Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Apr 15, 2015

මහින්ද රාජපක්ෂ භීතිකාවක් ද, මේනියාවක්ද නැතිනම් වෛරසයක්ද?


පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හෙවත් මහින්ද රාජපක්ෂ යනු කවරෙක්ද? මහින්දවාදීන්ට නම් හෙතෙම “ජාතියේ ගැලවුම්කාරයාය“. මහින්ද විරෝධීන්ට නම් හෙතෙම “ඒකාධිපතියෙක්ය“. එහෙත් මෙම ගැලවුම්කාරයා සහ ඒකාධිපතියා යන අන්ත දෙක මැද තවත් නිශ්චිත මෙන්ම අවිනිශ්චිත නිර්නායකයන් ගණනාවක්ම පවතින බවද සඳහන් කල යුතුය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ යනු ආසන්නම සහ සරලම නිර්වචනය ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපතිවරයා යන්නයි. ජනපති මහින්ද සිට හිටපු ජනපති මහින්ද දක්වා තල්ලුවෙන වසර 9 ක කාල පරිච්ඡේදය තුල තීරණාත්මක අවසන් වසර දෙක තුල එයට විශාල වශයෙන් දායකත්වය ලැබුණු සමයක් බව සිහිපත් කල යුතුය.


2015 ජනවාරි 8 ජනතාව විසින් පරාජය කරනු ලැබුවේ හුදෙක් ඒකාධිපතිපාලකයෙක් පමණක් නොව ඔහු වටා ක්‍රියාත්මකවූ ක්‍රමවේදය බව ජනවාරි 9 බොහොමයක් ජයග්‍රාහී දේශපාලඥයන්ගේ මුවින් පිටවුණු ප්‍රකාශනයන්ය‍. එහි යම් සත්‍යතාවයක් නැතිවාම නොවේ, එනමුත් එය එසේම වීද යන්න අදවනවිට ගැටළුවක් ඉතිරිකර තිබේ. එහෙත් ත්‍රස්තවාදී ගැටළුවට යුදමය විසඳුමක් ලබාදීම ඇතුලු කාරණා ගණනාවක් තුලින් අතිශ්‍ය ඉහල ජනප්‍රසාදයක් ලබාසිටි, පාර්ලිමේන්තුව තුල පිල් මාරුව කිරීමෙන් තුනෙන් දෙකක අති බහුතරය ලබාගෙන සිටි මහින්ද සක්විති රජෙක් ලෙසින් පාලනය කරද්දී ඔහු පරාජය කිරීමට ජනතාව තීරණය කලානම් අනිකෙක් පරාජය කරන්නට ජනතාව දෙවරක් නොසිතනු ඇත. සිය පාලන කාලය තුල අතිශ්‍යයින්ම පිළිකුලට භාජනය වී අවසානයේදී “පලයන්“ කියන තැනටම පත්වූ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනිය පවා වසර 11 ක් ජනපති පදවිය දරන විට ඊට හාත්පසින්ම වෙනස් තත්වයක් තිබූ මහින්ද රාජපක්ෂට වසර 9 න් ගෙදර යන්නට වූයේ 9 නපුරු නිසා නොව සිය අදූරදර්ශී සහ මිත්‍යාදෘශ්ඨික චින්තනයේ තිබූ දුර්වලතාව නිසාමය.

පරාජයට පත්වූ මහින්ද තුලින් අද දකින්නේ යලි බලයට පත්වීමේ භීතිකාවක්ද යන්න සලකා බැලිය යුතුය. හෙතෙම භීතිකාවක් වන්නේ කූට උපක්‍රමශීලිත්වය සහ බල තණ්හාව තුලින් සිදුකරන ලද ක්‍රියා මාලාව නැවත දකින්නට සහ එයින් පෙලෙන්නට ලාංකිකයන්ට සිදුවේද යන බිය මෙන්ම විපක්ෂ දේශපාලඥයන්ට ඇති ප්‍රශ්නය වන්නේ කූට උපක්‍රම සහ ඔහු වටා එක්වෙන්නාවූ රෙජීමයට නැවත වතාවක් ලංකාවේ දේශපාලන බලය ලැබුණහොත් නිසැකවම තවත් වසර ගණනාවකට බලයට පත්වීම ලෙහෙසි පහසු නොවන කාර්යයක් බව දන්නා බැවිනි. මහින්දවාදීන් ගොඩනගන තර්කයක් ඇත, එනම් “මහින්ද හොරකම් කලානම් යහපාලනය සහ සාධාරණය උදෙසා පත්වූ රජය ඒ හොරකම් සොයාබලා දඬුවම් නොකරන්නේ ඇයිද“ යන්නයි. එය සාධාරණ මෙන්ම උපායශීලී වුවත් සිල්ලර තර්කයකි. එක් අතකින් මහින්ද පාලනය තුල සිදුවූ වංචා දූෂණ පිළිබඳව රටම දන්නා කරුණක් වුවත් ඒවා හෙළිකිරීමට තරම් වත්මන් පාලනය සුපිරිසිදුද කියා ගැටළුවක් ඇත. එසේම මහින්ද දැමූ ඩීල් එසේ මෙසේ ඩීල් නොවන බැවින් ඒවා එක් අතකින් අලියා හැංඟෙන්නට ඕනෑ විට කොලඅත්තකට මුවා වුනා වැනි වැඩකි. සමහර ඩීල් ඉතා උපායශීලීව කල දේවල් බැවින් ඒවා එලිකිරීම ලෙහෙසි වැඩක් නොවේ. නමුත් බරපතලම ප්‍රශ්නය වන්නේ නව රජයට සහ ජනපතිවරයාට ඒවා හෙළිකර ඉන්පසුව එන අවදානමට මුහුණුදීමට නිසි සැලැස්මක් නැති බැවින් ඉල්ලාගෙන කන්නට ඔවුන් සූදානම් නැති බවයි.

