චාමික හත්ලහවත්ත අවසානයේ මා හට විකල්ප දෙකක් ලබාදුනි. ඉන් එකක් නම් මේ පිස්සුව බෝ කරගැනීමයි, අනික ගෙදර ගොසින් රිසිසේ කිසිවක් නොවූ ලෙස බුදියගැනීමයි. චාමිකට මා පැවසූයේ එකම එක වාක්‍යයකි. “මා දැනටමත් මේ පිස්සුව බෝ කරගෙන ඇත“ යනුවෙනි. චාමික කියන මේ පිස්සුව කුමක්ද යන්න වටහාගත යුතු මට්ටමකට ගෙන ආ යුතුය. පවතින වටපිටාව තුල බල ව්‍යාප්තියට හා බල සංකේන්ද්‍රණයට එරෙහිව වචනයක් හෝ වෙහෙස වන්නාට මේ රටතුල ඊනියා දේශපාලඥයින් සහ වන්දිභට්ටයින් ලබාදෙන්නාවූ නම් ගණනාවක් ඇත. පිස්සා, දේශද්‍රෝහියා, එන්.ජී.ඕ කුක්කා, ඩොලර් කාක්කා හෝ ඒ හා සමාන නමක් ඒ අතර විය හැක. එහෙත් මෙරට පාසලකට වැස්සකට හෝ ගොඩවූ සහ මේ රටේ වත්මන් තත්වය ගැන යන්තම් හෝ අවබෝධ ඥානයක් තිබෙන්නාවූ පුරවැසියෙක් සිතිය යුතු කාරණය වන්නේ අසීමිත බල ලෝභයට එරෙහි වන්නෝ පිස්සෝද යන්නයි. නැත්නම් ඒකාධිපතිවාදයකට රට ගෙන යාම වලක්වන්නට කිසිවක් හෝ කරන සෑම අයෙක්ම දේශද්‍රෝහියෙක්ද යන්නයි. පිළිතුර හෘද සාක්ෂිය ලබා දෙනු ඇත. ඒ මන්ද යත් සෑම පුරවැසියෙකුගේම හෘද සාක්ෂිය විමලසිරි ගම්ලත් (විමල් වීරවංශ) ගේ මෙන් “ලොක්“ වී හෝ “බ්ලොක්“ වී නැතිබව දන්නා නිසාවෙනි.
එසේම ඔහුට සහ ඔහු අලුතෙන්ම සංක්‍රමණය වූ පන්තිය තුල යැපෙන්නන්ට හිමි හෘද සාක්ෂිය මෙරට සාතිශ්‍ය බහුතරය ජනතාව සතුව නොමැති බව අප දන්නා බැවිනි. චාමික හත්ලහවත්තයන්ගේ “මකරට“ තුලින් කියවෙන කතාව තුල මා දකින ආකාරයට “මකරා“ යනු පවතින බලලෝභී පාලකයාය, “එලීසා“ කුමරිය යනු රාජ්‍යයත්වය, “ලාන්ස්කොට්“ කුමාරයා යනු විකල්ප බලවේගයයි. විකල්ප බලවේගය විසින් රාජ්‍යයත්වය පැහැරගැනීම උදෙසා පවතින පාලනය පෙරලා දැමීම මේ මකර පුරාවෘත්තයේ හරයයි. නමුත් “මකරට“ ඉන් ඔබ්බට යන්නකි. රාජ්‍යත්වය ලබාගත් කුමාරයා රාජ්‍යයත්වයට ද කොකා පෙන්නා මකරාගේ භූමිකාවටම අවතීර්ණ වීම සහ මකරා පසුව කුමාරයාගේ භූමිකාවට පත්වීම තුල “ද ඩ්‍රැගන්“ කතා පුවත ශ්‍රී ලාංකේයකරණය මනවාට සිදුකර ඇති ආකාරය අගය කල යුතුය. අන්න ඒ නිසාවෙන් මුහුණු මාරුවකට වඩා ක්‍රමවේද මාරුවක අවශ්‍යතාව සැබෑ ලෙසම පෙන්වා දෙන නාට්‍යයක් ලෙස “මකරට“ හැඳින්විය හැක.
නමුත් නාට්‍යය දිගහැරෙන පසුබිම මානසික රෝහලක මානසික රෝගීන් විසින් නිමකල කෝලමක් නිසාවෙන් සැබෑ ලෙසම ක්‍රමවේද වෙනසකට සූදානම් වන්නේ පිස්සන් පමණක්ද යන සමාජමය කොටුවීමකට නරඹන්නා පත්වීම වැලැක්විය නොහැක. ඒ නිසා මේ පිස්සුව බෝකරගත යුතුම වේ. තවත් එක් කරුණක්නම් මේ නාට්‍ය පුරාවට දිග හැරෙන සජීව සංගීත මුසුවයි. මා මිත්‍ර ළහිරු මාදිවිල විසින් මෙහෙයවන සංගීතය “මකරට“ වෙත විශාල ජවයක් ලබාදේ. එම නිසාවෙන් ප්‍රේක්ෂකයාට මනා ලෙස නාට්‍ය ගීතවත් ලෙසින් දැනෙනු ඇත.
මෙහි ආකර්ශණීයම කොටස වන්නේ නාට්‍යය තුල යුද්ධය නැමති සංකල්පය සුන්දර ලෙස ජනතාගත කිරීමට දරන සෞන්දර්යාත්මක උත්සහයයි. සමස්තය තුල කියවෙන්නේ සමාජ ධාරාව තුල යථාර්ථයක් ලෙස සිදුවන්නේ කුමක්ද යන්නයි. එසේම නාට්‍යකරුවා දෙන විකල්පය තුලින් කෙසේ පිළිතුරු සෙවිය යුතුද යන්න ජනතාවට භාරය. ඔබට විසින් පිස්සුව බෝකරගත යුතුව ඇත, නැතිනම් පුරුදු පරිදිම බුදියාගත යුතුව ඇත.
දැන්නම් මටත් පිස්සු වගේ..............................
ReplyDelete