ඉතින්, කොල්ලා මොකද්ද දුන්න උත්තරේ?

    ReplyDelete
    Replies
    1. මිනිහා එක පාරටම ටිකක් අවුල් වුණා..ඒ වුණාට පස්සේ මිනිහා කිව්වා කතාව ඇත්ත නේද

      Delete
  7. පව් ඒ මනුස්සය. කී දාහක් අතරෙ නෝන්ඩි වෙන්න ඇද්ද. :(

    ReplyDelete
    Replies
    1. පොර විතරක් නෙවෙයිනේ..එතන හිටපු ෙස්රම නෝන්ඩි වුණානේ

      Delete
  8. අන්තර් මාධ්‍ය යුගලයක් අතර ඇතිවන විද්‍යුත් ප්‍රතිරෝධතාවය හේතුවෙන් රික්තක හා හායිත ප්‍රදේශයන් භෞතිකව හට ගන්නා නියමයට අනුව මට පිස්සුද තොට පිස්සුද ? :P

    ReplyDelete
  9. ඒක විහිලුවක් හෑටියට බාර ගත්තනම් හිටපු අය ටොප්

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම එතන හිටියේ සැබෑම නෝනාවරු සහ මහත්වරු පිරිසක්..සමාජයක් ප්‍රහසනය ප්‍රහසනයක් විදියට බාරගත්ත විදිය සහ සමාජයක් ශිෂ්ටසම්පන්න වන ආකාරය සැබෑ ලෙසම අත්විඳපු එකම අවස්ථාව

      Delete
  10. :D දෙවැනි ප්‍රශ්නෙ අහනකොටම මම තුන්වෙනි ප්‍රශ්නෙ හිතාගත්තා :D

    ReplyDelete
  11. මට එකේ රසයක් දැනුනේ නැහැ...

    ReplyDelete
  12. mula kiyawaddimaa kiyawadduma theruna mokakda wenne kiyala. : )

    ReplyDelete