Feb 1, 2020

බඩගින්නට වඩා කොළුගින්න දරුණුයි සදාදර "කේක් පටි"


බ්ලොග් එක ආයේ ලියන්න පටන්ගත්තා කියන මුහුණු පොතේ සටහනකින් පලකරපුවම පරණ බ්ලොග් හිතවතුන් ටික වටවෙලා පරණ රහ හාරවුස්සන්න පටන්ගත්ත එකෙන්ම දැනුනා අපිට මොකක්හරි අතෑරුණා නේද කියන. එක එකම රහක් තිබුණ එවුන් ටිකක් එකම තැනකට වෙලා එක එක විදිහේ ලියවිලි වලින් අපි ගතකරපු තැනක් තිබුණා. කමක් නෑ..ඒ අතීතය අතීතයේම තැනක තිබුණාවේ..

ඒත් ඔය 'අතීතය' කියන වචනය කියන එක ඇහුණ ගමන් පුදුමාකාර කරුමයක්. මොකද ඔය කී වර්ඩ් එක සර්ච් බාර් එකේ වැදුණු ගමන්ම නොදැනීම් සර්ච් බට්න් එක ප්‍රෙස් වෙනවා. ඊට පස්සේ තත්තර දශම ගාණකට එන සර්ච් රිසාල්ට් එකේ දිග කිලෝමීටර් ගණනාවක් දිගයි. එහෙම තැනක තියන තවත් එක සිද්ධියක් මතක් වුණේ පහුගිය දවසක ලංකාවේ සුප්‍රසිද්ධ හෝටලයක ඉඳගෙන අහන්න අකමැති මාතෘකාවක් ගැන දීර්ඝ දේශනයකට සවන්දෙන අතරේ හෝටලයේ සේවක මහත්මයෙක් මේසේ උඩින් ගෙනැත් තිබ්බේ තඩි කේක් දීසියක්. වෙලාව හවස තුනට විතර ඇති, නිදිමත රතු කට්ට දෙකඩ කඩලා. දවල් කාපු ඒවයේ රස්නේ යන්න වුනෙත් නෑ. දැන් කොහෙට කියලා කේක් කන්නද. ඒ නිසා කේක් දීසිය දිහා නොබලාම හිටියා. ඒ අතරේ හිත දුවලා ගියෝ මීට අවුරුදු දහඅටකට විස්සකට විතර කලින් අතීතෙට. ඒ කියන්නේ අලුත් සහශ්‍රයේ මුල්ම දවස් ටිකට.


ඒ කාලේ සහ මේ කාලේ අතරේ වෙනස අවුරුදු විස්සක් විතර නිසා සමහරවිට මේක කියවන අලුත් පරපුරේ එවුන්ට එක්කෝ මේක විකාරයක් විදිහට දැනෙයි, නැත්නම් මෝඩ චූන් එකක් විදිහට දැනෙයි, සමහරු එවුන්ට අනේ පව් කියලා හිතෙයි. ඒ මොනවා වුණත් ඒ තමයි අපේ ජීවිතේ.

හරි.. ඔය කලින් කියපු කාලේ අපේ ගම්පළාතේ කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා කරන ගමේ පොදු වැඩ කීපෙකදි ඇරෙන්න අනිත් වෙලාවට ඉස්කෝලේ ගිහින් ඇවිත් ගෙදරට වෙලා බලන්න හරි හමන් ටී.වී එහෙමත් නැති නිසා, මූණ ඔබාගෙන ඉන්න ස්මාර්ට් ෆෝන් එහෙමත් නැති නිසා කලිසං කොටයක් ගහගෙන ගමට බහින එක අපේ දින චර්යාව වෙලා තිබුණා. ඉස්කෝලේ හයේ හතේ හිටපු අපිට හවස්වරුවට සෙල්ලම් කරන්න කලින් හැමදාම එන කාළකණ්ණි අසනීපයක් තිබුණා. ඒ තමයි බඩේගින්න. ඇත්තටම ඕක බඩේගින්නක්ම කියලා කියන්නත් බෑ. මොකද එකහමාරට ඉස්කෝලේ ඉවරවෙලා ඇවිත් දෙකට දෙකහමාරට විතර තඩි බත් පිඟානකට වග කියන නිසා. ඒ නිසා අද හිතෙන දේ තමයි ඕක මොකක්හරි කොළුගින්නක් කියලා. අද මේ 'කොළුගින්න' කියන වචනය වුණත් වෙන අර්ථයකින් දක්වන්න කැමති සමාජයක් ඉන්න නිසා මේක කොළුකමට හැදෙන බඩේ ගින්නක් කියලා මතක තියාගෙන ඉන්න එක ලේසිවෙයි.

