May 25, 2014

සංකලනී - 13 වැනි කොටස



පසුගිය කොටස් සියල්ල මෙතනින්


ගොඩක් හවස් වෙලත් මිතුලගෙන් ප්‍රතිචාරයක් නැති තැන සංකි ජංගම දුරකතනය පැත්තක දාලා කාමරෙන් පිටවෙලා මිදුලට ගියා. මිදුලේ ගස් අතරේ ඇවිදිමින් සංකි කල්පනා කලේ තමන් ඇයි මේ තරම් මේ කොල්ලගේ කෙටි පණිවිඩයක් හරි බලාපොරොත්තුවෙන් ඉන්නෙ කියලා. සංකිට ඒ අතරෙම හිතුනා තමන්ගේ හිත ආදරයක් වෙනුවෙන් බලාගෙන ඉන්නවදෝ කියලා..මල විකාර..වෙන වැඩනෑනේ..ඒත් එහෙනම් තමන්ගේ හිතේ මෙච්චර හොල්මන් කරන්නේ මොන හැඟීමක්ද කියලා සංකිට තේරුනේ නෑ.

සංකිට පාර පැත්තේ හවස ලොතරැයි විකුණන කෙනෙක්ගේ බයිසිකලේක සවිකරලා තියන රේඩියෝවක වාදනය වෙන ගීතයක් ඇහුණා.


“දෙනෝ දාහක් නුවණ් අතරේ...කව්රුදෝ මා තනිකලේ..පාසල් බිමේ..“

නන්දා මාලිනියගේ හඬින් කියන්නේ තමන්ගේ හදගැස්මවත්ද කියලා සංකිට හිතුනා. ඒත් ඒක පිළිගන්න සූදානමක් සංකිගේ හිතට තිබුණේ නෑ. සංකි හොඳාකාරවම දන්නවා මිතුල මේ ටිකන් ටික ලංවෙන්නේ මොනවටද කියලා. අනිත් කොහේ කෙල්ලන්ටත් වඩා මාතර කෙල්ලන්ට ඉව තියනවා ගොනා හැරෙද්දි පොල් පැලේ කන්නද නැත්නම් කඹේ කඩාගන්නද කියන්න.

සංකලනි හැඟීම් එක්ක සටන් කරකර කළුවර වෙනකම්ම මිදුලේ ඉඳලා වත්තට එන පාරේ අද්දර තියන ගැට පිච්ච වැලෙන් මල් ටිකකුත් දෝතට කඩාගෙන ඇවිත් කෑම කාමරේ මේසෙ උඩින් තියලා කාමරේට ගියා. ගිහින් දුරකතනය අතට ගනිද්දිම දැක්කේ මිතුලගෙන් මිස් කෝල්ස් කීපයක් තියනවා. ඒ අතරෙම පණිවිඩයකුත් තියනවා.

“Sorry baba...ada patta weda godak tibuna..den thamai gedara yanneth"

“අහා...ඒ පාර මම බබා වෙලාද?...“

ඒ කෙටි පණිවිඩය දැක්කම සංකිගේ මූණට අමුතු හිනාවක් එක්කම ඒ සිතුවිල්ලත් මතුවුණා. ජංගමෙත් අරගෙන ඇඳට වැටෙද්දි සංකි කණ්ණාඩි මේසේ කැඩපතෙන් තමන්ගේ මූණේ තිබුණ හිනාවත් තත්පර කීපයකට දැක්කා. ඒ වගේ හිනාවක් දැකපු දවසක් කෙල්ලටවත් මතක තිබුණේ නෑ.

                                       * * * * * *

සෙනසුරාදා හවස සංකලනියි තව යාළුවෝ තුන් දෙනෙකුයි බස් ස්ටෑන්ඩ් එහා පැත්තේ ජයසූරිය පිට්ටනිය ලඟ පඩි පේලියෙන් ඉහලට නැග්ගේ පුදුම කච කචයක් එක්කම. දවස් ගාණක ඉඳලා යාළුවෝ කට්ටිය කතා කරගෙන හිටියේ ස්ටෑන්ඩ් එක උඩ අලුත් 3D ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් එකක් බලන්න යන්න.කොහොමහරි වැඩේ පරක්කු වෙලා සෙනසුරාදා වෙනකම්ම සෙට් එකට යන්න බැරිවුණා. අන්තිමට කට්ටියම එකතුවෙලා ගමන ආවා.

