May 1, 2012

සුදු තාප්පයක් උඩ වනාපු කබායක් වගේ...

මේ කතාව සත්‍යම සිදුවීමක්.මෙහි සිදුවීම පටු අර්ථයකින් නොදැක සරල විදියට හා ප්‍රායෝගික විදියට බලන්න කියලත් ඉල්ලීමක් කරනවා මුලින්ම..සිද්ධිය මේකයි..ලංකාවේ කොල්ලෙක් විදේශගත වෙලා බොහොම මහන්සියෙන් ඉතා හොඳ මුදලක් එහෙමත් උපයාගත්තලු. ලංකාවෙන් යද්දි වැටට හිටවපු පොල් පිත්ත වගේ හිටපු මේ කළු කොලුවා ලංකාවට එද්දි තඩි කළු යකෙක් වගේ පොරක් වෙලාලු..උදාහරණය ක් මතක් කරනවනම්...හරියටම අපේ...රු..නෑ.. නෑ උදාහරණ ඕන නෑ. කොහොමහරි තඩි කළු පොරක්ලු ලංකාවට ආවේ. ඇවිත් බොහොම ඉක්මණට ගේ එහෙම පිලිවලක් කරලා හොඳ වටින වාහනේකුත් අරගත්තාලු. පස්සේ ඉතින් කොළුවට ඕන වුනේ පෙලවහක් කරගන්නලු. රට යන්න කලින් කොලුවගේ යහපත් චර්යාවේ හොඳකමට රට ගිහින් ලක්ෂ ගාණක් හොයන් ආවත් ගමේ කෙල්ලෝ නෙවෙයි කොල්ල දිහා හැරිලාවත්  බැලුවේ. මොකද ලංකාවේ ඉන්න කාලේ කොල්ලගේ වැඩ ගැන වැඩියෙන්ම දැනගෙන හිටියේ කෙල්ලන්ගේ අම්මලා.

  ලඟ පාතින් හරි ගියපු නැති තැන කොල්ලා වෙන පලාතකින් වැඩට බැහැලා.වාහනේ පෙන්නලා, අව්කණ්ණාඩි එහෙම දාලා ජැන්ඩියට හිටිය තඩි කළු කොල්ලට කොහොමහරි පෙර පිනකට වගේ සුදු කිරිපාට ලස්සන කෙලි පොඩ්ඩක් සෙට් වුණාලු. මේක කොල්ලට ඉවසා දරාගන්න බැරිතරම් ප්‍රීති ජනක දෙයක් වුනාලු. බඳින්නත් කලින්ම කෙල්ලව ගෙදර අයට පෙන්නන් එක්කගෙන ආවලු. ඇවිත් නිකන් හිටියේ නෑ තමන්ව තඹේකට ගණන් ගත්තේ නැති ගමේ කෙල්ලන්ටයි, උන්ගේ අම්මලාටයි පේන්න දවසෙම කලේ ගම පුරා රවුම් ගහපු එක. නිකන් නෙවෙයි කෙල්ලව බදාගෙන නිකන් කැරොල් කරත්තේ යනවා වගේ දෙන්නා ගමේ පාරවල් පුරා කැඩුනු කවලං ඉංග්‍රීසි සිංහල යොදාගෙන කතාකර කර යනවා.