   එසේම රජයට ඇති ගැටළුව බහුතරයයි. එය රැකගැනීමටනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින් තබාගත යුතුය. නමට විපක්ෂනායක වුවත් නිමල් සිරිපාලද සිල්වාට කලහැකි යමක් වත්මන් ශ්‍රී.ල.නි.ප තුල නැත. එහි වැඩි බලය ඇත්තේ මහින්දටය, විශේෂයෙන්ම එහි ධූරාවලියේ පහලම කාඩරය පැල් බැඳගෙන තවමත් මහින්දට කඩේ යති. ඒ නිසා ශ්‍රී.ල.නි.ප ෂේප් න්‍යාෙයෙන් තබාගැනීමටනම් මහින්ද සමග ආරවුලට නොයා යුතුය. ඒ නිසා ඉඳහිට කොනිත්තනවා වැනි අයුරින් ගේ දොර සෝදිසි කිරීම්, නඩු පැවරීම්, යෝෂිතගේ තනතුරු ප්‍රශ්න වැනි පොඩි පොඩි දේ මාධ්‍ය ඉදිරියේ පෙන්නා මහින්ද පාලනය තුල පැවති දූෂණ හෙලිකරනවා වැනි ගරු රඟපෑමක් කර මහින්දට විරුද්ධ පාර්ශවවල හිත හදනවා මිසක වත්මන් රජය මහින්දට එරෙහිව නොයන්නේ පවතින තත්වය තමන්ට එතරම් යහපත් නොවන බැවිනි. මෛත්‍රීපාලට ඇති ගැටළුව වන්නේ ශ්‍රී.ල.නි.ප තුල තම ආධිපත්‍යය තබා ගැනීමයි. විධායකය යනු ලංකාව තුල සක්විති රජකම බැවින් ඉන් එහා යමක් අවැසි නැති මෛත්‍රී තවමත් ලෝබකම් කරන්නේ නිදහස් පක්ෂයේ නායකයා යන පට්ටම තබාගෙන නූතන බණ්ඩාරණායක භූමිකාවක් රඟ දැක්වීමටය, එයට මහින්දගෙන් එල්ලවෙන බලපෑම වැඩි බැවින් එය ඉබේ පහලවන්නක් නොවන බව පෙනෙන්නට ඇත. එබැවින් මෛත්‍රීගේ පැත්තෙන් පවා මහින්දට බුරුලක් ලැබෙන්නේ ඒ නිසාය. හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ පක්ෂ වලට ඇති ගැටළුව වන්නේ මෛත්‍රීට ලැබුණ ඡන්ද මල්ලෙන් තමන්ගේ ගොඩ වෙන්කරගැනීමයි, ඒ මන්ද යත් ඉදිරි මැතිවරණයේදී නිදහස් පක්ෂය සහ එ.ජා.ප ය වෙන වෙනම තරඟ කලහොත් හෙළ උරුමය, ජවිපෙ, දෙමළ සන්ධානය වැනි පක්ෂද තනිව තරඟ කල යුතුය. මෙහිදී වැඩිම අවදානමක් පවතින්නේ හෙළ උරුමයේ ඡන්ද පදනමට බැවින් දේශපාලන අනාතයන් නොවීමට යමක් කල යුතුව ඇත.

