Jun 12, 2011

විදුලි දුම්රිය හා ආශ්චර්යය

වෙලාව හවස 3.35 මම කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය නැවතුම් පොලේ එහෙමත් නැත්නම් මධ්‍යම දුම්රිය පරිපාලන මධ්‍යස්ථානය ලඟ. කතරගම බලා යන අධිවේගී විදුලි දුම්රිය පිටවෙන්න තියෙන්නේ හරියටම 3.48 ට. මට ඒක අල්ලගන්න පුළුවන් වුනොත් හරියටම 5.10 ආසන්න වෙද්දි මාතරටත් එතනින් එහා තිබෙන වෙහෙරහේන උප දුම්රිය නැවතුමට 5.12 වෙද්දිත් යන්න පුළුවන්. මම ඉක්මනට කබා සාක්කුවට අතදාලා ජංගම අත් පරිගණකය ගත්තා. අරගෙන ඇඟිලි තුඩු ස්පර්ශ දෙකකින් www.railticks.lk වෙබ් අඩවිය වෙත ගිහින් මගේ ඇඟිලි සලකුණ තියලා පුද්ගලික ගිණුමට ඇතුල්වුණා. කතරගම යන අධිවේගී විදුලි දුම්රිය B08 හි දෙවන පංතියේ අසුන් ඉඩකඩ පරීක්ෂාකලා..හරි තවත් අසුන් 5 ක් ඉතිරියි. එකක් වෙන්කර එසැනින්ම විද්‍යුත් මුදල් කාඩ්පත් අංකය හරහා ගෙවීම් කලා රුපියල් 820 ක්. මම කඩිනමින් දුම්රිය ස්ථානයේ ස්වයංක්‍රීය වීදුරු දොරටු තුනෙන් මැද දොරෙන් ඇතුල් වුනා. එලියේ කොතරම් උණුසුම් වුනත් ඇතුල හරි සිසිලයි. ඉක්මණින් කවුන්ටරය ලගට ගිහින් එතන තියුණු ස්පර්ශ සංවේදී පරිගණක අතුරු මුහුණතේ ටිකට් වෙන්කිරීමේදී ලද අංකය සටහන් කල සැනින් ටිකට පත එලියට ආවා. එය විද්‍යුත් චුම්බක රේඛවක් අඩංගු අති නවීන කාඩ්පතක්.


  දුම්රිය මේ වනවිටත් නියමිත දකුණ 213 වේදිකාවේ නවතලා තිබුණා. දුම්රිය හා වේදිකාව අතර පරතර මිලිමීටර ගණනක්. දුම්රිය දොරේ සවිකර ඇති යන්ත්‍රයට ටිකට් පත ඇතුල්කල පසු දොර ඉබේම විවෘත වුණා. ටිකට් පත නැවත අරගෙන දුම්රියට ගොඩවුණා. දොර ඉබේම වැසුණා. මැදිරියේ ඉතිරිව තිබුණු අසුන් කීපයකින් එකක මම ඉදගත්තා. කාටවත් හිටගෙන ගමන් කරන්න අවසර නැහැ. ඇරත් දුම්රිය ගමන්කරන වේගය ආසන්නව පැයට කිලෝමීටර 130 ක්. ඒ වේගය එක්ක හිටගෙන ගමන් කිරීමත් අපහසුයි. අසුන් ප්‍රමාණයට පමණක් ටිකට් නිකුත් කරන නිසා පිරිස හිටියෙත් 30 ක් විතර. මම අසුන් ගත්තු තැනට එහා අසුනේ හිටිය මහත්තයා තමන්ගේ පාඩුවේ සඟරාවක් කියවනවා..මම ටිකක් ඔලුව දාලා බැලුවා..වි‍ශ්ලේෂණා සගරාව..අනිත් පැත්තේ කාන්තාවෝ දෙදෙනෙක් ඕපාදූප කතාකරනවා..ඒත් දුම්රිය ඇතුලේ බොහෝම නිස්කලංක ස්වභාවයක් තිබුණා. මැදිරිය වායු සමීකරණය කර තිබුණා. මැදිරියේ තිබුණු රූපවාහිනී තිරයෙන් දේශීය පාරිසරික වැඩසටහනක් විකාශණය වුනා. මමත් අසුනේ හරි බරි ගැහිලා වෙලාව බැලුවා හරියටම 3.48 යි. එවිටම විදුලි ශබ්දයක් සමගම දුම්රිය ඉදිරියට යන්නට වුණා. මැදිරිය තුල ශබ්ද විකාශන යන්ත්‍රය ක්‍රියාත්මක වුනා...
..ආයුබෝවන් නොනාවරුනි මහත්වරුනි. ඔබ‍ මේ ගොඩවී සිටින්නේ කොළඹ සිට කතරගම දක්වා වෙරළබඩ අධිවේගී සෘජු දුම්රිය මාර්ගයේ ගමන් කරන B08 දුම්රියටයි..මෙම දුම්රිය ආසන්න වශයෙන් පැයට කිලෝමීටර 120 ත් 140ත් අතර වේගයකින් ගමන් කරනු ඇත..දුම්රිය නවත්වන්නේ දෙහිවල. රත්මලාන. මොරටුව. කළුතර. බේරුවල. බලපිටිය.අම්බලන්ගොඩ.ගාල්ල.වැලිගම.මාතර.දික්වැල්ල. තංගල්ල....

