Nov 1, 2016

කොටි ආයෙත් නැගිටිනවද?


උතුරේ ආයෙත් ගිනි දළු මතුවෙලා, එක එක කල්ලි ආයෙත් උතුරේ වැඩ පටන් අරගෙන, ඒවා කරන්නේ ආරක්ෂක අංශවලට විරුද්ධව, පොලීසියෙන් දෙමළ කොල්ලෝ දෙන්නෙක්ට වෙඩි තියලා මරලා දාපු එකට උතුර කුපිත වෙලා, බුද්ධි අංශ නිලධාරීන් දෙන්නෙක් පෙති ගහලා, දැන්නම් ආයෙත් යුද්ධයක් අත ලඟ.. මෙන්න මේ වගේ ප්‍රකාශ මේ දිනවල බොහොම සුලභව අහන්නට,දකින්නට පුළුවන්. ඇස් කණ් හොඳින් ක්‍රියාත්මකවෙන ඕනෑම කෙනෙක්ට, සවිඥ්ඥානිකව ඉන්න ඕනෑම කෙනෙක්ට මේ කියන්නේ මොනවා ගැනද කියලා කිසිම අපහසුවක් නැතිව අනුමාන කරන්න පුළුවන්. ඒකත් එක්කම මතුවෙන අනිත් කතාව තමයි වත්මන් ආන්ඩුව ජාතික ආරක්ෂාව පැත්තෙන් පණ මදිවීම නිසා බෙදුම්වාදී කොටි ආයෙත් නැගිටිනවා කියන එක. ඒකට අවශ්‍ය උත්තේජනය උතුරේ විවිධ පාර්ශව වගේම දකුණේ විවිධ පාර්ශවත් අඩු නැතිවම සපයලා දෙනවා. ඒ වගේම ඇතැම් මාධ්‍යත් ලුණු,ඇඹුල් අඩුවක් නැතිව හොඳට හොද්ද බොරකරලා දෙන්නේ ඇවිස්සෙන අය හොඳින් ඇවිස්සෙන්නත්, වාසි ඇති අයට වැඩි වාසිත් ලැබෙන විදිහටයි. ඒත් තිස් අවුරුදු ශාපලත් යුද ගින්දර එක්ක ජීවත්වුණු මිනිස්සු විදිහට බුද්ධිමත්ව සහ තර්කානුකූලව මේ සිදුවීම් දිහා බැලුවොත් අවි ආයුද අතට අරගෙන ඉවරකරන්න ඕන මහා සංග්‍රාම පවා ලේ බිඳක් හලන්නේ නැතිව ජයගන්න පුළුවන් කියලා අපේ ආසන්නම රටේ මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධිතුමා භාවිතාවෙන්ම පෙන්නලා දුන්නා. ඒ වගේම දතට දත, ලෙයට ලෙය න්‍යායෙන් සටන් කරලා ත්‍රස්තවාදය නැතිකරන්නත් පුළුවන් කියලා තවත් පැත්තකින් අපේ රටේ ආරක්ෂක අංශවල මිනිස්සු පෙන්නලා දුන්නා. එහෙනම් මොකක්ද ආයෙත් මේ කොටි නැගිටින කතාව.

2009 දී කොටි නැත්තටම නැතිකලාද?