   අනෙක් පැත්තෙන් මහින්ද වෙනුවෙන් වර්තමානයේ වැඩිපුරම කඩේ යන විමල් වීරවංශ ඇතුලු සුළු පක්ෂ කීපයටද ඇත්තේ ඉහත කී ප්‍රශ්නයමය. ඒ මන්දයත් තනි තනිව තරඟ කලහොත් ඇපත් නැතිවන තත්වයක් ඔවුන්ට උදාවී ඇත. එයට වගකිව යුත්තේද මහින්දම බව ඔවුන් නොදන්නවා නොවේ, නමුත් සන්ධානය තුලදී ඔවුන්ට සැලකුවේ මහින්ද පමණක්ම බව ජනවාරි 9 න් පසු විමල්ට, දිනේෂ්ට, ගම්මන්පිලට පැවති රජයේ ඉතිරි මැති ඇමතිවරු කැපූ කැපිල්ලෙන්ම පෙනෙන්නට විය. එබැවින් සිය ගැලවීම ඇත්තේ නැවත මහින්ද පුටුවේ වාඩි කිරීම තුලින් පමණක්ම බව ඔවුන් තේරුම් ගෙන ඇත. “දිනූ නිදහස අනතුරේ“ ඇත්තේ ඔවුන්ගේ බව ඔවුන් සැබෑ ලෙසම තීරණය කර ඇත. මැදමුලනට, තංගල්ලට, නුගේගොඩට පෝලිම් පිටින් ගියේ මහින්දට ඡන්දය දුන් ලක්ෂ 58 මය, මෛත්‍රීට ඡන්දය දුන් පිරිස් එහි ගියා යන්න ප්‍රායෝගික තර්කයක් නොවේ. ඔවුන් එලෙස ගියේ පරාජය හමුවේ දරාගනු බැරිවූ වේදනාව කුමක් හෝ සටන් පාඨයක් තුලින් චූන්වී හිතේ අමාරුව දුරු කරවා ගැනීමට මිස මහින්ද කලදේ ගැන ඇති නිර්ව්‍යාජ අවබෝධයකින් නොවන බව පැහැදිලිය. ඔවුන්ට ඇත්තේ අහිමුවූ අභිමානය පිළිබඳ පුංචි හීනමානයකි, යූ.එන්.පී කාරයන් වසර 13 කට පසු ප්‍රීති ඝෝෂා කිරීම දරාගන්නට බැරිවීම, තමන් සමග එකට සිට කැඩී මෛත්‍රී වෙත ගිය ශ්‍රී ලංකා කාරයින්ගේ චූන් එක බලාසිටින්නට බැරිවීම, ජ.වි.පෙ වේදිකාවක් වේදිකාවක් ගානේ “මහින්ද පැන්නුවා මහින්ද පැන්නුවා“ යන්න කිය කිය යන විට දැනෙන අඩුව මකා ගැනීමට මිසක් අන් කිසි පැහැදිලි මතවාදයක් මහින්ද වන්දනාවේ යන ඇත්තන්ට නැති බව පැහැදිලිය. ඔවුන්ට දැන් මහින්ද මේනියාවක් බවට පත්ව ඇත, ඇතමෙක්ට දැනටම අගමැති මහින්දවී අවසන්ය, අගමැති මහින්ද පොරක් වෙන්නේ 19ය සම්මත කරගත හොත් පමණි, නැතිනම් අගමැති මහින්ද යනු මෛත්‍රී යටතේ සිටින චරිතයක් පමණි. එවිට එය දෛවයේ සරදමක් පමණක් වනු ඇත.

   සැබෑ ලෙසම මහින්ද යනු වෛරසයකි. බලය යන්නට නිර්වචනයක් නොදිය හැකි මට්ටමකට බලයේ සියලු මානුෂීය අංග දූෂණය කල වෛරසයකි. අධිකරණයේ ස්වාධීනත්වය, මානව හිමිකම්, රාජ්‍ය දේපල සිට පන්සලේ බස්නායක නිලමේ තනතුර පමණක් නොව පලාත් පාලන ආයතනයේ සභාපති තනතුර දක්වාම මහින්දගේ අතපෙවීම් දිගුවුනි. එතැන් පටන් දිගුවුනේ ඔහුගේ වන්දිභට්ටයන්ගේ හස්ථයන්ය. මහින්ද නැවත අගමැති වූවත් ඔහු මේ ක්‍රමය වෙනස් කරගන්නට කිසිසේත්ම සූදානමක් නොමැති බව ඔහුගේ උජාරු කතාවලින් පැහැදිලිය. මහින්ද නැවත බලයට පැමිණියත් වෛරසය නැවත ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය තුල සෑම බල ඒකකයක් පාසාම පැතිරෙනු ඇත. නැවතත් ඔහුගේ පාලනය තුල කොල්ලාද බල්ලාද නැතිව ඥාත සනුහරය රිංගූ හැම තැනකටම නැවත රිංගනු ඇත. ප්‍රශ්නය තිබෙන්නේ ලංකා වාසීන් යම් පිරිසක් “කොච්චර කෑවත් ගැටළුවක් නෑ රට සංවර්ධනය වෙනවා“ යන මානසිකත්වයෙන් සිටීමයි. එවැනි වැඩවසම් ඔළුගෙඩි වලට චින්තනමය වෙනසක් දෙන්නට වත්මන් රජය සවිමත් නැත. 

