Jan 21, 2015

ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන්නට පෙර


නව ජනාධිපතිවරයා සහ රජය පත්වී තවම සති දෙකක්වත් ගතවී නැත. මහා විශ්ලේෂණ හෝ පුරෝකථන කිරීමට තවමත් මේ දරුවා වැඩී නැත. ඉස්සරනම් ගම්වල නොමේරූ දරුවන්ට කේන්දරවත් නොහදන්නේ ජීවිතය පිළිබඳ විශ්වාස තැබිය හැකි මට්ටමකට වැඩී නොමැති බැවින්ය. නමුත් වර්තමානයේ එසේ නැත. එහෙම හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන බව අප දන්නා කරුණකි. වෛරීය ආකල්පයකින් තොරව විවේචනාත්මකව නව පාලනය දෙස බැලීම අපේ අරමුණයි. රජයෙන් වරප්‍රසාද හා වරදාන ලබා කට බඩ පුරවාගන්නවාට වඩා වැරදි තැන වැරදි බව කියා, හොඳ තැන හොඳ කියා, තදින්ම වැරදි තැන තදින්ම පහරදීම පුද්ගලිකව මේ ලියුම්කරුගේ ක්‍රමවේදයයි. 

   නව පාලනයකට මෙරට ජනතාව තීන්දුව ගත්තේ පැවති පාලනය තුල පැවති හොරකම්, දූෂණ, වංචා වලට එරෙහිව පැවති දැඩි ජනතා මතය ඔප් නංවමින්ය. රටේ එක්තරා පිරිසකට ඒකාධිපතිත්වයේ සංඥා සලකුණු මීට බොහෝ කලකට පෙර දැනුණු නිසාවෙන් ඔවුන් එකලම රාජපක්ෂ පාලනයට විරුද්ධ වූහ, පසුව එහි කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් මෛත්‍රී පාලනයක සංකල්පනාත්ම විධික්‍රම පිළිබඳ විශ්වාසය තබමින් බහුතරයක් ජනතාව නව පාලනයට පියවර ගත්හ. නව පාලනයක් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නව පාලනයක් ලෙස ලංකාවේ දේශපාලන පරිසරය තුල බලාපොරොත්තුවීම අට්ටික්කා ගහේ මල් බලාපොරොත්තුවීම වැනි විය හැක. නමුත් පැවති පාලනයේ විශාල වැරදි මුලින්ම නිවැරදි කරගෙන, පසුව සෙසු වැරදි නිවැරදි කරගෙන සමස්ත ක්‍රමවේදයම වෙනස් කරගෙන කටයුතු කිරීම නව පාලනයකදී සිදුවිය යුතුය. එහෙත් දින 100 ක් තුල ඒ අපේක්ෂා වලින් කීයෙන් කීයක් ඉටුවේවිද යන්න පිළිබඳ ගැටළුවක් ඡන්දය ලබාදුන් පිරිසගේ සිත් තුලද ඇතිවන ආකාරයේ හැඩගැසීමකට නව පාලනය යන ආකාරය පෙනේ.


   නව පාලනය තුල අලුත් චරිතයකට ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඇමති පදවියේ සිට ජනපති පදවිය දක්වා උසස්වීමක් ලැබීම පමණකි. රනිල් වික්‍රමසිංහ මහතා යනු දෙවරක්ම උරගා බැලූ කාසියකි. අනෙකුත් අති බහුතරයක් මැති ඇමතිවරු ගැනද මෙරට ඕනෑම පුරවැසියෙක්ගෙන් අසා විස්තර දැනගත හැකි මට්ටමේ තත්වයක සිටිති. ඒ අතර සිදුවෙන ඇතැම්දේ අතීතය නැවත පුනර්ජනනය කරන සිදුවීම් වීම හාස්‍යයට, විමතියට මෙන්ම භීතියටත් පත්වන සිදුවීම්ය. විශේෂයෙන්ම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ සිදුකරන ඇතැම් සොයාබැලීම් සහ හෙළිදරව් කිරීම් පිළිබඳ නිසි අධීක්ෂණයක් රජය විසින් සිදුකිරීම සහ ඒවාට බලධාරියෙක් පත්වීම වහාම කල යුත්තක් බව අතීතයේ තතු දන්නා ඇත්තන් ලෙස රට තුල බොහෝ පිරිසක් ඉල්ලා සිටින කරුණකි. 