ඔය හැදෙන ගින්නට පාර අයිනේ තියන කිරිල්ල පඳුරේ සිට කුරුම්බා ගහ දක්වා පරාසයක විකල්ප අවස්ථා අපිට තිබුණත් ඉඳලා හිටලා අපි එකතුවෙලා තෝරගන්න අමුතු විකල්පයක් පස්සේ අපිට පුරුද්දක් වුණා. ඒ තමයි මේ කොළුගින්න 'කේක් පටිවලින්' නිවන එක.

කේක් පටි කියන්නේ..සරලවම කිව්වොත් ටිකක් දිග කේක් පටි. ඒ කියන්නේ අපේ ගමට අල්ලපු ගමේ තිබුණා එක ලඟ බේකරි දෙක තුනක්. සමහර බේකර් ඒ දවස්වල ලංකාව පුරා ප්‍රසිද්ධ ඒවා. එකක නමක් විතරක් මතකයි 'ලිට්ල් ලංකා' කියල. අපිට ඔය බේකරි පිහිටලා තියන හේවගේවත්ත කියන ගමේ කොලු නාම්බෙක්ගෙන් දැනගන්න ලැබුණා බේකරියේ හදන කේක්වලින් වැඩි කොටස, ඒ කියන්නේ අයිනේ තීරු ටික (ෆ්‍රෙස්වල කියන ඕෆ් කට් එක) පොඩි ගාණක් දීලා මළු පිටින් අරන් යන්න පුළුවන් කියලා.

අවුරුද්ද කාලෙටනම් නිතර කේක් කන්න ලැබෙනවා. ඒත් අනිත් කාලවල එහෙම යහමින් කේක් ලැබෙන්නෙත් නෑ. ලැබුණත් හිතේ හැටියට කන්න ලැබෙන්නෙත් නෑ. එහෙව් එකේ මේ කේක් පටි කතාව කොළු නඩයේ මූණුවලට අලුත් එළියක් එකතුකරපු ගොසිප් එකක් වුණා. දඩි බිඩියේ සල්ලි එකතුකරලා බැලුවම පොඩි සල්ලි, කොල සේරම එක්ක යන්තම් රුපියල් පනහක් හැටක් තියනවා. බයිසිකලයක් තියන කොල්ලෙක් එක්ක තව එකෙක් ගිහින් බේකරියේ වැඩකරන හරි බිල් කඩන කෙනා එක්ක හරි කතාකරලා කේක් පටි මල්ලක් අරගෙන කුරුල්ලෝ වගේ පියාඹලා එනවා. 

හන්දියේ තියාගෙන ප්‍රසිද්ධියේ කේක් කන එක එච්චර සදාචාර සම්පන්න නෑ කියලා මොකක්දෝ සීමාවක් දාගන්න අපි කොහේහරි කැලෑවක් අස්සේ, නැත්නම් දෙණියේ ළිඳ ලඟ එකතුවෙලා කේක් පටිවලින් සප්පායම් වෙනවා. සමහර ඒවා හරි රහයි, තවත් සමහර ඒවා කරවෙලා, ඉඳලා හිටලා අයිසින් දාපු කේක් පටි එහෙමත් බෑග් මළුවලින් මතුවෙනවා. ඒ වෙලාවට පොරකලා බෑග් ඉරාගන්න අවස්ථා එහෙමත් නැතුවම නෙවෙයි. එතනදි කැලෑ නීතිය රජකරලා දුබලයාව තලලා ප්‍රබලයන් විසින්  අයිසින් කේක් සප්පායම් වීමේ අවස්ථාව හිමිකරගන්නවා.

