Nov 10, 2011

කැන්ටරය - (කෙටි කතාව)

ඈම්..ඈම්..ඈම්..පීක් පීක් පීක් පීක්...

මතෝදිර් තම දෑත් සුක්කානම මත හසුරවන්නා මෙන් හසුරවමින් රථයක් පදවන ආකාරයට ගේ පුරා දුවමින් සිටියේය. මතෝර්දි තවමත් පස් හැවිරිදිය. පසුගිය දිනක තම පියා සමගින් රාජ්කන්ඩ් හි තම නැන්දාගේ නිවසට ගිය මොහොතේ මතෝර්දි අපූරු දෙයක් දුටුවහ. ඒ විශාල කැන්ටර් රථයකි. සුරූපි තරුණියක් දුටුකල පෙමින් වෙලෙන තරුණයෙක් මෙන් එය දුටු පමණින් මතෝර්දි එයට පෙම් කරන්නට පටන් ගත්හ. එම කැන්ටරය ගමන් කරන අයුරු, එහි රියදුරු තැන එය තේජාන්විත අසරුවෙක් මෙන් හසුරවන ආකාරය කුඩා මතෝර්දි ගේ සිත තදින්ම ඇද බැඳගත්හ. නිවසට පැමිණි පසුවත් මතෝර්දිට කැන්ටරය අමතක කල නොහැකිවූ අතර එය අනුකරණය කරමින් ගේ පුරා දිව යාම මතෝර්දිගේ දින චර්යාවේ සුවිශේෂී අංගයක් බවට පත්විය.


...මතෝර්දි..දුවන කොට ටිකක් බලාගෙන දුවන්න..කාමරයේ දොර ලග වීදුරු අල්මාරියේ හැපේවි ඔයා...

තම කණිටු පුතුගේ සුරතල් රාජකාරිය දෙස මව්නෙතින් හා දාරක ප්‍රේමයෙන් බලා මාතෝර්දිගේ මව වූ කම්ලා පැවසීය. එයට සුරතල් සිනාවකින් පිළිතුරු දුන් මාතෝර්දි කිසිවිටකත් තමන්ගේ ගමන් වේගය අඩුකලේ නම් නැත.

කම්ලාගේ සැමියා රජයේ කාර්යාලයක ලිපිකරුවෙකි. ඉන්දියානු රජයේ සේවකයන්ට පොදුවේ උරුම හැමදෙයම කම්ලාගේ සැමියාටද උරුමය. නමුත් කුමන බාධක මධ්‍යයේ වුවත් කම්ලාගේ පවුලේ සාමාජිකයන් සතුටින් ජීවත්වීමම ඇයගේ සතුටට හේතුවිය. ඇය සතුව සිටි සම්පත් තම පුතුන් දෙදෙනාය. වැඩිමලා දාස්ය. ඔහු උසස් අධ්‍යාපනය ලබන අතරම හොකී ක්‍රීඩාවට විසෙස් දස්කම් දක්වමින් පාසල වෙනුවෙන් වර්ණද දිනාගැනීමට සමත්විය. එයද කම්ලාගේ ආඩම්බරය ඉහල දමන්නක් විය. කෙසේ වෙතත් දහවල් කාලයේ ගෙදර රැඳෙන්නේ කම්ලා හා තවමත් පාසල් නොයන මතෝර්දිත් පමණි. දෙටු පුත්‍රයා නිවසට පැමිණෙන්නේ සවස්වීය.

.. පීක් පීක් පීක් පීක්... කැන්ටරය පසුපසට ගන්නා ආකාරයෙන් නිවස ඉදිරිපස රතු අඹගස අසලින් මතෝර්දි කැරකෙන්නට විය. එවිටම ඔහු දුටුවේ නිවසේ කඩුල්ල වෙත එන තම සොහොයුරාය. දැඩි අව්රශ්මිය යට සිට මහන්සිවී පුහුණු වීම් කර හොකී පිත්ත සහිත බෑගයත් අනෙක් ගමන් මල්ලත් ගෙන පැමිණෙන තම සොයුරු දාස් දුටුවිට මතෝර්දිගේ මුවට සිහින් හසරැල්ලක් නැගිනි.

