Feb 22, 2020

'තණමල්විල කොල්ලෙක්' එක හුස්මට බැලුවෙමි..


'තණමල්විල කොල්ලෙක්' ටෙලි නාට්‍ය ගැන කපිල.එම්.ගමගේ හිතවතා මුහුණුපොතේ ලියලා තිබුණ සටහනක් එක්ක කතාව බලන්න හිතුනා. යූ ටියුබයේ පිරික්සුම් සීමාවේ නම සඳහන් කරලා පළවෙනි කොටසින් පටන් අරගෙන එකින් එක බලන්න පටන්ගත්තා. ඒත් ඇත්තටම ට්‍රැක් එකට වැටෙන්නේ තණමල්විල සීමාවේ සිද්ධවුණු සිදුවීම් දාමය එකින් එක දිගහැරෙන්න පටන්ගත්තමයි. ඇත්තම කියන්න එක හුස්මට බලාගෙන යන්න හිතෙන තරමට.


කාලයක් තිස්සේ රංගනයෙන් තෙම්පරාදුවෙලා ඉන්න රොෂාන් රවීන්ද්‍ර 'බැද්දේ කුලවමිය' 'සහෝදරයා' සහ 'වීරයා ගෙදර ඇවිත්' ටෙලි නාට්‍යවලට පස්සේ ටෙලියක් අධ්‍යක්ෂණය කරයි කියන එක හීනෙකින් වත් නොහිතුණු දෙයක්. ඒත් රොෂාන්ගේ කුළුදුල් නිර්මාණය ඇතුලේ තියන ඔහු කාලයක් තිස්සේ ලබපු පරිචය සහ නාමල් ජයසිංහ එක්ක 'සහෝදරයා' කරද්දි, ආනන්ද අබේනායක එක්ක 'බැද්දේ කුලවමිය' සහ 'වීරයා ගෙදර ඇවිත්' කරද්දි ලබාගත්ත වත්කම් සෑහෙන්න දුරට 'තණමල්විල කොල්ලෙක්' කියන ස්වතන්ත්‍ර නිර්මාණය ඇතුලේ කලාත්මකව ආයෝජනය කරලා කියන එක ටෙලිය පුරාවටම දකින්න පුළුවන් දෙයක්. 

දීප්ත කියන තරුණයා ඌව පළාතේ තණමල්විල සීමාවේ බොහොම දුෂ්කර ගම්මානයක වැව්පිටිය ආසන්නයේ ජීවත්වෙන තරුණයා ප්‍රංශයේ පැරිස් නුවර දක්වා ගමන් කරන ජීවිතයේ මුහුණදෙන්නට වුණු සිදුවීම් මාලාවක් තණමල්විල කොල්ලෙක් කතාවට පදනම් වෙනවා. නිදහස්කාමී සහ අහිංසක කලාකරුවෙක්ගේ පුත්‍රයෙක් විදිහට දීප්ත, තමන්ගේ ආරක්ෂක අංශයේ සේවය කරන වැඩිමහල් සොහොයුරා සහ විවාහාපේක්ෂාවෙන් සිටින වැඩිමහල් සොහොයුරිය එක්ක බැඳෙන කුටුම්ක කතිකාවත වගේම ගමේ තමන් එක්ක ජීවත්වෙන යාළුමිත්‍ර කණ්ඩායම සමග බැඳුණු කතා සාරාංශයේ ග්‍රාමීය දරීද්‍රතාවය, ශ්‍රමවියුක්තිය, කුල පීඩනය, ග්‍රාමීය වටපිටාවේ පවතින සම්පත් සහ අවස්ථා අසමතුලිතතාවය වගේ කාරණා ඉතා සියුම්ව ස්පර්ශ කරන්න තණමල්විල කොල්ලෙක් සමත්වෙනවා.

මේ කතාවේ දැනට විකාශනය වෙලා තියෙන්නේ කොටස් සුළු ප්‍රමාණයක්වීම එක්ක සමස්ත කතා තේමාවේ ගමනාන්තය හෝ විභවය ගැන පූර්ණ අදහසක් කියන්න අපහසු වුනත් මේ දක්වා චරිත අතරින් 'යශෝදරා' (යශෝදා විමලධර්ම) ගේ චරිතය තීරණාත්මක චරිතයක්. සමසමාජ දේශපාලනය වෙනුවෙන් සිය වත්කම් නැතිකරගෙන තවත් සමාජවාදී දේශපාලන ප්‍රවාහයක තුවක්කුවකින් ජීවිතය පවා අහිමිකරගත්ත  දෙමාපියන්ගේ ඊළඟ පරපුර නියෝජනය කරන යශෝදරාගේ චරිතය තුලින් කියන්නට හදන කතාව බොහොම ගැඹුරුයි වගේම තර්කානුකූලයි. ඒ චරිත හැසිරවීමෙන් රොෂාන් අධ්‍යක්ෂණයට අලුත් කියන පූර්ව උපකල්පනය බිඳින්නට හැකියාව ලැබෙනවා. 

ලංකාවේ මේ දවස්වල රූපවාහිනී නාලිකා කිහිපයක තරුණ මහළු භේදයකින් තොරව ආකර්ෂණය කරගන්නට සමත්වුණු කතා කිහිපයක් එක්ක සංසන්දනය කරලා බැලුවම මිනිස්සු ඉදිරියේ මවාපාන සුළුතරයක බොරු ෆැන්ටසියානු මෙගාවාදිත්වයට 'තණමල්විල කොල්ලෙක්' කියන්නේ අපූරු විකල්පයක්. අනිත් පැත්තෙන් ග්‍රාමීය කටුකත්වය එක්ක බැඳිච්ච සැබෑ ප්‍රශ්න ටික යටගහලා ඊනියා රොමාන්තික නින්ද්‍රාවකට පත්කරන කතා සංකල්ප වලට තණමල්විල කොල්ලෙක් කියන්නේ කණේ පාරක්. 


2 comments:

  1. ඒක හොයාගෙන බලන්න ඕනේ. ටීවී බැලිල්ල නම් නවත්තලා සෑහෙන කල්.

    ReplyDelete
  2. ඔබේ ලිපියෙන් කොටසක් මගේ බ්ලොග් ලිපියකට ගත්තෙමි. ස්තුතියි!
    https://nidigepanchathanthare.blogspot.com/2020/05/blog-post_8.html

    ReplyDelete