   නියත වශයෙන්ම මීළඟ මහ මැතිවරණය සමානුපාතික ක්‍රමයට (පවතින මැතිවරණ ක්‍රමයටම) පැවතුනහොත් කිසිඳු පාර්ශවයකට ප්‍රමාණවත් බහුතරයක් ලබාගැනීමට නොහැකි වනු ඇත. රජයක් ලෙස පත්වීමත් සමග එ.ජා.ප ය තුල යම්කිස් පිබිදීමක් ඇතීවි තිබෙන බැවින් ඔවුන් සිය ඡන්ද පදනම වැඩිකරගනු ඇති බව පැහැදිලිය, ජනතා විමුක්ති පෙරමුණද සිය අනන්‍ය මාර්ගය ඔස්සේම ඡන්ද පදනම වැඩි කරගැනීමේ කටයුත්ත සිදුකරමින් පවතී, දෙමළ පක්ෂද සිය ස්ථාවරය තුල ඡන්ද පදනම සවිමත් කරගෙන ඇත. මේ සියලු පදනම් වලට වඩා එ.ජ.නි.ස තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලයක් තිබූ නමුත් එහි තිබෙන භේද නිසාවෙන් බහුතරය තනිව අත්කරගැනීම සඳහා අවදානමක් ඇත. ඒ මන්ද නිදහස් පක්ෂය තුලම මහින්ද විටෙක භීතිකාවක්, විටක මේනියාවක් හා විටක වෛරසයක් යන තුන් අවතාරයක් පරිද්දෙන් ක්‍රියාකිරීම නිසා කිසියම් ගැටළුවක් ඇත. ඒ තුලින් මහින්දට හිතවත්, හිතවත් නොවන සහ දෙපැත්තටම නැති පිරසක් ඇති නිසා පුරුදු පරිදි පහසු ගේමක් ගැසීමට නිදහස් පක්ෂයට හැකියාවක් නැත. බරපතලම කාරණය වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය අතහැර පැරණි අත ලකුණෙන් තරඟ කිරීමට තරම් අධිමානසිකත්වයකට නිදහස් පක්ෂය පිමිබී ඇති බව සහ ඒ තුලින් නොදැනීම සන්ධානයේ ප්‍රබලතම හවුල්කරුවන් ගණනාවක් හැලීයාමය. ඉන් සිදුවන්නේ කිසිඳු පාර්ශවයකට බහුතරය නොමැතිවීම සහ ජාතික ආණ්ඩු කැඳ හැලියකට යන්නට සිදුවීමය.

මහින්ද රාජපක්ෂ පාලනය මෙරට වෙනුවෙන් කල හොඳ දේ මෙන්ම ඉතා අහිතකර දේ ද ඇත. බහුතරය විසින් ඔහු ප්‍රතික්ෂේප කර සිටියදී නැවතත් ජනතා අනුකම්පාව තුලින් පාලනයට පත්වීමට මහින්ද දඟලන්නේ ජනතාවට ඇති ආදරය, කැක්කුම නිසාද නැතිනම් බලය නොමැතිව දින 100ක් හෝ සිටීමට නොහැකි නිසාද යන්න සිතා බැලිය යුතුය. දැඩි බලලෝභය තුලින් ඔහු බලාපොරොත්තු වූයේ 18 වෙනි සංශෝධනය හරහා ගෙන ආ අත්තනෝමතික බලතල පවරාගැනීම තුලින් විධායක ජනාධිපති ලෙස හැරමිටියෙන් යන දින දක්වා පමණක් නොව ජීවිතයේ අවසානය දක්වාම රජ කිරීමටය, ඉන් අනතුරුව සිය දරු මුණුබුරන්ට බලය පවරා දීමට මිස අන් කිසිවකට නොවේ. දැන් ඇත්තේ ඒ ගමන් මාර්ගය අහිමිවීම පමණය. අවාසනාවකට මෙරට ජනතාවගෙන් යම් පිරිසක් මේ තත්වය තේරුම්ගෙන නොමැතිවීම තුල රටට ඉදිරියේදී මුහුණ දෙන්නට වෙන්නේ භීතිකාවකටද, මේනියාවකටද නැතිනම් වෛරසයකටද කියා කිසිවෙකුට තීරණය කිරීමට නොහැකිව ඇත.