තමන් සමග සෙල්ලම් කිරීමට දාස් නොපැමිණියත් දහවල් ගෙවන පාළු ස්වභාවය දාස් සිටින විට නිවසේ නොවේ. එතරම් කතාබහ නොකලත් දාස් සිටින විට මතෝර්දිගේ සිත සතුටින් පෙලේ. දාස් කඩුල්ල විවෘත කර ඇතුලට පැමිණෙන විට මතෝර්දිගේ කැන්ටර් සෙල්ලම දක්නට හැකිවිය. දැන් දින කීපයක් තිස්සේ සිදුකරන මෙය දාස්ට අමුතු දෙයක් නොවිය. එබැවින් එයගැන අවධානය යොමු නොකොට ඉස්තෝප්පුවට පැමිණි දාස් එහි පුටුව මත ඇද වැටුනේ ගමන් මල්ල හා පිත්තද බිම දමාය. ඉන් අනතුරුව තම බෑගයෙන් වතුර බෝතලය එලියට ගත් දාස් එහි මූඩිය ගලවා මදින් මද පානය කරන්නට විය. 

මොහොතකින් කැන්ටරයේ හඬ අනුකරණය කරමින් මතෝර්දි එතැනට පැමිණියහ. වතුර බීම පැත්තක තබා දාස් මතෝර්දි දෙස බැලීය. ඔහුගේ මේ අමුතු ඉරියව්ව විටක දාස්ට විකාරයකි.

..පීක් පීක් පීක්.. ශබ්දය අනුකරනය කරමින් මතෝර්දි පස්සෙන් පස්සට පැමිණ දාස් ඉදිරිපට නතර විය...

.. මේ හලෝ ගහනවා ටැංකිය පිලෙන්නම තෙල්..ආ..දාහකම ගහනවාකෝ..හැබැයි හොඳ තෙල්...කවලම් බෑ..හලිද.....

සැබෑම ලොරි රථ රියදුරෙක් දිනක් තෙල් පිරවුම් හලක් අසලදී කරන ලද ප්‍රකාශයක් එලෙසින්ම අනුගමනය කරමින් මතෝර්දි කල කතාවට දාස්ගේ මුවට සිහින් සිනාවක්ද නැගිනි. එවිටම දාස්ට සිහිවූයේ තමාගේ කුඩා කාලයයි. දාස් පස්වැනි වියේ සිටියදී මෙලෙසින් දඟකරන්නට එතරම් ඉඩ නොලැබිණි. එයට හේතුව වූයේ දාස්ගේ පියාගේ මව, නැත්නම් දාස්ගේ ආත්තම්මා මෙහි විසීමයි. ඇය මදක් සැර පරුෂ කාන්තාවකි. ඇය කුඩා කල ගතනොකල එකියක් මෙන් කුඩා දාස්ගේ දඟකම් පිලිකුලෙන් යුතුව හෙලාදැකීය.

.. මොකක්ද කොල්ලෝ ඔය කරන බහූබූත වැඩේ..නවත්තනවා ඕක මගේ ඉපල් පාරක් නොකා.... දාස්..දාස් මම කිව්වා නේද ඔය මිදුලේ වැලි එක්ක නටන්න එපා කියලා..ඔය අතරේ වැලි මැක්කෝ ඉන්නවා..පස්සේ වැලිමැක්කොත් එක්ක ගෙට ඇවිත් අපිටත් බෝ කරපිය බලන්න.. දාස් සැරයක් කිව්වම ඇහෙන්නේ නැද්ද? ඔය තෙබු කොල කඩන්න එපා..කොච්චර අමාරුවෙන්ද ඕක වැවෙන්නේ..අනේ මෙහෙමත් කසඩ කොලුවෙක්...