Welupille Pirabaharan
සිව්වැනි ඊළාම් යුද්ධය අවසන් වෙන්නේ 2009 අවුරුද්දේ මැයි 18 වැනිදා මුලතිව් දිස්ත්‍රික්කේ නන්දිකඩාල් කලපුවේදී. ඒ එල්.ටී.ටී.ඊ හෙවත් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ පිරභාහරන් නැතිනම් සංවිධානයේ නාමධූරාවලිය අනුව ප්‍රභාකරන් ආරක්ෂක අංශ ප්‍රහාරයෙන් මරුමුවට පත්වීමත් එක්කයි. ඒ දින කිහිපය ඇතුලත කොටි නායකයා සමග සුසේයි,නඩේසන්,පොට්ටු අම්මාන් වැනි ප්‍රබල ත්‍රස්තවාදීන් ගණනාවක් මරු තුරුලට යනවා. ත්‍රස්තවාදීන් විශාල පිරිසක් මිය යනවා, තවත් පිරිසක් ආරක්ෂක අංශවලට කොටු වෙනවා, තවත් පිරිසක් කැමැත්තෙන්ම බාර වෙනවා. මේ සටනෙදි ආරක්ෂක අංශවලටත් සැලකිය යුතු මට්ටමේ ජීවිත සහ දේපල හානි සිද්ධවෙනවා. කොහොමහරි එවකට සේනාධිනායකයා වුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ජාතිය අමතලා ඓතිහාසික කතාවක් සිදුකරමින් ප්‍රකාශ කරන්නේ කොටි ත්‍රස්තවාදය මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කලා කියන කතාවයි. මුළුමනින්ම තුරන්කරපු කොටි ත්‍රස්තවාදීන් එහෙනම් අවුරුදු 7 කට පස්සේ මේ දැන් කියන විදිහට උතුරු පළාතෙන් ආයත් මතුවෙන්නේ කොහොමද කියන එක ගැටළුවක්.

2009 න් පස්සේ අවස්ථා කිහිපයකදිම කොටි ත්‍රස්තවාදීන්ගේ සෙවණේ හැදුණු විවිධ කල්ලි උතුරු පළාතේ විවිධ ක්‍රියාකාරකම් කරන්න පටන් ගත්තා. ඒ වගේම කොටි සංවිධානයේ නව නායකයෝ කියලා එක එක චරිත පත්කලා. ගෝපි වගේ චරිත ඒ අතරේ තිබුණත් ඒවාට වැඩි පැවැත්මක් තිබුණේ නෑ. 2011 දි මෙහෙම කල්ලියක් මුලතිව් වනාන්තරක සන්නද්ධව පුහුණුවෙනවා කියන ඔත්තුවට අදාල වනාන්තරය වටලලා ආරක්ෂක අංශ එල්ලකරපු ප්‍රහාරයකින් ඒ කණ්ඩායමම විනාශයට පත්වුණු පුවතක් ඒ දවස්වල අහන්න ලැබුණා. ඇත්තටම 2009 දි නිහඬ කරපු අවි නැවත හඬනංවන්න පටන්ගත්තේ ඒ කාලෙදි. ඒත් ඇත්තටම ඒ කොටි ත්‍රස්තවාදීන්ද කියලා පුංචි ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. කොහොමවුනත් ලංකා රජයට අනුව තවමත් කොටි සංවිධානය කියන්නේ මුළුමනින්ම මෙරටින් තුරන්කරනු ලැබූ සංවිධානයක්. එතකොට රටෙන් තුරන් කරපු සංවිධානයක් කොහොමද ආයෙත් නැගිටින්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා.

වැටුනොත් වැටුණමයි මාදිලිය

සාමාන්‍යයෙන් ලෝකේ සම්පූර්ණයෙන්ම විනාශකරලා දාපු ත්‍රස්තවාදී සංවිධාන සංඛ්‍යාව ඉතා අල්පයි. එසේ සම්පූර්ණයෙන්ම විනාශකරලා දැම්මා කියන ලේබලය අලවන්න තිබෙන එකම නිර්ණායකය තමයි අදාල සංවිධානය මිලිටරිමය වශයෙන් පරාජය කිරීම හෝ එම සංවිධානයේ ප්‍රධානියා ඝාතනය කිරීම නැතිනම් අත්අඩංගුවට ගැනීම. එහෙම සම්පූර්ණයෙන්ම විනාශකරපු සංවිධාන කිසිම එකක් නැවත නැගටලා නෑ කියන එක අතීතය පරිශීලනය කිරීමෙන් හොයාගන්න පුළුවන්. එහෙම වෙන්න හේතුව බොහොම සරලයි. එකක් තමයි මේ වගේ ත්‍රස්තවාදී සංවිධානවල හරය,මුඛ්‍ය පරමාර්ථය, මෙහෙයුම රැඳී තිබෙන්නේ බොහෝවෙලාවට එක් ප්‍රධානියෙක් වටා පමණයි. ඔහුගේ මොළය තමයි අදාල සංවිධානයේ හදවත වෙන්නේ. මිලිටරි ව්‍යාපාරයක් ඇතුලේ අම්මා තාත්තාවත් සියයට සියයක් විශ්වාසකරලා සියලුම රහස්, ක්‍රියාකාරකම්,සැලසුම් හෙලිකරන එක ජීවිතයට වගේම සංවිධානයටත් අවදානම් නිසා බොහෝ වෙලාවට මේ ත්‍රස්ත නායකයන් කරන්නේ අදාල කාරණා තමන්ගේම ඔළුව තුල තබාගෙන අවශ්‍ය පරිදි සංවිධානය මෙහෙයවන එකයි.
Rohana Wijeweera