13 comments:

  1. මෙතන තියෙන පස්නෙ ඇයි අපි මේ කියන විශාල කනු පිටිපස්සෙ විතරක් තාම හිටගන්නෙ කියන එක...දැනට ඉන්න ජාතික නායකයින් සියල්ලම වගේ වියපත් අය..දෙවනි පෙලක් දකින්නට නැහැ...මම හැකි වුනත් බැරි වුනත් දැන් මහින්ද විශ්‍රාම ගිහින් නාමල් එනවා දකින්න කැමතියි.. නාමල් අයිති ඊලග පරම්පරාවට....අඩුතරමෙ කොන්ක්‍රිට් කොන්තරක් වෙනුවට අයි ටි කොන්තරක් හරි වැඩිවෙයි එතකොට..

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මමත් ඉන්නවා මචං ඒ අදහස එක්ක.නමුත් මහින්ද විසින් එවකට දෙවැනි පෙල ලෙස එන්න හිටපු චරිත නැති කරා, ඒ ප්‍රතිඵලයම පරාජය විසින් පෙරලා මහින්දටම එල්ල කලා. තව අතීතයේ බිම් මට්ටමේ සිට ඉහලට එන අලුත් පෙලක් වෙනුවට පැරිෂූට් සංස්කෘතියක් බිහි කිරීමත් එක හේතුවක්

      Delete
  2. මහින්ද ගැන පුතාගේ මේ රචනාව හොඳයි. එතනදී පුතාට තේරෙන්නේ මහින්ද වෛරසයක් හෝ මේනියාවක් හැටියට මට පේන විදියට. මට පෙන්නේ භීතිකාවක් විදියට, නමුත් මේ ලිපියේ බොහෝ කරුණු සාධාරණයි.

    අපි නිකට්ම හිතමු පුතාගේ ඊළඟ රචනය යහපාලනය කියලා. එතකොට මාතෘකාව මොන වගේ වෙයිද ? රවී කරුණානායක, අකිල විරාජ් වගේ අයට ඒක සර්ව් සාධාරණ අහිංසක යහපාලනයම තමා, රාජිත වගේ කෙනෙකුට අඩුපාඩු ඇති ඒත් අපි ඒකාධිපති වියරුව පැරද්දුව වගේ දෙයක්, මාදුළුවාවේ හාමුදුරුවෝ කියයි අපි රැවටුනා කියලා. එතකොට වර්තමාන කුඩාපොළ හාමුදුරුවන්ට පාටලී රණවක කියයි විධායක බලතල අඩු කරාට ඕක සහමුලින්ම නැති කරන්න ඕනේ නෑ කියලා. නිමල් සිරිපාල උන්නැහේ කියයි අපි රජයට දින සීයේ වැඩපිළිවෙල කරගෙන යන්න අවුරදු දෙකක් හරි දෙන්න සුදානම් කියලා. චන්ද්‍රිකා නෝනා කියයි මහින්දගේ බල ලෝභය මට පොඩ්ඩක් වත් තිබුනේ නැ, මටත් ඔන්නම් තුන් පාරක් ගන්න තිබ්බා මිත්‍රවරුනි පහසුවෙන්ම කියලා.

    එතකොට යහපාලනය හරියට අන්ධයන් හත් දෙනා දැකපු අලියා වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. සුදීක මිත්‍රයා මෙතනදි මම පාට කණ්ණාඩියක් දාගෙන බලනවට වඩා හැකිතාක් මැදිහත් සිතින් බලන්න උත්සහ කලා. මහින්ද රාජපක්ෂ කියන චරිතය පුද්ගලිකව මමත් ඉතා ඇලුම් කල චරිතයක්. 2009 යුද ජයග්‍රහණය වෙලාවේ මට තිබුණු පුට් සයිකලේ ඉස්සරහ පවා මම රාජපක්ෂ මහත්මයගේ රූපයක් අලවලා තිබුණා. නමුත් මහින්ද චරිතය පිළිබඳව කෙමෙන් කෙමෙන් ඇතිවුණු කලකිරීම උපරිමයට එන්නේ 18 වැනි සංශෝධනය එක්ක. නමුත් මෙම ලිපිය ලියද්දි හැකි උපරිමයෙන් පුද්ගලික මතවාදයට එහා ගියපු තැනක ඉඳලා ලියන්න උත්සහ කලා. පුද්ගලිකව අපි මාධ්‍යවේදීන් විදියට අපි නියෝජනය කරන ක්ෂේත්‍රය තුල සාධාරණ විවේචනයකට අවස්ථාව සලසා ගන්නවා. වත්මන් රජය විවේචනය කරලා මම ලියපු ලිපි වල අන්තර්ගතය තුල ඇතැමුන් සුපිරිසිදු චරිත කරන්නට මට කවදාවත් අවශ්‍යතාවක් තිබුණේ නෑ. නමුත් යහපාලනය කියන සංකල්පය එක රැයින් ඇති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ඔබත් මමත් දන්නවා, ඒ වගේම මේ රජයට ඒ සඳහා යාමට පැහැදිලි ගමනක් නෑ කියලත් පේනවා. ඒකට විකල්පය ආයෙත් මහින්ද පාලනය පැත්තට හැරීම නෙවෙයි කියලත් දන්නවා.

