Jan 17, 2015

මර්වින් සිල්වා නැමති.....



මීට වසර දෙක තුනකට පෙර මාගේ මිත්‍රයෙක් කියූ කතාවක් මාගේ මතකයේ හොඳින් තැන්පත්වී ඇත. එයට අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමන් තමන්ගේ ආරක්ෂක අංශ විසින් දෙනු ලබන නියෝගයන් එතරම් මායිම් නොකරන කාලයක් තිබී ඇත. විශේෂයෙන්ම යුද්ධයේ තීරණාත්මක අවධියේ එවැනි හිතුවක්කාර හැසිරීම් නිසාවෙන් මහින්දට මොනවාහරි සිද්ධවුණානම් ආරක්ෂක අංශවලට සියළු වගකීම් බාරගන්නට වෙන නිසා ඒ දවස්වල ජනපති ආරක්ෂක අංශය සිට ඇත්තේ ඉබේ බිත්තර තැම්බෙන පපු කුහරයන් සහිතවය. 

   ඒත් මැදමුලන ගමේ කොලු කාලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග තලගොයින්ට පවා වැඩේ දුන් හොඳ යාළු පිට් එකක් ජනපති ආරක්ෂක අංශයේ සාමාන්‍ය තනතුරක් දරණ නිලධාරියෙක් වශයෙන් සිට ඇත. ජනපති ආරක්ෂක අංශ ප්‍රධානියා කියන දේ මහින්ද නොපිළිගත් විට අංශ ප්‍රධානියා වහාම ගොස් මහින්දගේ මිත්‍ර සුළු නිලධාරියා හමුවී ඉල්ලා සිටින්නේ කෙසේ හෝ මහින්ද මහත්තයා තමන්ගේ ආරක්ෂක සංවිධාන කටයුතු වලට එකඟ කරගන්නා ලෙසය. ලොක්කා කියන දේ පිළිනොගත් මහින්ද සොක්කා ඇවිත් කියූ විට පිළිගන්නේ ලොක්කාට වඩා සොක්කා තමන්ගේ පිට් එක බැවින්ය. 


   ඉහත කතාව මා විසින් අසන ලද්දකි. මර්වින් සිල්වා යනු කවුද කියා ඔබට හැඟෙන පරිදි මෙම ලිපියේ මාතෘකාවට ඇතුලත් කරගත හැක. ඒ මක්නිසාද යත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන බැවිනි. මර්වින් පිළිබඳ මෙසේ අද ලියන්නට සිදුවුණේ මහින්ද පරාජයට පත්ව ගෙදර ගිය පසු මර්වින් රාජපක්ෂ සොයුරන්ට එරෙහිව අවි අමෝරන ආකාරය හිරිකිතයකින් යුතුව බලා සිටීමෙන් පසුවය. රාජපක්ෂ පවුල දූෂණයන්හි යෙදුන බවට විවාදයක් නැත, ඒවා ඉදිරියේදී ඔප්පු වනු ඇත. එහෙත් එකට හොරා කා පස්සේ වීරයා සේ පාවා දීම තුලින් මර්වින් යනු කොතරම් පහත් නින්දිත දේශපාලඥයෙක්ද යන්න ඔහු විසින් කලින් කලට ඔප්පු කරන නිර්ණායකයන් අතර මේ කූටප්‍රාප්තිය ලෙස හඳුනාගත හැක. 

   මර්වින් චන්ද්‍රිකා මැතිණියගේ ඔඩොක්කුවේ සුරතල්ව සිට මැද කොළඹින් නෝන්ඩි වූ පසු මහින්දගේ ඔඩොක්කුවට පැන චන්ද්‍රිකාට බුරන්නටත් කඩා පනින්නටත් වූ මර්වින් දිනක මහින්දට කරන්නේත් ඒ දෙයම බව මර්වින් කැළණියට පත්කල මුල්ම දිනයේ රූපවාහිනිය නරඹා මම ගෙදරදී ප්‍රකාශ කල ආකාරය අදටත් මා හට මතකය. මර්වින් එය එසේම බව අද පෙන්වා දුනි. මර්වින් කියන කතා සහතික ඇත්ත විය හැක. කොතරම් ජඩ වැඩ කරද්දීත් මර්වින් ආරක්ෂා කරමින් තබා ගත්තේ මේ වක්කඩ කැඩුණු පසු ගලන ජලය අපිරිසිදු කුණු ගොඩවල් බවත් ඒවායින් වරදින්නේ තමන්ටම බව මහින්ද ප්‍රමුඛ රාජපක්ෂ සොයුරන් දැන සිටි නිසාවෙන්ය.