එතකොට එවැනි සංවිධානයක නායකයා මරා දැමීම කියන්නේ අදාල සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශකලා හා සමාන සිදුවීමක්. උදාහරණයක් විදිහට ලංකාවේ දකුණේ තරුණයන්ගේ එකමුතුවෙන් බිහිවුණ ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙත් ත්‍රස්තවාදී සංවිධානයක්. ඔවුන් සටන්කලෙත් ලංකාවේ පාලක රජයට එරෙහිවයි. එතකොට ජ.වි.පෙ නිර්මාතෘ වගේම නායකයා වුනෙත් රෝහණ විජේවීරයි. 1971 කැරැල්ල මර්ධනය කරන්න එවකට අගමැතිනිය වුණ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය නියෝග ලබාදීලා විශාල තරුණ තරුණියන් පිරිසක් ඝාතනය කරනවා, පිරිසක් අත්අඩංගුවට ගන්නවා. අවසානයේ ප්‍රකාශකරනවා තරුණ කැරැල්ල සම්පූර්ණයෙන්ම මර්ධනය කලා කියලා. විජේවීර ඇතුළු නායකයන් පිරිසක් බන්ධනාගාරගත කරනවා. ඒත් 1989 දි නැවත වතාවක් ජ.වි.පෙ කැරැල්ලක් ඇතිකරන්නේ ඒ වෙනකොටත් ජ.වි.පෙ නායකයා ජීවතුන් අතර සිටි නිසා වගේම ඔවුන්ට අදාල ප්‍රශ්නයත් රටේ ඉතිරිව පැවතුනු නිසා. ඒත් 1988 දි දෙකොණ විලක්කුවක් වෙච්ච රටක් බාරගත්ත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සිරිමාවෝ මැතිණිය කරපු වැරැද්ද නොකර රෝහණ විජේවීර ඇතුළු නායකයන් ඝාතනය කරන්න කියලා අණ දෙන්නේ ත්‍රස්ත සංවිධානයක් මුළුමනින්ම විනාශ කරන ක්‍රමය ගැන ඔහුට අවබෝධයක් තිබුණ නිසා වෙන්න ඇති. කොහොම වුනත් 89 නොවැම්බර් කැරැල්ලෙන් ජ.වි.පෙ මිලිටරිමය ස්වරූපය සම්පූර්ණයෙන්ම බිඳවැටෙනවා. 1993 දි නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පැමිණියේ නැත්නම් අදටත් ජනතා විමුක්ති පෙරමුණ කියලා පක්ෂයක් තියා සංවිධානයක් වත් ඉතිරිවෙන එකක් නෑ. ඒ වගේම 89 න් පස්සේ ජ.වි.පෙ ට මිලිටරිමය කැරැල්ලක් කරන්නට හිතන්නවත් අවකාශයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ත්‍රස්ත සංවිධානයක මූල බීජය වෙච්ච නායකයාගේ විනාශය කියන්නේ ඒ සංවිධානයේ අවසානය කිව්වාට වරදක් නෑ.