      ප්‍රශ්නෙ තියෙන්නේ මේ ක්‍රමවේදය තුලනම් ඒ ක්‍රමය වෙනස් කිරීමට බල කිරීම අපි සතුව තියන යුතුකමක්. එතනදි මහින්දවත්, මෛත්‍රීවත්, චම්පිකවත් නෙවෙයි වැදගත්. හැබැයි ක්‍රමවේදාත්මක වෙනසක් වෙත යන්න ඒ ක්‍රමේ තුල ඉන්න පාර්ශව කියවන්නට වෙනවා. මම කරන්නේ කියවන්න උත්සහ කිරීම සහ කියවලා ගන්න අවබෝධය බෙදාගන්න එක.

      Delete
    2. මගේ මතයත් මේ පරාද කලේ මහින්ද රාජපක්ෂ නොව, ඒ ක්‍රමය බවයි. ජයග්‍රහණය කලෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා නොව මේ ක්‍රමයට විරුද්ධ මතවාදයයි. හැබැයි මේක බිත්තියක් නම් ඒකෙ අත්තිවාරම එජාපය, එයාලගේ උවමනාව බලයට ඒම, මැද හරියේ දෙමල සන්ධානය, ඔවුන්ගේ අරමුණ පලිගැනීම. හෙළ උරුමය එයාලත් වැඩි වෙනසක් නෑ, මුස්ලිම් පාර්ශව වෙනත් අරමුණු ආත්මාර්ථය, ජවිපෙට උවමනා අර්බුධ ඇති වීම, සමාජ වෙබ් ජාලාවේ හිටි තරුණ පිරිස් සහ වෙනත් සාධාරණ ජන කොට්ඨාශ වලට වෙනසක් සහ වෙනස් පාලනයක් උවමනා වුණා. හැබැයි ඒ පාලනය තරුණ කොටස දැක තිබුණු දෙයක් නොවේ. ඔවුන් අද අපේෂා භංගත්වයට පත් වෙලා. මේ වෙලාවේ ඔබ ඉල්ලා සිටින වෙනසට නායකත්වය දෙන්න කවුරුත් නෑ. පෙරටුගාමීන් යම් තාක් දුරට පිළිගන්න පුළුවන් මතවාදයක ඉන්නවා.

      Delete
    3. ඔව් එහි සත්‍යතාවක් තිබෙනවා. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා මීට දශක කීපයකට කලින් හිටපු පුද්ගලයා නෙවෙයි. පරාජය වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහු විසින් සංවර්ධනය කරන ලද දේශපාලන ක්‍රමවේදයයි. හැබැයි විප්ලවීය මහින්ද රාජපක්ෂ නැවත ගොඩගන්න මහින්දටවත් බෑ. මෛත්‍රීපාල සිරිසේන යනු ක්‍රමවේදාත්මක වෙනසක් බලා සිටි පිරිසට “විපර්යකාරකවරයෙකු“ (Change Agent) කෙනෙකු පමණයි. ඒ වෙනස මෛත්‍රීපාලට හෝ රනිල්ට සෘජුවම ඇතිකරන්නට බැරිවෙන්න පුළුවන්. හැබැයි එය ජනතාවට කරන්න පුළුවන්. මැදමුලනට යන පිරිස වගේම නොයන බහුතරයක් මේ රටේ ඉන්නවා. අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍ය, සාධාරණ රාජ්‍ය සේවයක්, ජන පීඩක නොවන ආරක්ෂක සේවයක්, ආර්ථිකමය සහනයක් අපේක්ෂා කරන පිරිසක් මේ රටේ ඉන්නවා. ඔවුන්ට මේ ක්‍රමය හුවමාරු වෙලා ගතවෙන සමය සංක්‍රාන්ති සමයක්. මේ සමය තුල සිදුවෙන සෑම දේශපාලනික හා ආදේශපාලනික සිදුවීමක්ම දැඩි බලපෑමක් ඇතිකරන සාධක වෙනවා නියතයි. පෙරටුගාමීන් පිළිබඳ ඔබ සඳහන් කරපු කරුණට මා විරුද්ධයි. පෙරටුගාමීන්ගේ මතවාදය ලංකා දේශපාලනය තුල ප්‍රායෝගික නෑ. ඔවුන්ට ප්‍රායෝගික වීමට අවස්ථාවක් නැත්තේ ඔවුන් න්‍යාය තුල අතරමංව සිටින නිසයි

      Delete
  3. මහින්ද රාජපක්ෂ ගැලවුම්කාරයෙකි.. ඉන්පසු ඔහු එකාධිපතියකු විය.. දැන් ඔහු වෛරසයකි... සල් වනයකි...