   නව රජය තවමත් මර්වින්ලා,දුමින්දලා,සජීන්ලා, සරණලා, ලන්සා ලා එකතු කරනොගැනීමේ ප්‍රතිපත්තිමය තීරණයක සිටීම අගය කල යුතුය. පාර්ලිමේන්තුවේ ඔළු ගණන වැඩි කරගැනීමට ඇතැම්විට රජයට මොවුන් එක්කරගැනීමට හෝ සහය ගැනීමට සිදුවනු ඇත. එවිට රජයේ ප්‍රතිපත්තිමය හර සංකල්ප වලට දැඩි පහරක් වදිනු ඇත, එසේම එවිට ජන මනස තුල ගොඩනැගුණු යහපාලනයට සෘණාත්මක බලපෑමක් වන්නටද හැක. නමුත් නව රජයට එසේ අසරණ වන්නට වුනේ මෙරට සාක්ෂරතාවයෙන් පමණක් බුද්ධිමත් ජනතාව ඉහත නම් සඳහන් කල පුද්කලයන් වැනි ඔළු ගණනට පමණක් සීමාවූ පිළිල පාර්ලිමේන්තුවට යවා ඇති නිසාවෙන්ය. එබැවින් ජුනි මස මැතිවරණයේදී මේ පාඩම් හිතේ තබාගෙන කටයුතු කිරීම අදට වඩා හෙටට හොඳ වනු ඇත.


6 comments:

  1. කවුද හිතුවේ මර්වින් ලොක්කා ගැන මෙහෙම කතා කරයි කියලා.. ඔක්කොම අවස්ථාවාදියෝ තමයි..

    ReplyDelete
    Replies
    1. මචං අවස්ථාවාදී කියන එකෙත් හොඳම එක. කන්න පුළුවන් තරම් කාලා බැරිවුණාම පාවා දෙන ක්‍රමය තමයි මර්වින් අනුගමනය කරන්නේ. තව මර්වින්ට පස්සෛ් පස්සේ ඕන විදියට නටන්න වුනෙත් නෑ. මොකද මිනිහට ඕන වුනා පුතා මාතර ආසනේට රිංගවන්න, ඒත් ජයසූරිය ඩලස් එක්ක මහින්දට ඒක කරනන් එපා කියලා දැඩි බලපෑමක් කලා. ඒක නිසා මර්වින්ට ඒක අකුලගන්න වුනා. ඒ වගේ කාරණා එක්ක අන්තිම කාලේ වෙද්දි කොහොමත් මර්වින් ලොක්කා එක්ක අවුල්. ඒ ඇරත් බැසිල් කියන්නේ වන් මෑන් ෂෝ දෙන්න ගියපු පොරක් නිසා වැඩියෙන් පාර වදින්නේ මිනිහට.

      Delete
  2. මර්වින් මැරයෙක් කළේ මහින්ද. රූපවාහිනියේ ටී ඇම් ජී ට ගහන්න යවලා. අනුක මහින්දද ඇතුලුව මහින්ද ගාව හිටපු ඔක්කෝම මර්වින්ලා. ඒ නිසා මර්වින් ගැන මට නම් ගැටළුවක් නෑ. බහුතරක් දේශපාළඥයෝ මර්වින්ලා.

    ReplyDelete
    Replies
    1. මහින්ද මැරයෙක් කරන්නට පෙරාතුව මර්වින් යම්තාක් දුරට මැරයෙක්. චන්ද්‍රිකා පාලන සමයේ මැද කොළඹදී නවුසර් ෆවුසි එක්කත් එක පාරක් ලොකු අවුලක් හදාගත්තා. ඒ මහින්ද මර්වින් කියන මැරයා ලස්සනට බලල් අතක් කලා. මාතලන් කියන කතාව හරි..බහුතරයක් දේශපාලඥයින් මර්වින්ලා.ඒත් මර්වින්ට වඩා මැරයෝ දෙයක් කරලා නොවුණා වගේ ඉන්නවා

      Delete
  3. මර්වින්ලා හැදුනා නෙමෙයි....... හැදුවා.... ඔ්වා කලින් ම වෙනස් කරන්න තිබුණා... මුලදිම ඔය නාඩගම් නැවැත්තුවානම් හරි.... ඒහෙම නෙමෙයි වුනේ... මේක නාඩගමක් වෙන්න දුන්නා.... දැන් මේ විහිලුව සීමාවක් නැතුව සංදර්ශන පවත්වනවා...........

    ReplyDelete
    Replies
    1. තව මර්වින්ගේ වැඩවලින් චූන් වෙච්ච පාක්ෂිකයෝ බොහෝ වෙලාවට මිනිහා ෆෝම් කලා.. මර්වින් කියන්නේ නිසි අධ්‍යාපනයක් නැති මනුස්සයෙක්, මර්වින්ගෙන් ගුටිකන්න වෙයි කියන බයට සහ පන්සලට යමක් කරගන්න වැලමිටියාවේ උන්නාන්සේ ආචාර්ය පදවියකුත් දීලා තව ෆෝම් කලා

      Delete