මන්තරයක් වැනි ආත්තම්මාගේ කියුම් තවමත් දාස්ගේ ඔලුවේ හොල්මන් කරති. දාස්ගේ මව හෝ පියා මේවාට කිසිදු පිළිතුරක් දෙන්නට නොගියේ ඒවාට යමක් කී කල දෙමව්පියන්ටද අහන්න වන දේවල් වල සීමාවක් නොවුනු හෙයිනි. කෙසේවෙතත් දාස්ට අවුරුදු 15 දී පමණ මිත්තණිය කළුරිය කලහ. නමුත් ඒවන විට දාස්ගේ දඟකාර ළමාවියද නිකරුනේ කළුරිය කර තිබිණි.

... මොනවද ඕයි කරන්නේ ගහනවකෝ තෙල් ටික ඉක්මණට..මේ බඩුටික ඉක්මණට දෙන්න ඕන....

තම සිතුවිල්ලට බාධාකරමින් තමන්ට පිටුපා සිටි මතෝර්දි නැවතත් කෑ ගැසීය. මතෝර්දි දෙස වරක් බැලූ දාස් දෙවරක්ම නොසිතා තම අත තිබුණු මූඩිය රහිත වතුර බෝතලය ගෙන තමන්ට පිටුපා සිටි මතෝර්දිගේ කුඩා කොට කලිසමේ පිටුපස සාක්කුවට සම්පූර්ණයෙන්ම ඇලකලහ. වතුර බිඳක්වත් නොතබා බෝතලය හිස්විය. තම දෙපා අතරින් දිය පාරක් යනු දැනී පුදුම වී පහල බැලූ මතෝර්දි දාස්ගේ සමච්චල් සිනහාව හා කල නරුම ක්‍රියාව දුටීය. එවිට මහ හඬින් කෑගැසීමකින් ආරම්භවී එය මතෝර්දිගේ දරුණු ඇඬුමක් බවට පත්විය. 

හොටු පෙරමින් මතෝර්දි හඬද්දි සමච්චල් හිනාව එලෙසින්ම දාස්ගේ මුහුණේ තිබියදී කිසිඳු කලබලයකින් තොරව තම වතුර රහිත බෝතලයේ මූඩිය සවිකර තමන් අසලින් තබාගත්හ. මතෝර්දිගේ හැඬුම ඇසී මව කුස්සියේ සිට දිව ආහ.

.. මොනවද දාස් මේ දරුවට කරන්නේ..එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න..යන් මතෝර්දි කුස්සියට මාත් එක්ක..මම ඔයාට පරාටා හැදුවා. අයියට දෙන්නේ නෑ...යං අපි..

අම්මාගේ අතේ එල්ලී කුස්සියට යන මතෝර්දි එක්වරක් දාස් දෙස බැලීය.දාස් එලෙසින්ම සිතුවිලි රහිතව බිම බලාගත්හ.

14 comments:

  1. හික් හික් :D හුරතල් කතාව :D

    අපිත් ඔහොම එකෙක්ට මැජික් එකක් කරන්නයැ කියලා කලිසම තෙමෙව්වා.. :P

    ReplyDelete
  2. තෑනක්ස් බනියා. කාලෙකින්නේ උඹ මගේ බිලොගිය පැත්තේ ඇව්ත් තියෙන්නේ..හුරතල්ද බං? එහෙනම් කමක් නෑ ඉතිං

    ReplyDelete
  3. අනේ පව් අර පොඩි එකා මෙතොර්දී ... පුංචි පැටවුන්ගේ සුන්දර ළමා කාලේ නැති කරන්නේ වැඩිහිටි අය. දාස් මෙතොර්දී ට කෙනෙහෙලිකම් කරන්නේ එයාගේ නැතිවුණ පුංචි කාලේ ඇරියස් එක පියවගන්න... ඒ නිසා දාස් ඊටත් වඩා පව්..... ලස්සනට ලියල තියෙනවා අයියා.. :D

    ReplyDelete
  4. මතොර්දි නිසා මටත් මගේ පොඩි කාලේ මතක් උනා.. දාස් ගැනනම් ඇති උනේ දුකක්.. ඒත් දැන් අපේ සමාජෙත් ඔය වයසේ සමගර ළමයින්ට තියෙන්නෙත් දාස්ගේ අමිහිරි මතකයම නේද??

