Apr 16, 2016

ලසිත් මාලිංග හෙවත් Clear Sri Lankan Cricket Icon


ශ්‍රී ලංකාවේ ජනතාව වනාහී අනූරූපවාදිත්වය හෝ අනුප්‍රාප්තවාදිත්වය පිළිබඳ හර සංකල්ප සහමුලින්ම අමතක කරගෙන කටවටේ වක්කඩ කඩාගන්නා මිනිසුන් පිරිසක්බව අමුතුවෙන් කිවයුතු නැත. ලංකාවේ මිනිස්සු අතීතයේ පටන් අනුප්‍රාප්තිකයන්ගේ පෙර සිටි පුද්ගලයාගේ ලක්ෂණ අපේක්ෂා කරමින් නිරතුරුව ඉච්ඡාභංගත්වයට පත්වන පිරිසකි. 

බණ්ඩාරණායකගේ ලක්ෂණ සිරිමාවෝගෙන් බලාපොරොත්තුවී එසේ නොවුණ තැන සිරිමාවෝගේ ඔසරිය ගලවන්නට ශ්‍රී ලංකාකාරයෝ කතා කරමින් දුක්වූහ. ජේ.ආර් ගේ කියුම් කෙරුම් ප්‍රේමදාසගෙන් ඉටුනොවුණ තැන යූ.එන්.පී කාරයෝ විස්සෝපවූහ. විජේවීර තරම් සෝමවංශ රැඩිකල් නොවුණ තැන ජේ.වී.පී කාරයෝ විජේවීර කෙනෙක් අලුතෙන් සොයන්නට පටන්ගත්හ. ඒ දේශපාලනය නැමැති දහ අට සන්නිය පැත්තෙන් සිදුවූ දේ ය. 


අනික් පැත්තෙන් ජෝතිලා නැතිතැන මතුවූ භාතිලාගේ රැප් අප්සට් වී සුපර් ස්ටාර්ස්ලාගෙන් “විල්ලුද පුංචි දෙපා“ සොයන්නට විය. ඒ හැමදේම ක්‍රීඩාව පැත්තටද අඩු නැතිවම බලපෑ බව සැබෑය. එසේ නොවුනේනම් එය ලංකාව වීමට කිසිසේත්ම ඉඩක් නැත. මහේලලාගෙන් අර්ජුනලා බලාපොරොත්තු වුනාට කිසිඳු ප්‍රයෝජනයක් නැත, මහේල මහේලම මිස අන් කිසිවෙක් නොවේ, ලසිත් මාලිංගලාගෙන් කුමාර් සංගක්කාරලා බලාපොරොත්තුවීම පිස්සුවකි. දැන් ක්‍රිකට්වල ඇත්තේ අයිකන් ප්‍රශ්නයකි. ලසිත් මාලිංග වෛද්‍ය උපදෙස් සහ පාලක මණ්ඩලයේ උපදෙස් පසෙකලා අයි.පී.එල් වෙත ගොස් ඇත. එහි වරදක් වේ නම් එය මාලිංගට සහ පාලක මණ්ඩලයට බෙදීයන කරුණකි. එහෙත් මාලිංගගේම වචන අනුව “ක්‍රිකට් ගහනේ සල්ලි හම්බකරන්නට මිස රට වෙනුවෙන් නොවේය“ රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්නේ අහවල් මගුලකටද, පින් අපේක්ෂාවෙන් ක්‍රීඩා නොකල යුතුය, එසේ කරනා එවුන්ට වෙන්නේ බස් හෝල්ට්වල දුක්විඳ මැරෙන්නටය. ඒ නිසා සල්ලි හම්බකල යුතු කාලයේ අදාල මාර්ගවලින් හම්බකල යුතුය. මාලිංගට ලැබී ඇති තිරස් මොඩලයේ පන්දු යැවීම (Square Arm Bowling Style) සහ සුන්දර සිනහව සහ විලාසිතාව තුළින් ඔහු හම්බකරගන්නේ නැතිනම් කවුරුවත් මාලිංගට අතින් සල්ලි වියදම් කරන්නේ නැත.