ඒ තර්කයෙන් බැලූවිට කොටි සංවිධානයට සිද්ධ වෙන්නෙත් ඒ හා සමාන දෙයක්. පිරබාහරන් නැති කොටි සංවිධානයක් දෙමළ අන්තවාදීන්ට අවශ්‍ය නෑ වගේම පිරබාහරන් නැති කොටි සංවිධානයක පැවැත්මක්ද නෑ කියන එක විමර්ශණාත්මකව බැලුවහොත් අවබෝධ කරගන්න පුළුවන්. ඒකට පිරබාහරන් ගැන ලියවුණු ඉතාම හොඳ කෘතියක් වෙන “දුරාවබෝධී මනසක ඇතුලාන්තය“ පොත හොඳ උපාංගයක්. එයින් පෙන්වාදෙන සත්‍යය වෙන්නේ කොටි සංවිධානය නැමති කැණිමඩලේ මුදුන් හුල වුනේ පිරබාහරන් බවයි. ඒ නිසා කොටි නැගිටිනවා කියන කතාවට දෙන්න තිබෙන හොඳම පිළිතුර වන්නේ කොටි වැටුනේ සදහටම යන්න පමණකි.

උතුරේ දඟලන එක එක කල්ලි

Alfred Duraiappha
70 දශකයේ උතුරේ බිහිවෙන කල්ලි අතරේ පිරබාහරන් නායකත්වය දෙන කල්ලිය වගේම, වර්ධරාජා පෙරමාල්, ඩගලස් දේවානන්දගේ ඊ.පී.ඩී.පී සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ් වගේ කල්ලි පසු කාලෙක කොටි සංවිධානයට එකතු වෙන්නත්, ඇතැම් සංවිධාන වෙන වෙනම ක්‍රියා කරන පසුබිමක් නිර්මාණය වුනා. යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය පිරබාහරන් සෘජුවම සම්බන්ධවී කරන ලද්දක් කියන ප්‍රවෘත්තිය එක්ක ඒ සියළුම කල්ලි අතරේ පිරබාහරන්ගේ කල්ලියට විශේෂ තැනක් එවකට දකුණේ සිංහල අන්තවාදීත්වය කරපින්නාගෙන දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කරපු පිරිසකගේ පීඩනයට ලක්වුණු දෙමළ ජනතාව අතරේ ලැබෙමින් තිබුණා. හැබැයි “කරෙයර්“ නැමැති ධීවර කුලයක ඉපදුණු පිරබාහරන්ට යාපනයේ “වෙල්ලාල“ දෙමළ ප්‍රජාවගේ දායකත්වය ලැබුණේ නෑ. මොකද වෙල්ලාල කුලය නියෝජනය කරපු පිරිසට දකුණ එක්ක බිඳගත නොහැකි දේශපාලන,ව්‍යාපාරික,සමාජ සහ සංස්කෘතික බැඳියාවක් තිබුණා. එදා වගේම අදත් යුද්ධය තිබුණේ පොඩි මිනිහාගේ හිත්වලයි කියන එකට හොඳම නිදර්ශනය වෙන්නෙත් ඒකයි. එතකොට පිරබාහරන් මුලින්ම පහරදෙන්නේ තමන්ගෙම ජාතියේ වෙල්ලාල ප්‍රජාවට මිසක් සිංහල ප්‍රජාවට නෙවෙයි. කුල හීනමානය පෙරටුකරගත් පීඩාව එක්ක වෙල්ලාල ප්‍රජාවට පහරදෙන පිරබාහරන් ඇතුලු කල්ලිය ඒ ප්‍රහාරයට අවශ්‍ය ජවය සහ බලය සපුරගන්න සිංහල ප්‍රජාවට, ආරක්ෂක අංශවලට පහරදීම සිදුකලා. මුලින්ම දෙමළ ව්‍යාපාරිකයන්ගේ කඩ සාප්පු කොල්ලකෑම, දේපල පැහැරගැනීම වගේ දේවල්වලින් තමන්ගේ කල්ලියේ ආධිපත්‍ය සටහන් කරපු පිරබාහරන් ඉන් පසුව යාපනයේ සුප්‍රසිද්ධ දේශපාලන චරිත විනාශකරමින් තම කල්ලියේ දේශපාලන ආධිපත්‍ය වර්ධනය කරන්න පටන් ගත්තා. දොරේඅප්පා, අමිර්තලිංගම් වගේ දේශපාලඥයින් ඒ අතර වනවා.