ස්ටෑන්ඩ් එක උඩ ෆිල්ම් හෝල් එකේ පිවිසුම් දොරකඩට එනකොටම සංකිගේ දුරකතනය නාද වුනා...දෙයියනේ මිතුල..මේ යකා අපිව දැකලාවත්ද..සංකිට එහෙමත් හිතිලා වටපිටත් බැලුවා. ඒත් පේන තෙක්මානෙක මිතුල හිටියේ නෑ.

“හෙලෝ..“

“හෙලෝ බබා...ගෑණු ළමයි සෙට් එක කොහෙද මේ තනි පංගලමේ ස්ටෑන්ඩ් එක උඩට බඩගාන්නේ...මොකද Skylite එක පැත්තේවත් මංගච්චනවා එහෙමද?“

මේ කොල්ලටනම් තියෙන්නේ පුදුමාකාර ඉවක් කියලා සංකලනිට හිතුනා. අනිවාර්යයෙන්ම ලඟපාත ඉන්න බව සංකිට තේරුණා.

“ඔව් අනේ..අපි යනවා Rio2 බලන්න..“

“අප්ප..මරුනේ..බාලාංශේ කෙල්ලො ටික කාටුන් බලන්න යනවා එහෙනම්..“

“කමක් නෑ අපි බාලාංශේ තමයි..ඔයාට මොකද“

“නෑ නෑ ඒකට කමක් නෑ...මමත් එන්නම් අනාරාධිතවම..මොකද මේ කාලේ ගෑණු ළමිස්සියෝ ටිකක් තනියම එහෙ මෙහෙ යන එක එච්චර හොඳ නෑ“

සංකිට දාඩිය දාන්න පටන් ගත්තා. මිතුල එතන ඇවිත් මොන බාල්දියක් පෙරලයිද දන්නෑ..එපා කියන්නත් හිතෙන්නේ නෑ තරහා වෙයි කියලා. මොකද ඒ වෙනකොට දෙන්නම හොඳ යාළුවෝ තරමට ලංවෙලා.

“අනේ එපා අනේ..අපි කෙල්ලො ටික පාඩුවේ යන ගමනක්නේ..ඔයා හොඳ දරුවා වගේ පස්සේ දවසක බලන්නකෝ ඒක..“

“කව්ද කිව්වේ ඔයාලා එක්ක එනවා කියලා..මම තනියම යන්නේ ෆිල්ම් එක බලන්න..“

දැන් ඉතින් මොනවා කියන්නද. සංකි කට්ටිය එක්ක ටිකට් එක්ක ග්ලාස් අරගෙන ඇතුලට යද්දිත් පස්ස හැරිලා බැලුවා. සුඛෝපබෝගී පහසුකම් එක්ක යාළුවෝ සෙට් එක මැදි පේලියක වාඩිවෙලා ෆිල්ම් එක බලන්න සූදානම් වුනා. ටිකකින් පුරුදු කච කචේම කෙල්ලෝ ටික අතරේ මතුවුණා.

සංකිට දැනුනා කව්රුහරි තමන්ගේ සීට් එක පිටිපස්සේ සීට් එකේ වාඩිවුනා කියලා. සංකි හිමීට හැරිලා බලද්දි ඡායාවෙන්ම අඳුනගත්තා ඒ මිතුල කියලා. මිතුල අසුනේ ටිකක් ඉස්සරහට ඇවිත් සංකිගේ කණට ලංවෙලා කිව්ව.

“ඔයා කොහෙද මාව එලවන්නේ...“

“මම එලෙව්වේ නෑනේ...“

පස්සේ ෆිල්ම් එක පටන් ගත්තා. සංකි පාඩුවේ ෆිල්ම් එක බලද්දි මිතුල ආයෙත් අසුනේ ටිකක් ඉස්සරහට ඇවිත් සංකිගේ ලඟට ලංවුණා. වැඩිය සෙනග හිටියේ නැති නිසාත් කළුවර නිසාත් මිතුලගේ මේ දඟ වැඩ කාටවත් පෙනුනේ නෑ. මිතුල එහෙම ලංවෙලා සංකිගේ කණකට පිම්බා..සංකි ගැස්සලා ගියා.