   2002 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂ රජය මෙලෙසම බලයට පත්වී  පොදුජන එක්සත් පෙරමුණු පාලනයේ වැරදි සොයා බලමින් සිටින අතරතුර නිසි වග විභාගයකින් තොරව රාජ්‍ය ආරක්ෂාව තුල පැවති පොදු සමාජයට හෙලිදරව් කල යුතු නැති කරුණු පවා සමාජගතවීම තුලින් සිදුවූ හානිය සුළුපටු නොවේ. මේජර් මුතාලිෆ් ප්‍රමුඛ ආරක්ෂක බුද්ධි අංශයේ මහසෝන් බලකාය ලෙස හැඳින්වූ විශේෂ ඒකකයේ මහ මොළ එකින් එක මරා දැමීම තුල සිදුවූ ඛේදවාචකය ඉතා බරපතලය. ඒ හෙළිදරව් සිදුකලේ මහ ජනතාවගේ දැන ගැනීමට වුවත් ඒවා හරහා කොටි ත්‍රස්තවාදීන්ද බුද්ධි අංශයේ සියලු තොරතුරු අඩු නැතිව දැන ගැනීම තුලින් මෙරට ආරක්ෂක ක්ෂේත්‍රයට කොටි සංවිධානයෙන් එල්ල වූ දරුණු පහරෙන් ඇද වැටුණු බුද්ධි අංශය නැවත ගොඩගන්නට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභයට සහ එවකට හමුදාපති ෆොන්සේකාට දැඩි වෙහෙසක් දරන්නට විය. එය එක් උදාහරණයක් පමණි. එවැනිම රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ තොරතුරු අඥාන ලෙස නිකරුනේ එලියට ඇදීම තුලින් එවකට එජාප රජය කොතරම් ජන සමාජය තුල අප්‍රසාදයට ලක්වූවාද යන්න සිහිකර බැලිය යුතුය. එයම නැවත සිදුවීම වැලැක්වීම මෙම සිහිපත් කිරීමේ අරමුණයි.

   ප්‍රධානම කාරණය පැවති රාජපක්ෂ පාලනය තුල සිදුවූ දුෂණ වංචා (ආරක්ෂක ක්ෂේත්‍රයේ) අධ්‍යයනය කිරීමට විශේෂ කමිටුවක් පත්කල යුතුය. එය තුල රජයේ නියෝජනය මෙන්ම, ආරක්ෂක අංශයේ නියෝජනයද සහිතව මැදිහත්ව සිදුවිය යුතුය. එමගින් සොයාගන්නා කරුණු අමු අමුවේ එදා හවසම අන්තර්ජාලයට හෝ රූපවාහිනී මාධ්‍යයට මුදාහරින්නේ නැතිව එක් රැස් කරගත් සිදුවීම්වලට නීතිමය පියවර ගත යුතුය. එසේම හෙළිදරව්කල යුතු සහ හෙළිදරව් නොකර රැකගත යුතු කරුණු අදාල කමිටුව විසින් මධ්‍යස්ථව එකඟතාවකට එළඹිය යුතුය. එහිදී පක්ෂ, පාට, ඥාතී සබඳතා ආරක්ෂා කිරීමකින් තොරව සහ පලිගැනීමේ චේතනාවකින් තොරව පියවර ලබාගත යුතුය. එවිට රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කරුණු එලියට යාම වලක්වාගත හැකිවනු ඇත. ඒ තුලින් ආරක්ෂක අංශ (විශේෂයෙන්ම යුධ සමයේ ප්‍රබල චරිත) ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇත. පසුගිය සමයේ එක්තරා වෙබ් අඩවියක් මගින් දේශපාලනික කටයුතු වල නිරතවන බුද්ධි අංශ නිලධාරීන් යන මැයෙන් නිලධාරීන් ලයිස්තුවක් හා දුරකතන අංක ඇතුලු විස්තර ප්‍රසිද්ධ කිරීම ඉතාම නින්දා සහගත ලෙස බැහැර කල යුතුය. ඒ මන්ද එවැනි දේ තුලින් දේශපාලනිකව වාසියක් ලැබුණත් අදාල නිලධාරීන්ට යම් හෝ හානියක් සිදුවුව හොත් එය මෙරට ජාතික ආරක්ෂාවට කෙසේ බලපාවිද යන්න අපට කිව නොහැක. එබැවින් තවත් මිලේනියම් සිටි ඛේදවාචකයක් නොවන්නට මේ පාලනය වග බලාගත යුතුය.