ඊටත් පස්සේ කොටි සංවිධානය විදිහට විධිමත්ව ක්‍රියාකාරකම් ආරම්භකරන පිරබාහරන් ඇතුලු කල්ලිය ඊළගට පහර දෙන්නේ තමන් සමග මූලිකව එකම අරගලයේ නිරතවුණු සුළු දෙමළ කල්ලිවලටයි. එම කල්ලිවලට පරහදීලා එක්කෝ විනාශකිරීම නැත්නම් තමන්ගේ සංවිධානයට යටත් කරගැනීම පිරබාහරන්ගේ ප්‍රතිපත්තිය වුනා. ඉන් අනතුරුව යාපනය අර්ධ ද්වීපයේ මත්ද්‍රව්‍ය සහ හොරබඩු වෙළඳාමේ ආධිපත්‍ය තමන්ගේ සංවිධානය අතට අරගෙන සංවිධානයේ වත්කම් වැඩිකරගත්ත එක තමයි සිද්ධවුනේ. එහෙම බලද්දි කෙනෙක්ට පේන්න පුළුවන් මේ දවස්වල උතුරු පළාතේ එක එක අපරාධ කරන “ආවා“ වැනි කල්ලිත් අර අදින්නේ පරණ තැනටම එන්නද කියන එක. ඒත් උතුරු පළාතේ අවස්ථා ගණනාවකම සංචාරය කරලා වගේම ඒවායේ දේශපාලඥයින්, සාමාන්‍ය ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව එක්ක සාකච්ඡාකරලා අදහස් විමසලා තිබෙන පුද්ගලයෙක් විදිහට ලියුම්කරුගේ අදහසනම් ඒ ඒ කල්ලි හුදෙක්ම දකුණේ ක්‍රියාත්මක වෙන එක් එක් මැර කල්ලි හා සමාන ලක්ෂණ ඇති ඒවා පමණක්ය කියන එකයි. ඒවාට තිබෙන්නේ දේශපාලන අරමුණු නොවන පුද්ගලික අරමුණු පමණයි. අදටත් කොතරම් මර්ධනය ක්‍රියාත්මක වුනත් හිටිහැටියෙම හතර පහ එක තැන මැරෙන දකුණේ පාතාලයක් ක්‍රියාත්මක වෙද්දි උතුරේ මේ මතුවන කල්ලිවලින් සන්නිවේදනය වෙන්නේ දැන් උතුරත් දකුණේ ගාණටම වැටීගෙන එන බව මිසක් කොටි නැගිටිනවා කියන එක නෙවෙයි කියන එකයි.