  මෙහෙම යද්දි ජෝඩුවගේ ඉස්සරහට එනවා කොල්ලගේ ටිකක් දුරින් ඥාතීයෙක් වෙන වයසක මාමා කෙනෙක්. මේ මාමා කලින් ඉස්කෝලේ මහත්තයෙක්. බොහොම වැදගත් විදියට ගමේ ජීවත්වුණු ප්‍රභූවරයෙක්. ඉතින් පයින්ම කඩපොලට යන මාමගේ ඉස්සරහට මේ ජෝඩුව එනවා. පාරට බහින්නත් කලින්ම අහල පහල අයගෙන් මේ විකාර චාරිකාව ගැන ඉස්කෝලේ මාමාට ආරංචිවෙලයි තිබුණේ. ඇස්දෙකෙන්ම දැක්කට පස්සේ මාමාට මේ කටකතාවල ඇත්ත හොඳටම තේරුණා. මාමත් පාඩුවේ ඉස්සරහට එනවා. කොල්ලත් මාමට පේන්නත් එක්කම තවත් තමන්ගේ කිරිපාට සුන්දරිය බදාගත්තා. දැන් කෙල්ල යන්නේ කොල්ලගේ කිහිල්ලේ.හරියට පන්මල්ල කිහිල්ලේ ගහගෙන යනවා වගේ. කොල්ලටත් ඕනවුනේ තමන් රට යන්න කලින් හන්දි හන්දි ගානේ රස්තියාදුවෙවී ගමට වනයක් වෙද්දි තමන්ට පාණ්ඩිත්ව උපදෙස් දෙන්න ආපු ඉස්කෝලේ මාමට තමන් දැන් ලබලා තියෙන් ප්‍රගතිය පෙන්නන්නයි. කොල්ලා මාමාගේ ඉස්සරහටම ආවා...

...ආ ඉස්කෝලේ මාමේ..කොහෙද මේ පයින්ම.?..

...මේ ගම්මන්ඩියේ පයින් නැතුව අහස් යාත්‍රාවෙන් යන්නද කොල්ලෝ...

පුරුදු විදියටම  තමන්ව තඹේට දාලා කතාකරන එක ෂොට් එකෙන්ම තමන්ට නොකවුට් වෙන්න තමන්ගේ පෙම්වතිය ඉස්සරහදිම ෂොට් එකක් දීපු මාමට හොම්බට හැටක් දෙන්න තරම් කොල්ලට තරහයි.ඒත් තරහ යට කරගෙන කොල්ලා මාමට කින්ඩියක් දැම්මා...

...කොහොමද මාමා කපල් එක..පට්ට නේද?...
කළු කණ්ණාඩි දාගෙන තඩියට ශ්‍රී ලංකා කියලා ගහපු බැනියමක් ඇඳගෙන තඩි බැගී ඩෙනිමහක් ගහගෙන කෙල්ලව කිහිල්ලේ ගහගෙන ඉන්න තඩි කළු කොල්ල දිහාවයි, දණහිසට දිග තදට තද කලිසමකුයි හීනි පටි හැට්ටෙකුයි ඇඳගෙන හිටපු අඹාපු වීනස් දෙව්දුව වගේ කිරිපාට කෙල්ලගෙයි මුල ඉඳලා අගටම හොඳට බලපු මාමා මෙහෙම කිව්වා...

...හ්ම්ම්...ඔව් ඔව්...හරියටම කිරි සුදු තාප්පයක් උඩ වනාපු කබායක් වගේ.... කියලා කිව්වලු...

ඒ කියපු උපමාව කොල්ලට නොතේරුණු නිසා විකාරෙන් වගේ යන්නම් කියලා කෙල්ලත් එක්ක ගෙදර එන්න පිටත් වුනාලු. ඉතින් එන ගමනුත් කෙල්ලා එක්ක කතා කරද්දිත් කොල්ලා කල්පනා කලේ ඉස්කෝලේ මාමා කියපු කතාවම තමයි.

  මෙහෙම දෙන්නා කොල්ලගේ ගෙදරට එනකොට කොල්ලා එකපාරටම දැක්කේ තමන්ගේ ගෙදර සුදු කිරිපාට ගාපු තාප්පේ උඩ අක්‍රමවත්ව වනලා තිබුණු තමන්ගේ තාත්තගේ කළු කෝට් එක..ඒ කෝට් එක සහ ඒක වනලා තිබුණු විදිය කොච්චරනම් ඒ තාප්පෙට නොගැලපෙනවද සහ ඒක නිසා ඒ සිරිය නැතිවෙලා නේද කියලා කොල්ලටම තේරුණා. ඉස්කෝලේ මාමා කියපු කතාව තේරුණේ  එතකොට තමයි. තවත් විනාඩියක්වත් ගමේ නොහිටපු කොල්ලා තමන්ගේ සුන්දරිත් එක්ක ඒ වෙලාවෙම යන්න ගියා. කොහේද දන්නේ නෑ...