    ReplyDelete
    Replies
    1. සහතික වශයෙන්ම, මහින්ද ගැලවුම්කාරයෙක් වූ අවධියේ තිබු දේශපාලනික තත්වයට ඔහු හොඳ විසඳුමක්, 2005 චන්ද්‍රිකා අනුර ජනාධිපති අපේක්ෂකයා කරන්න දතකන විට ජනතා රැල්ල තිබුණේ මහින්ද දෙසට, 2009 ඔහු ගැලවුම්කාරයෙක් බවට පත්වීම ඉන් අනතුරුව ලැබුණු අධික ජනප්‍රසාදය තුල ඔහු මත්වීම, තව තව එය ස්ථාවර කරගැනීම හා වර්ධනය කරගැනීම උදෙසා බලය කේන්ද්‍රගත කරගැනීම එක්ක මහින්ද වෛරසයක් බවට පත්වුනා..අද මහින්ද විසින් බිහිකරපු වෛරස් මහින්දටම පහර දෙන්න පටන් අරගෙන තිබීම ඛේදජනකයි

      Delete
  4. මහින්ද පාලන යුගයේදි මෙන්ම පසුගිය ජනාධිපතිවරණයෙන් පසුවද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛම, ප්‍රධානම, බලවත්ම හා ජනප්‍රියම දේශපාලන චරිතය මහින්ද බව මෙම ලිපිය නැවත නැවතත් සනාථකර ඇත. මෛත්‍රී හෝ වෙනත් චරිතයක් එතැනට පැමිණිමට අසමත්ව ඇත. හංසයා වෙනුවෙන් ඡංදය ප්‍රකාශ කරන ලද ලක්ෂ 62කට අධික පිරිසට වෙන වෙනම තමාගේම වු නායකයින් ඇති බැවින් මෛත්‍රීගේ ජයග්‍රහණයෙන් පසු ඔවුහු මෛත්‍රීව හැර ගොස් තම සාමුප්‍රදායික නායකයින් සමග බද්ධවි සිටීති. තවදුරටත් මෛත්‍රී වෙනුවෙන් හඬ නගන්නෝ කවුරුන්ද ? එජාප පාක්ෂිකයින්ට ඔවුන්ගේම ආණ්ඩුවක් ඇත. ඔවුන්ට මෛත්‍රීගෙන් කවර ප්‍රයෝජනයක්ද? ශ්‍රීලනිප පාක්ෂිකයින්ට මෛත්‍රී යනු ‍වෛරීය සිතිවිලි ජනිත කරවන ද්‍රෝහියෙකි. ජවිපයට මෛත්‍රී යනු තම ඡන්ද පදනම වැඩි කර ගැනීමට දායකවු සැරයටියකි. ඔවුන් කන්දට ගොඩවු පසුව සැරයටියෙන් කවර ඵලයක්ද? ඩස් බින් එකේ සිටි චන්ද්‍රිකා මෛත්‍රි ආනුභාවයෙන් නැවත කරලියට ගොඩවූවද කුරුණැගල හූ... හඬින් පසු නැවත පල්ලම් බසිමින් සිටී. හෙළ උරුමය පමණක් තවදුරටත් මෛත්‍රී සරණං යමින් සිටී. මෙවන් වටපිටාවක වුවද ලක්ෂ 58 ක්ම නොවුනත් ඉන් අතිමහත් බහුතරය තවමත් මහින්ද වටා රැස්ව සිටින අතර අනෙක් චරිත කිසිවක් වටා එම ප්‍රමාණයට ආසන්න විය හැකි ඡංද පදනමක් මෙු වන විට ශේෂව නැත. අද (16) අවුරුදු කෑමට මැදමූලනට රැස්වු මැති ඇමති ගණන සලකා බලන විටද එතරම් මහජන නියෝජිතයින් පිරිසක් තම පෞද්ගලික නිවසට ගෙන්වා ගත හැකි වෙනත් ‍දේශපාලන නායකයෙකු අප රටේ සිටීද යන ප්‍රශ්නය මතුවේ.