දෙමළ සරසවි සිසුන් දෙදෙනා ඝාතනය

පොලිස් මුරපොලකදි අණ නොතකා ධාවනය වුණ මෝටර් බයිසිකලයකට පොලීසියෙන් වෙඩි තියලා යාපනය සරසවියේ සෞන්දර්ය කලා අංශයේ ශිෂ්‍යයන් දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් උතුරු පළාතම නැවත රත්වුණා. කිලිනොච්චිය, යාපනය වගේ ප්‍රධාන නගර ගණනාවකම මේ ඝාතනයන්ට එරෙහිව දැඩි විරෝධතා පැවැත්වුණා. කිලිනොච්චි විරෝධතාවෙදි පාර හරස් කරලා ටයර් දාලා පුළුස්සන්න පවා ප්‍රදේශවාසීන් කටයුතු කලා. ඒ ඔවුන්ගේ විරෝධය දක්වන්නයි. හැබැයි ඒ විරෝධය සිංහල ජාතියට නෙවෙයි පොලිස් දෙපාර්තමේන්තුවට විරුද්ධවයි කියන එක තේරුම්ගත යුතුය. මොකද මේ විරෝධතාවන් අතරේ යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල ශිෂ්‍යයන් පවා හිටියා. පහුගියදා යාපනය සරසවියේ සිදුවුණ ගැටුමකදි පහර කාපු සිංහල තරුණයන් පවා පොලීසියේ මේ ඝාතනයන්ට එරෙහිව විරෝධතාව දක්වන්න එකතුවුණා.ඒක නිසා මේ සිදුවීමත් හුදෙක් කොටි නැගිටින ගනයට දාන එක සාධාරණ නෑ.

2016 ජනවාරි මාසේ ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න තරුණයා උඩුමහලෙන් තල්ලුකරලා ඝාතනය කලා කියලා පොලීසියට චෝදනා කරමින් එහි ජනතාව ඇඹිලිපිටිය නගරය යුධ පිටියක් බවට පත්කරන්න කටයුතු කරද්දි සිද්ධිය පාලනය කරන්න විශේෂ කාර්ය බලකායට පවා මැදිහත්වෙන්න වුණා. හැබැයි කවුරුවත් කිව්වේ නෑ “අන්න ආයෙත් ඇඹිලිපිටියෙන් ජේ.වී.පී එකේ කැරැල්ලක් මතුවෙනවා“ කියලා. මොකද එතන සිද්ධවෙලා තියන දේ සහ විරෝධය කාටද කියන එක ගැන දකුණේ පොදු සමාජය ඇතුලේ හොඳ අවබෝධයක් තිබුණ නිසා. උතුරේ මේ වගේ විරෝධතාවල හේතුව, සහ විරෝධය කාටද කියන එක දකුණට හරියට සන්නිවේදනය වෙන්නේ නෑ. ඇත්තම කිව්වොත් හරියට සන්නිවේදනය වෙන්න දෙන්නේ නෑ. දේශපාලන වාසි ලබාගන්න බඩගෝස්තරවාදීන් භාෂාමය ගැටළුම දඩමීමා කරගෙන උතුරේ විරෝධය කොටි ලයිස්තුවට දාලා දකුණේ මිනිස්සුන්ගේ ලේ රත්කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑ. උතුරේ මිනිස්සු තමන්ගේ නැතිවුණ ඉඩකඩම් ඉල්ලලා පාරට බැස්සත් දකුණේ මිනිස්සු අතර ඇතැම් මාධ්‍ය විසින් මවන චිත්‍රය තමයි “අන්න ආයෙත් කොටින්ට පණ දෙන්න පාරට බැහැලා“ කියන එක. ඒ නිසා මේ විරෝධතා කියන එක දකුණෙත්,වතුකරයෙත්,නැගෙනහිරත්,උතුරෙත් තාර්කිකව සහ බුද්ධියෙන් යුතුව බැලුවොත් විතරයි නියම තත්ත්වය තේරුම්ගන්න පුළුවන් වෙන්නේ.

බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාට කඩුපාර වදින්නෙත් වෙනත් ප්‍රශ්නයකට සිවිල් ඇදුමින් මැදිහත්වෙන්න උත්සහ කරපු නිසා කියන එක තමයි දැනට වාර්තා වෙන්නේ. ඒක ඉන් එහා ගියපු ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන කරපු සැලසුම්ගත ප්‍රහාරයක්නම් මේ වෙනකොට මීට වඩා හානි වෙලා තියෙන්න ඕන කියන එක අපි අත්දැකීමෙන් දන්නවා. ඒත් දැන් ආරක්ෂක අංශ යාපනේ පීරා පීරා පාතාල කල්ලි හොයද්දි උතුරේ-දකුණේ කියලා ලොකු වෙනසක් නැති තැනට වැඩ සිද්ධවෙලා කියන එක තේරුම්ගත යුතුයි.