“මෝඩයා..“

මිතුලට හිනාගියා. මිතුල එහෙමම් තමන්ගේ නිකට සංකිගේ අසුනේ ඇන්ඳට තියාගෙන ෆිල්ම් එක බැලුවා..ටික වෙලාවක් ගතවෙනකොට මිතුල තමන්ගේ මූණ සංකිගේ අරහිස ලඟටම ලංකරලා...සංකිගේ හුස්ම වේගෙන් වැටෙද්දි මිතුල තමන් මූණ සංකගේ උරහිසේ යන්තම් වදින්න හේත්තු කලා. සංකිගේ මුළු ඇඟම කිලිපොලා ගියා..මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවුණා. සංකි ගැහෙන හිතත් එක්ක එහෙම්ම හිටියා. සංකිගේ උරහිසේ උණුහුම එක්ක ආදරේ සුන්දර සුවය මිතුලට දැනෙද්දි චිත්‍රපටයේ සුන්දර නිල් මැකෝ පවුල රියෝ නුවර ඉඳන් ඇමසන් වනාන්තරයට පියාඹලා ගියා.


තවත් රසබර කොටසක් 28 වැනි බදාදා


14 comments:

  1. අපේ ඉසව්වේ ඔක්කොම මුල ඉඳන් කියවන්න් වෙනවා , මට මේ කතාව මුණ ගැහෙන්න් අතරමගදී නිසා

    ReplyDelete
  2. කොල්ලොන්ට කොමත් කෙල්ලෝ ගැන හෙන ඉවක් තියෙනෝ තමයි...

    (ඊලඟ කොටස ඉක්මනට දාපිය..පරන එවුවා ආයෙම කියවන්න බැහැ :/ )

    ReplyDelete
  3. අද ඉක්මනට ඉවර කලාද ?

    ReplyDelete
  4. apoi,ma nam podi plaster 1k neda?ko kathawak na neda?-N

    ReplyDelete
  5. ජනා උඹෙන් බලාපොරොත්තු වෙන්නෙ සම්පූර්ණ මුද්‍රිත නවකතාවක්. ජය...!

    ReplyDelete
  6. අඩේ මට කලින් එක මිස් වෙලානේ.. ඒකත් හෙමීට බලලා එන්නම්..

    ඇත්ත කියපං, මට නම් සැකයි මේ මිතුල වගේ ෆිල්ම් එක බැළුවේ උඹ නේද?

    ReplyDelete
  7. යකෝ... මට නං පිස්සු වගේ...
    පට්ට අය්යෙ...
    ජයවේවා

    ReplyDelete
  8. හෑ අදමයි මේ කතාව දැක්කේ.. අනිත් කොටස් ටිකත් කියවලා එන්නම්..

    ReplyDelete
  9. දාපිය ඊළග ටික.. මචෝ ජනා උඹ මාර ඉක්මනට කොටස් ටික දානවානේ.. :) ඉතිං අපිට කලින් කොටස හොඳටම මතකයි නේ.. ;) බැරිද පොඩි රිකැප් එකක් උඩින් දාලා අළුත් කොටස දාන්න.. එතකොට පරණ කොටස් බල බල ඉන්න නැතිව පටන් ගන්න පුළුවන්

    ReplyDelete
  10. කෝ ඊලඟ කොටස... බදාද පහු උනා

    ReplyDelete
  11. kiyana welawata weda thiyenna oona.. boru porondu denna epaa....

    ReplyDelete
  12. thama badada unenatdoooo? Api balan innawa ikmanata ilaga kotasath danna

    ReplyDelete
  13. අඩෙ ඔය 3ඩි එකක් මාතර තියෙනව කියල දන්නෙ අද නේ.එක ඇත්තද.මිතුලනම් ගොඩගියා වගෙ

    ReplyDelete
  14. ඔයා මේ කතාව ආයේ ලියන්නේ නැද්ද?

    :(

    ReplyDelete