    ReplyDelete
    Replies
    1. මහින්දට පහුගිය අවුරුදු 9 ගතකරපු රාජකිය අදිසෑපවත් ජීවිතය අමතක කරන්නම බෑරි තත්වයක් තියෙන්නේ.
      ඵ් වගේම මිනිහා වටේ ඉදගෙන නිකන් ඉදගෙන සෑපවිදපු ජොනී.මහින්දානන්ද,රෝහිත,ලක්ශ්මන් වසන්ත,සජින්,විමල් වගේ හිතමිතුරු දුරාචාර කල්ලියටත් මේ තත්වය දරාගන්න බෑ.
      ඉතින් මහින්ද තමුන්ගේ සූක්ශම මොලය පාවිච්චිකරලා නෑවත තෑනක් හදාගන්න උත්සාහ කරනවා.
      ඵ්කට මහින්ද වටේ ඉදගෙන මිනිහාගෙන් යෑපුනු ජාවාරම්කාර ජනමාද්ය,බිම්මට්ටමේ සoවර්දන ව්‍යාපෘති වලින් ගසාකපු ප්‍රාදේශීය දේසපාලුවෝ ,මෑර පිරිස් වගේම මහින්ද ජාතියේ ආගමේ ගෑලවුම්කරු කියලා හිතාගෙන ඉන්න ජාතිවාදයෙන් අන්ද උන සුලු පිරිසත් ලොකු සහයෝගයක් දෙනවා.ලක්ශ 58යේ වේදිකාව කියන්නේ ඔන්න ඔක.ච්න්ද්‍රිකාට ජොනීගේ ගොලයන් හූ කීම වගේ දේවල් ඔක ඈතුලේ පොඩි පොඩි ට්‍රයි.

      හෑබෑයි ඵ්කෙන් කියන්නේ නෑ රනිල් ප්‍රමුක UNPය හරි කියන කතාව.
      නමුත් මහින්දගේ නඩය හිතන් ඉන්නවා UNPයේ වෑරදි පෙන්නලා ඉක්මනට ගොඩයන්න.
      ඵකෙන් පේන්නේ මහින්දගේ ප්‍රතිපත්තියක් නෑති කම.
      UNPය කොච්චර වෑරදි උනත් ඵ් හේතුව මතම මහින්දව ආයේ ගේන්න මිනිස්සු ඉක්මන් වෙන්නේ නෑ.අනික විදායක බලය තවා අවුරුදු 6ක් MY3 අතේ.

      ඵ නිසා මහින්ද කොච්චර ලෙඩ අදින වෛරස ඵකක් උනත් මහින්දගේ දුරාචාරය පිලිබද මින්ස්සුන්ගේ හිතේ තියන භීතිකාව නිසා, ඵකට මේනියාවක් බවට පත්වී බලය ගන්නනම් ලෑබෙන ඵකක් නෑ මෑත කලයේදී.

      Delete
  5. මහින්ද ගැන තාමත් අනික් හැමෝටම වැඩිය කතාබහ වෙන්නේ ඒ තැනට කෙනෙක් ආවත් ඒ තැන ගන්න බැරි වෙලා තියෙන නිසා..

    ReplyDelete
    Replies
    1. මචං මගේ අදහස කෙනෙක් ආවේ මහින්දගේ තැනට නෙවෙයි, මහින්ද හිටපු තැන කියනවට වඩා මහින්ද හදාගත්තු තැන. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ජනතාව මහින්දට දීපු දෙයක් නෙවෙයි. පිල්මාරුවෙන් අත්කරගත්ත දෙයක්. ඒ තුනෙන් දෙක උපයෝගී කරගෙන මහින්ද කරපු එකම දේ 18 සම්මත කරගත්තු එක, 18 වැනි සංශෝධනයේ ප්‍රධානතම කරුණ ජනපතිවරයෙක්ගේ ධූරකාලය අසීමාන්තික කිරීම, ඒ තුලින් මහින්ද කරන්නට ගියේ කුමක්ද ජීවිත කාලය පුරා බලයේ සිටින්නට උත්සහ කිරීම. මේක නිකං ආහාර දාමය වගේ දිගට යන කෑමක් බං

      Delete
  6. මහින්ද රාජපක්ෂ ගැන කතා කරද්දි අපේ රටේ දේශපාලනය ගැනත් කතා කරන්න ම වෙනවා... මම නම් අැත්තට ම කැමතියි මේ උණුසුම් දේශපාලනයට.. මේක හරියට භාවිතා කරනවානම් රටේ ජනතාවට තමා වාසිය... මහින්ද තමා පළමු වතාවට ජනාධිපතිවරණයක් පරදින්නේ සහ නැවත අගමැති වෙන්න උත්සහ කරන්නේ..... මේක අමුතු තත්වයක්.... හිටපු අාණ්ඩුවේ ප්‍රධාන පක්ෂය දෙකට කැඩිලා... ජනාධිපති ඒහි නායකයා වෙලා... මේක සංක්‍රාන්ති සමයක්....

    ReplyDelete