   පැවති පාලනයේ දූෂණ,වංචා,මැරකම් සොයා බලා ඒවාට එරෙහිව දැඩි පියවර ගත යුතුය. අවශ්‍යනම් එල්ලුම්ගහ වුවද ක්‍රියාත්මක කල යුතුය. නමුත් මේ මොහොතේ ආයුධ පස්සේ, ලැම්බෝගිනි පස්සේ, අරමුදල් ගිණුම් පස්සේ එලවනවාට වඩා කල යුතු බොහෝ දේ ඇත. ප්‍රධාන වශයෙන් මේ රජය තමන්ගේ නිවසේ බිත්ති ටික නොතෙමෙන්නට පියස්ස හදාගන්නේ නැතිව අල්ලපු ඉඩමෙන් පර්චස් ගණන් ඇල්ලීම වැනි දෙයක් සිදුකරමින් පවතී. මුලින්ම ස්ථාවර රජයක් ලෙස තමන් ඉදිරිපත්කල ඉතා ආකර්ශණීය සහ සැබෑ ලෙසම සියළු අංශයන්ගේ සංවර්ධනය ඉලක්ක කරගත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකසා ගත යුතුයි. එවිට රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධවද විධිමත් ලෙස කටයුතු කරනවා ඇත.

  ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන්නේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් පමණක් නොවේ. ඒ බවද තරයේ සිහපත් කරගෙන ක්‍රියාකිරීම වඩා වටී. මේ පාලනය මෙන්ම පසුගිය පාලනයද ලංකාවට සිටින එකම ත්‍රස්තවාදීන් කොටි ලෙස හඳුනාගෙන ක්‍රියාකිරීම ප්‍රබල මුලාවකි. වේගයෙන් නැගෙනහිර පළාත තුල හිස ඔසවන ඉස්ලාමීය අන්තවාදී සංවිධාන ලංකාවේ අනිකුත් පැතිවලද සුළු පරිමාණ ශාඛා පිහිටුවා ඒවා කෙමෙන් කෙමෙන් වර්ධනය වන ආකාරයට ගොඩනංවන අයුරු පසුගිය සමයේ ජාතික පුවත්පත් ගණනාවකම වාර්තා පිට වාර්තා පලවිය. එසේනම් එවැනි ආගමික හෝ ජනවාර්ගික අන්තවාදී සංවිධාන සුළුතර හෝ බහුතර ආගම් ලෙස නොසලකා තහනම් කර ඒවාට එරෙහිව දැඩි පියවර ගත යුතුය. නැතිනම් තව වසර කීපයකින් කොටින්ට වඩා එවැනි සංවිධාන කොතරම් දරුණුද කියා සිතාගන්නට හෝ අපට නොහැකිවනු ඇති. බරපතලම ප්‍රශ්නය වන්නේ එවැනි සංවිධාන පිටුපස සිටන ජාත්‍යන්තර බලවේග අති ප්‍රබලවීමය. ඔවුන් සමග බලන විට දමිළ ඩයස්පෝරාව ගලිවර් අසල ලිලිපුට් කෙනෙකු පමණක් වනු ඇත. එසේම බෞද්ධ ආගමික අන්තවාදී කල්ලිද පසුගිය සමයේ වේගයෙන් හිස එසවූ අතර ඒවායේද කල්ක්‍රියාව බලා නිසි පියවර නොගතහොත් එම සංවිධානද ත්‍රස්ත සංවිධාන ලෙස අවි අතට ගත්තද කලහැකි යමක් නොමැතිවනු ඇත.

   එසේම රට තුල ක්‍රියාත්මකවන සංවිධානාත්මක මැර කල්ලිද රාජ්‍ය ආරක්ෂාවට එල්ල කරන්නේ දැඩි තර්ජනයකි. පසුගිය රාජපක්ෂ පාලන සමයේ සුරතලයට ඇති දැඩි කල එවන් සංවිධාන ගණනාවක් පසුගිය සමයේ ශිල්ප දක්වමින් සිට දැන් යන එන මං නොමැතිව නව රජයට මුක්කුවක් ගැසීමේ අභිලාෂයෙන් සිටිනවා විය හැක. ඒවාටද නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකරනවානම් ජනතාව හෝ ඔවුන්ව “ආයුධ පෙන්වන්නට ගෙනයනවා“ නිසැකය. එම නිසා රාජ්‍ය ආරක්ෂාව යනු අනතුරේ හෙලා දේශපාලන වාසි ගැනීමට තරම් හෑල්ලු කලයුතු යමක් නොවන බවත් එහි අනිටු ප්‍රතිඵල ලෙස මෙරට ජනතාව සමූල ඝාතනය වන ඉරණමකට පත්විය හැකි ක්‍රියාදාමයක මුල් පියවරක් බවත් සිතාගත යුතුය.

7 comments:

  1. මමනම් දකින්නේ නැහැ මෙතන කිසිම ආකාරයකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවෙනවා කියා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් අත්වෙන්නේ අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ මිනිස් බල ශක්තිය සහ ආයුධ ශක්තිය පිළිබඳව තොරතුරු, ඉදිරි පුහුණු සහ ක්‍රියාන්විත කටයුතු, රටේ විවිධ ප්‍රදේශවල ආරක්ෂාව සඳහා යොදවා සිටින භටපිරිස්වල ප්‍රමාණය සහ ඔවුන් සතු අවි ආයුධ වර්ග සහ ප්‍රමාණය, ප්‍රහාරක ගුවන් යානා, යුද නෞකා, කාලතුවක්කු වැනි දෑ ස්ථානගත කර ඇති තැන් සහ කොපමණ ප්‍රමාණයක් ද යන්න, ආදිය හෙළි කරනවානම් පමණයි. මේ පාවෙන ආයුධ ගබඩාව පිලිබඳ තත්වය එයට හාත්පසින්ම වෙනස් දෙයක් බව මම වගකීමෙන් කියනවා.

    මේ බලන්න අපේ ත්‍රිවිධ හමුදාවේ පිරිස් බලය ගැන විකිපීඩියාවේ සඳහන් වන අයුරු.

    http://en.wikipedia.org/wiki/Sri_Lanka_Armed_Forces#Army

    බලන්න යුද හමුදාවේ සංවිධානය ගැන විස්තර දක්වා තිබෙන හැටි

    http://en.wikipedia.org/wiki/Sri_Lanka_Army

    මේ බලන්න අපේ යුද හමුදාව සතු යුද ටැංකි ගැන සියලු තොරතුරු තිබෙන හැටි

    http://en.wikipedia.org/wiki/Sri_Lanka_Armoured_Corps

    මේ ආකාරයටම අපේ නාවික හමුදාව, ගුවන් හමුදාව, පිළිබඳව සියලු විස්තර ඕනෑම පුද්ගලයකුට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට සීමාවකින් තොරව බලන්නට හැකියාව තිබෙනවා. මෙය ලංකාවට පමණක් පොදු වූවක් නොවේ. ලෝකයේ ඕනෑම රටක ත්‍රිවිධ හමුදාව සහ ඔවුන් සතු අවි ආයුධ ගැන විස්තර බලන්න පුළුවන්. එය ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නැහැ. ආරක්ෂාවට තර්ජනයක් වන්නේ ඉදිරි සැලසුම්, පුහුණු කටයුතු, නිශ්චිතවම ඒ ඒ ප්‍රදේශය තුළ ත්‍රිවිධ හමුදාව කොපමණ යොදවා තිබේද, ඔවුන්කරන්නේ කුමක්ද, කියා කීමෙන් පමණයි.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයේ එවැනි විස්තර සදහන් වුවත්, ලෝකයේ බොහෝ හමුදා සම්බන්ධය අන්තර්ජාලයේ ඇත්තේ සර්ව සම්පූර්ණ තොරතුරු නොවේ. ඔවුන් ප්‍රසිද්ධියට පත්වන්නට ඉඩ සළසා ඇත්තේ ප්‍රසිද්ධ වූවාට ගැටලුවක් නොවන දේ පමණි. මෙම ලිපියේ සදහන් වන පරිදි දූෂණ වංචි සම්බන්ධව සොයාගන්නා දෑ යම්කිසි විචාරයකින් පසුව පමණක් මාධ්‍යට හෙළිදරව් කිරීම යෝග්‍ය බව මම ද සිතමි. මිලේනියම් සිටි සිදුවීමේදී බොහෝ දෙනෙක් සිතුවේ ඔබ සිතන ආකාරයටමය. අප සිතුවේ ද එසේමය. නමුත් අවසානයේ අප සියලු දෙනා සිතූ අයුරු වැරදි බව දැනගතිමු.

      Delete
    2. http://lankaenews.com/news/1164

      Delete
  2. ඉහත ලිපිය ගැන ගොඩක් සතුටුයි.අවුරුදු එකකට ආසන්න කාලයකින් පස්සේ මඩ පෝස්ටුවක් බලලා කොමන්ට් කරන පළවෙනි වතාව.දේ ශපාලන ලිපි සාමාන්‍යෙයන් පක්ෂපාතියි.කොහම උනත් මගේ ජන්දය මං පාවිච්චි කළේ ගොඩක් හිතලා.මගේ බලාපොරොත්තුව ඉටු නොවුනත් මට සතුටක් තියෙනවා හිටපු ජකාධිපතිවරයා පැදරදුන විදිහට.ඇත්තටම ඔහු පැරදුනේ නැති තරම්.ඔහු ජනතාවගෙන් ඔහු ප්‍රතික්ශේප වෙලා නෑ.

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන වැඩ දැනටමත් කරලා තියෙන්නේ.විජාරක නිව්වා අන්තර්ජාලේ තියෙන තොරතුරු තියෙනවා කියලා.ඇත්තටම ඒවා වැඩක් නෑ ජාතික ආරක්ෂාවට තර්ජනය කරන්න.මට 2002 ආපහු මතක් වෙනවා.කරන්න් දෙයක් නෑ දැන්.මහ ජනතාවට තවත් අවස්ථාවක් තියෙනවා.

    ReplyDelete
  3. වෙන කරන්න දෙයක් නෑ. අපි බලා හිඳිමු.

    ReplyDelete
  4. ආරක්ශාව සම්බණ්ද දේවල් වලදි නම් කොහොමත් පරිස්සම් වෙන්න ඕන.. මොකද බටහිර රටවල් දැන් වැඩියෙන් මේ ගැන ඇහැ ගහන් ඉන්නේ.. අනිත් මුල්‍ය වංචා නම් එකක් නෑර එළි කරන එක වටිනවා..

    ReplyDelete