17 comments:

  1. ඔයාලගෙ ගමේද වුනේ අය්යේ? අර රු කියල තිබ්බෙ රුචක අය්යට නෙවෙයි වෙන්නෑති නේද? කෙල්ලත් අරන් නෙ ගියෙ.එහෙනම් කමක් නෑ.අර මාමා කියපු කතාව සුවර් එකට කෙල්ලටත් තේරෙන්නෙ නෑතුව ඈති එහෙනම්

    ReplyDelete
    Replies
    1. අපෝ මේ එක එක නම් ගාවලා අන්තිමට මාව අල්ලන්න එපා හොඳද..හෙණ සීන්කෝන් එක මේක

      Delete
  2. අම්මපා නුවනක්කාර කිණ්ඩිය..
    ඒ කොල්ලා ටියුබ්ලයිට් වෙච්ච එකෙන් කතාවේ රසය තවත් වැඩිවෙලා..
    කොහෙද ඇත්තටම ඕක උනේ??

    ReplyDelete
    Replies
    1. අපොයි බොල තැන් කිව්වොත් එහෙම මම හෙට උදේ සුදුවෑන් එකක පුට් බෝඩ් එකේ යනවා කියලා ආරංචිවෙයි

      Delete
    2. අර මොකෝ පුටු බෝඩ් එකේ?? ඉඩ මදි නිසා වෙනැටැ..!!!

      Delete
  3. කොල්ලට වහ කන්ඩ හිතෙන්න ඇති නේ.
    ලස්සන කෙල්ලෙක් එක්ක යාළු උනාට කමක් නෑ. ඔය විදිහට ගම්මු හිනස්සන වැඩ නොකර !!! :)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සහෝදරයා..ඒත් ගොඩක් අය දතට දත නියට නිය වැඩ කරන්න යනවනේ

      Delete
  4. මරු කතාව.. කොහොම උනත් අර නමක් කියලා නොකියලා ඉන්න නිසා මැවුනේ ඒ රූපෙම තමයිලූ ඉතින්... :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ සහෝ...අනේ මේ මචං..අර යකා මගේ බෙල්ල කයි උඹලා ඌව මේකට උදාහරණෙට අරගෙන..හිකිස්

      Delete
  5. පට්ට සීන් එක..හැබැයි පව් වැඩේ...

    ReplyDelete
    Replies
    1. අපි මොනවා කරන්නද බන් ඕවට

      Delete
  6. වැඩි පණ්ඩිතකමට බේත ඕක තමයි... !

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ..ඉල්ලගෙන කනවා... තාප්පේ උඩ කෝට් එක

      Delete
  7. ලස්සන චිත්ත රූප මවාගෙන කතාව රස වින්ඳා.. අයියා දාපු එකම එක වචනෙත් ඇති අදාල පුද්ගලයව එහෙම්පිටින්ම මවාගන්න.කතාව සෑහෙන්න රසවත් වුනා.මරු ඈ

    ReplyDelete
    Replies
    1. අහා බොහොම ස්තූතියි මලයා..මේ බොලා එක එක චිත්තරූප මවා ගත්තට කමක් නෑ ඔය මවාගත්ත එවුන්ට අනම් මනං කියන්න ගිහින් උන් ඇවිත් මාව ගල් කලාම බේරගනිල්ලා හොඳද

      Delete
  8. කොච්චර උනත් පව් කොල්ලට. වයසක කෙනෙක් ඒවගේ කරන එක හොද නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අනිවා රාජ සහෝදරයාටත් කවුරු හරි පොරක් මෙහෙම කියලා තියනවා..අපි දන්නෑ ඕවා..හිකිස්

      Delete