    ReplyDelete
  5. @අයේෂා - ගොඩක් ස්තූතියි නංගි. බහුතරයක් වර්තමාන දෙමව්පියන්ගේ අත්වැරදි හේතුවෙන් තමයි ළමයින්ගේ ආකල්ප ශූන්‍ය වීම හා සිතුවිලි දූෂ්‍ය වීම වෙන්නේ. විකල්ප තාමත් නෑ මේකට

    @දිනේෂ් - ගොඩක් ස්තූතියි යාළුවා. මේක මගේ සිතේ ඇතිවුණු කතාවක්. මේකට මම ලංකාව ආදේශ නොකර ඉන්දියාව ආදේශ කලේ ඉන්දියාව පසුබිම්කරගත් කෙටිකතාවලට මම ගොඩක් කැමතියි. විශේෂයෙන්ම කුෂ්වන්ත් සිංගේ

    ReplyDelete
  6. මටත් පොඩිකාලෙ මතක් උනා! :)

    ReplyDelete
  7. අපි හැමෝටම ඔය වගේ සිද්දි තියෙනවා නේද? අතීතයෙ තමාට වුන දෙයක් නිසා වර්තමානයේ වෙන කෙනෙක්ගෙන් පලි ගන්න ඒවා.අපේ නගාත් ඔය වගේ කතාවක් ලියලා තිබුනා.

    ReplyDelete
  8. ඊරිසියාව... හොඳ ළමා කාලයක් නැති හැම ළමයම ලොකු වුනාම නිකන්ම මස් ගොඩක් විතරයි... මනුස්සකමක් නෑ... පොඩි කාලේ හිතට දාන දේවල් තමා ඉදිරි ජීවිතෙත් තීරණය කරන්නේ...

    පොඩි කාලේ ගෙවල් දෙක වෙන්න පෙරලෙන දඟයෝ ලොකු වුනාම හොඳ බ්‍රයිටෝ වෙනවා... අත්දැකීම් දෙක තුනක් එක්කම කියන්නේ...

    ReplyDelete
  9. @තිනි අලියා- මොකද සහෝදරයා මේ වගේ දෙයක් වුනාද ඔයාටත්?

    @නිසුපා - ගොඩක් ස්තූතියි අක්කණ්ඩි. ඇත්ත කතාව

    ReplyDelete
  10. @චතුරංග - ඔව් එකපැත්තකින් ඒ වගේ වුනත් මෙහෙම දේකුත් තියනවා සහෝදරයා. සමහර පුද්ගලයන් ජීවිතේ කුඩා කාලේ විඳපු සිදුවීම නිසා වෙන මානසික අවපාතය පසුකලෙක ගන්නා තීරණ හා කරනා වැදගත් දේ වලටත් බලපානවා.

    ගොඩක් ස්තූතියි අදහස් ටිකට

    ReplyDelete
  11. පවු බං අර පොඩි එකා...
    උගේ කලිසම තෙමුවා....
    දාස් ගේ ළමා විය අත්තම්මා ඩැහැ ගත්තට සමහර ළමයින්ගේ ළමා විය ළමයින්ට ලබා දෙන්නේ එයාලගේ අත්තම්මලා/කිරි අත්තලා...
    ලස්සන අදහසක්....
    ඉන්දියාව පදනම් වීම තුල ඇති කල වෙනසට නම් මම තවත් ආසයි,...
    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී"

    ReplyDelete
  12. @ගලයා- බොහොම ස්තූතියි මලයා..අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී - හිගා කෑම බැරිවුන තැන ලගී ගයා මරගී

    ReplyDelete
  13. කතාව රස වින්දා, ස්තුතියි.

    ReplyDelete
  14. ගොඩක් ස්තූතියි ඔබ්සර්වර් මහත්තයා රසවින්ඳට

    ReplyDelete