විග්නේෂ්වරන්ගේ සහ සම්බන්ධන්ගේ වැඩ කිඩ

 ඉතිහාසයේ ඉඳන්ම ගත්තම දකුණේ-උතුරේ කියලා දේශපාලනඥයින්ගේ වෙනසක් දකින්න ලැබිලා නෑ. දෙපැත්තේම හොඳ,නරක සහ අන්තිම නරක චරිත ඉඳ තිබෙනවා වගේම අදටත් ඉන්නවා. දකුණෙත් අන්තවාදීන්, බෙදුම්වාදීන් ඉන්නවා, උතුරෙත් එහෙම්ම තමයි. එතකොට විග්නේෂ්වරන් කියන්නේ ලංකාවේ ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කලත් අද ඔහු උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලනඥයෙක්. සම්බන්ධන් කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වුනත් ඔහුත් දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලනඥයෙක්. පහුගිය කාලේ පුද්ගලිකව උතුරේ කරපු සංචාරවලින් ලියුම්කරු අවබෝධකරගත්ත දෙයක් තමයි උතුරේ ජනතාව අතරේ වේගයෙන් දෙමළ දේශපාලනඥයින් සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳවැටෙනවා කියන කාරණය. එහෙම තත්ත්වයක් යටතේ ඉදිරියට එන පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ උතුරු ආධිපත්‍ය හදිසියේ හෝ බිඳවැටුනොත් ඒක ඔවුන්ගේ දේශපාලන පැවැත්මට අන්තිම නරක සිදුවීමක් වන එක සහතිකයි. එතනදි ඒ විශ්වාසය බිඳ වැටෙන්නේ විග්නේෂ්වරන් වගේම සම්බන්ධන් ඇතුළු විවිධ පක්ෂ නියෝජනය කරන දේශපාලඥයින්ගේ ක්‍රියා කලාපය හේතුවෙලා තිබෙනවා.

විශේෂයෙන්ම යාපනය,කිලිනොච්චි,කන්කසන්තුරේ වගේ නරගවල යුද්ධයෙන් පසුව වේගවත් සංවර්ධනයකට අවශ්‍ය සැලසුම් සකස්කරලා ජනතාවට බලාපොරොත්තු දී තිබුණත් ඒවා ක්‍රියාත්මකවීම ඇණහිට තිබුණා. එයට හේතුවෙන්න ඇත්තේ මධ්‍යම රජය එක පක්ෂයකත්, පළාත් සභාව තවත් පක්ෂයටත් අයත්වීම හේතුවෙන් විතරක්ම නෙවෙයි. ඒ වගේම කාලයක පටන් උතුරේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් වුණ හමුදාව විසින් අත්පත්කරගත් ඉඩම් නැවත ලබාගැනීම, අතුරුදහන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සාධාරණ පියවරක් අරගෙන ඔවුන් වෙනුවෙන් වන්දියක් හෝ නීතිමයභාවයක් ලබාදෙන්න කියන කාරණය, උතුරේ වේගයෙන් වර්ධනය වෙන විරැකියාවට විසඳුම් ලබාදීම, සිඝ්‍රයෙන් වර්ධනය වෙන මත්උවදුර මඩින්න ක්‍රියාකිරීම වගේ ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් පිළිතුරු ලබාගෙන්න ඒ පළාතේ දේශපාලන චරිතවලට හැකියාව ලැබුණේ නෑ. ඒ නිසා මැතිවරණයක් ලඟ එද්දි දකුණේ ඇතැම් දේශපාලන චරිතවලට වගේම උතුරේ දේශපාලන චරිතවලටත් ඉතුරුවෙන්නේ අන්තවාදිත්වය වපුරා ජනතාව කුපිතකර ඡන්ද බලය ආරක්ෂාකරගැනීම විතරයි. “එළගු තමිල්“ වගේ වැඩසටහන්වල යටි අර්ථය වෙන්නෙත් කලින් කියපු දේම තමයි. ඒ නිසා මේ කිසිම පියවරක් දෙමළ ජනතාවගේ අවශ්‍යතාවෙන් සිදුවන දේවල් නෙවෙයි කියන එක දකුණ අවබෝධකරගත යුතුය.