එම ශබ්ද විකාශන යන්ත්‍රයේ හඩට කන්දී සිටි මම නැවතත් කව්ලුවෙන් පිටත බැලීය. අධික වේගයෙන් යන දුම්රිය මාරිගය දෙපස පිහිටි සංඥා කුළුණු හා ආරක්ෂිත වැට මෙන්ම දෙමහල් තෙමහල් නිවාස අපැහැදිලි ඡායාරූප සේ පෙනේ. ඉතා වේගයෙන් දුම්රිය ගමන් කරයි. සාමාන්‍යයෙන් දුම්රිය නැවතුමක නවත්වන්නේ උපරිම විනාඩි 3 ක කාලයකි. ස්වයංක්‍රීයව විවෘත වෙන දොර නැගීමට භාවිතා කල දොර නොවන අතර බැසීමට ඉදිරිපස දොර භාවිතාකල යුතුය. විනාඩි 3 තුල බැසීමට නොහැකිවුව හොත් ඊලග නැවතුම තෙක් සිටිය යුතුය. 
  දුම්රිය ගාල්ලට පැමිණෙන විට වේලාව සවස 4.46 විය. වෙනදා මෙතනදී දුම්රිය කණපිට ගැසූවද දැන් එහි නවත්වන්නේද විනාඩි 3 කි. ක්ෂණිකව දුම්රිය ඉදිරියට ඇදේ. නිරතුරුවම අංග සම්පූර්ණ ඇදුම් කට්ටලයකින් සැරසුණු දුමරිය සේවා දෙපාර්තමේන්තුවේ ආහාර සම්පාදන අංශය ප්‍රනීත ආහාර ගබඩා කල කරත්ත තල්ලු කරගෙන මගීන්ට බාධා නොවන ලෙස ගමන් කරයි. මම එයින් එක් කරත්තයක් නවත්වා රුපියල් 70 ක් වටිනා පොප් කෝන් පැකට්ටුවක් මිලට ගතිමි.

 වේලාව සවස 5.02 තවත් විනාඩි කීපයකින් දුම්රිය මාතරට ලගාවෙන බව කියවුණි.එහි සිට වෙහෙරහේන උප නැවතුමට දුර මේ දුම්රියෙන්නම් විනාඩි දෙකක් පමණක් වූවත් මෙම දුම්රිය උප නැවතුමේ නොනවත්වන නිසා අතුරු දුම්රියක් ඇත්ද යන්න මම පරිගණකය හරහා පරික්ෂා කලෙමි. ඇත..5.15ට තංගල්ල බලායන සැඳෑ කාර්යාල විදුලි දුම්රිය ඇත. මෙය ඉතා විශාල දුම්රියක් නොවුනත් පැයට කිලෝමීටර 100කට ආසන්න වේගයකින් ගමන් කරයි. එහි දෙවන පංතියේ ටිකට් පතක් රුපියල් 20 කට වෙන්කරගත් මම මාතර නැවතුමේ දුම්රිය නතරකල සැණින් ස්වයංක්‍රීය දොරටුවෙන් තවත් කීපදෙනෙක් සමගම බැසගත්තෙමි. මා බැසගත් සැණින්ම දුම්රිය නැවතත් කතරගම බලා ගමන් ඇරඹීය...සුබ ගමන් B08..මම ඒ දෙස බලා සිතින් සිතුවෙමි..
  ඒ වන විටත් වම් පස දෙවැනි වේදිකාවේ සැඳෑ කාර්යාල දුම්රිය නතර කර තිබිණි. කවුන්ට‍රයෙන් අංකය සටහන් කර නැවත ටිකට් පතක් ලබා ගත් මම දුම්රියට ගොඩවිය. මේ සාමාන්‍ය විදුලි දුම්රියේ මැදිරි අධිවේගී දුම්රියේ මැදිරිවලට වඩා විශාලය. මගීන් 100 කට පමණ වාඩීවි ගමන්කල හැක. හරියටම දුම්රිය වේලාවට පිටත් විය. මිනිත්තු 4 කින් මම වෙහෙරහේන උප දුම්රිය පොලෙන් බැසගතිමි...බැසගෙන හෙමින් හෙමින් නිවස දෙසට එනගමන් මදක් දුම්රිය මග අසල නැවතී ඒ දෙස බලා සිටියෙමි...

---- වැඩක් නැති වෙලාවට මම ගෙදර ගාව තියෙන දැන් අවුරුදු 20 කට කලින් කපලා පුරවපු මාතර කතරගම දුම්රිය පාර දිහා බලාගෙන ඔන්න ඔහොම විකාර කල්පනා කරනවා..අනේ ඉතිං ඒ ආශ්චර්යය බලාගන්න අපේ ජීවිතකාලේ පුළුවන් වෙයිද? -------

6 comments:

  1. හෙහ්...හෙහ්...හෙහ්...මං හිතුව සුස්ති ගුනේ වත් ආශ්‍රය කොරලද කියල.....

    ReplyDelete
  2. එළ සහෝ එළ....

    http://www.kopikade.net/2009/12/blog-post_14.html

    ReplyDelete
  3. @Observer - අනෙ අම්මේ තාම එහෙමනම් ප්‍රශ්නයක් නෑ..හිකීස්..මේ සංකල්පනාවක් පමණකි..විකාරෙට ආපු

    @කුරුං ගුරුං - අනිවා..ස්තූතියි සහෝ

    ReplyDelete
  4. හොඳ පරිකල්පනාවක් සහෝ... මේ ශෛලියට මම ආසයි.

    ReplyDelete