සමහර දවස්වලට කාගන්න බැරිතරම් තොගයක් ලැබෙනවා. එදාට අන්තිමට කේක් වලින් බඩ පුරවගත්තා ඒවා බහින්න එක්ක කේක් වලින් ගහගන්නවා. නැත්නම් පාරේ ඉන්න බල්ලන්ට, පූසන්ට කේක් වලින් දාන සංග්‍රහ කරනවා. ඔය කේක් පටි කෙරුවාව අපිට අවුරුදු පහළොව දහසය වෙනකල්ම පවත්වාගෙන ගියපු එකක්. පස්සේ පස්සේ එකා දෙන්නගේ රැවුල් ගස් මතුවෙද්දි, කටහඬ ගොරෝසු වෙද්දි, ස්වප්න මෝචනය එහෙම වෙන්න පටන්ගනිද්දි ජම්බු ගහෙන් වැටුණු කොල්ලො ටිකට කේක් පටි ගේන්න යන එක වගේම කන එකත් ලැජ්ජාවක් බවට පත්වෙන්න ගත්තා. ඒක ටිකක් සංකීර්ණ මානසික පරිවර්තනයක්. ඕක ගැන විස්තර කරන්න ගියොත් තවත් වෙලාවක් යනවා.

අදටත් කේක් කෑල්ලක් දකිද්දි, ප්‍රතික්ෂේප කරන සෑම කේක් කෑල්ලක් සහ සප්පායම්වෙන එකක් පාසාම මතක් වෙන්නේ මේ අතීත සිදුවීම් මාලාව. අද මේ කේක් පටි වලින් කොළුගින්න සන්සිඳවගත්ත කොල්ලෝ බොහෝ දෙනෙක් විවාහ වෙලා දරුවෝ එහෙම ඉන්න, විවිධ ක්ෂේත්‍රවල රැකියා කරන උදවිය. ඒත් සමහරවිට උන්ටත් කේක් කෑල්ලක් දැක්කම මේ සිද්ධි ටික මතක් වෙනවා ඇති. සමහරු මතක් වුනත් එහෙම නෙවෙයි වගේ ඉන්නවා ඇති, තවත් සමහරු මතක් වෙද්දි අමතක කරනවා ඇති, තවත් සමහරු අදටත් පුරුද්දකට වගේ ගෙදර හාමිනේ හදලා කරවෙලා දමලා ගහලා යන කේක් එකේ වාටි කෑල්ල කපලා කොහේ හරි පැත්තකට වෙලා රහ බලන ගමන් අතීතෙට දුවගෙන යනවා ඇති.

3 comments:

  1. දැං කොල්ලො පොශ් වැඩියි ඒ හන්දා පටිකේක් කනවා කියන්න ලැජ්ජයි.

    ReplyDelete
  2. අතීතේ ට දුවනවා කියන්නේ හරිම වින්දනීය දෙයක්. ඒ අස්සේ හැංගිච්චී දුකකුත් නැතිවාම නෙවෙයි...

    ReplyDelete
  3. ආපහු ලියන්න ගත්ත එක ම මදැයි..
    අපිත් 7-8 වසර වල ඉතිං ඉස්කෝලේ ගිහිං ඇවිත් පාරේ තමා. අපි නම් හැබැයි ක්‍රිකට් ගැහුවා, එක එක සෙල්ලම් කරා. ඒ කරලා හවස් වෙද්දී වෙල අයිනේ බෝක්කුවක් තියනවා. එකේ කණු උඩට වෙලා කයිය ගහගෙන ඉඳලා හවස කාටුන් සෙට් එක පටන්ගන්න වෙලාවට ගෙදරකට සෙට් වෙනවා. එහෙමත් වේලාවක තමා කාටුන් ටික මිස් කරේ. වැස්ස දවසක නම් ගෙදරකට සෙට් වෙලා කයිය ගගහ ඉන්නවා, නැත්තම් කැරම් ගහනවා.
    මේකත් තව දිගට මතක් කරන්න ගියොත් මෙතන පෝස්ට් එකක් ලියවෙනවා..

    ReplyDelete