අඩුම තරමේ මහජන ඡන්දයෙන් දොට්ට දැමූවත් ජනාධිපතිට ගොට්ට අල්ලා පාර්ලිමේන්තුවට රිංගාගෙන නියෝජ්‍ය කතානායක තනතුරටත් පත්වී මහජන ඡන්දයෙන් පත්වී ආ එවුන්ට සද්දේ දාන තිලංග සුමතිපාලලා ක්‍රිකට් සභාපති හෝ නියෝජ්‍ය කතානායකවූවා කියා අස්සයෝ පැදවිල්ල සහ රේස් තුන්ඩුවෙන් පොකට එකට විදීම නතර කරන්නේ නැත. ඒ නිසා “ඔවා දෙනු පරහට - තමා සම්මතයෙහි පිහිටා සිට“ යන්න තිලංගලා මතක තබාගත යුතුය. මාලිංගට පමණක් ඇඟිල්ල දිගුකරන්නට පෙර අතීතය මෙන්ම අනාගතය දෙසද ඇඟිලි දිගුකර බැලිය යුතුය. වෙනස ඇත්තේ අනිත් පොරවල් උගුරට හොරා බෙහෙත් බොද්දී මාලිංග අඬබෙර ගසා බෙහෙත් පෙති එක එක බොන්නට පුරුදුවී සිටීමය.

අපේ රටේ ක්‍රිකට් ගහන මහත්තුරු ඉන්නවා කියා කිසිවෙකු කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරයි නම්, රට වෙනුවෙන් ක්‍රිකට් ගහන දේශප්‍රේමී ක්‍රීඩා විරුවන් සිටීයයි තර්ක කරයිනම් පශ්චාත් භාගයෙන් හිනාවෙනවා ඇරෙන්නට වෙන කලහැකි කිසිවක් නැත. ලසිත් මාලිංග යන ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයාගෙ සැබෑ අයිකනය වන්නේ අන්න ඒ නිසාවෙන්ය.

8 comments:

  1. මාලිංගට ක්‍රිකට් අයිකනකයක් කියනවාට වඩා T20 අයිකනයක් කීම සාධාරණයක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සුදීක සහෝදරයා. මාලිංගගේ ක්‍රිකට් ආගමනය වෙන්නේ විස්සයි විස්ස නෙවෙයි. ඒත් ඔහුගේ ජනප්‍රියත්වයේ හිණිපෙත්ත එතනයි. මුදල්මත හෝ අවස්ථා පසුපස දිවයාම පටන්ගත්තේ අයි.පී.එල් වලට කලින් මගේ දැනුම අනුව. ඒක නිසා මාලිංග විස්සයි විස්ස අයිකනයකටත් වඩා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සැබෑ ස්වරූපයේ අයිකනය ලෙස හඳුන්වන්න කැමතියි

      Delete
  2. හ්ම්.......... මාලිංග ලංකාවේ කියලානං විශ්වාසයි දැන්....... එ්ත් අවුරුදු දෙකක් ටීම් එකෙන් හැලුවානං මාලිංගට තියෙන ඔය ඉල්ලුම කොහෙන් යයිද කියලා බලන්න තිබුණා...... මුලමතක නැති උන්.....

    ReplyDelete
    Replies
    1. මාලිංගගේ පැවැත්ම තියෙන්නේ ජාතික කණ්ඩායම තුල රැඳීම මත නෙවෙයි. මිනිහට මාර්ගේ හැදුනේ ජාතික කණ්ඩායමෙන් වුනත් මිනිහා වෙනමම ස්ථාරත්වයක් ගොඩනගාගත්තා. ජාතික කණ්ඩායමෙන් දොට්ට දැම්මත් සෞඛ්‍ය තත්ත්වය හොඳින් තියනවනම් තවත් අවුරුදු කීපයක් මාලිංගට පුද්ගලික ලීගයන්ට ක්‍රීඩාකරන්න අවස්ථාව තියනවා

      Delete
  3. මාලිංග ගැන මම ලිව්ව සටහන මේ. වෙලාවක් තියේ නම් බලහං

    http://magewalpal.blogspot.com/2016/04/blog-post_7.html

    ReplyDelete
  4. නියම ලිපියක්. ඕක තමයි ඇත්ත . කවුරුත් ක්‍රිකට් ගහන්නේ සල්ලි වලට. මාලිංග තමයි කෙලින්ම කිව්වේ. ඒත් අපේ උන්ට ඒක පිළිගන්න බෑ . ඒකනේ බුකියේ අපේ වීරයෝ කිය කියා ගොන් පෝස්ට් දාන්නේ.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete