Jan 25, 2016

බෞද්ධ කතිකාවත ගැන පනත බුද්ධ ශාසනයේ අනාගත පැවැත්ම තීරණය කරාවි..


සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව පළමු ධර්ම සංගායනාව පවත්වා සම්බුද්ධ සාසනයේ අනාගත පැවැත්ම සුරක්ෂිත කලයුතුයි යන තීරණයට එළඹෙන්නට සිදුවීම ඉතිහාසය තුළ දැවැන්ත කතිකාවතක් නිර්මාණය කිරීමට හේතුවිය. විශේෂයෙන්ම චුල්ලවග්ගයට අනුව එදා ගෞතම බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් ඉක්බිති සුභද්ද භික්ෂුව විසින් ʼඇවැත්නි, සෝක නොකරව්, නොවැලපෙව් ඵ් මහා ශ‍්‍රමණයාගෙන් අපි හොඳින් මිදුනෙමු. මේ තොපට කැපය. මේ අකැපයැයි ඹහුගේ නීති පැනවීමෙන් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමති නම් ඵය කරන්නෙමු. යමක් අකමැතිනම් ඵය නොකරන්නෙමු.ʼ ලෙසින් සිදුකරන ලද වගකීම් රහිත ප‍්‍රකාශයත්, එවකට සංඟ සමාජය තුළ විනය සම්බන්ධ මතුවෙමින් තිබූ ගැටළු සඳහා ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම උදෙසා කාශ්‍යප මහරහතුන් වහන්සේගේ නායකත්වයෙන් එම ධර්ම සංගායනාව පැවැත්විනි. එහිදී සංඟ සමාජයේ විනය දැඩිලෙස කතාබහට ලක්වුණු අතර එම සංගායනාව සඳහා එවකට රාජ්‍ය අනුග‍්‍රහයද ලදබව සඳහන්වේ.

ශ‍්‍රී ලංකාවේ බුද්ධ සාසනයේ පැවැත්ම දැඩි තර්ජනයකට ලක්ව ඇත්තේ අන්‍යාගමික තර්ජනවලටත් වඩා බෞද්ධ සමාජය තුළ ඇතිවෙමින් පවතින පිරිහීම් නිසාවෙන් බව නිහතමානීව පිළිගත යුතුය. සංඟ සමාජය තුළ විනය විරෝධී කල්ලි බිහිවීම මෙන්ම තවත් හේතු සාධක ගණනාවක් නිසාවෙන් බෞද්ධ සමාජයේ විනය පද්ධතිය මීට වඩා ශක්තිමත් විය යුතුයි යන ස්ථාවරයකට පැමිණ ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධ පනත් කෙටුම්පත සහ ඒ සමගාමීව පැවැත්වීමට නියමිත බෞද්ධ කතිකාවත සම්බන්ධව අදහස් දක්වන්නේ ජාතික හෙළ උරුමයේ නායක, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඟනායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියන්.



වර්තමානය වෙනකොට සමාජයේ දැඩිලෙස කතාබහට ලක්වෙන මේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා උදෙසා සම්මත කරන්නට යන විනය සම්බන්ධ පනත සම්බන්ධව ඔබ වහන්සේ දරන්නේ මොනවගේ මතයක්ද?

මුලින්ම කියන්නට  ඕන මම මේ පනතට පක්ෂව අදහස් දරනවා. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියන ථේරවාදී බෞද්ධ කතිකාවතක් ලියාපදිංචි කිරීම උදෙසාවන පනත කාගෙවත් වුවමනාවකට සිදුකරන්නට යන දෙයක් නෙවෙයි, මේ රටේ බුද්ධ ශාසනය භාරව ක‍්‍රියාකාරන මහනායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම සහ අනුදැනුම මත සිදුවන දෙයක්. ඒක කිසිසේත්ම දේශපාලන පක්ෂයක්,දේශපාලන මතයක් ඇතිව සිදුවන දෙයක් නෙවෙයි. එහි ඒකායන පරමාර්ථය වන්නේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම.

අපි දන්නවා මේ වෙනකොට බොහොමයක් භික්ෂූන් වහන්සේලා සිවුරු පොරවාගෙන විනය නීති කඩමින් අවිනයවාදී ලෙස,අසංස්කෘතික ලෙස බුද්ධ ශාසනයට විශාල හානියක් සිදුකරනවා. ඒ නිසා ලෝක ප‍්‍රජාව ඉදිරියෙත් අපි අපහාසයට ලක්වෙනවා මේ භික්ෂූන්ගේ ක‍්‍රියාකාරකම් නිසා. මේ පරිහානිය දිගින් දිගටම සිදුවෙමින් යද්දි මෑතකදී පත්කරපු බුද්ධ ශාසන කොමිෂන් සභාවත් නිර්දේශ කරනවා ඉතාමත් ඉක්මණින් භික්ෂූන් සඳහා නීති පද්ධතියක් ඇතිකල යුතුයි කියලා. ත්‍රෛයිනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුමැතියෙන්, ගිහි සමාජයේ දායකත්වයෙන් ඒ ඒ නිකායවල පවත්නා ව්‍යවස්ථාවලට නීතිමය බලයක් ලබාදීම තමයි මේ පනත තුළින් සිදුවන්නේ. මේ දක්වා එහෙම නීතිමය බලයක් නැති නිසා කිසිඳු භික්ෂුවකට දඬුවමක් දෙන්න සංඟ සභාවලට හැකියාවක් නෑ. සංඟ සභාවල නියෝග පිළිගන්නත් වැරදි සිදුකරන භික්ෂූන් කටයුතු කරන්නෙත් නෑ. ඒක නිසා මේ පනතින් එම සංඟ සභාවලට නෛතික බලයක් ලැබෙන නිසා මම මෙහි කිසිම වරදක් දකින්නේ නෑ.

එතකොට අපේ හාමුදුරුවනේ මෙම පනත මගින් අධිකරණ සංඟ නායකත්වය දරණ ස්වාමීන් වහන්සේලාට විශේෂ නෛතික බලයක් ලැබෙනවාද?

ඇත්ත වශයෙන්ම, අති විශිෂ්ට ගෞරවනීය බලයක් ලැබෙනවා. දැන් තියෙන්නේ කඩදාසියක්, සම්මුති පත‍්‍රයක්, නිල නාමයක් විතරයි. ඒකෙන් දෙන තීන්දු තීරණ කැමතිනම් බාරගන්න පුළුවන්, නැත්නම් බාරගන්නේ නෑ. හොරා කවද්ද තමන් හොරා කියලා බාරගන්නේ. ඒක නිසා මේ නෛතිකභාවය ඉතාම වැදගත් වෙනවා.

මෙම පනතට විපක්ෂව අදහස් දරණ පිරිසගේ අදහස තමයි මේක ආණ්ඩුවට විපක්ෂව සිටින බහුතරයක් භික්ෂූන් වහන්සේලාගේ බල බිඳින්නට සිදුකරන කටයුත්තක් කියන එක, මේක අසාධාරණ තර්කයක්ද?

බහුතරයක් භික්ෂූන් වහන්සේලා රජය සමග නෑ කියන එකට එකඟ වෙන්න බෑ. ඒක තවදුරටත් සිතාබැලිය යුතු කාරණයක්. ඒත් පිළිගත යුතු දේ තමයි මේ පනත සඳහා යෝජනාව ගේන්නේ අද ඊයේ නෙවෙයි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේදී කියන එක. වර්ෂ 2600 සම්බුද්ධත්ව ජයන්තිය  සමරණ කාල පරිච්ෙඡ්දයේ විශේෂ සම්බුද්ධත්ව ජයන්ති කාර්යසාධන කමිටුවක් පැවැත්වුණා. එම කමිටුවේ සිටි මහනායක ස්වාමීන් වහන්සේලාගේ නියෝජිතයන්, බෞද්ධ සංවිධාන ප‍්‍රධානීන්, බුද්ධ ශාසන අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු කමිටුව යෝජනා කරපු පනතක් තමයි මේ. නමුත් එදා ඒක සම්මත කරගන්නට අපහාසු වුනා. ඒක නිසා මෙම පනත කාගෙන්වත් පළිගන්න සිදුකරන දෙයක් කියලා ලඝු කරන්න බෑ.

එතකොට එවකට සිටි ජනාධිපතිවරයා මේ පනත සම්බන්ධයෙන් දැක්වූයේ මොන වගේ ප‍්‍රතිචාරයක්ද?

එතුමාට එම පනත එක්ක ගැටළුවක් තිබුණේ නෑ.ඒත් ඒ වෙලාවේ තිබුණු සංකීර්ණ දේශපාලන තත්ත්වය එක්ක එතුමා පනත සම්මත කරන්නට පෙළඹුනේ නෑ. දී.මූ ජයරත්න මහත්මයා වගේම රත්නසිරි වික‍්‍රමනායක මහත්මයත් බුද්ධ ශාසන අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කරද්දි මේ පනත සම්මත කරන්න සෑහෙන්න උත්සහ ගත්තා. රත්නසිරි මහත්මයාට මේක සම්මත කරගන්න ඔන්න මෙන්න තිබියදී අමාත්‍යංශයෙන් යන්න වුනා.දී.මූ ජයරත්න මහත්මයා ඒ දවස්වල හැම රැුස්වීමකදිම අපි පනතක් ගේනවා, ගේනවා කියලා කෑ ගැහුවේ මේක ගැන තමයි. එතුමට කුඩු ගේනවා කියලා චෝදනාව ආපු වෙලාවේ දී.මූ මහත්තයා කිව්වෙත් මේ කුඩු චෝදනා එල්ලකරන්නේ චීවරධාරීන්, ඒ වෙන මොකටවත් නෙවෙයි පනතක් ගේන්න යන නිසා කියලා. අන්න ඒ කියපු පනත තමයි මේ. එතුමටත් විවිධ බලපෑම් සහ බාධක නිසා මේක සම්මත කරගන්න බැරිවුණා.

විනය පිටකයට අනුව මේ පනත නිර්මාණය වෙද්දි බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගෙන නීති පැනවේවි. ඒත් විවිධ වූ විනය විරෝධී සිදුකරන අන්‍යාගමික පූජක පාර්ශවයන්ට එවැනි බාධාවක් නොමැතිවීම කියන්නෙ ආගම්වාදී ප‍්‍රයත්නයක් නෙවෙයිද?

මේක මම දකින්නේ අපේ ගෙදර කුණු ගඳ ගහනවනම් අපේ ගෙදර අපි විසින්ම සුද්ධ පවිත‍්‍ර කරගත යුතුයි කියන ආකාරයටයි. නැත්නම් ලෙඩ වෙන්නේ අපියි. අල්ලපු ගෙවල්වලින් කුණු ගඳ එනවනම් ඒක හොයලා බලලා කටයුතු කරන එක වෙනම දෙයක්. හැබැයි අපේ ගෙදර කුණුගඳ තියාගෙන වෙන ගෙවල්වලට ඇඟිල්ල දිගුකරන්න බෑ. බුද්ධ ශාසනය සම්බන්ධව වගකීමක් තියෙන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතේ, ඉතින් මුලින් අපි අපේ වැරදි හදාගන්න  ඕන. අනිත් ආගම්වල ඇත්තෝ කැමතිනම් ඒ ඇත්තන්ගේ වැරදි හදාගනීවි. අපිට ඒකේ ගැටළුවක් නෑ. අපිටයි තේරෙන්නේ අපේ ශාසනේ ඇතුලේ තියන භීෂණය,විනාසය,පරිහානිය දැනෙන්නේ ගිහියන්ට වඩා භික්ෂූන් වන අපිටයි. මේ රටේ සංස්කෘතිය, සම්ප‍්‍රදාය ථේරවාද නිසා සෘජුවම අපි විසින් අපේ නිකාය මට්ටමින් මේ ප‍්‍රශ්න විසඳාගත යුතුයි. ʼඅත්තාන මෙව පඨමං ගවේසෙය්‍යාථʼ වටින්නේ අන් අය ගැන සෙවීම නෙවෙයි, තමන් ගැන සෙවීමයි.

එතකොට අපේ හාමුදුරුවනේ මේ පනත හරහා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන මැදිහත්වීමට යම් බලපෑමක් සිදුවේවිද?

එහෙම බලපෑමක්, බාධාවක් සිදුවන්නේ නෑ. දේශපාලන කටයුතු සඳහා භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම  තීරණය වන්නේ ඒ ඒ නිකායවල නීති අනුවයි. උදාහරණයක් විදිහට මම රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක. අපේ නිකාය තුළ ව්‍යවස්ථානුකූලව භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන මැදිහත්වීම් ගැන යම් නීතියක් පනවනවානම් එය අපිට අදාලයි. නැතුව ආණ්ඩුව මැදිහත්වෙලා භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන මැදිහත්වීමට බාධා කරන්නේ නෑ.

ඒ කියන්නේ ඒ ඒ නිකායන්ට වෙනස් වුණු නීති තත්ත්වයන් වෙනස් වශයෙන් ඉදිරියටත් බිහිවෙන්න පුළුවන් කියන එකද?

නියත වශයෙන්ම එහෙම වෙන්න පුළුවන්. දැනටත් එහෙම පවතින නිසා සිදුවන්නේ ඒ නීතිවට සවිමත් නෛතික බලයක් ව්‍යවස්ථාදායකය හරහා ප‍්‍රදානය කිරීමයි. 

පසුගිය කාලයේ ජාතිකත්වය,ආගමික පසුබිම පදනම් කරගෙන විවිධ අන්තවාදී කල්ලි බිහිවුණා. එම කල්ලි වලට වැට බඳින්න මේ පනත තුළින් කටයුතු කල හැකිද?

ත‍්‍රස්තවාදී සංවිධාන, අන්තවාදී සංවිධාන රටට හානිකරයි. ජාතිවාදය නරක නෑ, ජාතිභේදවාදය නරකයි.යම් සංවිධානයක් ජාතිභේද තත්ත්වයක් ඇතිකරලා රට භේද කරන්න, යුද්ධයකට ගෙනයනවනම්, ඒක භික්ෂූන් වහන්සේලා සම්බන්ධ සංවිධානයක්නම් ඒක ගැන බලන්න  ඕන ඒ භික්ෂූන් වහන්සේලාට අදාල නිකායයි. ඒත් අද තියන තත්ත්වය අනුව කිසිම දඬුවමක් දෙන්න බැරිනිසා සංඟ සභා අක‍්‍රීයයි. මේ පනත තුළින් ඒවා සක‍්‍රීය කරන්න මග පාදනවා.

මෙම පනතට විරුද්ධ භික්ෂූන් වහන්සේලා සමාජයට ගෙනයන්නේ වෙනමම අදහසක්, ඒ ගැන ඔබ වහන්සේට දෙන්නට තිබෙන පිළිතුර කුමක්ද?

මට ඇහුණා එක භික්ෂූන් වහන්සේ කෙනෙක් කියනවා මේ පනත නිසා හාමුදුරුවන්ට පිරිත් නූලක් බඳින්න, කේන්දරයක් බලන්නවත් බැරිවෙනවා කියලා. මෙන්න මේ වගේ විකාර අදහස් තමයි මේ වැදගත් පනත ගැන පොදු සමාජයට මේ උන්නාන්සේලා අරගෙන යන්නේ. ඇත්තටම මෙතන වෙන්නේ සංඝාධිකරණයට බලයක් ලබාදීමයි. තමන් නිවැරදිනම් කිසිම භික්ෂූන් වහන්සේ කෙනෙක් කලබල වියයුතු වන්නේ නෑ. මෙතනදි මට කියන්න තියෙන්නේ එකම දෙයයි. මහින්ද රාජපක්ෂ දෙසවත්, මෛත‍්‍රීපාල සිරිසේන දෙසවත් දෙස නොබලා බුද්ධ ශාසනය දෙස පමණක් බලා මෙම පනත ගැන කටයුතු කරන්න.ගොඩක් දෙනෙක් බලන්නේ මේ පනත නිසා අපේ එක්කෙනාට හොඳක් වෙයිද, නරකක් වෙයිද, අපේ එක්කෙනාගේ කරළ පැහෙයිද, අපේ එක්කෙනාගේ රොටිය පුච්චගන්න මේ තැටිය රත්වෙලාද කියලා. මොකද අද ගොඩක් භික්ෂූන් වහන්සේලාගේ නායකයන් වෙන්නේ නායක හාමුදුරුවෝ නෙවෙයි පක්ෂ නායකයෝ, මහනායක හාමුදුරුවෝ කියන දේ නෙවෙයි අහන්නේ පක්ෂ නායකයාගේ  ඕඩර්ස්. ඒ භික්ෂු නායකයෝ නෙවෙයි. ඒක නිසා මේ පනත අතිශයින්ම වැදගත්, මේක ලංකාවේ බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා වැදගත් සාධකයක් වේවි කවදාහරි.

සාකච්ඡා කලේ - ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර (2016.01.24 ඉරුදින)


3 comments:

  1. වැදගත් ලිපියක්...

    ReplyDelete
  2. ඉර හැරෙන අතට යැවූ මේල මාර්ගයෙන් මෙහි පැමිණියා..... දීර්ඝකාලයක් කරගෙන යන සාර්ථක බ්ලොගයක්... සතුටුයි...... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. අපේ සින්ඩියට දා ගත්තා....

      http://kurutugegeepawra1.blogspot.com/

      අනික් සින්ඩි වලටත් යන්න.... ඒක අනික් බ්ලොග් කියවන්නන්ටත් සහයක් වේවි....... ජය

      Delete