උතුර අනාරක්ෂිතද?

එක පැත්තකින් බැලුවම සමාජයීය සහ දේශපාලනික වශයෙන් උතුර ආරක්ෂිතයි. ඒත් අනිත් පැත්තෙන් මත්ද්‍රව්‍ය,ජාවාරම් සහ අපරාධ පැත්තෙන් වගේම ආර්ථිකමය පැත්තෙන් උතුර ඉන්නේ බරපතල අවධානමක. ජනතාව අතරේ විවිධ අසහනකාරී තත්ත්වයන් මතුවෙන්න හේතුවෙන්නෙත් පෙර සඳහන්කරපු ආර්ථික සහ සමාජ විරෝධ ක්‍රියාකාරකම්වල අනාරක්ෂිතභාවය නිසාවෙන්මයි. ඒ හැරෙන්නට මිලිටරිමය වශයෙන් රජයට එරෙහිව කැරැල්ලක් කරලා ආයෙත් ජීවිත,දේපල වගේම මේ පරපුරේ සැනසිල්ල නැතිකරගන්න උතුරේ මිනිස්සුන්ටත් අවශ්‍ය නෑ කියන එක අපි අවබෝධකරගත යුතුයි. උතුර අනාරක්ෂිතනම් ඒ හා සමානවම දකුණත් අනාරක්ෂිතයි. උතුරට වඩා අපරාධ සහ සමාජ විරෝධී දෑ දකුණේ අද සිද්ධවෙනවා. තමන්ගේ ඇහේ පොල් පරාලය වහගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද පෙන්වා සතුටුවෙන සමාජ තත්ත්වයකින් දකුණ මිදිය යුතුමයි.

සැබෑ ලෙසම කොටි සංවිධානය හෝ වෙනත් අන්තවාදී සංවිධානයකට උතුරු පළාත තුල ඉඩක් නැති තරම්. ඒකට හේතුවෙන්නේ දැන් ජනතාව බොහෝ දෙනෙක් දකුණේ ජීවන රටාවට නැවත වතාවක් හුරුවෙමින් ඉන්න නිසා. ඇතැම් අය යාල් දේවිය හරහා හෝ පොදු ප්‍රවාහන බස් රථ හරහා කොළඹට, දකුණට ඇවිත් ඒ සුන්දරත්වය, ජන ජීවිතයේ විවිධත්වය අත්විඳිනවා. ඒ අත්දැකීම් එක්ක ආයෙත් උතුරට ගිහින් අපිට යුද්ධයක් කරලා රටෙන් කෑල්ලක් වෙන්කරගන්න එක්වෙයල්ලා කියන්න තරම් ඒ මිනිස්සුන්ගේ හිත් දූෂිත වෙන්නේ නෑ. ඇත්තටම යුද්ධය හිඟන්නාගේ තුවාලයක් කරගත්ත පිරිස වගේම යුද්ධයේ පීඩාව ආයුදයක් කරගත්ත පිරිස නිසා තමයි මේ රටේ බොහොමයක් ප්‍රශ්න නිර්මාණය වුනේ වගේම අදටත් වෙමින් තියෙන්නේ. මේක අවබෝධකරගෙන සිහිබුද්ධියෙන් වැඩ කලොත් කොටි වැටිලා තියෙන්නේ භෞතිකව විතරක් නෙවෙයි කොටි රජකරමින් හිටපු මිනිස්සුන්ගේ ඔළුවලිනුත් එක්කයි කියන එක තේරුම්ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒකට ටිකක් කල් යයි වගේම පිරිසිදු ඔළු ටිකකුත් අවශ්‍ය වේවි.


ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර  
2016.10.31



No comments:

Post a Comment